– සිනමාව හදන්න ඕනේ කලාවක් විදිහට නෙවෙයි කර්මාන්තයක් විදිහටයි
– නාට්‍යදැන්වීම් අලවන්න කොළඹ බෝඩ් හදන්න කියන ඉල්ලීම කළේ මමයි
– නෙයිනාගේ සූදුව මුලින්ම පෙන්නුවාම සෙනඟ ආවේ නැහැ
– අම්මයි, තාත්තයි වෙන් වෙලා කියලා දැන ගත්තෙත් පසු කාලෙකදි
හැත්තෑව අසූව දශකවල වේදිකාව, රූපවාහිනිය, සිනමාව රංග ප්‍රාතිහාර්යයෙන් වික්ෂිප්ත කළ ප්‍රතිභාපූර්ණ රංගධරයන් අතර දයා වයමන් නම් වූ ඔහු සුවිශේෂ වන්නේ ඔහු රංගන ශිල්පියෙක් පමණක් නොව නාට්‍ය පිටපත් රචකයෙක්, නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයෙක් ද වන බැවිනි. ටයිටස් තොටවත්තයන්ගේ චිත්‍රපට ඇතුළුව චිත්‍රපට නවයක සහ ටෙලි නාට්‍ය 17ක සහාය අධ්‍යක්ෂවරයා, ගුවන්විදුලි හඬ රංග ශිල්පියා, ස්වතන්ත්‍ර නාට්‍ය 52ක් නිර්මාණය කළ, නාට්‍ය පිටපත් 61ක් ලියූ නාට්‍යකරුවා බොහෝ කාලෙකට පසුව අප සමඟ කතා බහ කළේය. ‘නෙයිනාගේ සූදුව’ වේදිකා නාට්‍යයේ මුල්ම නිර්මාණකරුවා ඔහු ය. පසු කාලීනව නෙයිනාගේ සූදුව නාට්‍යය තව බොහෝ අය තම තමන්ගේ නිර්මාණ ලෙස නොයෙකුත් වෙනස්කම් ද සහිතව එළිදැක්වූ නමුත් ඒ එකදු නෙයිනාගේ සූදුවකුදු දයා වයමන්ගේ ‘නෙයිනාගේ සූදුව’ තරම් නොවුණි.
“නෙයිනාගේ සූදුව මුලින්ම හදලා පෙන්නුවාම සෙනඟ හිටියේ නැහැ. එ් කාලේ පිළිගැනීම් තිබුණු නාට්‍ය ශෛලියට වඩා වෙනස්ම විදිහකට තමයි මේ නාට්‍ය මම නිර්මාණය කළේ. ඉහළ පෙළේ නාට්‍යකරුවන්ට තිබුණු සැලකිල්ල මට ලැබුණේ නැහැ. මට පොඩි වෑන් එකක් තිබුණා. ඒක වටේට වැහෙන තරමට නෙයිනාගේ සූදුව නාට්‍යයේ අවස්ථා සහිත පෝස්ටර් අලවලා ඒකෙ ගිහින් ගුවන්විදුලියටයි, රූපවාහිනියටත් මේ නාට්‍ය ගැන දැන්වීම් දුන්නා. නමුත් ප්‍රගතියක් වුණේ නැහැ. අබේවර්ධන බාලසූරිය අධ්‍යක්ෂණය කළ ‘නන්දන වින්දන’ වැඩසටහනේ අනෙක් කලා නිර්මාණ පිළිබඳ විස්තර අතරේ මහා ලොකු අකුරින් ‘නෙයිනාගේ සූදුව’ කියන නම පුංචි තිරයේ තත්පර කිහිපයකට පෙන්නුවා. නමුත් ඒක මගේ නිර්මාණයක් කියලා ඒකේ විස්තරයක් තිබුණේ නැහැ. වෙන නිර්මාණයක විස්තර පෙන්නගෙන යද්දී ඒකේ අගටම නාට්‍යයේ නම විතරක් ගියා. එසැණින් මගේ යටි සිත වේගවත් වුණා. එක රැයින් පෝස්ටර් හදලා රෑ එළිවෙද්දි කොළඹ පුරාම ‘නෙයිනාගේ සූදුව’ පෝස්ටර් ගැහුවා. නාට්‍යකරුවන්ට නාට්‍යවල දැන්වීම් අලවන්න කොළඹ බෝඩ් හදන්න කියන ඉල්ලීම මුලින්ම කළේත් මමයි. මගේ නාට්‍යවල සංවාද රසය