භාෂාවක් යනු හුදෙක් කතා කිරීමේ සහ ලිවීමේ රටා සමුදායක් පමණක් නොවේ. එය මහා සංස්කෘතියක, සභ්‍යත්වයක සහ සදාචාරයක දැනුම් සම්භාරයක් රැක ගෙන එන කෝෂ්ඨාගාරයකි. එනයින් භාෂාවක් විකෘති කිරීම මහා සංස්කෘතික සංහාරයක් ලෙස පිළිගත හැකිය. භාෂාවක් යනු කුමක්ද යන්නට ඡේකයන්ගේ අර්ථ විවරණ මෙතෙකැයි දැක්වීම පහසු නැත. සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායකයන් භාෂාවක් යන්න අරුත් දක්වන්නේ ‘යම් ප්‍රාණියකුගේ හෝ යම් වස්තුවක කලින් කලට වෙනස් වන ආකාරය පිළිබඳ කියාපාන ඡායාරූපයක් වැන්න’ යනුවෙනි.
බොහෝ භාෂාවලට ලේඛනය සහ භාෂණය යනුවෙන් ස්වරූප දෙකක් අයත් වේ. භාෂාවේ නවමු තැන් සොයා යන, ඒ පිළිබඳ ගැඹුරින් අධ්‍යයනයේ යෙදෙන ව්‍යාකරණඥයෝ හා වාග්විද්‍යාඥයෝ බස පිළිබඳ නව පර්යේෂණවල නියැළෙති. සිංහල භාෂා විෂයීයව ගත් විට භාෂා තත්ත්වඥයෝ සහ භාෂාඥයෝ සිංහල අක්ෂර මාලාව ගැන වඩා සැලකිලිමත් වෙති. ඒ අතුරින්, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායකයෝ ප්‍රමුඛය. ඔහුගේ නවතම කෘතිය වන ‘අලුත් සිංහල හෝඩිය’ ඇසුරෙන් මතු කළ අදහස් මේ වන විට භාෂාව පිළිබඳ සිංහල අක්ෂර මාලාව ප්‍රකරණ විෂයයෙහි උනන්දුවක් දක්වන්නන්ගේ ප්‍රමුඛ කථිකාව බවට පත් වී තිබේ.

හඳුන්වා දෙන සිංහල හෝඩිය
සිංහල අක්ෂර මාලාව කලින් කලට සකස් වෙමින් විකාශනය වන අයුරු අපට දැකගත හැකිය. බ්‍රාහ්මී අක්ෂරවලින් පසුව හමු වන හෝඩිය සීගිරි කැටපත් පවුරෙහි කුරුටු ගී ලිවීමට යොදා ගත් හෝඩිය වෙයි. සීගිරියෙහි සිතුවම් කොට ඇති රූමත් කාන්තාවන් දුටු පොදු ජනයා ලියූ කුරුටු ගී බොහොමයක් අයත් වන්නේ හත්වැනි සියවස සිට නවවැනි සියවස දක්වා ය. මේ ගී ලිවීමෙහිලා යොදාගත් අක්ෂර ගණන තිස්එකකි. ඉන් පසුව හමු වන හෝඩිය සිදත් සඟරා හෝඩියයි. අමිශ්‍ර සිංහල හෝඩියත්, පන්සල් හෝඩියත්, වදන් කවි හෝඩියත්, ඉන් පසුව මිශ්‍ර සිංහල හෝඩියත් අපට දැකගත හැකි ය.
