Home » බටහිර භික්ෂුවගේ ආරම්භය

බටහිර භික්ෂුවගේ ආරම්භය

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment
සුභද්‍ර භික්ෂු නමින් 1888 දී සම්ම­ර්මන් ලියූ පොතක් සහ ඉංග්‍රීසි ජාතික ආනන්ද මෛත්‍රෙය හිමි

බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී බුදු දහම පැතිර පැවතියේ පැරණි ඉන්දියාව තුළ පමණක් බව ඉතිහාසඥයන්ගේ මතය වේ. එහෙත් ආචාර්ය පරවාහැර පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් පළ කරන ලද ඓතිහාසික සාගර සම්බන්ධ පර්යේෂණයක බුදුන් වහන්සේගේ ශ්‍රවකයකු වූ ‘පුණ්ණ’ නම් භික්ෂුව තම උපන් භූමිය වූ මැදපෙරදිග බුදූන් වහන්සේ ජීවමාන කාලයේදීම බුද්ධාගම ස්ථාපිත කළ බව සඳහන් කරයි. කෙසේ වෙතත් බුදු දහම ලොව පුරා විහිද යන්නේ අශෝක අධිරාජයාගේ ධර්මදූත මෙහෙවරත් සමඟිනි.

1950 කොළඹ ධර්ම­දූත සංග­මය . නය­න­ති­ලෝක හිමි මැද

1950 කොළඹ ධර්ම­දූත සංග­මය . නය­න­ති­ලෝක හිමි මැද

යුරෝපය තුළ මුල්වරට බුදු දහම හඳුන්වා දීමක් සිදු වනුයේ ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ සිදු වුණු මහා ඇලෙක්සැන්ඩර්ගේ ඉන්දීය ආක්‍රමණයත් සමඟය. ඇලෙක්සැන්ඩර් උතුරු ඉන්දියාවේ කඳවුරු බැඳ සිටින විට බෞද්ධ හා ජෛන භික්ෂූන් පමණක් නොව, අනෙක් ආගමික නායකයන්ද ඇසුරු කර ඇත. ඇලෙක්සැන්ඩර්ගේ අවසාන කැමැත්තේද තිබුණේ බුදූ දහමේ උගන්වන අනිත්‍ය සත්‍යය ය.

අශෝක අධිරාජයා යැවූ ධර්මදූත මෙහෙවර 10ක් පිළිබඳ දීර්ඝ විස්තරයක් ආචාර්ය ආනන්ද ගුරුගේ සිය ‘අශෝක’ කෘතියේ පෙන්වා දෙයි. එයින් එකක් හැර සෙසු දූත පිරිස් යවන්නේ ආසියාතික රටවලටය. එහිදී ‘මහාධම්මරක්ඛිත’ නම් මහතෙරගේ නායකත්වයෙන් එකල ‘යෝන දේශය’ ලෙස හැඳින්වූ ග්‍රීසියට යවා ඇත. මේ අවස්ථාවේ මහාධම්මරක්ඛිත මහතෙරුන් වහන්සේ විසින් අග්ගික්ඛන්ධොපම සූත්‍රය දේශනා කිරීමෙන් පසු 37,000ක් ජනයා බුදු දහම වැලඳගත් බව බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වේ. මහාවංශයද මහාධම්මරක්ඛිත මහතෙර ග්‍රීක ජාතිකයකු බව සඳහන් කරයි (මහාවංශ – පරි: 12 පේළි 4). ඒ අනුව පළමුවැනි බටහිර භික්ෂුව ග්‍රීක ජාතික මහාධම්මරක්ඛිත මහතෙරයයි යමකුට තර්ක කළ හැකිය.

ආසියාවේ බොහෝ බෞද්ධ රටවල් යුරෝපීය ජාතීන්ගේ යටත්විජිත බවට පත් වීමත් සමඟම ඒ යටත්විජිතයන්හි සේවය සඳහා – විශේෂයෙන් මහා බ්‍රිතාන්‍යය වැනි රටවල් ඔවුන්ගේ පරිපාලන නිලධාරීන් ලෙස – උගත් සිවිල් සේවා නිලධාරීන් පත් කර යැවීම අනිවාර්ය සිද්ධියක් විය. මේ නිලධාරීන් බෞද්ධ යතිවරයන් ඇසුරු කොට බුද්ධ ධර්මය හදාරා තම රටට ගිය පසු බෞද්ධ පොතපත ප්‍රකාශනය කිරීම හා වෙනත් සංවාද කිරීම ඇරඹිණි. අනෙක් අතට, යුරෝපයේ නිදහස් චින්තනයන් බිහි විමද බුදූ දහම ප්‍රචලිත වීමට බලපෑවේය.

මහා බ්‍රිතාන්‍යය තුළ එඩ්වින් ආර්නොල්ඩ්, රිස් ඩෙවිඩ්ස් පළමුවැනි පාලි ඉංග්‍රීසි ශබ්දකෝෂය ලියු රොබට් චිල්ඩර්ස්, ෆැන්ක් ලී වුඩ්වර්ඩ් ආදී වියත්හු රැසක් බෙද්ධ පොතපත ලියා, නව බෞද්ධ ප්‍රබෝධයක් යුරෝපය තුළ ඇති කළහ.

ජර්මනිය කිසිම බෞද්ධ රටක් යටත් කොටගෙන නොසිටියද 19 වැනි සියවසේ ජර්මනිය තරම් බෞද්ධ පොත් ප්‍රකාශ කළ රටක් නැත. ආතර් ෂොපන්හෝවර්ගේ ග්‍රන්ථ කියවීමෙන් ප්‍රබෝධය ලත් ෆෙඩ්‍රිරික් සිමර්මන්, පෙඩ්‍රිච් ස්පීගල්, ඇල්බ්‍රෙස්ට් වෙබර්, විල්හෙම් ගෛගර් වැනි ජර්මානු විද්වතුන් ලියූ බොහෝ බෞද්ධ පොතපත ජර්මනිය තුළ සංවාදයට බඳුන් විය.

1879දී ‘ආසියාවේ ආලෝකය’ කෘතියේ ප්‍රස්තාවනාව ලියන එඩ්වින් ආර්නොල්ඩ් මධ්‍යම ස්වීඩනයේ ලැප් ලෑන්ඩ් දක්වා බුදු දහම ව්‍යාප්තව තිබූ බව පවසයි. ලූඩ්විග් විවේචනය කරමින් ෆෙඩ්රික් එංගලස් 1886දී ලියූ ‘Ludwig Feurerbach and the end of classical German Philosophy’ කෘතියේ දැක්වූයේ ලොව ඉතිරිව ඇත්තේ බුද්ධාගම ඇතුළු ආගම් 3ක් පමණක් බවයි.

නූතන බටහිර භික්ෂුවගේ ආරම්භය සිදු වන්නේ, 1899දී එච්. ගොඩර්න් ඩග්ලස් නම් අයකු ‘අශෝක’ නමින්ද 1902දී රසායන විද්‍යාඥයකු වූ චාලස් හෙන්රි ඇලන් බෙනට් නම් ඉංග්‍රීසි ජාතිකයා ‘ආනන්ද මෙත්තෙය්‍ය’ නමින්ද බුරුමයේදී මහණ වීමත් සමඟ බව බොහෝ විචාරකයන් සඳහන් කරන මතයයි. එහෙත්, 2008දී ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ආගම් පිළිබඳ මහාචාර්ය ඇලිෂියා ටර්නර්, මහාචාර්ය ලෝරන්ස් කොක්ස් හා මහාචාර්ය බ්‍රයන් බෝකින් එක්ව කළ පර්යේෂණයන්ගෙන් 1900ට පෙර ලෝරන්ස් කැරල් නම් අයිරිෂ් ජාතිකයා ‘යූ. ධම්මාලෝක’ නමින් මහණ වී සිටි බව සොයා ගනී.

