Home » ටෙස්ට් දොරට තට්ටු කරන පෝලිම දික්වෙයි
සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් පසුව

ටෙස්ට් දොරට තට්ටු කරන පෝලිම දික්වෙයි

by Mahesh Lakehouse
May 3, 2025 12:30 am 0 comment
තරගාවලියේ වීරයා සහ හොඳම පන්දු යවන්නා අකිල ධනංජය

සිවුවැනි වරටත් පැවති සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය (National Super League – NSL) ගාලු පළාත් කණ්ඩායම ශූරයන් බවට පත් කරමින් පසුගිය බදාදා (30) නිමාවට පත් වූ අතර, අවසන් මහා තරගයේදී ඔවුන් අතින් පළමු ඉනිමේ පරාජය ලැබුවේ පසුගිය වසරේ ජාතික ලීග් ශූරයන් වූ දඹුලු පළාත් කණ්ඩායමයි.

කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගයේදී පළමුව පන්දුවට පහරදුන් රමේෂ් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ගාලු කණ්ඩායම ලකුණු 370ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස ධනංජය ද සිල්වා මෙහෙයවූ දඹුලු පිලට රැස් කර ගත හැකි වූයේ ලකුණු 313ක් පමණි. එහෙත් සිවුවැනි දිනය හෙවත් අවසන් දිනයේදී සවස වර්ෂාවෙන්ද ඇති වූ බාධක හේතුවෙන් තරගය නතර කරන විට ගාලු කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලබා සිටියේ ලකුණු 246කි.

ඒ අනුව පළමු ඉනිම සලකා බලා ජයග්‍රාහකයන් තෝරාගනු ලැබුවද; 2025 මාර්තු 13දා සිට අප්‍රේල් 30දා දක්වා ගාල්ල, දඹුල්ල, මහනුවර, කොළඹ හා යාපනය යන කණ්ඩායම් 5ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වූ මෙරට ඉහළම ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන එන්එස්එල් තරගාවලිය නිමා වූයේ සැඟවී තිබූ සම්පත් රැසක් මතු කරමිනි.

තවද, ක්‍රීඩාංගණ 6ක් කේන්ද්‍ර කර ගනිමින් පැවති මේ තරගාවලියේදී සමස්තයක් ලෙස පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරු දැක ගත හැකි වූ අතර, ඒ අනුව බොහෝ පිතිකරුවන් ඉහළ ලකුණු සංඛ්‍යා කරා යද්දී සමහර පන්දු යවන්නන්ද ඉහළ දස්කම් අතරට පැමිණීම විශේෂත්වයකි. එසේම පන්දු යවන්නන්ට අසීරු තණතීරුවක වුවද කඩුලු දවාගැනීමේ හැකියාව ප්‍රගුණ කර ගැනීමට මේ තරගාවලියේදී අවස්ථාව ලැබුණු අතර, එසේ තණතීරු සකසා තිබීම මෙතෙක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටද තිබූ අඩුපාඩුවක් නිවැරදි කිරීමක් බවද කිවයුතුය. තවත් විදියකින් කිව හොත්: පිතිකරුවන්ටත් පන්දු යවන්නන්ටත් සමබිමක් සාදා නොදීමේ මෙතෙක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ ක්‍රමවේදය මේ එන්එස්එල් තරගාවලියේදී වෙනස් කර තිබිණි. ඒ අනුව ක්‍රීඩකයාගේ දක්ෂතාව හා නිපුණත්වය මත ඔහුගේ අනාගතය තීරණය වනවා මිස, තණතීරුව විසින් ක්‍රීඩකයා පාලනය කරනු නොලැබේ.

මේ හේතු කාරණා සියල්ල මධ්‍යයේ පිතිකරණ අංශයෙන් රවිඳු රසන්ත, කමිල් මිෂාර, නිපුන් ධනංජය, සොහාන් ද ලිවේරා, රන්දික ද සිල්වා, පවන් රත්නායක හා පසිඳු සූරියබණ්ඩාර යන ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉස්මතු විය. තවද, පන්දු යවන්නන් අතර පළමු තැනට පත් වෙමින් නැවතත් අකිල ධනංජය ඉදිරියට පැමිණෙද්දී, ඔහු සමඟ නවකයන් ලෙස ශිරාන් ප්‍රනාන්දු, සහන් නානායක්කාර, තරිඳු රත්නායක, මොහොමඩ් ෂිරාස් සහ චමිඳු වික්‍රමසිංහ වැනි පන්දු යවන්නෝ දක්ෂතා දැක්වූහ.

මේ අනුව එළඹෙන ජූනි මාසයේ බංග්ලාදේශය සමඟ මෙරට පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා සුදුසුකම් ලත් අයගේ පෝලිම වෙනදාට වඩා දිග ය. එහිදී ඉනිම 7කදී ද්විත්ව ශතකයක්ද සමඟ ලකුණු 563ක් (සාමාන්‍යය 93.83) රැස් කරගෙන ඉදිරියෙන්ම සිටි යාපනය කණ්ඩායමේ රවිඳු රසන්ත තරගාවලියේ හොඳම පිතිකරු ලෙස සම්මාන ලබද්දී තරගාවලියේ හොඳම පන්දු යවන්නා සහ තරගාවලියේ වීරයා යන සම්මාන දෙකම දිනාගත්තේ අකිල ධනංජයයි. දඹුල්ල කණ්ඩායම නියෝජනය කළ අකිලට එම සම්මාන හිමි වූයේ ඉනිම 7කදී කඩුලු 37ක් (ඉනිමක හොඳම පන්දු යැවීම 7/83) දවාගැනීමත් පිත්තෙන්ද දස්කම් පාමින් ඉනිම 6කදී ලකුණු 76ක් රැස් කර තිබීමත් හේතුවෙනි. කෙසේ වෙතත් අවසන් තරගයේ වීරයා වූයේ ඉනිම දෙකේදී ලකුණු 144ක් (80/ 64) රැස් කළ ගාලු කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල්ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division