ඉහළයි. නිහාල් සිල්වාගේ රංගනයත් මේ නාට්‍යයේ රසවත් බව වැඩි කළා. අද මේ නාට්‍යය වෙනත් වෙනත් අය වෙනස් වෙනස් විදිහට කරලා නාට්‍යය විනාශ කරලා තියෙන්නේ. නමුත් ඔරිජිනල් ‘නෙයිනාගේ සූදුව’ නාට්‍යය මගේ. නිහාල් සිල්වා කොච්චර හොඳට නාට්‍යය කළත් නිරතුරුවම මා එක්ක ගැටුම් ඇති කර ගත්තා. ‘නල්ලතම්බි’ නාට්‍යය කරන කාලේ මම ඔහුව මගේ නාට්‍යවලින් ඉවත් කළා. ඊට පස්සේ එයා ගිහින් සාජන්ට් නල්ලතම්බි කියලා වෙනම නාට්‍යයක් හදා ගත්තා. ඔය විදිහට නානාප්‍රකාර නල්ලතම්බිලාත් බිහි වුණා. නමුත් දයා වයමන්ගේ නල්ලතම්බි තවමත් මැරිලා නැහැ.”
දයා උපන්නේ සිය මවුපියන් හොරණ කෝරළඉම ප්‍රදේශයේ ජීවත්ව සිටි කාලයේ. එනම් 1939 ඔක්තෝබර් 23 වැනිදා පානදුර රෝහලේදීය. එහෙත් කෝරළඉම ගම පිළිබඳ මතකයක් ඔහුට නැත. ඒ ඔහු කුඩා වියේදීම මාතර බෙලිඅත්තට සංක්‍රමණය වන බැවිනි.
“මගේ අම්මයි, තාත්තයි විරසක වෙලා අම්මා මාව මාතර බෙලිඅත්ත කඩේ කියන ගමේ අක්කර 22ක විතර විශාල වත්තක් මැද තිබුණු මැටි ගෙදරට එක්කගෙන ගිහින් එහේ සිටිය මුත්තටයි, අත්තම්මටයි මාව හදාගන්න කියලා බාර දීලා තියෙනවා. ඒ ගැන කිසි මතකයක් මට නැහැ. මගේ මුත්තා වැල්ලවත්ත පොලීසියේ පොලිස් නිලධාරියෙක් විදිහට රැකියාව කරන කාලේ බත් කන්න ගිහින් තියෙන්නේ අත්තම්මලාගේ හෝටලයට. ඒ හෝටලේ කැෂියර් එකේ ඉඳලා තියෙන්නේ අත්තම්මා. දෙන්නා හාදකමක් පටන් අරගෙන අන්තිමේදී මුත්තා බෙලිඅත්ත පොලීසියට ස්ථාන මාරුවක් හදාගෙන අත්තම්මාවත් අරගෙන බෙලිඅත්තට ඇවිත් තියෙනවා. අත්තම්මා පෙනුමෙන් හරි පුංචියි. බෙලිඅත්ත කඩේ ගම්වැසියෝ අත්තම්මාට කියන්නේ ‘කොළඹ ළමයා’ කියලා. මේ මහා විශාල වත්තේ කොට්ටම්බා ගස්, කොස් ගස් 39ක්, පොල් ගස් ඇති වෙන්න තිබුණා. වත්ත මැද්දේ තිබුණු මැටි ගෙදර මගේ මුත්තායි, අත්තම්මායි, පුංචි අම්මලායි, මාමලායි මහා ගොඩක් හිටියා. ඒ අතර මමත් හිටියා. මුත්තාගේ පවුලේ අපේ අම්මා තමයි වැඩිමල් දරුවා. ඔක්කොම දහනව දෙනෙක් හිටපු පවුලක් තමයි ඒක. කවදාවත් මට අමුත්තක්, පාළුවක් දැනිලා නැහැ. පුංචිඅම්මලා, මාමලා එකතුවෙලා චිත්‍රපටි බලන්න යනවා. මාවත් එක්කගෙන යනවා. ඒ චිත්‍රපටිවල ජවනිකා ගෙදර ඇවිත් අපි රඟපානවා. පුංචි අම්මලාගේ ගවුම් ඇඳගෙන මමත් සින්දු කිය කියා නටනවා. බෙලිඅත්ත එච්කාවත්ත රජයේ පාසලට තමයි මුලින්ම මම ගියේ. ඒ පාසලේදී තමයි මම පහ සමත් වුණේ. ඊට පස්සේ බෙලිඅත්ත ජූනියර් පාසලට මාව දැම්මා. ඒ පාසලේ හතේ පන්තියට යනකම් මම හොඳින් ඉගෙන ගත්තා. අම්මායි, තාත්තායි වෙන් වෙලා කියන දේ මම දැන ගත්තෙත් ගොඩාක් පසු කාලෙකදි. මම දවසක් පිළියන්දල බස් නැවතුමේ ඉන්න වෙලාවක තරමක් මහත ශරීරයක් සහිත මහත්තයෙක් මගේ ළඟට ඇවිත් ඇහුවා ‘ඔයාගේ තාත්තාගේ නම මොකක් ද…’ කියලා. මම තාත්තාගේ නම කිවුවා. එ් හාදයා මට කියනවා ‘මගේ තාත්තාගේ නමත් ඒකම තමයි’ කියලා. එදා මං හිතුවා අපේ අම්මායි, තාත්තායි විරසක වෙලා තියෙන්නේ මෙහෙම ප්‍රශ්නයකට තමයි කියලා. අම්මා ඉතාම දක්ෂ ටේලර් කෙනෙක් නිසා එයාට මුදල් අතින් ලොකු අපහසුවක් වුණේ නැහැ. අම්මා කොළඹ රස්සාව කරමින් සිටියා. මම මුත්තාගේ ගෙදර හිටියා.”
මුත්තගේ හදිසි මරණය බෙලිඅත්ත කඩේ මැටි ගෙදර සතුට නිමා කරන්නක් විය. විශාල දරු පිරිසක් මදිවාට මුනුබුරා ද රැකබලා ගත් අතත්ම්මාට එතැනින් පසු ජීවිතය පහසු වූයේ නැත.
“මුත්තා ව්‍යාපාර කිහිපයක්ම කරලා තියෙනවා. බෙලිඅත්ත කඩේ මිනිපෙට්ටි සාප්පුවක්, බෝල මේසයක් (බිලියට් ක්‍රීඩා කරන ස්ථානයක්), පැඟිරි තෙල් කඩයක් තිබිලා තියෙනවා. ගොඩැල්ල උඩ බදු අය කරලා තියෙන්නෙත් අපේ මුත්තා. පොලිස් සාජන් කෙනෙක් හැටියට රාජකාරි කළ නිසා රජයේ වැටුපත් ලැබුණා. මේ නිසා මුත්තාගේ අතේ සල්ලි නිතර තිබුණා. තනි අකුරේ වාහන දහනවයක් මුත්තාගේ වත්තේ නවත්වනවා. එක දවසක් මුත්තා ගොඩැල්ල උඩ බදු අය කරලා බිලියඩ් රූම් එකට රෑ වෙලා එන අතරතුරදී අපේ මාමා එක්ක එකතු වෙලා සල්ලි හොරකම් කළ කෙනෙම් මුත්තාගේ අතේ තිබුණු සල්ලි හොරකන් කරලා, මුත්තාට පිහියෙන් ඇනලා මරලා දාලා තිබුණා. අපි හැමෝම ඇඬුවා මට මතකයි. විශාල දරු පවුලක් එක්ක අත්තම්මා අසරණ වුණා. මුත්තා හම්බ කරලා තිබුණු මුදල්, දේපළ ටිකෙන් ටික නැති වෙලා වියදම් වෙලා ඉතාම අමාරු කාලයක් උදා වුණා. අත්තම්මා අපි හැමෝගෙම කුසගිනි නිවන්න පුදුමාකාර දහිරියක් දුන්නා. වත්තේ තිබුණු කොස් තම්බ තම්බා වත්තෙන් කඩන පොල් එක්ක එයාගේ දරුවන්ටත්, එයාගේ දරුවාගේ දරුවා වෙච්චි මටත් දිගටම කන්න දුන්නා. අන්තිමේදී වත්ත ගමේ හිටපු කළු මහත්තයාට බද්දට දෙන්නත් අත්තම්මාට සිදු වුණා. එයා ගස්වල තිබුණු කොස්, පොල් කඩාගෙන අත්තම්මාගේ අතට කීයක් හරි දීලා යනවා. අපට කන්න තිබුණු කොස්, පොල් ටිකත් අපට නැති වුණා. ඒක හරිම අමාරු කාලයක් තමයි. මමත් බඩගින්නේ ඉඳලා තියෙනවා.”