කෙසේ වුවත්, අද දක්වා විකාශනය වූ හෝඩියේ සිංහල භාෂාව පාලි සහ සංස්කෘත යන ඉන්දු ආර්ය භාෂාවන්ගෙන් ප්‍රභවය ලබා ඇති බව ඉතා පැහැදිලිය. පසුකාලීනව දෙමළ, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි භාෂාවලින් අපේ ශබ්දකෝෂයට වචන එකතු විය. ජාතික අධ්‍යාපන ආයතන වර්ණ මාලාවෙහි ඇතුළත් සිංහල හෝඩියේ ඇතැම් අක්ෂර ව්‍යවහාරයෙන් ගිලිහී ගොස් ඇති බවත් දැකිය හැකි ය. මේ සිංහල හෝඩිය යාවත්කාලීන කළ යුතු අතර, සමහර අක්ෂර එකතු කළ යුතු බවත්, ඇතැම් අක්ෂර කාලීනව ඉවත් විය යුතු බවත් භාෂාව පිළිබඳ පර්යේෂණ කරන ඇතැම් විද්වතුන්ගේ තර්කය වේ. ඒ අනුව, මේ භාෂාව කලින් කලට යම් යම් වෙනස් වීම්වලට භාජනය වෙමින් ක්‍රමිකව විකාශනය වීමේදී අලුතින් එක් වන ඇතැම් වචන ලියා දැක්වීමට සිංහල හෝඩියට ඊට අදාළ අක්ෂරද ඇතුළත් විය යුතු බව භාෂාඥයන්ගේ සහ භාෂා තත්ත්වඥයන්ගේ අදහසයි.
මේ සිංහල වර්ණ මාලාව පිළිබඳ භාෂා තත්ත්වඥයෝ, භාෂා විචාරකයෝ සහ ලේඛකයෝ විවිධ හැදෑරීම් කළහ. භාෂාව සම්බන්ධයෙන් අත්‍යන්තයෙන් හැදෑරීම් කරන්නකු ලෙස සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානයකයන් මේ පිළිබඳ සඳහන් කරන්නේ, මළ භාෂාවක් හැර අනෙක් සියලු භාෂා පරිණාමයට පාත්‍ර වන බවයි. ඒ අනුව නූතන සිංහල හෝඩියද එලෙස යාවත්කාලීන විය යුතු බව ඔහුගේ අදහසයි. වර්ණ මාලාවේ ඇතැම් අක්ෂර මේ වන විට භාවිත නොවන බවත්, එදිනෙදා යෙදෙන ඇතැම් වචන ලියා දැක්වීමට ස්වාධීන අක්ෂරයක් ලෙස වර්තමානයේ භාවිත වන බැවින් ‘ඥ’ අක්ෂරය හෝඩියට ඇතුළත් කළ යුතු බවද පවසන මහාචාර්ය ජේ.බී. දිසානායක යුනිකෝඩයට මේ වන විටත් ඒ අක්ෂරය ඇතුළත් කර ඇති බවද පෙන්වා දෙයි.
කෙසේ වුවත් එදිනෙදා ලේඛන ව්‍යවහාරයට ගන්නා අක්ෂර අතුරින් ‘ඥ’ නම් වන මේ ගාත්‍රාක්ෂරය ජාතික අධ්‍යාපන ආයතන වර්ණ මාලාවෙහි නැත. සිංහල භාෂාවේ පරිණාමයත් සමඟ සිංහල හෝඩියේ අක්ෂර සංඛ්‍යාවද අකුරුවල හැඩ රුවද වෙනස් විය. අලුත් අකුරු හෝඩියට එකතු වූ අතර, ඇතැම් අකුරු ව්‍යවහාරයෙන් ඉවත් වී ඇති අයුරු ඔහු පෙන්වා දෙයි. එසේම මේ වන විට භාවිතයේ නැති අක්ෂර ඉවත් විය යුතු බවද ඔහු ‘අලුත් සිංහල හෝඩිය’ නම් වන නව ග්‍රන්ථයේදී පැහැදිලි කරයි. සිංහල හෝඩියේ මෑත කාලීනව සිදු වී ඇති වෙනස්කම් සිංහල අක්ෂර මාලාවේ තත්කාලීනව ඇති වෙනස්කම් පිළිබඳ ගවේෂණය කරමින් මේ ‘අලුත් සිංහල හෝඩිය’ සම්පාදනය කර ඇත. එහි අක්ෂර ගණන 61කි.
