Home » කොණ්ඩෙ කැපුවත් ලැබෙන මැර චරිතවල අඩුවක් නෑ

කොණ්ඩෙ කැපුවත් ලැබෙන මැර චරිතවල අඩුවක් නෑ

පසිඳු සිංහාරගේ

by Mahesh Lakehouse
May 3, 2025 12:30 am 0 comment
ප්‍රභාෂලී රත්නායක

කලා ජීවිතයේදී නිවේදනය, රංගනය, හඬකැවීම යන ක්ෂේත්‍ර තුනෙහිම නියැ­‍ෙළන පසිඳු සිංහාරගේ පෞද්ගලික ජීවිතයේදී ක්‍රීඩාව, ගොවිතැන ගුරු වෘත්තිය යන ක්ෂේත්‍රයන්හි නියැලේ. වැඩක් ඇති විට රංගන කටයුතුවල නියැළෙන්නටත්, අනෙක් වෙලාවට ගමට ගොස් වගාකරන්නටත් හුරුවී සිටින පසිඳු නළුවෙකුටත් වඩා සාමාන්‍ය මිනිසෙකු ලෙස මේ සමාජයේ කැපී පෙනෙන්නට උත්සාහ දරන්නෙකි.

ඔබ රංගනයෙන්, නිවේදනයෙන්, හඬකැවීමෙන් මුලින්ම පෙලඹෙන්නේ කුමකටද?

මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ආටිගල කනිෂ්ඨ විද්‍යාලයේ. උසස් පෙළ සඳහා හංවැල්ල මායාදුන්න මහා විද්‍යාලයට ඇතුළත් වෙනවා. පාසලේදී විවිධ ක්‍රියාකාරකම් සිදුකිරීම නිසා මගේ කථන හැකියාව වර්ධනය වුණා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඇඹුල්ගම ශ්‍රී සාරානන්ද දහම් පාසලේ දම්කන්දේ බෝධිවංශ හාමුදුරුවෝ. උන්වහන්සේ තමයි දහම් පාසලේ දී මාව කවියක් කීමට කතාවක් පැවැත්වීමට යොමු කළේ. අවුරුදු දොළහේදී මම විවිධ නිවේදන කටයුතු සිදු කරනවා. අවුරුදු 18න් පසුව වෘත්තීය මට්ටමෙන් මුදල් මත නිවේදන කටයුතු සිදු කිරීමට පෙලඹෙනවා. දැනට සංගීත ප්‍රසංගවල නිවේදන කටයුතු, විවිධ උත්සවවල නිවේදන කටයුතු සිදුකරනවා.

ඔබ රංගනයට පිවිසෙන්නේ කෙසේද?

මම රැකියාව වශයෙන් ශ්‍රී ලංකා පොලිසියට සම්බන්ධ වීමට ඉතා කැමැත්තක් දැක්වූ කෙනෙක්. ඒ සඳහා ඉල්ලුම්පත් යොමු කළත් මාව තේරීපත් වන්නේ නැහැ. ඉන් පසු මම යුද හමුදාවට බැඳෙනවා. යුද හමුදාවේ රැකියාව සිදු කිරීමට ගියවිට ජාතික මල්ලවපොර තරගයට සහභාගි වීමට අවස්ථාවක් ලැබෙනවා. එහිදී කිලෝ 79ක බර ඔසවා පළමු ස්ථානය මම හිමිකර ගන්නවා. එම උත්සවය අවසන් වී මම නිවස බලා පැමිණෙන විටදී චිත්‍රපටයක් ෂූට් කරනවා කියලා ආරංචියක් එනවා. ඒක බලන්න යන්න මට පුදුම ආශාවක් ඇති වුණේ. ගුත්තිල ෆිල්ම් එක තමයි එතන ෂූට් කළේ. එතැනදි කෙනෙක් මගෙන් ඇහුවා රාජ පුරුෂයෙක් වගේ හිටගෙන ඉන්න කැමතිද කියල. මමත් නිකං ලැබුණු අවස්ථාව නිසා කැමතියි කිව්වා. එම අවස්ථාවෙන් මගේ ජීවිතයේ තවත් පැතිකඩක් විවර වුණා.

එම සිද්ධියෙන් පසු ඔබට කොහොමද රංගන කටයුතුවලට අවස්ථාව ලැබෙන්නේ?

එම අවස්ථාවේ රාජ පුරුෂයාගේ චරිතය අවසන් කළ මට අසන්නට ලැබුණේ හෙට නාට්‍යයක් තියෙනවා. ඒකෙ බොඩි ගාඩ් කෙනෙක්ට ඉන්න කැමතිද කියල. හැබැයි පාන්දර හතර වෙනකොට එන්න කියලත් කිව්වා. මට කතා කරලා තියෙන්නේ අතිරේක චරිතවලට නළු නිළියන් කෝඩිනේට් කරන දිල්රුක්ෂි වීරපරාක්‍රම කියලා මම පස්සේ තමයි දැනගත්තේ. එදා නොසිතූ අවස්ථාවක රඟ රඟපානු ලැබුවේ ජයසේකර අපොන්සු විසින් නිර්මාණය කරන ලද මනුසත්වයෝ යන චිත්‍රපටයයි. නමුත් තවම ඒක ටෙලිකාස්ට් වෙලා නෑ.

ඊට අමතරව රඟපෑ චිත්‍රපට මොනවද?

