කාශ්මීර් ප්‍රදේශයේ දැවැන්ත ආකර්ෂණය දිනාගත් සංචාරක කලාපය වූ ‘පහල්ගම්’ ප්‍රදේශයට අප්‍රේල් 22 දා එල්ල වූ ත්‍රස්තවාදි ප්‍රහාරය විසින් ලෝක දේශපාලනය උණුසුම් වී ඇති අතර, මොහොතින් මොහොත සිදු වන්නේ කුමක්ද යන්න කෙරෙහි ලෝක බලවතුන්ගේ අවධානය යොමු වී තිබේ.
‘ලක්සරි ඊ ටොයිබා’ නමැති ත්‍රස්ත සංවිධානයේ වෙඩික්කරුවන් විසින් 26 දෙනකු ඝාතනය කර ඇත. දශක ගණනාවක පටන් අර්බුදයට තුඩු දුන් ඉන්දු-කාශ්මීර් දේශසීමාව පදනම් කරගත් කාශ්මීර් ප්‍රදේශයේ මෙවර ඇති වූ සිද්ධිය හේතුවෙන් මේ වන විටත් ඉන්දු-පාකිස්තාන රාජ්‍යතාන්ත්‍රික සබඳතා දැඩි ලෙස අර්බුදයකට ලක් වී ඇත. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රුසියාව ඇතුළු රාජ්‍යයන් කිහිපයක යොදාගෙන තිබූ විදෙස් සංචාරද අතරමඟ නවතා ඇත්තේ උද්ගත වී ඇති බැරෑරුම් අර්බුදය හමුවේ වන අතර, ඔහු ප්‍රකාශ කර ඇත්තේ මේ අපරාධය සිදු කළ පුද්ගලයන්ට සහ ඒ පිටුපස සිටි සියලු බලවේගවලට දැඩි දඬුවම් දෙන බවයි.
වෙඩික්කරු ප්‍රහාරය එල්ල කරන විට පහල්ගම් සංචාරක ප්‍රදේශයේ විශාල පිරිසක් සිට ඇති අතර, 26 දෙනකු වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබිණි. ආතතිමය තත්ත්වය කොතරම් ඉහළ ගොස් ඇති ද යත්: කාශ්මීර් ජනතාව උද්ගත වීමට ඉඩ තිබෙන යුද ස්වරූපය සලකමින් දැනටමත් වීදි බැස ඇති අතර, ඔවුන් ඉල්ලා සිටින්නේ කාශ්මීරයට සාමය ළඟා කරගැනීමට සැම එකතු වන ලෙසයි.
ඉන්දීය ප්‍රතිචාරය
ඉන්දියාව ප්‍රසිද්ධියේම පාකිස්තානයට ඍජුවම චෝදනා කරන අතර, ඉන්දු-කාශ්මීර් දේශසීමාවේ ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීමට විවිධ සංවිධානවලට අවශ්‍ය සහාය පාකිස්තානය සලසන බවට චෝදනා කරයි. අනෙක් අතින් පාකිස්තානය මේ වන විටත් ඉන්දියාවට එරෙහිව අප්‍රසාදජනක රාජ්‍යතාන්ත්‍රික පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉන්දු-පාකිස්තාන දේශසීමාව හා ගුවන්පථය වසා දමා ඇති අතර, ඉන්දු ගංගාවේ ජලය සම්බන්ධ කරුණද, දෙපාර්ශ්වය අතර යුද්ධයක් ඇවිළීමට ප්‍රබලව බලපාන සාධකයක් බවටද අනතුරු අඟවා ඇත.