කෙසේ වෙතත් සමහර විචාරකයන් පවසන්නේ නැඟෙනහිර යුරෝපයේ රුසියාව තුළ 19 වැනි සියවසට පෙර මධ්‍යම ආසියාව හරහා පැමිණි බුදු දහම පදනම්ව භික්ෂූන් සිටින්නට ඇති බවයි. යුරෝපයේ බුදු දහම පිළිබඳ පර්යේෂණ රාශියක් කළ මහාචාර්ය ලෝරන්ස් කොක්ස්, මහාචාර්ය ඇලිෂියා ටර්නර්, මහාචාර්ය බ්‍රයන් බෝකින් සිය පර්යේෂණයන්ගෙන් 18 වැනි සියවසේ අවසාන භාගයේ සිට බුරුමයේ සිටි සමහර බටහිර ජාතිකයන් බුරුමයේ පැවති සාම්ප්‍රදායික තාවකාලික මහණකම ලබාගෙන ඇති බවට ඉඟි දී ඇත.

ජර්මන් ජාතික නය­න­ති­ලෝක හිමි

ජර්මන් ජාතික නය­න­ති­ලෝක හිමි

මුල්වරට භික්ෂුවකගේ නාමයක් බටහිර රටකින් අසන්නට ලැබෙන්නේ 1880 ගණන්වල ජර්මන් ජාතික ඉංජිනේරුවකු වූ ෆෙඩ්රිච් සිමර්මන් (Friedrich Zimmermann 1851-1917) සම්බන්ධවය. ඔහු ආතර් ෂොපන්හෝවර්ගේ ග්‍රන්ථ කියවීමෙන් බුදු දහම කෙරේ පැහැදී, පාලි භාෂාව හදාරා, බුදු දහම වැලඳගෙන, පසුකාලීනව ජර්මන් භාෂාවෙන් බෞද්ධ ග්‍රන්ථ රාශියක් රචනා කළ විද්ව‍ෙතකි. භාෂා රාශියකට පරිවර්තනය වූ ඔහුගේ විශිෂ්ටතම ග්‍රන්ථය වන 1888දී ප්‍රකාශයට පත් කළ ‘ගෞතම බුදුන්ගේ ඉගැන්වීම් හඳුන්වා දෙන බෞද්ධ ධර්ම – ශාස්ත්‍රීය ප්‍රශ්නෝත්තරවලින් ‌කෙරෙන ඉගැන්වීම’ යන සිංහල අර්ථය දෙන Buddhistischer Katechismus zur Einführung in die Lehre des Buddha Gautama ග්‍රන්ථයද වෙනත් ග්‍රන්ථද ඔහු රචනා කොට තිබුණේ ‘සුභද්‍ර භික්ෂු’ යන නමිනි. එය ඔහුගේ අන්වර්ථ නාමය විය. එහෙත් ඔහු කිසි දිනක මහණ වී සිට නැත.

ටෙරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ආගම් පිළිබඳ මහාචාර්ය ඇලිෂියා ටර්නර්, කෝර්ක් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බ්‍රයන් බෝකින්, අයර්ලන්ත ජාතික විශ්වවිද‍්‍යාලයේ සාමාජීය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලෝරන්ස් කොක්ස් යන විද්වතුන් තිදෙනා එක්ව අයිරිෂ් ජාතික යූ. ධම්මාලෝක හිමි පිළිබඳවම 2020දී රචනා කර ප්‍රසිද්ධ කළ ‘අයිරිෂ් බෞද්ධයා: බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහි වූ කාටත් අමතකව ගිය භික්ෂුව’ (The Irish Buddhist: The forgotten monk who faced down the British Empire) නම් කෘතිය තුළ අයිරිෂ් ජාතික ධම්මාලෝක හිමිට හා ආනන්ද මෙත්තෙය්‍ය හිමිට පෙර හා පසුව සිටි බටහිර භික්ෂූන් පිළිබඳ දීර්ඝ විස්තරයක් කර ඇත.

ඔවුන්ගේ විස්තරවලට අනුව, 1870දී පමණ දිළිඳු රුසියානු ජාතිකයකු සියමේදී මහණ වී ඇති අතර, පසුව භික්ෂු විනය හා මතු වු ගැටලුවක් නිසා සිවුරු හැර යෑමට සිදු විණි. ‘කොව් ටොව්’ නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු ඔස්ට්‍රියානු ජාතිකයකු 1878දී සියමේ රැකියාව කිරීම සඳහා මහණ වූ අතර, එය තාවකාලික මහණකමක් ලෙස නයනතිලෝක හිමිගේ චරිතාපදානයේ දැක්වේ. බ්‍රිතාන්‍ය ජාතික මුල් පෙළේ නිලධරයකු 1895දී සියමේ මහණ වී සිට ඇත.