මිදුණු විශ්වය, කබඩි සිනමා පටයේ කබඩි ප්ලේයර් කෙනෙක් විදිහටත්, පාස්පෝට් සිනමා පටයෙත් රඟපාන්න ලැබුණා. පාස්පෝට් කියන්නේ ඉතාලි යෑමට ප්‍රිය කරන පුද්ගලයින් දෙදෙනෙකු වටා ගෙතුන කතාවක්. ඊට පස්සේ දීප මෙහෙතා කියන tamil අධ්‍යක්ෂවරිය විසින් අධ්‍යක්ෂණය කරන සිනමා පටයකට රංගනයෙන් දායක වෙනවා. ඒක තමා මගේ මුල්ම විදේශ සිනමාපටය. අලුතින්ම රංගනයෙන් දායක වුණේ එලද බ්‍රා සිනමාපටයට. ඒ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණේ ආරක්ෂකයෙකුගේ චරිතයකටයි.

ඔබ රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය මොනවාද?

හදවතේ කතාව, ධරණි, හුස්මක් තරමට, හොඳ වැඩේ, ඔබ නිසා, Queen, මායාවී, නීල පබළු වැනි ප්‍රධාන ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වුණා. මෑත කාලයේ ඉතා ප්‍රසිද්ධියට පත් වුණේ ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක අධ්‍යක්ෂණය කරන ලද නිදුක් මධුශිත අයියා ලියන සැලෙන නුවන් ටෙලි නාට්‍යයයි. ඒකෙ මම රංගනයෙන් දායක වන්නේ ‘සෝමේ‘ කියන චරිතයට. සෝමේ කියන්නේ ගමේ කසිප්පු විකුණන චරිතයක් වුණත් ගමේ තනි චරිතයක් නිසා දහම්, පුතා, මුදලාලි යන චරිත ත්‍රිත්වයම සමඟ සෝමේගේ චරිතය බැඳී පවතිනවා. රොකී ටෙලි නාට්‍යයයේ මම සුදු අයියාගේ චරිතය නිරූපණය කරන අතර අවුරුදු විස්සක් හිරේ සිට නැවත පැමිණි අයෙක්. සුදු අයියා කිව්වත් මගේ පැහැය කළු. ටෙලි නාට්‍යයේදී සුදු සරමයි සුදු කමිසයයි අඳින හින්දා තමයි මට සුදු අයියා කියන්නේ.

ඔබට රඟපෑමේදී නිරන්තරයෙන් හමුවන්නේ මැර චරිත නේද?

ඇත්තෙන්ම ඔව්. මම දැනට ටෙලි නාට්‍ය හතළිහකට වැඩි ප්‍රමාණයක සුළු චරිත රඟපාලා තියෙනවා. නමුත් එම බොහෝ චරිත වලින් මට ලැබුණේ under world එකට සම්බන්ධ චරිත. හමුදාවේ ඉන්න කාලේ කොණ්ඩේ වවාගෙන හිටපු නිසා මම හිතුවේ ඒ පෙනුම නිසා මෙම අවස්ථාව ලැබෙනවා කියලා. නමුත් රැකියාවෙන් ඉවත් වීමෙන් පසු කොණ්ඩේ කපා දැමුවත් ලැබෙන මැර චරිතවල වෙනසක් සිදුවෙලා නෑ. හැමෝම කියන්නේ එම චරිත මට ලැබෙන්නේ මගේ පෞරුෂත්වය හා මගේ කටහඬෙහි ඇති ස්වභාවය නිසා කියලයි.

ඔබ හඬකැවීම් ශිල්පියෙක් ලෙසත් කටයුතු කරනවා නේද?

ප්‍රසිද්ධ රූපවාහිනී ආයතන දෙකක කාටුන් හා කොරියන් ඩ්‍රාමාවල හඬකැවීම් සිදුකරනවා. විලන් චරිත හා නපුරු සතුන්ගේ චරිත තමයි වැඩිපුරම මට හඬකැවීමට ලැබිලා තියෙන්නෙත්.

නවකයෙක් විදියට ක්ෂේත්‍රයට එනකොට ආව අභියෝග මොනවද?

ඕනෑම ආධුනිකයෙකුට ඇතිවන ප්‍රශ්න සියල්ලක්ම වගේ මටත් ආවා. විවිධ කැපිලි කෙටිලි ආවා. නමුත් ඒ මිනිසුන් අතර හොඳ අයත් හිටියා. ලැබුණ හිත් රිදීම් නම් එමටයි. කිහිප විටෙකදීම මට එවැනි දේට මුහුණ දීමට සිදු වුණා. ඒත් මොනදේ ආවත් මම මගේ ගමන ආවා. බෙහෝ තැන් වලදි මගේ කටහඬ මට අවාසි වෙන තැන් වලදි වාසි තැන් බවට පත් කර ගත්තා.

ඔබට මේ ගමනේදී සහය වූ අය ගැන පැවසුවොත්…?

මගේ අම්මා, තාත්තා මුලින්ම මට ගොඩක් සහයෝගය දුන්නා. ඊට අමතරව දම්කන්දේ බෝධිවංශ හාමුදුරුවෝ මට මේ ගමනේදී ආශීර්වාද කළා. ඒ වගේම චින්තක සර්ගේ දක්ෂ කථිකත්වය දෙස බලාගෙන ඉඳලා මම ඉගෙන ගත්ත කරුණු ගොඩක් තියෙනවා. ඒ හැම දෙයක්ම මට මේ ගමන එන්න ප්‍රයෝජනවත් වුණා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division