Home » හරි පාරෙන් රට යන්න

හරි පාරෙන් රට යන්න

විදේශ රැකියාවක් බලාපොරොත්තු වන ඔබ දැන ගතයුතුම මේ කරුණු ගැන දැන ගන්න

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment
නෙත්මි පූජනී රත්නායක

විදේශ රැකියා සඳහා යොමු වීමට බොහෝ පිරිසක් උනන්දුවක් දක්වයි. එහෙත් ඒ සඳහා අනුගමනය කළ යුතු නිසි ක්‍රම වේද පිළිබඳ අවබෝධයක් නොමැති බැවින් බොහෝ පිරිස් වංචා කරුවන්ට රැවටී තම විදේශ රැකියා සිහිනය පමණක් නොව, බොහෝ කාලයක් වෙහෙසී උපයා ගත් මිල මුදල්, දේපළ පවා නැති නාස්ති කරගත් අවස්ථා අපට නිරන්තරයෙන් අසන්නට, දකින්නට ලැබේ.

මේ නිසාම විධිමත් ලෙස, නිවැරැදි ලෙස විදේශ රැකියාවක් ලබා ගැනීමට කළ යුත්තේ කුමක්ද? මේ ඒ පිළිබඳ ඔබට අවබෝධයක් ලබා දීමේ අරමුණින් සැකසුණු ලිපියකි.

විදේශ රැකියාවක් සඳහා කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්යයි

විදේශ රැකියාවක් සඳහා යොමුවන සෑම ශ්‍රී ලාංකිකයෙකුම 1985 අංක 21 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතෙහි 53(3) වගන්ති ප්‍රකාරව එසේ පිටත්ව යාමට පෙර කාර්යාංශය වෙත ලියාපදිංචි වීම නීතිමය අවශ්‍යතාවයකි. සේවා ගිවිසුම වසර 2ක් වලංගු වේ නම් කාර්යාංශ ලියාපදිංචිය වසර 2ක්ද, සේවා ගිවිසුම වසර 4ක් වලංගු වේ නම් කාර්යාංශ වලංගු ලියාපදිංචිය වසර 4ක්ද වේ.

ලියාපදිංචිය ලබා ගතයුතු පුද්ගලයන් ප්‍රථම වරට විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්.
ප්‍රථම වරට විදේශ ගතවන විට කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නොගෙන, විදේශ රැකියාවක නිරතව සිට ශ්‍රී ලංකාවට පැමිණ ආපසු විදේශ රැකියාවට යන ශ්‍රී ලාංකිකයින්.

මීට පෙර ලියා පදිංචි වී විදේශ රටවල රැකියා කොන්ත්‍රාත් කාලසීමාව අවසන් කර සිය රටට පැමිණ නැවත එම ස්ථානයට විදේශ ගත ශ්‍රී ලාංකිකයින් සහ නව සේවා ස්ථානවල රැකියා සඳහා යන ශ්‍රමිකයන්.

පෙර ලියාපදිංචි වී ඇතත් නැවත නව සේවා ගිවිසුමක් යටතේ විදේශ රැකියාවක් සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින් (එම රටට හෝ වෙනත් රටකට)

කාර්යාංශය ලියාපදිංචිය සම්පූර්ණ කිරීමට අවශ්‍ය ලේඛන
වලංගු විදේශ ගමන් බලපත්‍රය
වලංගු වීසා පත්‍රය
රැකියා ගිවිසුම
රැකියාවට අදාළ පුහුණුව හෝ වෘත්තිය නිපුණතා සහතික
කාන්තාවක් නම් ළමා සුරැකුම් වාර්තාව
මැදපෙරදිග රැකියා සඳහා, අදාළ රටේ වලංගු රක්ෂණ සහතිකය
අවශ්‍යතාවය පරිදි ලේඛන

කාර්යාංශ ලියාපදිංචිය මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකර ගැනීමට අවස්ථාව
විදේශ රැකියා අපේක්ෂිතයින් www.slbfe.lk වෙබ් අඩවියට පිවිස Online Job Bank යටතේ ලියාපදිංචි වීමෙන් විදේශ රැකියා සිහිනය සැබෑකර ගැනීමට අවස්ථා හිමිවේ.