ඒ අනුව මෙතෙක් සිංහල හෝඩියට එක් නොවුණු ‘ඥ’ අකුරත්, කෙටි හා දික් සංවෘත ‘අ’ සහ ‘අ’ අක්ෂරත් සිංහල හෝඩියට ඇතුළත් විය යුතු බවටත්, ‘ඏ’ සහ ‘ඐ’ අකුරු දෙක සිංහල හෝඩියෙන් ඉවත් විය යුතු බවටත් කරුණු පැහැදිලි කර ඇත. මේ සිංහල හෝඩියට අයත් අකුරු යෙදෙන අයුරු මහාචාර්ය ජේ.බී. දිසානායක නිදසුන් සහිතව පැහැදිලි කර තිබේ.
එහෙත් මේ ‘ඥ’ අක්ෂරය සිංහල ලේඛනයෙහි යෙදුණත් එය වර්ණ මාලාවට හෙවත් හෝඩියට ඇතුළත් නොකරන ලද්දේ මන්ද? එම හෝඩිය සම්මත කිරීමට පත් කළ තත්ත්වඥ මණ්ඩලයේ සෑම දෙනකුගේම අදහස වූයේ එය ස්වාධීන අක්ෂරයක් හෙවත් වර්ණයක් නොවන බවත් හුදෙක් බැඳි අකුරක් පමණක් බවත්ය.
මුවින් පිට වන, කනින් ඇසෙන ශබ්ද ඇසින් හඳුනාගනු පිණිස යොදාගනු ලබන ලකුණු වර්ගය හැඳින්වීමට පද හතරක් යොදා ගනී. ඒ, අකුර, අක්ෂර, වණ සහ වර්ණයි. ලිවීමට යොදා ගන්නා මේ අකුරු සමූහය අකුරු වැළ, අක්ෂර මාලාව, වර්ණ මාලාව සහ හෝඩිය ලෙස හඳුන්වනු ලැබේ. දැනට සිංහල හෝඩියේ අකුරු ගණන ගැන මතභේදයක් තිබෙන බවත්, ඇතැම් වචනවලදී ‘ඥ’ තනි අකුරක් ලෙස යොදන අවස්ථා ඇති බවත්, බැලූ බැල්මට තනි අකුරක් නොවූවත් කාලයාගේ ඇවෑමෙන් මේ ‘ඥ’ තනි අක්ෂරයක් ලෙස පාවිච්චි කෙරෙන අවස්ථාද වන නිසා මෙය සිංහල හෝඩියට ඇතුළත් කළ යුතු බවත් මහාචාර්යවරයා අවධාරණය කරයි.
බැඳි ‘ඥ’අකුර උපදින්නේ ‘ජ්’ සහ ‘ඤ’ අක්ෂර දෙක සංයෝග වීමෙනි. මෙය එක්තරා දුරකට සත්‍යයකි. එහෙත් එහිදී සැලකිල්ලට නොගැනුණු එක් කරුණක් වේ. එනම්: බැඳි අකුරු නොබැඳ වුව ලිවිය හැකියි. ඒ අනුව අර, රා, දිණ යන වචන පිළිවෙළින් අක්ෂර, රක්ෂා, දක්ෂිණ ලෙසද ලිවිය හැකියි. එහෙත්, ‘ඥ’ අක්ෂරය සම්බන්ධයෙන් ගත් විට: සර්වඥ, ප්‍රඥාව, සවිඥානක යන වදන් සර්වජ්ඤ, ප්‍රජ්ඤාව, සවිජ්ඤානක ලෙස නොබැඳ ලිවිය නොහැකිය. එසේ හෙයින් ‘ඥ’ යන්න ස්වාධීන අක්ෂරයක් ලෙස සලකා හෝඩියට ඇතුළත් කළ යුතු බව සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායකගේ අදහසයි. කිසිදු හෝඩියක ‘ඥ’ අක්ෂරය ස්වාධීන අක්ෂරයක් සේ එකතු නොකළ නිසා ජාතික අධ්‍යාපන ආයතනය විසින්ද එය හෝඩියෙන් බැහැර කරන ලද බව සම්මානිත මහාචාර්යවරයා පැහැදිලි කරයි:

සිංහල අක්ෂර මාලාවේ විකාශනය