අශෝක රජු

අශෝක රජු

‘මැක්මිලන්’ නම් ස්කොට්ලන්ත ජාතිකයකු ලංකාවට පැමිණ, මාලිගාකන්දේදී හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි යටතේ පාලි බස හා බෞද්ධ ධර්මය හදාරා

උන් වහන්සේ යටතේම 1892දී මහණ වී තිබේ. එහෙත් මෙහිදී ගැටලුවක් මතු වන්නේ බටහිර ජාතීන් මහණ කිරීමට සුමංගල හිමිගේ කැමැත්තක් නොවූ බවට කොක්ස් හා ටර්නර් පැහැදිලිව සඳහන් කර ඇති නිසාය. චාල්ස් පවුන්ඩ්ස් නම් අයිරිෂ් ජාතිකයකුද 1895දී පමණ බුරුමයේදී මහණ වී ඇත.

පෙරද සඳහන් කළ, 2020දී ප්‍රසිද්ධ කළ ‘අයිරිෂ් බෞද්ධයා: බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහි වූ කාටත් අමතකව ගිය භික්ෂුව’ කෘතියෙන් ඉතිහාසයෙන් මැකී යන්නට තිබූ පළමු පුරෝගාමි බටහිර භික්ෂුවගේ කථාව ලොවට හෙළි කළේය. 1850 වසරේ අයර්ලන්තයේ උපත ලබන ලෝරන්ස් කැරල් බුරුමයට පැමිණ, රැන්ගුන් වරාය ආශ්‍රිතව සමාගමක ලිපිකරුවකු ලෙස රැකියාව කළේය. එහිදී ධර්මධර බෞද්ධ භික්ෂූන්ගේ ඇසුර ලබන කැරල් බෞද්ධ පොතපත කියවා බුදු දහම වැලඳ ගත්තේය. 1900ට පෙර වසරකදී හෙතෙම ‘යූ. ධම්මාලෝක’ නමින් පැවිදි විය.

ධම්මාලෝක හිමි එකල බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වූ බුරුමයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විරෝධි ව්‍යාපාරවල පෙරමුණ ගෙන, ඒවාට සහය දුන්නේය; එපමණක් නොව, බුරුමයේ පැවති මිෂනාරි ව්‍යපාරවලට විරුද්ධව ජනතාව සමඟ එක්ව නැඟී සිටියේය. උන් වහන්සේට එරෙහිව නඩු රාශියක් පැවරුණු අතර, 1910දී එලෙස මිෂනාරීන් ඔහුට විරුද්ධව පැවරූ නඩුවක් බුරුමයේ ඓතිහාසික නඩුවක් බවට පත් විය. ජනතා සහයෙන් ජය ගන්නා මේ නඩුවේ 100 වැනි සංවත්සරය 2011 වසරේදී සැමරීමට තරම් ඒ නඩුව සියලු බෞද්ධ රටවලට වැදගත් විය. අයිරිෂ් ජාතික යූ. ධම්මාලෝක හිමියෝ 1914දී අපවත් වූහ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විරෝධියකු හා දැඩි මිෂනාරි විරෝධියකු වූ නිසාම උන් වහන්සේ ඉතිහාසය තුළ සඟවන ලද භික්ෂු චරිතයක් වූහ. සැබවින්ම යූ. ධම්මාලෝක හිමි ගැන නැවතත් කථා කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ ‘අයිරිෂ් බෞද්ධයා: බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහි වූ කාටත් අමතකව ගිය භික්ෂුව’ කෘතිය නිසාමය.

