අන්තර්ජාතික මට්ටමෙන් ඉහළම ක්‍රීඩා පරිපාලන ව්‍යූහයක කීර්තිමත් තනතුරක් දැරීමට යම් පුද්ගලයකුට අවස්ථාවක් ලැබෙන්නේ නම්, එය ඔහුට හෝ ඇයට මෙන්ම ඒ පුද්ගලයා නියෝජනය කරන රටටද හිමි වන ගෞරවයකි. ඒ අනුව, ගෝලීය මට්ටමෙන් මෙන්ම ආසියානු මට්ටමෙන්ද වර්තමාන ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම තනතුරු 2ක් හොබවන එකම ශ්‍රී ලාංකිකයා ඩයන් ගෝමස්ය. එනම්: අන්තර්ජාතික බොක්සිං සංගමයේ (IBA) සහ ආසියානු බොක්සිං සම්මේලනයේ (ASBC) දස දෙනා බැගින් සිටින අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් අයකු වන හෙතෙම, ශ්‍රී ලංකාවේ සහ ගෝලීය බොක්සිං ක්ෂේත්‍රයේ දැවැන්තයකු ලෙස පෙනී සිටියි.
එවැනි ගෞරවනීය තනතුරු දැරීම ඔහු සුවිශේෂ සමාජයක ස්ථානගත කිරීමක් වන අතර, ලොව පුරා බොක්සිං ක්‍රීඩාවේ අනාගතය මෙහෙයවීමේදී ඔහුට අසමසම බලපෑමක් කිරීමේ හැකියාවද ලැබෙනු ඇත. තවද, දශක දෙකකට අදික කාලයක අත්දැකීම් සමඟ, ඩයන් අන්තර්ජාතික වළල්ල තුළ අප රටේ ක්‍රියාකාරිත්වය සහතික කරමින්, ශ්‍රී ලංකා බොක්සිං ක්ෂේත්‍රයේද මුල්ගල බවට පත්ව ඇතැයි කිව හොත් නිවැරැදිය.
ශ්‍රී ලංකාවේ ජෝර්ජියා කොන්සල් ජනරාල්වරයා ලෙසද ගරු සේවයක් කරන ඩයන් ගෝමස්ගේ උරුමය සහ නායකත්වය ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩාවේ අනාගතය හැඩගස්වනු ඇති අතර, තමා ශ්‍රී ලංකා බොක්සිං පරිපාලනය අතට ගත් මොහොතේ තම ඉලක්කයන් කරා ගිය හැටි සිහිපත් කරමින් ඔහු ‘ සිළුමිණ’ සමඟ කතාබහ ආරම්භ කළේ මෙලෙසිනි:
“මම 2002දී මුල්ම වරට ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ධුරයට පත් වුණාම පළමුවැනි කර්තව්‍ය වුණේ 1968න් පසු ක්‍රීඩකයකු ඔලිම්පික් තරගාවලියකට සහභාගි කරවා නැති නිසා, අපි කොහොමද 2008 වන විට ක්‍රීඩකයකු ඔලිම්පික් ගෙනියන්න අවුරුදු 6ක සැලැස්මක් කරන්නේ කියලයි. එහිදී පළමුවැනියටම කළේ කනිෂ්ඨ ක්‍රීඩකයන් 6 දෙනකු පමණ ස්ලිම් ලයින් ආයතනයට බඳවාගෙන, ඔවුන්ට සෑම පහසුකමක්ම ලබා දුන්නා, ඉගෙනීම පහසුකම් ලබා දුන්නා. අද ඔවුන් සියලු දෙනාම උපාධිධාරීන් වෙලා තිබෙනවා. ඊට අමතරව, කියුබානු රජයත් එක්ක කතා කරලා කියුබානු පුහුණුකරුවකු ගෙන්වා ගත්තා. ඒක තමයි අපේ රටට ලැබිච්ච ලොකුම බොක්සිං වරප්‍රසාදය කියලා මට කියන්න පුළුවන්.
