රජයේ සංචාරක ඉලක්ක සාක්ෂාත් කර ගනිමින් ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින සංචාරක පැමිණීම් පිළිගැනීමට කොළඹ නෙළුම් කුලුනේ පිහිටි සුවිශේෂී කැරකෙන අවන්හල වන Blue Orbit by Citrus, පෙර නොවූ ආහාර වට්ටෝරු රැසක් සමඟ සූදානම් වෙමින් සිටී.
දකුණු ආසියාවේ උසම සහ එකම කැරකෙන අවන්හල ලෙසින් විරුදාවලි ලත් කොළඹ නෙළුම් කුලුනේ 27 වැනි මහලේ පිහිටා ඇති මෙම අවන්හල, ආහාර රස විඳින අතරේ කොළඹ නගරයේ අංශක 360ක සුන්දර දසුන් නරඹමින් එක් වටයක් හෙමින් කරකැවීමට පැයක ඉඩක් සලසා තිබේ.
ශ්‍රී ලංකා, ඉතාලි, ඉන්දියානු, චීන, බටහිර, අරාබි, ජපන් ඇතුළු රටවල් සහ සංස්කෘතීන් හතක ප්‍රණීත ආහාර වට්ටෝරු සහ ලෝකයේ විරල චීස් ඇතුළු කිරි ආහාර, සලාද වර්ග සහ ජපන් සුෂී වැනි සුවිශේෂී ආහාර වර්ග සඳහා ද මෙහි වැඩි ඉඩකඩක් වෙන් කර තිබේ. ඒ, විශේෂයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ඉලක්ක කොට ගෙනය.
2023 දෙසැම්බර් 12 වැනි දින
ආරම්භ කළ මෙම කැරකෙන අවන්හල මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන බොහෝ සංචාරකයින් එක් වරක් හෝ ගොඩවන අවන්හලක් බවට පත්ව තිබේ. ඒ අනුව දිවා සහ රාත්‍රී ආහාර වේල් සඳහා සංචාරකයින් තුන්සියයකට ආසන්න පිරිසක් මෙම කැරකෙන අවන්හලේ සිට කොළඹ නගරයේ සිරි විඳිමින් ශ්‍රී ලාංකීය සූපවේදීන් අතින් නිම වූ ආහාර රස විඳිති. එළැඹෙන අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා වූ සංචාරක සමය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ සහ දේශීය සංචාරකයින් තව තවත් උණුසුම්ව පිළිගැනීමට සියල්ල සූදානම් බව නෙළුම් කුලුනේ Blue Orbit අවන්හලේ කාර්ය මණ්ඩලය පවසයි.
විශේෂයෙන් රස ගුණ සහ අලංකාරය සපිරි ශ්‍රී ලාංකේය ආහාර, දේශීය එළවළු පලතුරු ප්‍රවර්ධනය කිරීම මඟින් සංචාරකයින්ට ශ්‍රී ලංකාව අමතක නොවන ගමනාන්තයක් බවට පත් කිරීමට කටයුතු කරන බව, බ්ලූ ඔබිට් කැරකෙන අවන්හලේ මෙහෙයුම් කළමනාකරු සුපුන් ගුණවර්ධන පැවසීය.