Home » මිනිසාමයි ලොව දෙවියන් වන්නේ…

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ…

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment
ෂර්මිලා බංදුනී දංවත්ත

වැරැන්ඩා එකේ එල්ලලා තිබෙන වෙසක් කූඩුවල රැලි ‘සිරි සිරි’ ගාමින් සුළඟේ නටනවා. හමන සුළඟේ තියෙන්නෙත් ඇඟට දැනෙන මොකක්දෝ අමුතු ගතියක්. ඒ ගතිය දැනෙන්නේ වෙසක් කාලයටම විතරයි.

අද ඉර පෑවුවේ මඳක් පමා වෙලා. ඊයේ රාත්‍රී ඇදහැලුණු වර්ෂාවෙන් පසුව ගස් වැල් පණගහලා ඇවිත්. තාප්පය අද්දරට වන්නට සිටුවා ඇති කිරි ඉද්ද ගස් දෙකම සුදු රෙදි ඇතිරුවාක් මෙන් මල්වලින් වැහිලා.

“පූජා කරන්නවත් මලක් නැහැ.” කියමින් මීට වසර දෙකකට පමණ පෙර අම්මා ගමෙන් ගෙනා අතු කැබලි දෙක සිටුවා ටික දිනක් ගතවෙද්දී කොළ හැලී වේළුණු ස්වභාවයක් පෙන්නුම් කළත් හොඳ වැස්සකට පස්සේ දලු ලා වැඩුණේ බලා හිඳිද්දී වාගෙයි. හවසට බුදුන් වඳින්න, දුවගේ පෙර පාසලට ගෙනියන්න මේ ගස් දෙකේ මල් වැඩිත් එක්ක. වැඩි සාත්තුවක් නැති වුණත්, අඩුපාඩුවක් නැතිව මල් දෙනවා. අම්මා ඉඳහිට ආපු දවසකට පස් බුරුල් කරලා, හාල්පානු වතුර ටිකක් එහෙම දාලා සාත්තු කරනවා. රැකියාවට යෑමයි ගෙදර වැඩයි එක්ක මගෙන් නම් ඔය දේවල් මඟහැරෙනවා.

“අද හවස පන්සල් යන්න තියෙන බව දැනිලද කොහෙද මල් ගොඩක් පිපිලා…” මම අනෙක් අයට ඇහෙන්න කිවුවත් දුව විතරයි “හ්ම්!” කිවුවේ. අනෙක් දෙන්නා බරටම වැඩ.

සුරේන් ගෙදර ඉන්නේ කාලෙකට පස්සේ. සුරේන් රැකියාව කරන්නේ පෞද්ගලික හෝටල් ජාලයක ගණකාධිකාරිවරයකු හැටියට. හුඟ වෙලාවට නිවාඩු දවස්වලත් වැඩ. හැබැයි ඒවට හරියන්න හොඳට ගෙවනවා. පුතාට දැන් අවුරුදු දහසයක් වෙනවා. සාමාන්‍ය පෙළ ලියන්නේ ලබන දෙසැම්බරයේ. පුතාට වඩා අවුරුදු දොළහක් බාල දුව තවම පෙර පාසල් යනවා.

වෙනදට සුරේන් වෙසක් කූඩු ගේන්නේ සල්ලිවලට; නැත්නම් උණ පතුරු කූඩු ගෙනල්ලා ගෙදර කොළ අලවනවා. මේ පාර පුතා කිවුවා එයාට කූඩු ගෙදරම හදන්න ඕනෙයි කියලා. සුරේන් කූඩු හදන තැනකින් උණ කෝටු ටිකකුයි රබර් පටි ටිකකුයි ගෙනත් දුන්නා. පසුගිය ටිකේම නිදි මරාගෙන කළේ කූඩු හදන එක. සුරේන්වත් මංවත් විරුද්ධව වචනයක්වත් කිවුවේ නැහැ.

“ළමයි වුණහම ඔය වැඩත් කරන්න ඕනැනේ. මතකනේ අපි ඒ කාලේ පැටව් කූඩුත් තනියම හදනවා?” සුරේන් කිවුවේ, මම පුතාට මොනවත් කියයි කියලා වෙන්න ඇති.