“ඒ ගමන අපි අවුරුදු 6ක් තුළදී අනුරුද්ධ රත්නායක 2008 ඔලිම්පික් වරම් ලබා ගත්තා. 2007 පැවති ලෝක ශූරතා බොක්සිං තරගාවලියේදී ලෝකෙ පළමුවැනි පස්දෙනා අතරට අනුරුද්ධ සුදුසුකම් ලබා ගත්තා. හැබැයි අපට 2008 ඔලිම්පික්වලදී ජයග්‍රහණයක් ලබාගන්න බැරි වුණා. එහෙත්, ඊට අවුරුදු 10කට පස්සෙ 2018 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේදී අපේ ඉෂාන් බණ්ඩාර, තිවංක රණසිංහ, අනුෂා කොඩිතුවක්කුට ලෝකඩ පදක්කම් 3ක් දිනාගත්තා. ඒ පදක්කම් දිනා ගත්තෙ අවුරුදු 68කට පස්සෙ. ඒ තමයි මා හිතන්නෙ ලංකාවට තිබුණ හොඳම පදක්කම් ටික ඒ වකවානුව තුළදී.
“මගේ අවුරුදු 20ක කාලය තුළ අපි අන්තර්ජාතික බොක්සිං තරගාවලි 150කට වැඩි ප්‍රමාණයකට සහභාගි වුණා. එහිදී අපි පදක්කම් 100ක් විතර දිනාගත්තා. යුරෝපයෙන් දිනාගත්තා, රුසියාවෙදි දිනාගත්තා, ඒ වගේම ඉන්දුනීසියාවේ කාන්තා තරගවලින් අනූෂා කොඩිතුවක්කු වැනි ක්‍රීඩිකාවන් ගොඩක් ජයග්‍රහණය කළා. ඇත්තටම අපට සතුටු වෙන්න පුළුවන්, අපි පොදුරාජ්‍ය මණ්ඩලයීය, ආසියානු ක්‍රීඩා උලෙළක හෝ ඔලිම්පික් පදක්කමක් දින්නොත් තමයි. ඒ මට්ටමේ ජයග්‍රහණවලින් තමයි අපට ලොකු ගැම්මක් එන්නෙ.”
තවද, ක්‍රීඩාවේ අනාගතය උදෙසා බොක්සිං ක්‍රීඩාවේ බීජ ගමක් නගරයක් පුරා වපුරමින් දීර්ඝකාලීන වැඩසටහන් දියත් කළ ඒ සමය පිළිබඳ ඔහු අදටත් කථා කරන්නේ ආඩම්බරය මුසු වූ සතුටකිනි:
“මම එම්ඒඑස් (MAS) සමූහ ව්‍යාපාරයේ වැඩ කරන කොට අපට පුළුවන් වුණා ගොඩක් පාසල්වල බොක්සිං ක්‍රීඩාව පටන් ගන්න. මම බොක්සිං සභාපති ධුරය ගන්න කොට පාසල් 40ක විතර බොක්සිං ක්‍රීඩාව තිබුණා. හැබැයි මගේ ධුර කාලය අන්තිම අවුරුද්ද වන විට ඒක පාසල් 100 දක්වා වැඩි කර තිබුණා. විශේෂයෙන්ම අපි උතුරු-නැඟෙනහිර පාසල්වල බොක්සිං ක්‍රීඩාවෙ ශීඝ්‍ර වර්ධනයක් ඇති කළා. ඒ වගේම, ඒ වකවානුවේ අපේ බොක්සිං විනිශ්චයකාරවරුන්, තාක්ෂණික නිලධාරීන් හා පුහුණුකරුවන් ගොඩක් දෙනකු සුදුසුකම් ලත් අය බවට පත් කෙරෙව්වා.