බටහිර භික්ෂුවකගේ ශිෂ්‍ය පරපුරක් පළමු වරට බිහි කරනු ලබනුයේ ධම්මාලෝක හිමියන් විසිනි. උන් වහන්සේගේ සිසු පරපුරේ නමාවලිය දිගු එකක් වුවද හඳුනාගත් ශිෂ්‍ය භික්ෂූන් අතර ‘සිංගප්පූරුවේ තෙයියේදාස’ හිමි නමින් බුරුමයේදී මහණ වූ ඉංග්‍රීසි ජාතිකයකු වූ වෝවික්, ‘ධම්මකීට’ ලෙස මහණ වූ හාඩී, ‘ධම්මරතන’ ලෙස 1902දී මහණ වූ විදේශීය පොලිස් පරීක්ෂකවරයෙක්ද, ‘යූ. දීපාලංකාර’ නමින් මහණ වූ අමෙරිකානු ජාතික සී.ඒ. රොබට් ද වෙති.

අයි­රිස් ජාතික යූ ධර්මා­ලෝක හිමි

අයි­රිස් ජාතික යූ ධර්මා­ලෝක හිමි

1899 වසරේදී එච්. ගොඩර්න් ඩග්ලස් නම් අයකු ‘අශෝක’ නමින් බුරුමයේදී මහණ වූ බව නයනතිලෝක හිමි චරිතාපදානය කෘතියේ සඳහන් වුවත්, ලෝරන්ස් කොක්ස් හා ටර්නර්ගේ කෘතිය අනුව ඩග්ලස් මහණ වී ඇත්තේ 1899 පෙබරවාරියේ ලංකාවේදීය. අශෝක හිමි නමින් මහණ වූ ගොඩර්න් ඩග්ලස් 1898දී ගාල්ලේ මහින්ද විද්‍යාලයේ විදුහල්පති ලෙසද කටයුතු කර ඇති අතර, 1900දී කොලරාව සෑදී බුරුමයේදී මිය ගියේය. නෝමන් නම් ඉංග්‍රීසි ජාතිකයා බුරුමයේ සිට 1900දී ජපානයට ගොස් මහණ වී ඇති බව වාර්තා වේ. ජේම්ස් බුටිමන්ට් නම් අය රැන්ගුන්හි තාවොයි විහාරස්ථානයේදී 1901දී හෝ 1902දී හෝ මහණ වී ඇත.

බටහිර භික්ෂූන් අතර හමුවන පළමු සුවිශේෂ භික්ෂූන් වහන්සේ වනුයේ ආනන්ද මෙත්තෙය්‍ය හිමිය. බුදු දහම පළමු වරට යුරෝපයේ ප්‍රචාරණයට පුරෝගාමි වූයේ මේ හිමිනමය. චාලස් හෙන්රි ඇලන් බෙනට් නම් ස්කොට්ලන්ත ජාතිකයා ‘ආනන්ද මෙත්තෙය්‍ය’ නමින් 1901 දෙසැම්බර් මස 12 දින බුරුමයේදී සසුන් ගත වේ. එලිසබත් – හැරිස් ලියූ ‘ආනන්ද මෙත්තෙය්‍ය’ නම් කෘතියේ සඳහන් වන්නේ මුලදී ‘ආනන්ද මෛත්‍රිය’ ලෙස නම් ලැබුවද, පසුව එහි පාලි අර්ථය දෙන ‘ආනන්ද මෙත්තෙය්‍ය’ ලෙස එය වෙනස් කළ බවයි. මෙම මෙත්තෙය්‍ය හිමියෝ 1902 සිට රැන්ගුන් සිට ගෝලීයව බෞද්ධ ප්‍රචාරණය කටයුතු සැලසුම් කළහ. එහි පළමු පියවර ලෙස අන්තර්ජාතික බෞද්ධ සමිතිය 1903දී පිහිටුවූ උන් වහන්සේ එහි මහ ලේකම් බවට පත්ව, ඒ මඟින් බටහිර ධර්ම ප්‍රචාරක කටයුතු ඇරඹූහ. ‘Buddhism: Illustrated Quarterly Review’ නම් සඟරාව සිය සංස්කරණයෙන් පළමු වරට 1903දී එළිදැක්වීමට එහිමියෝ සමත් වූහ. 1908දී මහා බ්‍රිතාන්‍යයට එන ආනන්ද මෙත්තෙය්‍ය හිමියෝ මහා බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත බෞද්ධ සංගමය මඟින් ධර්ම ප්‍රචාරක කටයුතු ඇරඹූහ.1907දී රිස් ඩේවිඩ්ස්ගේ සභාපතිත්වයෙන් පිහිටුවනු ලබන ලැබූ මහා බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත බෞද්ධ සංගමය වූකලී යුරෝපයේ පැරණිතම බෞද්ධ සංවිධානය වන අතර, එය පිහිටුවනු ලැබූයේ ආනන්ද මෙත්තෙය්‍ය හිමිගේ ධර්මදූත මෙහෙවර සඳහාමය. 1923දී උන් වහන්සේ ලන්ඩනයේදී අපවත් වූහ.