ඒ මොන අමාරුකම් තිබුණත් බෙලිඅත්තේ ගෙදරින් නික්මෙන්න දයාට ඕනෑ වුණේ නැහැ. නමුත් දරුවාගේ අනාගතය ගැන කල්පනා කළ අත්තම්මාට ඕනෑ වුණේ දයාට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමටයි.
“අත්තම්මා අපේ අම්මාට කිවුවා මේ කොල්ලව කොළඹ අරන් ගිහින් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් ඉස්කෝලෙකට දාන්න කියලා. අම්මා මාව කොළඹ එක්කගෙන ආවා. වැල්වත්තේ ඉංග්‍රීසි ඉස්කෝලෙට දාන්න එක්කගෙන ආවා ම එහිදි මගේ ඉංග්‍රීසි දැනුම ගැන බලන්න පරීක්ෂණයක් තිබ්බා. එතැනදි අහපු ඉංග්‍රීසි වචන තුනට ම සිංහල තේරුම මොකක්ද කියලා කියන්න මම දැනගෙන හිටියේ නැහැ. හත පාස්වෙලා හිටපු මාව ඒ ඉස්කෝලෙදි ආයෙමත් පහේ පන්තියට දැම්මා. මාත් ඉතින් හෙමි හෙමිහිට ඉංග්‍රීසිත් එක්ක නැවත ඉගෙන ගනිමින් ඉහළට ඇවිත් සාමාන්‍ය පෙළ සමත් වුණා. වැල්ලවත්ත ඉස්කෝලෙට යන පාරේ තමයි අනුලා කරුණාතිලක හිටියේ. එතකොට අපේ පන්තියේ හිටියා යූ. ඩී. ශ්‍රියාරත්න කියලා ළමයෙක්. එයා ‘වතුර පයිප්පේ’ කියලා නාට්‍යයක් කළා. ඒවාට සම්බන්ධ නොවුණාට නාට්‍ය, චිත්‍රපට ගැන හැඟීමක් ඒවායිනුත් වැඩිදියුණු වුණා. කඩවුණු පොරොන්දුව චිත්‍රපටය ටකරන් හෝල් එකේ බලද්දි මට වයස අවුරුදු නවයක් විතර ඇති. ඉස්කෝලේ සමිතිවලදි මම චිත්‍රපට ගීත ගායනා කරමින් රඟපානවා. ඉස්කෝලේ හැම නාට්‍යයකම, ගායනා තරග ආදියේදි ජයග්‍රාහකයා වුණේ මම. අපේ මාමා කෙනෙකුට කොළඹ අච්චු කන්තෝරුවක් තිබුණා. ඉස්කෝලේ ඇරිලා කොල්ලෝ එක්ක නටනවා කියලා අම්මා මාව මාමාගේ අච්චු කන්තෝරුවට යැව්වා. මුද්‍රණ ශිල්පයට අදාළ ව සියලු දේ මම එතැනදී ඉගෙන ගත්තා. ඊට පස්සේ බ්‍රිටන් මුද්‍රණාලයට වැඩට ගියා. ඒ ළඟ තව මුද්‍රණාල තිබුණා. ඒ හැම මුදුණාලයකම මම කොටස් වශයෙන් වැඩ අරගෙන කරලා තියෙනවා. ම්‍රද්‍රණ ශිල්පයත්, මුද්‍රණ කලාවත් වර්තමාන වෙනස්කම් සහිතව අදටත් මම දන්නවා. ‘ඇත්ත’ පත්තරෙන් පටන් අරගෙන පත්තර කන්තෝරු කිහිපයකම මුද්‍රණයට, පිටු සැකසුමට අදාළ කටයුතු කළා. පසුව පත්තර කිහිපයක නියෝජ්‍ය කර්තෘ හැටියටත් වැඩ කළා. ඉගෙන ගන්න තියෙන හැම දෙයක්ම ඉගෙන ගත්තා. ලයනල් පෙරේරා මහතාගෙන් සංගීතය ඉගෙන ගත්තා. අතට අහුවෙන හැම පත්තර කඩදාසියම කියවීමේ පුරුද්දක් මට තිබුණා. දැනුම රැස් වුණා. නාට්‍ය පිටපත් ලියන්න පටන් ගත්තා. 