“ඒ වගේ, දීර්ඝකාලීනව හිතලා තමයි බොක්සිං ක්‍රීඩාව භාර ගත්තෙ. දැන් අද මම ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ තනතුරුවලින් ඉවත් වී සිටියත්, මගෙන් පසු සභාපති පුටුව භාරගෙන සිටින අනුරුද්ධ බණ්ඩාරත් ඒ කටයුතු දිගටම කරගෙන යනවා කියලා මට විශ්වාසයි. දැනටමත් ආසියානු වයස අවුරුදු 22න් පහළ බොක්සිං තරගාවලියක් මේ මාසෙ ශ්‍රී ලංකාවෙ පවත්වන්න සූදානම් කරල තියෙන්නෙ. රටවල් 15ක් එනවා. මා හිතන්නෙ ඒක අපේ තරුණ ක්‍රීඩකයන්ට ලොකු ජවයක් ගෙන දෙන තරගාවලියක් වේවි. දැන් මම ශ්‍රී ලාංකිකයකු වශයෙන් නිහතමානිව සතුටු වෙනවා රටවල් 196ක් නියෝජනය කරන අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ අධ්‍යක්ෂවරයකු වීම ගැන. ඒක අපේ රටටත් ලොකු ගෞරවයක් කියල හිතනවා.”
අන්තර්ජාතික බොක්සිං සංගමයේ සභාපති උමාර් ක්‍රෙම්ලිව් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණ මේ රටේ පාසල් ඇතුළු බොක්සිං ක්‍රීඩාවේ දියුණුවට අදාළ වැඩසටහන් කිහිපයක් ආරම්භ කළා. ඒ පිළිබඳ වත්මන් තත්වය ගැන පැහැදිළි කළ ඩයන් ගෝමස් මහතා:
“ඔහු මගේ ආරාධනයෙන් ආවෙ. ඔහුගේ පැමිණීමෙන් අපේ බොහෝ පරමාර්ථ ඉටු වුණා. ඒ වගේම රුපියල් මිලියන 10ක් පමණ වටිනා බොක්සිං අත්ආවරණ ඇතුළු උපකරණ පවා අපට ලබා දුන්නා. අවම වශයෙන් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන් දෙනෙකුට අන්තර්ජාතික තරගාවලි සඳහා ගුවන් ගමන් ප්‍රවේශපත් සහ නවාතැන්, ආහාර පහසුකම් සඳහා මුදල් දෙනවා කියලා පොරොන්දු වුණා. අපේ කනිෂ්ඨ කණ්ඩායම දෙවතාවක් විදේශ සංචාරවලට සහභාගි වුණා. ඒ මාර්ගයෙන් අපේ රටට හතර වතාවක් විතර පහසුකම් හා ආධාර ලබාගන්න මට පුළුවන් වුණා. මම අධ්‍යක්ෂකවරයකු විදියට ඉන්න නිසා අපේ ක්‍රීඩකයන් වෙනුවෙන් ඉදිරියටත් එවැනි ආධාර උපකාර ලබා ගැනීමට හැකි වේවි. ඒ වගේම අපි රුසියාවෙන් පුහුණුකරණ පහසුකම් ඉල්ලා තිබෙනවා. මේ අවුරුද්දෙ තරුණ ක්‍රීඩකයෙන් 3-4 දෙනෙක් ඒ සඳහාත් යවන්න බලාපොරොත්තු වෙනවා.”
ක්‍රීඩාව තමාට ආභරණයක් කර නොගෙන, තමා ක්‍රීඩාවට ආභරණයක් වූ පුද්ගලයකු ලෙසයි ඩයන් ගෝමස් හඳුන්වන්න පුළුවන් වෙන්නෙ. ඔබ අන්තර්ජාතික බොක්සිං සංගමයේත්, ආසියානු බොක්සිං සම්මේලනයේත් අධ්‍යක්ෂ තනතුරු දරනවා. ඔය තනතුරුවලින් ලංකාවට ඇති වැඩේ මොකක්ද? කියල කවුරු හෝ විමසුවොත්… මම විමසීමි.