බටහිර භික්ෂූන් අතර සුවිශේෂම භික්ෂුව ලෙස ජර්මන් ජාතික නයනතිලෝක මහනාහිමියන් හැඳින්විය හැකිය. බුදු දහමට මහා සේවාවක් කළ උන් වහන්සේ මහානායක පදවියක් දැරූ ප්‍රථම බටහිර භික්ෂුව බවට පත් වෙති.

1903 අන්තර් ජාතික බෞද්ධ සමි­තිය මෛත්‍රිය හිමි පිහි­ටු­වීම

1903 අන්තර් ජාතික බෞද්ධ සමි­තිය මෛත්‍රිය හිමි පිහි­ටු­වීම

1878දී ජර්මනියේ උපන් නයනතිලෝක මහනාහිමිගේ ගිහි නම වූයේ ඇන්ටන් වොල්තර් ෆ්ලෝරා ගුත් (Anton Walther Florus Gueth) ය. සංගීතයට නැඹුරුව සිටි ෆ්ලෝරා ගුත් ආතර් ෂොපන්හෝවර්, ෆෙඩ්රිච් ස්පීගල්, ඇල්බ්‍රෙච් වෙබර් ආදී උගතුන් රාශියකගේ බෞද්ධ පොතපත අධ්‍යයනය කිරීමෙන් බුදු දහම ගැන පැහැදී, 1903දී ලංකාවට පැමිණේ. එහිදී මල්වතු විහාරයට ගොස්, මනා ඉංග්‍රීසි දැනුමක් ඇතිව සිටි සීලානන්ද හිමි හමු වී උන් වහන්සේ සමඟ දින කිහිපයක් ගත කරන විට සීලානන්ද හිමියන් ඔහුට මහණ වීමට ආරාධනා කළද ඔහු ඒ යෝජනාව බැහැර කර බුරුමයට ගියේය. 1903දී සාම‍‍ණේර භික්ෂුවක ලෙස මහණව මාස පහකට පසු උපසම්පදා ලබනුයේ ‘නයනතිලෝක’ නමිනි. 1905දී ලංකාවට පැමිණෙන උන් වහන්සේ පාලි හා වෙනත් බෞද්ධ දර්ශනය හැදෑරීමට පටන් ගත්තේ නයනතිලෝක නමිනි.

‘නයනතිලෝක හිමිගේ ජීවිතය: බටහිර බෞද්ධාමේ පුරෝගාමියාගේ ජීවන චරිතය’ (The Life of Nyanathiloka Thera: The Biography of a Western Buddhist Pioneer) හා මහාචාර්ය කාල් ගොල්සියෝගේ ‘ථෙරවාද බුද්ධාගමට ජර්මනියේ දායකත්වය හා පිළිගැනීම හා ජර්මන් සංස්කෘතියට කළ බලපෑම’ වැනි ලිපි මඟින්ද උන් වහන්සේ කළ මහඟු මෙහෙවර විස්තර කර ඇත. ලංකාවේ මාතර හා බණ්ඩාරවෙල සිට ශාසන මෙහෙවර කළ උන් වහන්සේ පොත් හා ලිපි රාශියක් ලියා ඇති අතර, ජර්මනියේ අදත් වඩාත් කියවන ග්‍රන්ථ වන ‘බුද්ධ භාෂිතය’, බෞද්ධ ආචාරධර්මය දාර්ශනික පද්ධතිය ගැන සමාලෝචනයක්’ යන කෘතිවල කර්තෘත්වය දරන්නේද උන් වහන්සේය. අන්තර්ජාතික බෞද්ධ සම්මේලන පැවැත්විම, ශිෂ්‍ය භික්ෂූන් මඟින් ධර්ම ප්‍රචාරය ආදී වශයෙන් උන් වහන්සේ කළ සාසනික සේවය අති මහත්ය. 1958දී අපවත් වන නයනතිලෝක මාහිමිගේ ආදාහනය රාජ්‍ය ගෞරව සහිතව මහනාහිමිවරුන්, අගමැති බණ්ඩාරනායක ඇතුළු දෙස් විදෙස් නායකයන් හා විශාල ජනතාවක් හමුවේ නිදහස් චතුරශ්‍රයේදී සිදු කෙරිණි.