“මේ වැරදීම නිවැරදි කිරීමට සිංහල යුනිකෝඩ් හෝඩිය සම්මත කිරීමෙහි ලා පුරෝගාමි වූ (International Standards Organization) ආයතනය 1988 වර්ෂයේදී ග්‍රීසියේ ක්‍රීට් දිවයිනෙහි පැවැත්වූ මහා සභාවට කොළඹ විශ්වවිද්‍යාල පරිගණක ආයතනයේ ආචාර්ය එස්.ටී. නන්දසාර මහතා සහ මම සහභාගි වුණෙමු. මයික්‍රොසොෆ්ට්, ගූගල් හා ඇපල් වැනි ආයතනවල සාමාජිකයන්ටද ඒ අවස්ථාවට සහාභාගි වීමට අවකාශ හිමි විය. කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ පරිගණක ආයතනය විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයත් අන්තර්ජාතික ප්‍රමිති ආයතනයත් මඟින් ඒ බව දන්වන ලදුව, මේ ඉල්ලීම ඉටු කරනු පිරිස අප දෙපළ අන්තර්ජාතික ප්‍රමිති ආයතනයේ 150 වැනි මහා සභාවට ග්‍රීසියේ ක්‍රීට් දූපතට ලංකාව නියෝජනය කරමින් පිටත්ව ගිය අතර, ඒ ගමන සඳහා අනුග්‍රහය එවක විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බර්නාඩ් සොයිසා විසින් දක්වන ලදි. එහිදී සකස් කරන ලද හෝඩිය හැඳින්වූයේ යුනිකොඩ් නමිනි. ග්‍රීසියේ පැවති මහා සභා රැස්වීමේදී අපට යුනිකොඩ් හෝඩියට මේ ‘ඥ’ අක්ෂරය ඇතුළත් කිරීමට අවකාශ හිමි විය. ඒ අනුව සිංහල හෝඩියේ අකුරු ගණන 61ක් විය.
“සිංහලය කියන්නේ ජීවමාන භාෂාවකි. මළ භාෂාවක් නොවන භාෂාවක් අපට කාලීනව වෙනස් වීම්වලට භාජනය කළ හැකියි. භාෂාව කියන්නේ හරියට ඡායාරූපයක් වගේ. එය එක වගේ පවතින දෙයක් නොවෙයි; ගඟක් වගේ ගලනවා. භාෂාවත් ගලාගෙන යනවා; කාලීනව වෙනස් වෙනවා. සිංහලයත් එවැනි වෙනස් වීම්වලට ලක් විය හැකියි. ස්වාභාවිකව අපේ ඡායාරූපය කාලීනව වෙනස් වනවා. එහෙත් ඒ අපිම තමයි. ගංගාවක් වුණත් ස්වාභාවිකව ගලා යන විට ඒ ස්වාභාවිකත්වය හානි නොවන්න අපට එය හරවන්න පුළුවන්. භාෂාවකුත් ඒ වගේ හරවන්න පුළුවන්. එයට භාෂා සැලසුම්කරණය කියලා කියන්න පුළුවන්. අප මේ කතා කරන භාෂා ප්‍රශ්න සම්බන්ධ වෙන්නෙ භාෂා සැලසුම්කරණයට. මේ සිංහල වර්ණ මාලාව විකාශනය වෙමින් එද්දී එය කාලීනව වෙනස්වීම්වලට ලක් වුණා. ‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නොනඟී’ යැයි කුමාරතුංග මුනිදාසයන් විරිත් වැකියේදී සඳහන් කරනවා. කුමාරතුංග මුනිදාසයන්ගේ ‘ව්‍යාකරණ විවරණය’ නමැති කෘතියේ අක්ෂර 54ක් දැක්වෙනවා. ඒ හෝඩියේ අද අප භාවිත කරන සඤ්ඤක අක්ෂර නෑ.