දකුණු ආසියාවේ ආරක්ෂාව
ඇත්ත වශයෙන්ම මේ තත්ත්වය දකුණු ආසියානු කලාපීය උපායමාර්ගික ආරක්ෂාව පිළිබඳ කරුණ ඉතා පැහැදිලිවම අර්බුදයකට ලක් කිරීමකි. ඉන්දියාවද මේ සිදුවීමෙන් පසු පාකිස්තානය සමඟ සබඳතා පහත හෙළා ඇති අතර, පාකිස්තාන ජාතිකයන්ට ඉන්දියාවෙන් බැහැර වන ලෙස නියෝග කර තිබේ. ඉන්දියාව හා පාකිස්තානය අතර වූ ප්‍රධාන ජල ගිවිසුමද ඉන්දියාව අත්හිටුවා ඇත. පාකිස්තානය සමඟ වූ රාජ්‍යතාන්ත්‍රික සියලු මෙහෙයුම්ද අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඉන්දියාව සහ පාකිස්ථානය දෙරටම සිය ගුවන් සීමාවට දෙරටේ ගුවන් යානා ඇතුළු වීම මුළුමනින්ම තහනම් කර තිබේ. පාකිස්තානයට යුධ ප්‍රහාර එල්ල කිරීම සඳහා නවදිල්ලිහි දී රැස්වූ විශේෂ ජාතික ආරක්ෂක කවුන්සලයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී ඇත.
ඒ අනුව ප්‍රහාර එල්ල කළ යුතු වේලාව සහ ඉලක්ක තීරණය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ලබාදී ඇති බව ඉන්දීය රජයේ අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
මුම්බායිහිදී 2008දී සිවිල් ජනයා අරබයා සිදු වූ වෙඩි තැබීමෙන් පසු කාශ්මීර ප්‍රහාර ඉතා නරත අතට හැරුණු අතර, අප්‍රේල් 23 සිදු වූ පහල්ගම් ප්‍රහාරය නැවතත් මේ ආතතිමය තත්ත්වය කුළුගැන්වූ බව පැවසුව හොත් නිවැරදිය. පහල්ගම් ප්‍රදේශයේ ප්‍රහාරයේ වගකීම ‘ද කාශ්මීර් රෙසිස්ටන්ස්’ නැත් නම් ‘රෙසිස්ටන්ස් ෆ්‍රන්ට්’ විසින් භාර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
දශක ගණනාවක පටන්ම, පාකිස්තානයේ අභ්‍යන්තර මිලීෂියා කණ්ඩායම් දිගින් දිගටම ඉල්ලා සිටිනුයේ, කාශ්මීරයට ස්වාධීනත්වය ලැබිය යුතු බවයි; නැත් නම් කාශ්මීර ප්‍රදේශය, පාකිස්තානයේ කොටසක් විය යුතු බවයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබෙන්නේ ඉන්දීය අනන්‍යතාව සුරක්ෂිත කරලීම බවය. 1947 පටන්ම ඉන්දු-පාකිස්තාන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල තීරණාත්මක සාධකයක් වූ කාශ්මීරය විවිධ අන්තවාදි කණ්ඩායම්, ත්‍රස්තවාදි කණ්ඩායම් ස්වකීය බල තණ්හාවන්, ඉලක්ක හා අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා ස්වෛරී රාජ්‍යයන් අතර ගැටුම් නිර්මාණය වන ආකාරයෙන් භාවිත කිරීමක් පහල්ගම් ප්‍රහාරයෙන්ද ධ්වනිත කෙරේ.
වත්මන් තත්ත්වය
පහල්ගම් ප්‍රහාරය පිළිබඳ වගකීම මේ වන විට පැවරී ඇති ‘ද කාශ්මීර් රෙසිස්ටන්ස්’ (ටීආර්එෆ්) ‘ලක්ෂාර්-ඉ-තයිබාට’ හිතවාදි සංවිධානයක් ලෙස පිළිගැනෙන අතර, මේ සංවිධානය (ටීආර්එෆ්) මේ වන විටත්, පාකිස්තානයේ තහනමට ලක් වූ සංවිධානයක් ලෙස පාකිස්තාන බුද්ධි අංශය විස්තර කර ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර ඇත. 2019දී බිහි කරගත් මේ (ටීආර්එෆ්) සංවිධානය ඉන්දු-කාශ්මීරය මධ්‍යගතව දෙකඩ කිරීමෙන් පසු බිහි කරගත් සංවිධානයක් ලෙස සැලකෙන අතර මොවුන් තහනම් සංවිධානයක් වුවද තවමත් සමාජ මාධ්‍ය ඔස්සේ තරුණ පිරිස සමඟ සබඳතාව ඉදිරියට ගෙන යන බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර ඇත.