හිරිමල් යෞවනයේ මෝදුවන ලිංගිකත්වයෙහි තියුණු හැඟුමන්, සමහර විට අනපේක්ෂිත ඇසුරකින් මුහුකුරා යයි. කෙතරම් අමතක කරන්නට හැදුවත්, ඒ නොස්තැල්ජියානු මතක සටහන් තරම්, අපූරු විශ්වයක් යමෙකුගේ ජීවිතයට නොමැති විය හැක.
එක්දරු පියකු වන මයිකල්, සිය බිරිඳගෙන් දික්කසාද වී සිටියි. සිය දියණිය ද වෙනත් දේශයක විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබයි. 1995 දිනෙක, උදෑසනක, සිය නිවසේ තමා සමඟ පෙර දා රාත්‍රිය පහන් කළ කාන්තාවක් ඔහුගෙන් සමුගෙන නික්මයයි. ඇය වැතිර සිටි අපිළිවෙල වූ සිරි යහනත්, කවුලුවෙන් එහා වේගයෙන් ඇදෙන දුම්රියේ මැදිරි තුළ ගාල් වූ මිනිසුන් දකින ඔහුගේ සිත අතීත ආවර්ජනීය මතක ගොන්නක් තුළ අතරමං කරවයි.
භද්‍ර යෞවනයේ බිහි දොර අබියස, නොඉවසිලිවත්ව පොපියන, තවමත් නෛතිකව වැඩිහිටියකු නොවූ කොලු ගැටයකුට, වැඩිහිටි සොඳුරු ළඳකගේ පහස විඳ ගැනීමේ සිහින ද තිබිය හැකිය. එවැනි අශ්‍රැතවත් වූ යටිබිම්ගත මතක, සදාචාරයෙන් තැලුම්කන ගමන්, දොරකඩ අස්නක් සේ මතුලමින් සැමදාම, සිය ජීවිතය ජීවත් කරවන්නේ යැයි කෙලෙස පවසන්නද? වර්තමානයේ එවැනි ක්‍රියා, ළමා ලිංගික අතවර යටතේ බරපතළ වරදක් ලෙස සලකනු ලබයි. අතීතයේ එවැනි දෑ, නෛතික වරදක් නොවන්නට ඇතත්, සදාචාරය විසින් කිසිවිට එවැනි ඇසුරු කිරීම් පිටු දකිනු ලැබේ. එහෙත් මේ සිනමා කෘතියේ කියැවීම වෙෙනකකි.
නාසිවාදයත්, දෙවන ලෝක යුද්ධයෙන් පසු බැටකෑ මානව ජීවිත නැවත දලුලා වැඩෙන වකවානුවක ජර්මනියේ සිදුවූ ඉතාම විවාදාපන්න මානුෂික ඇසුරක් සමඟ දිගහැරෙන, ද රීඩර් (The Reader) ප්‍රේක්ෂකයාට අපූර්ව අත්දැකීමකි. නෙට්ෆිලික්ස් අන්තර්ජාල රසඟුලාව කලතමින් රසය සොයන රසිකයාට M15+ හෙවත් වයස 15ට වැඩි වැඩිහිටි ප්‍රේක්ෂකයාට උචිත කෘතියක් ලෙස මෙය හමුවේ.
ද රීඩර් (The Reader) හෙවත් පාඨකයා නැතිනම් රසිකයා හෝ සහෘදයා ලෙස හැඳින්විය හැකි අපූරු සිනමා කෘතිය, 2008 දී ස්ටීවන් ඩැල්ඩ්‍රි (Stephen Daldry) විසින් අධ්‍යක්ෂණය කරන ලද රෝමාන්තික හෙවත් ආදර නාට්‍ය ලෙස වර්ගීකරණය කෙරෙන චිත්‍රපටයකි. එය 1995 දී බර්න්හාඩ් ෂ්ලින්ක් (Bernhard Schlink) විසින් රචිත නවකතාව පදනම් කරගෙන ඩේවිඩ් හාර් (David Hare ) විසින් තිරරචනය කරන ලද අතර කේට් වින්ස්ලට් (Kate Winslet), රැල්ෆ් ෆයිනස් (Ralph Fiennes), ඩේවිඩ් ක්‍රොස් (David Kross), බෲනෝ ගාන්ස් (Bruno Ganz) සහ කැරොලයින් හර්ෆර්ත් (Karoline Herfurth) රංගනයෙන් දායක වන රමණීය කෘතියකි.