“සිංහල හෝඩියේ අවිධිමත්භාවය පිළිබඳ ප්‍රශ්නයට මට මුලින්ම මුහුණපෑමට සිදු වුණේ 1992දී ලන්ඩන් විශ්වවිද්‍යලයානුබද්ධ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යයනායතනයේ සිංහල මහාචාර්යවරයා වශයෙන් විදේශික උපාධිධාරීන්ට සිංහල උගන්වන අවස්ථාවේදීයි. එහිදී පළමුවෙන් ඇති වූයේ සඤ්ඤක අක්ෂර පිළිබඳ ගැටලුවයි. සිංහල සාහිත්‍යයේ සඤ්ඤක අක්ෂර 4ක් හමු වුවත් ඒ අක්ෂර සිංහල හෝඩියේ නොතිබීමයි. මේ අකුරු සිදත් සඟරා හෝඩියෙත් ඇතුළත් නූවුවත් ඒ කෘතියෙහිම සිදත් සඟරා, ලිඟු, මඟුල්, දඬු, සඳ, ගඳකිළි සහ බිඹු ලෙස සිදතෙහිද යොදා ගෙන තිබෙනවා.
“එසේම මා හට මතු වූ තවත් ගැටලුවක් වූයේ ‘ඥ’නමැති නාසික්‍ය අක්ෂරයයි. මේ අක්ෂරය යුනිකෝඩයේ යොදන්නට පෙර වෙනත් කිසිදු සිංහල හෝඩියක යොදා නැත. එය ස්වාධීන අක්ෂරයක් නොවන බව ඇතැමුන්ගේ මතයයි. මෙය ‘ඤ’ අක්ෂරයට සමාන ‘ඥ’ අක්ෂරය ස්වාධීන අක්ෂරයක් ලෙස අක්ෂර මාලාවට ඇතුළත් කළ යුතුයි.
“මෙරට භාවිත කරන ඉංග්‍රීසි භාෂාවේ බලපෑම සහ තවත් නොයෙක් හේතු නිසා අකුරු ගණන 60 දක්වා වෙනස් වෙලා තිබුණත් ‘ඥ’ අක්ෂරය එයට ඇතුළත් කර නැහැ. ‘ඥ’ නමැති නාසික්‍ය අක්ෂරය ඇතුළත් කර මේ හෝඩියත් යාවත්කාලීන විය යුතුයි.
“සිංහල භාෂාවේ ප්‍රගමනය සිදු කළ යුතු සහ කළ හැකි බොහෝ දේ තිබෙනවා. වි.ජ.මු. ලොකුබණ්ඩාර අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී ජාතික අධ්‍යාපන ආයතනයට දුන් උපදෙස් අනුව සිංහල හෝඩිය යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට මණ්ඩලයක් පත් කරන්න කියලා කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ වාර්තාව ‘නූතන ලේඛන ව්‍යාවහාරය’ නමින් පොතක් හැටියට පළ කළා, ඒ පොතේ ඟ, ඦ, ඬ, ඳ, සහ ඹ යන සඤ්ඤක අකුරු 5 සහ ‘ෆ’ අක්ෂර ලෙස හෝඩියට ඇතුළත් කර තිබුණා. ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනයේ හෝඩියේ අක්ෂර 60කි.