“ඒක ලංකාවට ආධාර පහසුකම් ලබාගැනීමට පිටිවහලක් වනවා. අන්තර්ජාතික සම්මේලනයට අයත් හැම රටකින්ම ආධාර, උපකරණ පහසුකම් ඉල්ලනවා. එතකොට අධ්‍යක්ෂක ධුරයේ ඉන්නවා නම් එතැනින් ඒ වැඩේ කරගන්න පහසුයි. අපි හිතමු රටවල් 20ක් එකවර එවැනි පහසුකම් ඉල්ලුව කියලා. හැබැයි ඒ මොහොතේ රටවල් 3කට විතරයි නම් ඒවා දෙන්න පුළුවන්, ශ්‍රී ලංකාව ඒ රටවල් 3ට ඇතුළත් කර ගැනීමේ අවස්ථාව මට ලැබෙනවා. මේ වන විටත් මා මැදිහත් වී සෑහෙන ආධාර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබාගෙන තිබෙනවා…” යැයි පැවැසූ හෙතෙම වසර 20කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ බොක්සිං මහ පුටුව හෙබවූ අතීතයට සමුදුන් හේතුවද සඳහන් කරමින් අදහස් පළ කළේ මෙසේය:
“මගේ වයසත් එක්ක බැලුවාම නව නායකත්වයක් අවශ්‍යයි. අලුත් පුද්ගලයකු සභාපති පුටුවට එන්න ඕනෑ කියලා මා විශ්වාස කරන්නෙ. ඒ අනුව නිලවරණයෙන් පසු ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ නව සභාපතිවරයා ලෙස අනුරුද්ධ බණ්ඩාර පත්වුණා. මගෙන් පසුව කවුරු සභාපති වුණත් අන්තර්ජාතික සංගමයේත්, ආසියානු සම්මේලනයේත් සහයෝගය ලබා දීමයි මගේ බලාපොරොත්තුව. රටේ බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් නව සභාපතිවරයා දැනට යහපත් කර්තව්‍යයක් කරගෙන යනවා. ඔහුට ඒ කටයුතු ඉදිරියටත් කරන්න මගේ සහය දෙනවා. තවමත් බොක්සිංවල හිටියට අනෙක් ක්‍රීඩාවලට යන්න මගේ කිසිම ආශාවක් නැහැ. දැන් මම කැමැති ඉදිරි ජීවිත කාලය විවේකීව ගත කරන්න. ඒත් මම අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ විධායක අධ්‍යක්ෂකවරයකු විදියට ලංකාවෙ කටයුතුවලට බලපෑම් කරන්න අදහසක් නැහැ. මොකද, මම දැන් ශ්‍රී ලංකාවෙ තනතුරුවලින් ඉවත් වෙලා ඉන්නෙ. උපදෙසක් ඉල්ලුවාම එය පමණක් දෙනවා. ඒත් මම නීත්‍යනුකූලව තවමත් මෙරට සංගමයේ විධායක කමිටු සාමාජිකයෙක්.”