රැකියා බැංකුවේ ලියාපදිංචි වීමෙන් අනතුරුව විදේශ රැකියා නියෝජිත ආයතනයන්හි වර්තමාන රැකියා පුරප්පාඩු සඳහා මෙමගින් පහසුවෙන් අයදුම් කිරීමට හැකියාව ලැබෙන අතර, ඒ පිළිබඳ ඒ අවස්ථාවේදීම අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනය වෙත විද්‍යූත් තැපැල් මාර්ගයෙන් අයදුම්කරුගේ තොරතුරු යොමුකිරීම සිදුකරයි.

සුරක්ෂිත විදේශ රැකියාවක් සඳහා රැකියා නියෝජිත ආයතන නියාමනය කිරීම
කාර්යාංශයේ දැක්ම හා මෙහෙවර සාක්ෂාත් කර ගැනීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීම සහ ඵලදායි හා නීතිගරුක ව්‍යාපාරයක් ලෙස විදේශ සේවා නියුක්ති නියෝජිත අායතන ආරම්භ කිරීම උදෙසා එවැනි ඉල්ලීම් කරනු ලබන පුද්ගලයෙකුට, ආයතනයකට විදේශ රැකියා නියෝජිත අායතනයක් පවත්වාගෙන යෑම සඳහා බලපත්‍ර ලබාදීම තුළින් විදේශ රැකියා ක්ෂේත්‍රය නියාමනය කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරයි.

රජයේ වලංගු විදේශ රැකියා නියෝජිත අායතන බලපත්‍රයක් ලබාගැනීමට නම්,
බලපත්‍රය ඉල්ලුම් කරන්නා ලංකාවේ පුද්ගලයෙකු වීම
ව්‍යාපාරික ආයතනයක් නම් සියලු හවුල්කරුවන් ශ්‍රිීලංකාවේ පුරවැසියන් වීම
සමාගමක් නම්, එහි කොටස් වලින් බහුතරය ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් දරනු ලැබීම
ව්‍යාපාරය භාරව සිටින තැනැත්තා නීතිය ඉදිරියේ වරදකරුවකු නොවිය යුතුය (සත්කීර්තිමත් පුද්ගලයකු විය යුතුය)
අධ්‍යන පොදු සහතිකපත්‍ර (සා.පෙ) සමත් වීම හෝ වෘත්තීය ආයතනයක පූර්ණ සාමාජිකත්වය ලබා තිබීම
යන සුදුසුකම් සපුරා තිබීම අත්‍යාවශ්‍ය වේ.

ඉහත සුදුසුකම් සපුරා ඇත්තේ නම්,
ලිඛිත ඉල්ලීමක් කාර්යාංශය වෙත ඉදිරිපත් කර සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දී ඉන් සමත් විය යුතුය
නව බලපත්‍ර ලබාගැනීම සඳහා අදාළ පෝරමය www.slbfe.lk යන වෙබ් අඩවියෙන් බාගත කළ හැකිය.

බලපත්‍රයක් අවලංගු කිරීම
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ විධි විධාන උල්ලංඝණය කරනු ලබන බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනයක බලපත්‍රය, කාර්යාංශයේ නීති, විමර්ශන, සමථ හා බලපත්‍ර යන අංශ මගින් ඉදිරිපත් කළ නිර්දේශ මත කාර්යාංශයේ බලපත්‍ර අංශයේ කළමනාකරු/ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ අතිරේක සාමාන්‍යාධිකාරී හා සාමාන්‍යාධිකාරී මගින් සභාපතිගේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව අවලංගු කළ හැකිය.
කාර්යාංශයේ අනුමැතිය ලත් වලංගු විදේශ රැකියා නියෝජිතායතන පිළිබඳ තොරතුරු www.slbfe.lk යන වෙබ් අඩවිය ඔස්සේ පරික්ෂා කරගත හැකිය.

(විශේෂ ස්තූතිය :
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ
ප්‍රචාරණ කළමනාකරු
මදූෂාන් කුලරත්න මහතාට)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division