“එහෙත් සර්වඥ, කෘතඥ, සංගීතඥ, විශේෂඥ, නීතිඥ, ආඥාව, සවිඥානික, ඥාන, ඥානකෝෂය, ඥානවන්ත, ඥානාර්ථ, ඥානාලෝකය, ඥානේන්ද්‍රිය, අඥාන, ඥාති, ප්‍රඥාව, ප්‍රඥාලෝකය, සංඝාඥාව… ආදි වචන රැසක යෙදෙන ‘ඥ’ අකුර ඒ හෝඩියේ නැහැ. මම අවධාරණයෙන් ඉල්ලා සිටියා මේ අකුරත් හෝඩියට එකතු කරන්න කියලා. මගේ තර්කය වෙන්නේ ලේඛන ව්‍යවහාරයේදී අපි ‘ඥ’අකුර පාවිච්චි කරනවා නම්, එය හෝඩියට අතුළත් කළ යුතු කියන එකයි. කමිටුවේ හිටපු අය ‘ඥ’ සම්පූර්ණ අක්ෂරයක් නොවන බව සහ වෙනත් විවිධ හේතු ඉදිරිපත් කරලා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
“කෙසේ වුවත් යුනිකෝඩ්, අන්තර්ජාතික ආයතනය මඟින් ලෝකයේ තිබෙන සියලු භාෂා පරිගණකය ඔස්සේද සම්බන්ධ කරන නිසා, ඒ ඒ භාෂාවල තිබෙන අක්ෂර ගණන සම්බන්ධයෙන් සම්මතයක් ඇති කරගත්තා. එහිදී අපේ හෝඩියේ මේ ‘ඥ’ අක්ෂරයත් සමඟ අක්ෂර 61ක් බවට ඇතුළත් කරගනු ලැබුවා.”
ඒ අතරම, මෙතෙක් හෝඩිවල පණකුරු වශයෙන් දක්වා ඇති ඏ (ඉලු) සහ ඐ (ඉලූ) යන ස්වර අක්ෂර 2 සිංහල හෝඩියෙන් ඉවත් කිරීම වරදක් නොවන බවටත්, මේ පණකුරුවලින් සෑදුණු එක් පදයක් වත් සිංහලයේ නැති නිසා එය ඉවත් කළ යුතු බවටත් මහාචාර්යවරයා තර්කයක් ගොඩනඟයි. ඒ සම්බන්ධයෙන් ඔහු පළ කළේ මෙවන් අදහසකි:
“අපේ හෝඩියේ තවත් අවශ්‍ය නොවන අකුරු දෙකක් තියෙනවා; ඒ තමයි ඏ (ඉලු) සහ ඐ (ඉලූ) අකුරු දෙක. ඒ අකුරු 2 අපේ හෝඩියට ගත්තට කිසිම වචනයක් ලියද්දි පාවිච්චි වෙන්නේ නැහැ. ඒ නිසා මා යෝජනා කළා මේ අකුරු 2 හෝඩියෙන් ඉවත් කරන්න කියලා. ඒ අතර, සිංහල හෝඩියට සංවෘත ‘අ’ සහ ‘ආ’ යන ශබ්ද දෙක ඇතුළත් කරන්න පුළුවන්. උදාහණයක් ලෙස: මේ දක්වා ‘අර්නස්ට්’ කියලා ලියපු නම මේ අකුරු පාවිච්චි කරලා අ’නස්ට් කියලා ලියන්න පුළුවන්. අ, ආ, ඇ, ඈ අකුරුවලට පසු මේ අක්ෂර දෙක යොදන්න පුළුවන්.
“මේ සිංහල වර්ණ මාලාව ගැන මතභේද තිබෙනවා. ඒක ගැන වාදයක් නැහැ. සපත්තු කුට්ටම් දෙකක් තිබෙනවා කියලා හිතමු. මේ සපත්තු කුට්ටම් දෙකෙන් එක සපත්තු කුට්ටමක් පරණ එකක්, අනෙක් සපත්තු කුට්ටම අලුත් නම්, කැමැති අයට පරණ එකත්, කැමැති අයට අලුත් එකත් දාගන්න පුළුවන්. කැමැති නැති නම් පාවිච්චි කරන්නත් අකැමැති නම් පාවිච්චි නොකර ඉන්නත් පුළුවන්!”
නව හෝඩිය ගැන සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායකගේ අදහස එයයි.