1963 දී මගේ මුල්ම නාට්‍යය මම කළා ‘හැට හතරෙන් එක’ කියලා. ඊට පස්සේ 1974 දී මම නාට්‍ය සතියක් කළා. ඒකට මම නාට්‍ය නවයක් කළා. ඒ අතරේ ගුවන්විදුලි නාට්‍ය පාඨමාලාවකුත් පිටතින් හදාරලා ගුවන්විදුලියේ තේවිස් ගුරුගේ මහතාගේ ගුවන්විදුලි අභ්‍යාස පර්ෂදයට ඇතුළු වෙලා අභ්‍යාස පාඨමාලාව කළා. විශ්ව සාහිත්‍යයෙන් වැඩ කළා. නාට්‍ය, නිවේදන කළා. සුදර්ශියට සම්බන්ධ වෙලා නාට්‍ය පුහුණුවීම් කළා. නාට්‍ය පාඨමාලා පැවැත්වුවා. මගෙන් ඉගෙන ගත්ත බොහෝ දෙනෙක් නාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා. 1975 වනවිටත් සෞන්දර්ය විෂයයන් පාසල් පද්ධතිය තුළ තිබුණත් නාට්‍ය හා රංග කලාව තිබුණේ නැහැ. ධම්ම ජාගොඩ ලේකම් වෙලා ලක්ෂ්මන් ජයකොඩි සභාපති වෙලා නාට්‍ය හා රංග කලාවට විෂය මාලාවක් හදන්න කමිටුවක් පත් කළා. ආචාර්ය සරච්චන්ද්‍රයන් ඇතුළුව පහළොස් දෙනෙක් ඒ කමිටුවේ හිටියා. ඒ අතරින් 13 දෙනෙක්ම මේ වනවිට ජීවතුන් අතර නැහැ. අදටත් ප්‍රායෝගිකව මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන එකම තැනැත්තා මමයි. දිමුතුමුතු ටෙලි නාට්‍යයෙන් පටන් ගත්තාම අදටත් මම ටෙලි නාට්‍යවල රඟපානවා. චිත්‍රපටවල රඟපානවා. රඟපෑමට වඩා චිත්‍රපට නිෂ්පාදන කාර්යයට මම සම්බන්ධ වුණා. “ටයිටස් තොටවත්ත මහතාගේ ‘හඳයා’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ හැටියට කටයුතු කරද්දි ඉබ්බෙක් ගමන් කරන දර්ශනය රූගත කරන්න ඉබ්බෙක් ගෙනාවා. රූගත කරන්න ඔක්කොම සෙට් කර ගත්තා. ඉබ්බා යන්නේ නැහැ. ඒ පාර ඉටි පන්දමක් පත්තු කරලා ඉබ්බාගේ පිටුපසට ළං කළා. මෙන්න ඉබ්බා යන්න පටන් ගත්තා. ඔය වගේ සිද්ධි නම් අනන්තයි. කොහොම වුණත් එක දෙයක් කියන්න ඕනේ. සිනමාව හදන්න ඕනේ කලාවක් විදිහට නෙවෙයි, කර්මාන්තයක් විදිහටයි. අපේ සිනමාව අද කඩා වැටිලා තියෙන්නේ කර්මාන්තය ගැන නොසිතන නිසා.” මේ සියලු දේ අතර ඔහු විවාහ වීමෙන් දියණිවරුම හතර දෙනෙකු ලැබුවේය. මේ වනවිට ඔහුට මුනුබුරන් 5 දෙනෙක් සහ මිනිබිරියන් තිදෙනෙකු ද සිටී. බිරිඳ මෑතකදී මිය ගියා ය.