හැම විටම නොසිතූ විරූ ලෙස සංකීරණත්වයට පත්ව කේඩෑරි වී යන මනුෂ්‍ය ජීවිතය තුළ හරි බරි ගැසී වැතිරී සිටින සමහර මතක විසින් අවුලුවනු ලබන මනුෂ්‍යත්වයේ ඉසව් ඔස්සේ ආදරය සහකම්පනය, පෞද්ගලිකත්වය, හිත යට වැළලුණ ලාලසාව හෙවත් තදබල ඇල්ම, මානව ප්‍රේමය, සහකම්පනය, නීතිගරුක බව, පාවා දීම, ජීවිතේ ගැඹුරු යථාර්ථය වන හිස් බවට මුහුණ දීම, කවර තත්ත්ව යටතේ වුවත් ජීවිතය විඳීම සහ කියවාගැනීම ආදී විවිධ කාරණා මෙම සිනමා වියමන අස්සෙන් වෑහේ.
මෙහි කතා වස්තුව,1958 දී 15 හැවිරිදි මයිකල් බර්ග් නම් පසු කලක නීතිවේදියකු වන, නව යොවුනකු හා 36 හැවිරිදි හැනා ෂ්මිට්ස් නම් වැඩිහිටි කාන්තාවක් අතර අහම්බෙන් සිද්ධවන රහසිගත ලිංගික ඇසුරක් පාදක කරගත්තකි. පාසල නිමවී ආපසු සිය නිවස බලා ට්‍රෑම් එකක යන මයිකල් අසනීප වන අතර, නිවස දෙසට පියමනින විට ඇදහැලෙන මහ වරුසාවටට ද හසුවේ. දරුණු ලෙස රෝගාතුර වන ඔහු එක්තරා ජරාජීරණ වූ මහල් නිවාසයක කොරිඩෝවක් වැනි අගුපිලකට ගොඩවී වමනය කරන්නට ගනියි. ට්‍රෑම් රථ කොන්දොස්තර වරියක වන හැනාගේ කාමරය ඇත්තේ ද එම ගොඩනැගිල්ලේය. සිය රාජකාරිය නිමවා නිවස කරා එන ඇය, අසනීප වූ මයිකල් දැක, ඔහුට මවක මෙන් උවටැන් කර නිවස අසලටම ඇරලවනු ලබයි. සති කිහිපය අසනීපතත්ත්වයෙන් පසුව, සුව අතට හැරෙන මයිකල් හැනාගේ නවාතැනට මල් පොකුරක් ගෙන යන්නේ ඇයට ස්තූති කිරීමටය.
කිසියම් ගුප්තමය ස්වරූපයක් ඇති, තනිකඩ දිවියක් ගත කළ සුරූපි හැනා මේරූ කාන්තාවක වුව ඉතා හුරු බුහුටි තරුණියක පරදන සුරූපිනියකි. කේට් වින්ස්ලට් නමැති සම්මානනීය සුරූපි රංගධාරිනිය විසින් එම චරිතයට කෙතරම් සුවිශිෂ්ට ආකාරයෙන් පණ පොවා ඇති දැයි වටහා ගැන්මට හොඳම සාක්ෂ්‍යය, මේ චරිතය සඳහා ඇකඩමි (Academy Awards) ඇතුළු ජාත්‍යන්තර සිනමා සම්මාන 8ක් සහ ඇගේ රංගන කෞෂල්‍ය වෙනුවෙන් හොඳම නිළිය ඇතුළු සම්මාන වර්ග රැසකින් පිදුම් ලැබීමය.
තමා හමුවීමට පැමිණි, මයිකල් නමැති භද්‍ර යෞවනයා, තමන් ඇඳුම් මාරු කරන දෙස අඩවල් වූ දොර අස්සෙන් හොරෙන් බලාසිටින යුරු දකින හැනා තුළ ඇතිවන නොමනාපයත් සමඟ මයිකල් පැන යයි. එහෙත්, එම කාන්තාවගේ රූ සපුව හිතේ සතපා වඩම්මාගෙන යන මයිකල්, නැවත දවසක ඕනෑ දෙයක් වේවායි සිතා ඇය බලන්නට යයි.
එතැන් සිට කෙමෙන් සිනමා පටය තුළ දෙදෙනාගේ රති සම්භෝගය උත්කර්ශවත් අවස්ථාවට ගෙන එන්නේ ඉතාම ප්‍රවේසමටය. ප්ලෑන් කර සිදුවීමකට වඩා එය මානව හැඟුම් සහ අහම්බයන් ඔස්සේ අත්‍යන්තයෙන්ම එවැන්නක් සිදුවන තැනට වැඩ සිද්ධ වන බව දැනේ. එය වූ කලී ප්‍රේක්ෂකයාගේ ද එකම බලාපොරොත්තුව මල්ඵල ගැන්වීමකි.