ඊයේ පුතා ඉස්කෝලේ සිල් ගත්තා. සිල් පවාරණය වෙලා ආ වෙලාවේ ඉඳලම සව් කොළ ඇලෙව්වා. සුදු පාට කූඩු දහයක්. රැලි කපන්න බාර වුණේ මට. දැන් නම් කූඩු දහයෙම වැඩ ඉවරයි. ඊයේ රෑම වැරැන්ඩා එකේ විදුලි බුබුළු හයිකරපු සුරේන් කූඩු එල්ලන්න සකස් කරලා දුන්නා.

ඔය අතරෙදි තමයි දුවට සල් උයනක් හදලා ඉල්ලුවේ. ඊයේ දුවගේ පෙර පාසලේ වෙසක් උත්සවය. පෙර පාසල හරිම ලස්සනට සරසලා තිබුණා. එහි තිබුණු සල් උයනක් දැකලා දුවටත් ඕනැ වුණා සල් උයනක් හදන්න. සුරේන් වෙනදාට වඩා වේලාසන ගෙදර ආ නිසා තාත්තා ආ වෙලාවේ ඉඳලම දුව සල් උයනක් හදලා ඉල්ලනවා. අද උදේම ගිහින් ඕනැ කරන බඩු ගෙනාව සුරේන් සල් උයන හදනවා. කූඩු හදලා අවසන් කරපු පුතා තාත්තට උදවු වෙනවා. දුව එතැන වාඩි වෙලා පොඩිම දෙයක්වත් මඟහැරෙයි කියලා බයේ වගේ බලා ඉන්නවා.

ඈත ශබ්ද විකාශ යන්ත්‍රයකින් ඇහෙන්නේ ධර්ම දේශනාවක්. හන්දිය පැත්තෙන් ඇහෙන්නේ මොහිදීන් බෙග්ගේ බුද්ධාලම්බන ගීත.

“දන්සලේ වෙන්න ඇති…” මට කියවුණා.

“අපිත් යමු දන්සලට!” දුව මගේ ළඟට දුවගෙන ආවා.”

“හවසට පන්සල් යනවනේ… එන ගමන් ඒ පැත්තටත් යමු” ඒ පුතා.

“පුතේ, දන්සල් දෙන්නේ වෙසක් බලන්න දුර බැහැර ඉඳලා එන අයට, දුගී මගී යාචකයන්ට. ගෙදර අත ළඟ තියාගෙන පෝලිමේ ඉඳලා අපි ඒ කෑම කාලා එන එක හරි නැහැ.” මගේ කතාවට දුව මූණ නරක් කරගත්තා.

“වෙසක් දවසට අපි හැමෝම එකයි නේ අම්මේ!” පුතා කිවුවා.

“ඔව් අම්මේ, අද විතරනේ…” දුවත් පණ්ඩිතකමට කිවුවා.

“මෙන්න බලන්න දූ…” සුරේන් කතා කළේ දුවට. සල් ගසක් යට ඉන්න සිද්ධාර්ථ කුමාරයාගේ රැස් වළල්ල කරකැවෙනවා. නෙළුම් මල් හත ලස්සනට පිපිලා. මේ වගේ වැඩ කරන්න සුරේන්ට මනා හැකියාවක් තියෙනවා. සරසවියෙදි හමු වෙලා, විවාහ වෙලා, නුගේගොඩ පදිංචි වෙලා හිටියත් අපි දෙන්නම ප්‍රාදේශීය නගරවලින් පැමිණි අය. කුඩා අවධියේ වෙසක් සැරසිලි කරපු හැටි අපට තාමත් හොඳට මතකයි.

“තාත්තේ, මේ රැස් වළල්ල කරකැවෙන්නේ කොහොමද?” දුව ඇහුවේ පුදුමයෙන්.

“රැස් වළල්ලට මෝටරයක් සම්බන්ධ කරලා තියනවා දුවේ. ඒකෙන් තමයි රැස් වළල්ල කරකැවෙන්නේ.” දුවට නොතේරුණත්, සුරේන් පැහැදිලි කරලා දෙනවා.

