ලොව විශාලතම ආර්ථිකයන් දෙක අතර ආර්ථික විසංයෝජනය තවදුරටත් හුදු සමපේක්ෂණයක් නොව, දුෂ්කර යථාර්ථයක් බවට පත් වෙමින් තිබේ. වෙළෙඳ යුද්ධයක ජයග්‍රාහකයා කවරකුද යන්න පිළිබඳ විවිධ තර්ක විතර්ක පවතින නමුත්, ඉතිහාසය විසින් කියා දෙනු ලබන පාඩම්වලට අනුව බොහෝදුරට අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ සෑම කෙනකුම පරාජයට පත් වීමයි.
එකිනෙකාගේ තීරුබදු යුද්ධයෙන් පසුබැසීමට අමෙරිකා එක්සත් ජනපදය හෝ චීනය කැමැත්තක් නොදක්වන බැව් දැන් දැන් පැහැදිලිය. ඉකුත් අප්‍රේල් මුල, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ආනයන සඳහා 245%ක දැවැන්ත තීරුබදු පැනවීමකින් පසු, පෙරළා චීනයද අමෙරිකානු භාණ්ඩ සඳහා 125%ක තීරුබදු පැනවීමක් එකට එක කිරීමක් වශයෙන් සිදු කළේය.
එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මේ සතියේ පැවසුවේ ආතතීන් උත්සන්න කිරීමේ වගකීම චීනය භාර ගත යුතු බවයි. මේ අතර, දෙපාර්ශ්වය සාකච්ඡා නොකරන බව චීන විදේශ අමාත්‍යාංශය පැවසීය.
ට්‍රම්ප්ගේ ආර්ථික ජාතිකවාදය පෙරටු කොටගත් ආරක්ෂණවාදි න්‍යායපත්‍රයෙන් ගැලවීමට කිසිවකුටවත් නොහැකි වී ඇති අතර, එහිලා මිත්‍ර පාක්ෂිකයන් සහ විරුද්ධවාදීන් යන දෙපාර්ශ්වයම ආනයනික බදුවල ඉලක්ක බවට පත් වී ඇත. කෙසේ වෙතත්, චීනය ප්‍රධානතම ඉලක්කය බැව් නොරහසකි. එක්සත් ජනපදයේ වෙළෙඳ හිඟය සහ ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ තම ආර්ථික අවතැන් වීම හේතුවෙන් දිගු කලක් පුරා වොෂිංටනය තුළ පවතින පුළුල් කලකිරීම් මේ දේශපාලන ප්‍රතික්‍රියාව මඟින් අවශෝෂණය කරගෙන ඇත.
චීනයට මේ වෙළෙඳ යුද්ධයේ ආර්ථික පිරිවැයෙන් ගැලවිය නොහැකිය. ගෝලීය වෙළෙඳ පද්ධතියේ වර්ධනය වෙමින් පවතින අවිනිශ්චිතතා සමඟ එක්සත් ජනපද වෙළෙඳපොළට තිබූ විශ්වාසදායක ප්‍රවේශයක් අහිමි වීම, චීනයේ අපනයන මත පදනම් වූ අංශවලට මරු පහරක් එල්ල කර ඇත.
වසර 2011දී එවකට සිටි අමෙරිකානු ජනපති බැරක් ඔබාමා වොෂිංටනයේ ආසියාවට භ්‍රමණ කේන්ද්‍රය වීමේ මූලෝපාය ප්‍රකාශයට පත් කළ දා පටන්, එක්සත් ජනපද දේශපාලන පක්ෂ දෙකම චීනය ගෝලීය තලයේ තම අංක එක තරගකරුවා ලෙසත්, එක්සත් ජනපද හමුදා බළකායේ ප්‍රධානතම ඉලක්කය ලෙසත් සලකා කටයුතු කරනු දක්නට පිළිවන. චීනය මේ වන විට ජපානය, දකුණු කොරියාව සහ ගුවාම්හි ස්ථානගත කොට සිටින ලක්ෂයක අමෙරිකානු හමුදා භටපිරිසකගෙන් (ඊට අමතරව හවායිහි 73,000ක් සහ එක්සත් ජනපද බටහිර වෙරළ තීරයේ 415,000ක්) සහ චීනය පමණක් නොව අප සියලු දෙනාම මුළුමනින්ම පාහේ විනාශ කිරීමට ප්‍රමාණවත් න්‍යෂ්ටික සහ සාම්ප්‍රදායික අවි ආම්පන්නවලින් වට කරනු ලැබ සිටී.