නයනතිලෝක හිමි සැලකිය යුතු ශිෂ්‍ය භික්ෂු පරපුරක පීතෘෘන් වහන්සේය. ‘නයනතිලෝක හිමිගේ ජීවිතය: බටහිර බෞද්ධාගමේ පුරෝගාමියාගේ ජීවන චරිතය’ නම් කෘතියේ උන් වහන්සේ ශිෂ්‍ය භික්ෂූන් 42කගේ නම් සඳහන්ව ඇත. මෙයින් සැලකිය යුතු පිරිසක් බටහිර භික්ෂුවගේ ආරම්භයට සම්බන්ධය. මහාචාර්ය කාල් ගොල්සියෝ දක්වන්නේ උන් වහන්සේගේ පළමු සිසුවා 1906දී ලංකාවට පැමිණි, ‘සුන්නෝ’ නමින් මහණ වූ ඕලන්ද ජාතික බර්නේඩල්ය. එයට ආසන්නම කාලයකදී ජර්මන් ජාතික ෆ්‍රීට්ස් ස්ටෙන්ජ් ‘සුමනෝ’ නමින් මහණ වේ. ඉංග්‍රීසි ජාතික ජේ.එෆ්. මැකෙන්සි 1905දී ‘සිලාකර’ නමින්ද ජර්මන් ජාතක වොල්ටර් මාක්ගරෆ් ‘ධම්මානු සාරි’ නමින්ද මහණ වී ඇත. පස්වග මහණුන් වන්සේගේ නම්වලින් මහණ කරන ලද පස් දෙනාගෙන් සිව් දෙනකු ජර්මන් ජාතකයන් වූ අතර 1912දී ‘අස්සජි’ නමින් මහණ වූයේ අමෙරිකන් ජාතික ෆැන්ක්ලීන් නමැත්තාය. පසුව මහණ වූ ශිෂ්‍ය භික්ෂුන්ගේ නම මුලට නයන වචනය යෙදීය. මෙයට හොඳම උදාහරණය බෞද්ධයන් අතර ජනප්‍රිය ග්‍රන්ථ රාශියක් රචනා කළ ‘නයනපොන්නික’ හිමිය.

ධම්මාලෝක හිමිට පෙර මහණ වූ අයට සිදූ වුයේ කුමක්දයන්න පිළිබඳ කිසිම විස්තරයක් සොයාගත නොහැකිය. ඔවුන් අප්‍රසිද්ධියේ මිය යන්නට හෝ සිවුර හැර යන්නට ඇත. එහෙත් ධම්මාලෝක හිමිගෙන් පසු බිහි වූ භික්ෂු පරපුර මහණ වූයේ බුදු දහම ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් පසුවය. ඒ නිසාම එම ශිෂ්‍ය පරපුරේ භික්ෂූන් වහන්සේ නමක් ලොව කොයි තැනක හෝ සිටීමට එම අධ්‍යයනයන් හා විනය බලපෑවේය. අද යුරෝපය පුරා බුදු දහම පැතිර විහිද ගොස් ඇත්තේ ඒ ශ්‍රේෂ්ඨ යතිවරයාණන්ගේ කැප වීමෙනි. අද වන විට යුරෝපයේ මිලියන පහක බෞද්ධ ජනතාවක් ජීවත් වන අතර, රුසියාව ඔස්ට්‍රියාව හා ඉතාලිය නිල වශයෙන් බුදු දහම පිළිගනී.

ඇලෙ­ක්සැ­න්ඩර් රජු

ඇලෙ­ක්සැ­න්ඩර් රජු

 

ප්‍රේමදාස තෙලිකෝරල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division