ඒ කතාවත් එක්ක මගේ හිත ඇදී ගියේ අතීත සිද්ධියක් ඔස්සේ. මගේ ගම හොරණ නගරයට නුදුරින් පිහිටා ඇති ගමක්. එකල හොරණ නගරයේ තිබුණු එකම ලයිට් බඩු කඩය අයත්ව තිබුණේ මගේ මහප්පාට. ඒ කියන්නේ මගේ පියාගේ එකම සොහොයුරාට. මහප්පාට හිටියේ දූලා දෙන්නෙක්. ඔවුන් දෙදෙනාම මට වඩා වසර දහයකටත් වඩා වැඩිමල්. ඒ නිසාම මහප්පා මට බොහෝ සෙයින් ආදරය කළා. එකල මා ඉගෙනුම ලැබුවේ නගරයේ පාසලක. මගේ අම්මත් තාත්තත් ගුරුවරු; මහප්පත් ගුරුවරයෙක්. කලින් විශ්‍රාම ලබලයි ව්‍යාපාර පැත්තට යොමු වෙලා තියෙන්නේ.

අම්මටත් තාත්තටත් නිවාඩු ගැනීමට නොහැකි අවස්ථාවලදී මගේ අවශ්‍යතාවන්ට මෙන්ම අසනීපයක් වූ විට රැගෙන යෑමට පාසලට පැමිණෙන්නේ මහප්පායි. ඒ නිසා සමහර ගුරුවරුන් මෙන්ම ළමයින් ද හිතාගෙන හිටියේ මගේ තාත්තා මහප්පා කියාය.

මා පාසල නිම වූ පසු පාර අයින දිගේ මහප්පාගේ කඩයට යනවා. එකල හොරණ නගරය අද මෙන් ජනාකීර්ණ නැහැ. එවකට තාත්තා සේවය කළේ නගරයට ආසන්න පාසලක. තාත්තා පාසල නිම වී පැමිණ මා නිවෙසට කැඳවාගෙන යනවා. විශේෂයෙන් යමක් සිදු නොවී නම් හැමදාමත් දිනචරියාව යෙදී තිබුණේ මේ ආකාරයට. වෙසක් පොහොය ආසන්න වනවිට ලයිට් බඩු කඩය විසිතුරු බඩු භාණ්ඩවලින් මෙන්ම පාරිභෝගිකයන්ගෙන් ද පිරී යනවා. ඒ කාලයට කඩේ පිටුපස බිම වාඩි වූ කාන්තාවන් කිහිපදෙනකු විදුලි බුබුළු වැල් අමුණනු මා බලාසිටින්නේ ආසාවෙන්.

ඒ සිද්ධිය සිදු වූයේ වෙසක් පොහොය ආසන්න දිනයකයි. වෙනදා වගේම පාසල නිම වී කඩයට පැමිණි මා පුටුවක වාඩි වී බලාසිටියේ මිනිසුන් බඩු ගන්නා දෙසයි. වෙනදාට වඩා වැඩි පිරිසක් ඇවිත් හිටියේ වෙසක් සැරසිලි මිල දී ගැනීම සඳහායි. ඒ වන විට මම හිටියේ හයේ පන්තියේ පමණ වන්නට ඇති. පාසල් නිල ඇඳුමෙන් සැරසුණු පිරිමි ළමයකුත් මේ අතර හිටියා. මට හිතෙන විදියට ඒ ළමයා එවකට අටේ පන්තියේ පමණ ඉගෙනුම ලබන්න ඇති. ඔහු හිටියේ බඩුගන්නන් අතර පසෙකට තල්ලු වෙමිනුයි.

“මෙතැන මෝටර් දොළහක් තිබුණා. දැන් තියෙන්නේ එකොළහයි.” වෙළෙඳ සේවිකාවක් එක්වරම කෑගහන්න පටන්ගත්තා. කවුරුත් කලබල වුණා. හැමෝම මුහුණට මුහුණ බලාගත්තා. එක් විටම සේවිකාව අර ළමයා දෙසට අත දිගුකර,

“මෙයා තමයි මෝටර් ඉල්ලුවේ. මම පෙට්ටිය කවුන්ටර් එක උඩ තියලා එක මෝටරයක් චෙක් කරගෙන ඇවිත් බලනකොට මෝටරයක් අඩුයි. චෙක් කරලා පෙන්නුවට පස්සේ මේ ළමයා කියනවා මෝටරය එපා කියලා

මෙයාම තමයි ගන්න ඇත්තේ…” කිවුවේ විශ්වාසයෙන්.