වසර 8ක් පමණ ජාතික ඔලිම්පික් කමිටුවේ (එන්ඕසී) උප සභාපති තනතුරක්ද දැරූ ඔහු ඒ තනතුර අවභාවිත කරමින් බොක්සිං ක්‍රීඩාවට කර ගත් දෙයක් නැති බව සඳහන් කළේ වත්මන් පාලකයන්ටද ආදර්ශයක් ගෙන දෙමිනි:
“එන්ඕසීයෙන් බොක්සිං ක්‍රීඩාවට කිසිම දෙයක් කර ගත්තෙ නැහැ. මොකද: සේරම අපට අවශ්‍ය මුදල්, අපට අවශ්‍ය පුහුණුවීම් හා අවශ්‍ය අන්තර්ජාතික තරගාවලි ස්වශක්තියෙන් අපිම ලබා ගත්තා. මගේ කාලය තුළ රජයෙන්වත් එන්ඕසීයෙන් වත් බොක්සිංවලට කිසීම ආධාරයක් ලැබුණෙ නෑ. මම එන්ඕසී උප සභාපති වුණාට මම ඒ තනතුරෙන් ප්‍රයෝජන ගන්න ගියේ නෑ. ආධාර ගන්න ටුවර්ස් යන්න මම ඉල්ලුවෙ නෑ. ඒක මගේ ප්‍රතිපත්තියක් විදියට මම ක්‍රියාත්මක කළා. එන්ඕසී එකත් හැම වෙලාවෙම කිව්වෙ ඔයාට ඕක කරගන්න පුළුවන්, ඔයා අතින් දාල වියදම් කරගන්න කියල. අපේ රටේ බොක්සිං ක්‍රීඩාව දියුණු කරන්න මේ වෙන තෙක් එන්ඕසීයෙන් කිසීම සේවයක් වෙලා නැහැ.
“එන්ඕසීය දූෂිත ආයතනයක් කියන එක අද ප්‍රසිද්ධ රහසක්. ඒක අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව පවා පිළිගත්තනෙ. ඒකෙ ඡන්ද දිනන්නේ කාටහරි කප්පම් දීලා; කොහේට හරි ටුවර් එකක් දීලා; නැත් නම් මොකක් හෝ වරප්‍රසාදයක් දීලා. වැඩිහරියක් එතැන තනතුරකට එන්නේ සල්ලි හම්බ කරන්න නැත් නම් විදේශ ගමනක් යන්න; නැත්නම් මොකක් හරි හොර වැඩක් කරන්න. ඒ සංස්කෘතිය නවත්වන්න ඕනැ. ක්‍රීඩාවට වැඩක් කරන්න වුවමනාව තිබෙන සභාපති ඇතුළු දෙතුන් දෙනෙක් තවමත් ඒකෙ ඉන්නවා.”
ජාතික කනිෂ්ඨ ෆ්ලයිවේට් බොක්සිං ශූරයාද වූ ඩයන් ඉන් පසුව ළාබාලතම විනිසුරුවරයා වශයෙන් සුදුසුකම් ලැබූ බව පැවැසුවේ තමා පාසල් ක්‍රීඩකයකු ලෙස පෑ දස්කම් සිහිපත් කරමින්:
“1972 සිට 1977 දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේ බොක්සිං ක්‍රීඩා කළා. මම ෆ්ලයිවේට් ශූරතාව අවුරුදු 4ක් දිනාගත්තා. 1975දී ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ ශූරතාව දිනුවා.”
වර්තමානයේ ශ්‍රී ලංකාවෙ බොක්සිං ක්‍රීඩාවේ යන වැඩපිළිවෙළ ගැන සතුටින් අදහස් දැක්වූ ඩයන්:
“මම ඇත්තටම ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙලා නෑ. හැබැයි මම හිතනවා නව ක්‍රීඩා අමාත්‍යවරයා අපිත් එක්ක සුබවාදිව වැඩ කරයි කියලා මට විශ්වාසයි. අවශ්‍ය නම් උපදෙස් දෙන්නත් කැමතියි. මම මේ රටේ ක්‍රීඩා පරිපාලනයෙන් ඉවත් වෙලා හිටියත්, ක්‍රීඩාවේ අධ්‍යාපනික අංශයට සම්බන්ධ වෙලා මගේ සේවය ලබා දෙනවා. විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපනික ආයතනවලට ගිහින් ක්‍රීඩා මනෝවිද්‍යා පිළිබඳව දේශන පවත්වනවා. බොක්සිං මාර්ගයෙනුත්, දේශන මඟිනුත් ක්‍රීඩකයන්ගේ මනස උසස් මට්ටමකට ගේන්න මම දායක වෙනවා. කෙසේ හෝ ජනතාවටත්, රටටත් උදවු කිරීම මගේ අරමුණයි.”