එක්සත් ජනපදය සහ චීනය අතර වෙළෙඳ යුද්ධය නිසි සන්දර්භය තුළ තැබීමට නම්, මඳකට අප ඔවුන්ගේ සාපේක්ෂ ආර්ථික ශක්තීන් සහ ඒ රටවල් දෙක සෙසු රටවල් සමඟ පවත්නා අන්තර්ජාතික වෙළෙඳ සබඳතා දෙස බැලිය යුතුය. රටක ආර්ථිකය මැනීමේ ක්‍රම දෙකක් පවතී: නාමික දළ දේශීය නිෂ්පාදිතය (මුදල් විනිමය අනුපාත මත පමණක් පදනම් වූ) සහ භාණ්ඩ හා සේවාවල සැබෑ පිරිවැය සඳහා සකස් කරන ක්‍රය ශක්ති වටිනාකම යනුවෙනි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ඕඊසීඩී හෙවත් ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයට අයත් ආර්ථික විද්‍යාඥයන් රටක ආර්ථිකය මැනීම සඳහා යොදා ගැනීමට වඩාත් ප්‍රිය කරන ක්‍රමය මේ ක්‍රය ශක්ති වටිනාකමයි.
ක්‍රය ශක්ති වටිනාකම මඟින් ගණනය කරන විට චීනය, 2016 වසරේ ලොව විශාලතම ආර්ථිකය වන එක්සත් ජනපදය අබිබවා යෑමට සමත් විය. මේ වන විට චීන ආර්ථිකය අමෙරිකාවට වඩා 33%කින් විශාලය. එනම්: එක්සත් ජනපදයේ ඩොලර් ට්‍රිලියන 30.5ක ආර්ථිකයට සාපේක්ෂව චීන ආර්ථිකයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 40.7කි.
වෙළෙඳ යුද්ධ, ආනයනික බදු, සැපයුම් දාම සීමාවන් සහ භූදේශපාලන ආතති යනාදි මේ සියලු බාධා හමුවේ ගෝලීය දකුණේ රටවල් තෝරාගත යුත්තේ කුමන කඳවුරද? ඉහත ක්‍රය ශක්ති වටිනාකම මත පදනම්ව, පහත සංඛ්‍යාලේඛන විමසා බලන විට යට කී පැනයට පිළිතුරු සොයාගැනීම උගහට නොවේ.
ලෝක ආර්ථිකය තුළ අමෙරිකා එක්සත් ජනපදයට හිමි පංගුව 14.7%ක් පමණක් වන අතර, චීනය 19.7%කට හිමිකම් කියයි. යුරෝපා සංගමය තවත් 14.1%ක් නියෝජනය කරන අතර; ඉන්දියාව, රුසියාව, බ්‍රසීලය, ජපානය සහ ලොව සෙසු රටවල් ඉතිරි 51.5% සඳහා දායකත්වය දක්වයි. වොෂින්ටනය කැමැති හෝ වේවා, අකැමැති හෝ වේවා පිළිගත යුතු යථාර්ථය නම් ලෝකය දැන් බහුධ්‍රැවීය යන්නයි. ඒ අනුව ලෝක පර්යායේ හිණිපෙත මත හිඳිමින්, තනිව එක් රටක් ලෝකය පාලනය කළ ඒකධ්‍රැවවාදි ලෝක පර්යාය අප දැන් ගෙවා අවසන්ය.
චීනය හෝ එක්සත් ජනපදය යන දෙක අතරින් කුමන පැත්තක් ගන්නවාදැයි මලයාසියාවේ වෙළෙඳ අමාත්‍ය ටෙන්කු සෆ්රුල් අසීස්ගෙන් විමසූ විට, ඔහු දුන් පිළිතුර මෙසේය: “අපට එලෙස තෝරාගැනීමක් කළ නොහැකියි – අපි එලෙස තෝරා නොගන්නෙමු.” ත්‍රස්තවාදයට එරෙහි සංග්‍රාමයේදී ජනාධිපති බුෂ්ගේ ජනප්‍රිය ප්‍රකාශය වන “එක්කෝ ඔබ අප සමඟයි, නැත් නම් ත්‍රස්තවාදීන් සමඟයි” යන ස්ථාවරය මත පිහිටා ක්‍රියා කිරීමට ට්‍රම්ප් කැමති වුවද, චීනය සහ එක්සත් ජනපදය යන රටවල් දෙකටම ලෝක ආර්ථිකයෙන් 34%ක් පමණක් හිමි වන තත්ත්වයක් මත ඒ කඳවුරු මානසිකත්වය තවදුරටත් පල රහිතය.
මෙවැනි තත්ත්වයක් පැමිණෙන බව චීනය කල් තියා දුටුවේය. ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළ චීනය සමඟ ආරම්භ කළ වෙළෙඳ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස, ජනාධිපති ෂී ජිං පින් තම තීරයක් සහ මාවතක් මුලපිරීම හරහා ආසියාව, අප්‍රිකාව සහ ලතින් අමෙරිකාව පුරා නව වෙළෙඳපොළ කරා ප්‍රවිෂ්ට විය. අග්නිදිග ආසියාව දැන් චීනයේ විශාලතම අපනයන වෙළෙඳපොළයි. එය තවදුරටත් අමෙරිකානු සෝයාබෝංචි මතම රඳා නොපවතී. එමෙන්ම එය තමන්ගේම දෑ වැඩිපුර වගා කරන අතර, ඉතිරි බොහෝ දෑ බ්‍රසීලයෙන් මිල දී ගනිමින් වෙළෙඳපොළේ එක්සත් ජනපද කොටස අඩකින් පමණ අඩු කර ඇත.