එතැන හිටපු වැඩිමහලු පුද්ගලයෙක් ළමයාට යන්න නොදී අල්ලාගත්තා.

“ඇත්ත කියනවා! ගත්තා නම් දෙනවා…”

ළමයා හොඳටම බය වෙලා. ඒත් ඔහු කීවේම ගත්තේ නැති බවයි.

“කෝ පෙන්නනවා එහෙනම් සාක්කු!” තවත් පුද්ගලයෙක් කිවුවා. “නැත්නම් පොලීසියට බාර දෙනවා. ලේසි වෙන්නේ නැහැ පොලීසි ගියොත් එහෙම…”

හැමෝම ළමයා වට කරගෙන. ළමයාගේ ඇස්වල කඳුළු පිරිලා.

බැහැරක ගොස් සිටි මහප්පා නැවත පැමිණියෙත් ඒ වෙලාවේදීමයි. වෙළෙඳ සේවිකාව මහප්පාට සිද්ධිය පැහැදිලි කළේ මෝටරය ගත්තේ ළමයාම බව තමන්ට සහතික බව කියමිනුයි.

“පුතා… ඔයා ගත්තා නම් මෝටරය ආපහු තියන්න. මම පොලීසි යන්නේ නැහැ. ඉස්කෝලෙට කියන්නෙත් නැහැ. ඔයා පොඩි දරුවෙක් නිසයි මම මෙහෙම කියන්නේ.

එහෙම කියන කොටම ළමයා සාක්කුවට අත දමලා, මෝටරය අරගෙන මහප්පාගේ අතේ තිබ්බා; එහෙම තියලා කඩෙන් එළියට බැහැලා දුවන්න පටන්ගත්තා.

“මම ඔය ළමයව දන්නවා. මේ ළඟ ඉන්නේ. බොහොම දුප්පත් මිනිස්සු…” එතැන හිටපු මහප්පා අඳුනන කාන්තාවක් කිවුවා.

ඒක ඇහෙන කොටම මට ඇඬුණා. හේතුව මට තේරුණේ නැහැ. ඒත් මම මහ හයියෙන් ඇඬුවා; නවත්තගන්න බැරි තරමටම ඇඬුවා. ළමයා ගැන මට දැනුණේ ලොකු දුකක්. මේ තරම් ගොඩක් බඩු තියන තැනකින් ඒ ළමයට පුංචි මෝටරයක් දෙන්න බැරි වුණේ ඇයි? මට හිතාගන්න බැරි වුණා. මම අඬන සද්දෙට මහප්පා දුවගෙන ආවා.

“ඇයි දුවේ අඬන්නේ?”

මම මොකුත් කිවුවේ නැහැ. මහප්පාගේ මුහුණ බලන්න බැරි හැඟීමක් මට ඇති වුණා. එවිටම තාත්තා මා රැගෙන යෑමට පැමිණි නිසා බෑග් එක පිටේ එල්ලාගත් මා තාත්තාත් සමඟ ගෙදර ගියා. යන අතරත්, ගෙදරට ගියායින් පසුවත් අම්මාටවත් තාත්තාටවත් මා මොකුත්ම කීවේ නැහැ. ගෙදර ගොස් කෑම කා නින්දට ගිය මම ඇහැරෙනකොට රෑ බෝ වෙලා. මම ඇහැරෙනකොට අම්මයි තාත්තයි බිම පැදුරක් එළාගෙන වෙසක් කූඩු අලවනවා. දහවල් සිදුවීම නිසා ඒ වෙන කොටත් මම හිටියේ හෝන්දුමාන්දු ගතියෙන්. අම්මා කපන රැලි දිගහරින්න මට දුන්නා. ඒ විදියට අපි වෙසක් කූඩු අලවමින් ඉන්නා අතරේ තමයි කාර් එකක් වත්තට ඇතුළු වුණේ. ඒ මහප්පාගේ කාර් එක.

කලබල වුණු තාත්තා ඉක්මනට එළියට බැස්සේ “ඇයි අයියේ හදිස්සියක් ද?” කියලා අසාගෙන.

මොකුත් නොකියා හිනා වීගෙනම ගෙට ගොඩ වුණු මහප්පයි, ලොකු අම්මයි මගේ අතට පාර්සලයක් දුන්නා. පාර්සලයේ තිබුණේ අකුළන චීන පහන් කූඩු කට්ටලයක්.