මී පැණි හට්ටියට වැටුණු ඇඹලයකු සේ, මයිකල් කොලුවාගේ ජීවිතය සිතිවිලි සහ සකල බලාපොරොත්තු පිරෙන්නේ, හැනාගේ මේ ආදරණීය ඇසුරින්මය. සම්භෝගයේ ඉවසීම, සංයමය සහ බුහුටි බව ප්‍රකට කරමින් ආස්වාදයේ ගැඹුරු ධ්‍යාන ඵල අත්කරගන්නා සෘෂි අසපුවක සේ විටක දැනේ. කොලුවා අධ්‍යාපනයට දක්ෂයකු නිසාම ඇය ඔහු පැමිණෙන හැම මොහොතකම, ඔහු ඉගෙන ගන්නා දේ ගැනත්, කියවන පත පොත ගැනත් ඇය විමසන්නේ මවක සිය දරුවා හරියට ඉගෙන ගන්නවාද වැනි අයුරෙකිනැයි සිතේ. එපමණක් නොව, විවිධ සම්භාව්‍ය කෘති ඔහු ලවා කියවා ගන්නා අතර එය ශ්‍රවණය කිරීම ඔවුනගේ ආදර කතාවේ කාලයෙන් බාගෙට භාගයක් වෙන්කර ගනී. ඒ හැනාගේ බලවත් ඕනෑකමෙනි. රති සුවයේ නොඉවසිලිවත් කොලු ගැටයාට, ඇගේ විධානවලට පිටුපෑමට නොහැකිය. ආදරයේ ගිලී කිමිදීමට පෙරාතුව, ඇන්ටන් චෙකොෆ්, සේක්ෂ්පියර් ඩී.එච්. ලෝරන්ස් ආදී ලෝ ප්‍රකට ලේඛකයින්ගේ කෘති මයිකල් ඇයට කියවයි. ඇය ඉතාම සාවධානව එය අසා සිටින්නී, සමහර විට එකී කෘතිවල සියුම් චරිතාපදාන ස්පර්ශ කරමින් අතිශය භාවමය වී ඉකි බිඳින්නීය. එසේම, ඉපැරණි ග්‍රීක සම්භාව්‍ය කෘති වන හෝමර් ගේ ඔඩිසි හෙවත් දීර්ඝ ත්‍රාසජනක චාරිකාව වැනි දෑ ද, ඔහුගේ මුවින් අසා විඳී.
අතිශයින්ම රෝමාන්තික කතාවක් වූ ඩී.එච් ලෝරන්ස්ගේ චැටර්ලි ආර්යාවගේ පෙම්වතා (Lady Chatterley’s Lover) කෘතිය ද මයිකල් ඇයට අසා සිටින්නට කියවයි. සමහර විට ඔහු ඒ කෘතිය කියවා ඇය තුළ වඩාත් අනුරාගයක් මෝදු කරවීමට සිතුවා විය හැකිය. තමා ද භද්‍ර යෞවනයකු සමඟ හැසිරීම වරදක් බව යටි හිතෙහි තිබුණ ද ඇය සදාචාරවත් වැඩිහිටි කාන්තාවක ලෙස, චැටර්ලි ආර්යාවගේ ප්‍රේමය වැරැද්දක් යැයි සෘජුවම පවසයි. ඇය සාහිත්‍යයට සහ පොතපතට ලැදි තැනැත්තියක වුව, ඇය අකුරු කියවීමට ලීවීමට සාක්ෂරතාවක් නැති නූගත් කාන්තාවක බව මයිකල් වටහා ගන්නේ කලකට පසුවය.
ඔවුන්ගේ පළමු හමුවීම් කිහිපයක් ගෙවුණ ද, ඇය ඔහුගේ නමවත් අහන්නේ නැත. එහෙත්, ඇගේ වගතුග දැන ගැනීමට මයිකල් වදවෙයි. හුදු කෙටිකාලීන කායික ඇසුරකින් නිමවීමට නියමිත අහඹු සිදුවීමක් වුව, මනුස්ස ජීවිත කියවාගන්නේ සදාකාලීකවය. හිටි හැටියේම ඇය මයිකල්ටත් නොකියා නිවසින් අතුරුදහන් වේ. දෙදෙනාගේ සුන්දර ලෝක දෙදරා යයි. ඇය අධ්‍යාපනය කෙරෙහි කොලුවාට ඇති කළ උනන්දුව ඉතාම සුන්දරය. ඇනා අතුරුදහන් වන විට මයිකල් විශ්ව විද්‍යාලයේ නීති ශිෂ්‍යයකු ලෙස සිය මහාචාර්යවරයා සමඟ අධිකරණ කටයුතු ප්‍රායෝගිකව අධ්‍යනය කරයි. අධිකරණයේ නාසි කඳවුරක ජේලර්වරියන් විසින්, යුදෙව් රැඳැවියන් සිටි ගොඩනැගිල්ලට ගුවනින් බෝම්බ හෙළූ අවස්ථාවක දොරගුලු විවර කර රැඳවියන් මරණයෙන් බේරා නොගැනීම ගැන නඩුවක් විභාග වෙයි. මීට දසක දෙකකට පමණ පෙර නාසි කඳවුරක ජේලර්වරියක ලෙස කටයුතු කළ හැනා එම නඩුවේ ප්‍රධාන විත්තිකාරිය බව මයිකල් දකියි. හැනා ද මයිකල් දකියි. එම අවස්ථාවේ කිසියම් වාර්තාවක් පදනම් කර ගනිමින් චෝදනා ගොනු කරන අතර, එකී වාර්තාව සිය අත්අකුරින් ලියූ බවට හැනා චෝදනා ලබයි. උසාවි පරිශ්‍රයේ සිටින මයිකල්, ඇයට ලියන්නට කියන්නට නොහැකි ය යන හේතුව පදනම් කරගනිමින්, ඇයට නඩුවෙන් නිදහස්වන්නට තිබෙන අවස්ථාව දකියි. එහෙත්, හැනා සිතන්නේ, තමා ගේ නුගත්බව මයිකල් දන්නේ නැති බව ය. ඇය තමන් අදාළ වාර්තාව හැදු බව පිළිගනියි. ඒ අනුව ඇය ජීවිතාන්තය දක්වා සිර ගෙට නියම වෙයි.
