ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා ක්‍රියාත්මක වන්නේ 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත අනුව ය. නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක සභාපති ධුරය ලබා ගැනීම සඳහා අදාළ පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායම 50% ඉක්මවූ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි කර ගත යුතු ය. එසේ නොවන අවස්ථාවකදී පළාත් ලේකම්වරයා හෝ කොමසාරිස් විසින් තේරී පත් වූ සභිකයන් අතර සිදු කෙරෙන ඡන්ද විමසීමකින් සභාපතිවරයා නම් කරනු ලැබේ.
බොහෝ දේශපාලන පක්ෂ මේ දිනවල කතා කරන්නේ අනෙකුත් පක්ෂ හා කණ්ඩායම්වලට ලැබී තිබෙන ආසන ජාතික ජන බලවේගයට විපක්ෂ ආසන ලෙසය. එය ජනතාව මුළා කිරීම සඳහා යොදා ගන්නා වැරදි අර්ථකථනයකි. යම් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට හෝ ඡන්දය දෙන්නේ මැතිවරණයට ඉදිරිපත් වූ සෙසු පක්ෂ හා කණ්ඩායම්වල ප්‍රතිපත්ති එකී ඡන්දදායකයන් විසින් අනුමත නොකරන නිසා ය. එබැවින් එක් පක්ෂයකින් හෝ කණ්ඩායමකින් තේරී පත් වූ මන්ත්‍රීවරු අනෙකුත් පක්ෂවලට හා කණ්ඩායම්වලට ඉඳුරාම විරුද්ධ අය වෙති.
වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගත් පක්ෂයට හෝ කණ්ඩායමට විරුද්ධව සෙසු සියලු පක්ෂ ලබා ගත් ආසන විපක්ෂ ආසන ලෙස අර්ථ දැක්වීම සාකල්‍යයෙන් ම වැරදි ය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ සදාචාරයට ද පටහැණි ය. එබැවින් විපක්ෂයේ අපට අච්චර තිබෙනවා, මෙච්චර තිබෙනවා යැයි නඟන අඬහැරය ජනතාව මුළා කිරීම සඳහා කරන පුහු ඝෝෂාවකි. ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගත් පක්ෂයට නගරාධිපතිකම හෝ සභාපතිකම ලබා දීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පියවර වන්නේ ය. ඊට ජාජබ ද, සජබ ද, තමිල් අරසු කච්චි ද යන්න කිසිසේත් ම අදාළ නො වේ.
එතනදී ප්‍රාදේශීය සභා පනතට අනුව 50% හරස් වන නිසා පළාත් ලේකම් විසින් පවත්වන රහස් ඡන්දයකින් සභාපති, උප සභාපති තෝරා පත් කර ගැනීම නීත්‍යනුකූල තත්ත්වය වේ. ඒ අනුව ලබන ජූනි 2 වන විට ප්‍රාදේශීය සභා නියමිත පරිදි සක්‍රිය විය යුතු ය. බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගන්නා පක්ෂයට හෝ කණ්ඩායමට සභාපති තනතුර නිල වශයෙන් හිමි වනවා වෙනුවට 50%ක බැරියර් එකක් දමා තිබීමෙන් පෙනෙන්නේ ප්‍රාදේශීය සභා පනතේ සකස් විය යුතු අඩු ලුහුඬුකම් පවතින බව ය.
ඕනෑම පක්ෂයකින් තේරී පත් වන මන්ත්‍රීවරු අනෙක් පක්ෂවලට හා කණ්ඩායම්වල ප්‍රතිපත්තිවලට විරුද්ධ අය වෙති. ඔවුන් ජාතික ජන බලවේගයට හෝ ආණ්ඩුවට විරුද්ධ අය ලෙස පෙන්වීමට වෑයම් කිරීම කබරගොයා තලගොයා කිරීමකි. සභාපතිවරයා තේරීමේදී ඡන්දය ගණන් කරන අවස්ථාවක් වෙතොත් ස්වාධීන කණ්ඩායම්වලින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සමඟ යම් එකඟතාවකට පැමිණියත් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ දේශපාලන පක්ෂ සමඟ එකඟතා ඇති කර ගැනීමට ක්‍රියා නොකරන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසා ඇත.
ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය මුළුමනින් ම වෙනස් වී තිබේ. එජාප, ශ්‍රීලනිප පැරණි නායකයන් විසින් නඩත්තු කළ, ගහ මරා ගත්, ගෙවල් ගිනි තැබූ, වෛරී මැතිවරණ සම්ප්‍රදාය මුළුමනින් නතර කරන්නට වර්තමාන ආණ්ඩුවට හැකි වී තිබේ. ජනාධිපතිවරණය, මහමැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන අවස්ථා තුනේදී ම මැතිවරණ සම්ප්‍රදායේ එකී ශිෂ්ටසම්පන්න වෙනස සහතික කළ හැකි වීම ශ්‍රී ලංකාවේ ජනතාව මේ තරම් ඉක්මනින් අපේක්ෂා නොකළ පූර්වාදර්ශයකි.
ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල ව යම් ප්‍රාදේශීය සභා බලප්‍රදේශයක වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කර ගත් දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ඉදිරි කාලය තුළ ප්‍රාදේශීය සභාවට නායකත්වය දීමට අවස්ථාව සලසා දෙනවා වෙනුවට, මන්ත්‍රීවරුන් මුදලට ගැනීම ආදි ජනතාව ප්‍රතික්ෂේප කළ ජඩ සංස්කෘතියේ අපරගාමි පැතිකඩ නැවතත් ක්‍රියාවේ යොදමින් රට ආපස්සට ඇදීමට කිසිවකු ක්‍රියා කරනවා නම්, වෙනසක් අපේක්ෂා කළ ජනතාව ඊට එරෙහි විය යුතු ය.
පරාජිත දේශපාලන පක්ෂ සාමූහික කුමන්ත්‍රණ මඟින් ජන මතය යටපත් කිරීමට උත්සාහ කරනවා නම් ඊට ද ඉඩ දිය යුතු නැත.