“දුව අඬපු එක ගැන මෙයාගේ හිතට හරි නැහැ. අපි ආවේ දැන් දුවට මොකද බලන්න…” ලොකු අම්මා කිවුවා.

දහවල් සිදුවීම පිළිබඳ හාංකවිසියක්වත් නොදන්නා අම්මත් තාත්තත් මූණට මූණ බලාගත්තා. සිද්ධිය තාත්තලාට විස්තර කළේ මහප්පා.

“දුව නිසා අද මම ලොකු පින්කමක් කරගත්තා. හැම වෙසක් පෝයකටම මම පන්සල් ගණනාවකටම වෙසක් බඩු නොමිලේ හරි, සහනදායි මුදලකට හරි දෙනවා. ඒත් අද ඒ ඔක්කොටම වැඩිය හිත සැනසෙන පිනක් මම දුව නිසා කරගත්තා. මම ගියා අර ළමයව හොයාගෙන. ඒ සිද්ධිය වෙන වේලාවේ එතැන හිටියනේ ඒ ළමයව අඳුනන ගෑනු කෙනෙක්. ඒ මනුස්සයගෙන් විස්තර අහගෙන මම ගියා ඒ ගේ හොයාගෙන. හරිම අසරණ මිනිස්සු. තව ළමයි දෙතුන් දෙනෙකුත් ගෙදර හිටියා.

හරියට ගෙයක් දොරක්වත් හදාගෙන නැහැ. තාත්තත් කුලී වැඩලු කරන්නේ…

“මම මෝටරයකුයි රැස් වළල්ලකුයි විතරක් නෙවෙයි, සල් වියනකට ඕනෑ කරන අනෙත් බඩුත් ගෙනිහින් දුන්නා, තව පොඩි බල්බ් සෙට් එකකුත් එක්කම. ළමයා නම් මුලින් බය වුණා. මම එන්නේ ගෙදරට හොරකම ගැන කියන්න වෙන්න ඇති කියලා. පස්සේ මම එන්න හදන කොට දණගහලා වැඳලා, මම ආයෙම කවදාවත් නරක වැඩක් කරන්නේ නැහැ කියලා කිවුවා. ඒ වෙලාවේ ඒ ළමයගේ ඉරියව් දැක්කාම මටත් හිතුණා ඒ කතාව ඇත්තටම කියපු දෙයක් කියලා.

“දුව නිසා තමයි මං ඒ ගමන ගියේ. ඒකෙන් මගේ හිත සැහැල්ලු වුණා. වෙසක් දවස ලොකු පොඩි, පෝසත් දුප්පත් අපි හැමෝටම එක වගේ සතුටින් ඉන්න අයිතියක් තියන දවසක්…”

එහෙම කියපු මහප්පා මා ළඟින් වාඩි කරවාගෙන හිස අතගෑවා.

එවන් මිනිසකුට තිබුණේ කෙටි ආයුෂක්. ඒ සිද්ධිය සිදු වී ටික කලකදී මහප්පා මෙලොව හැර ගියා. මහප්පා හා බැඳුණු සොඳුරු මතක මොන තරම් තිබුණත්, මහප්පා මතක් වන හැමවිටකම මේ සිද්ධිය මගේ සිහියට නැඟෙනවා. මහප්පා වැනි කාර්යබහුල පුද්ගලයකු එවන් සුළු සිද්ධියක් ඔස්සේ කුඩා දරුවකු සොයාගෙන ගියේ මගේ කඳුළුවලට සංවේදී වූ නිසයි. එවන් සංවේදී හිතක් ලෙහෙසියෙන් කෙනකුට පිහිටන්නේ නැත. මහප්පා සිදු කළ බොහෝ යහපත් ක්‍රියා අතර මේ සිදුවීම මගේ හදවතේ සදා නොමැකී තිබෙනවා.

“තේකක් බොමු ද…?” සල් උයනේ වැඩ නිම කළ සුරේන් ඇහුවා.

“හා…” මාත් ඉඳගෙන හිටි තැනින් නැඟිට්ටා.

“මිනිසාමයි ලොව දෙවියන් වන්නේ…” ඈතින් ඇසෙනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division