සිර දඬුවම් විඳින හැනා ඉතා අසීරුවෙන් අකුරු ගැටගසා මයිකල්ට පේළි දෙක තුනක ලිපියක් යවයි. විවාපත්ව සිටි මයිකල් ඇයට කිසිදා ලියුම් ලියුවේ නැත. ඔහු විවිධ කෘති කියවමින් ඒවා පටිගත කර එම හඬපට ඇයට තැපැල් කරයි. ඇය එම හඬපටය සමඟ සපිරි ගෙදර පුස්තකාලයෙන් එම කෘති ගෙන අකුරු ඉගෙනගනී. කෙසේ වෙතත්, වසර 20 ගණනක් සිර දඬුවම් විඳිමෙන් අනතුරුව, ඇගේ යහපත් හැසිරීම නිසා පැරෝල් හෙවත් නියමිත දිනට පෙර ඇයට නිදහස ලබා දීමේ කටයුතු ක්‍රියාත්මක වෙයි. කාත් කවුරුවත් නැති ඇයට, සිටින එකම හිතවතා මයිකල් බැවින් බන්ධනාගාරයෙන් නිදහස් වූ පසු ඇය බාරගන්නට ඉල්ලා සිටියි. ඊට එකඟ වූ මයිකල්, 65 වියැති හැනා මුණ ගැසෙයි. ඇය සිරගෙදරදී තමා සරිකරගත් කිසියම් මුදලක් බහාලූ කුඩා තේ ඇසුරුම් ටින් එකක් මයිකල්ට ලබා දී, එය, අදාළ සිද්ධියෙන් දිවි ගලවාගත් එකම යුදෙව් කාන්තාවගේ දියණියට දෙන්න යැයි ඉල්ලා සිටී.
එකල ගැටවරයකු වූ මයිකල්ට තමා අතින් ද යම් වරදක්වූ බවක් ඇයට හැඟුණිද? ඇය හිර ගෙදරින් නිදහස් වුව ද, ඇගේ සිත තුළ වූ වරදකාරී හැඟුමන් ඇයට යළි තනිකඩ මයිකල් වෙත යාමට ඉඩ දෙයිද යන්න අතිශයින්ම තීරණාත්මකය. හැනාගේ ජීවිතය මහත් ඛේදවාචකයකින් විනාශයට පත් වන්නේ ඇය දිවි තොරකරගැනීම නිසාය. ගැඹුරු ජීවන පරිඥානයකට පත් මයිකල්, 1995 දිනක ඔහුගේ දියණිය සමඟ හැනාගේ සොහොන වෙත ගොස්, තමාගේ අතීත මතක ඇය සමඟ කියා සිය සිත නිදහස් කර ගතී.
ඉතාම සංකීර්ණ මානව හැඟීම් සමුදායක් සමඟ කලතන සිනමා පටයක් වුව, සමහර විචාරකයින් ඊට චෝදනා ද කර තිබිණ. ඔවුන් පැවසූයේ, හැනා ප්‍රේක්ෂකයන්ගේ අනුකම්පාව දිනාගන්නා වස්තුවක් බවට පත්කිරීම නිසා ඇය අතින් සිදු වූ අපරාධ පිළිබඳ වරද යටපත් ව සමාජයට වැරදි පණිවිඩයක් යන බවය. නැතහොත් චිත්‍රපටය සමූලඝාතන සංශෝධනවාදයට(Holocaust revisionism) ගොදුරු කර ඇති බවය.
සමනොල විජයරත්න