දිලෙයි තරුවක් ඈත අහසේ පෙර ගමන් කියනා
සිතේ වැටකොටු බැඳන් නුඹ ඇයි නතර වී ඔතැනා
හාමතේ අර නිදන බිලිඳකු දුක් සුසුම් හෙළනා
සිතේ කහටක් නොමැති උන් ටික මාවතක් තනනා
උතුර දකුණ ද නැඟෙනහිර හැම එකම යායක් වුණා නම්
කඳුකරේ නුඹ හෙළන දාබිඳුවලට අගයක් ලැබේ නම්
පෑරී පෑරී බිඳුණු සිත්වල සාමයේ මල් පිපේනම්
එකට එක්වෙමු රටම පුබුදමු එය රටට වාසනාවන්
අතින් අත ගමු රොද බැඳෙමු අපි වටු කුරුලු කැල මෙන් එදා
නපුරු ලෝකය නිමා කරවමු හැමෝටම සෙනෙහස පුදා
සරුබිමක් වෙත යන ගමන් මඟ ජය ටැඹින් කෙළවර කරා
එකට එක්වෙමු එකට හිනැහෙමු සහෝදරකම හිත දරා
ගායනය – නවෝද් නෙරංජන ආරියදාස
පද රචනය – එච්.කේ. ආරියදාස
සංගීතය – විහඟ ප්‍රසාද් සිරිවර්ධන
මිනිසුන් ලස්සන හිනැහෙන විටය. මිනිසුන් ලස්සන හොඳ වැඩ කරන විටය. මිනිසුන් ලස්සන එකිනෙකාට සහයෝගය දක්වන, එකිනෙකාට ආදරය කරන විටය. රටක් ලස්සන රටේ මිනිසුන් සහයෝගයෙන් සහජීවනයෙන් සිටින විටය. එදා මෙදාතුර අපට කෙදිනක එවන් රටක් දැකිය හැකිද?
බුදුදහම තිබෙන රටක මිනිසුන් මෙතරම්ම වෛරක්කාරී හැඟුමින් පිරීඅය විය හැකිද…? කෙනෙකුට එසේ සිතෙන්නට පුළුවන.
ආදරය, දයාව, කරුණාව, ඇති විය යුත්තේ ගෙදරිනි. මිනිසුන් මිනිසුන්ට පමණක් නොව සතා සීපාවාට ද මෛත්‍රිය කරුණාව මුදාහැරිය යුතුය. මේ ලියන වචන වචනම විතරක් වන්නේ අපි මේ සංකල්පයන් ක්‍රියාත්මක නොකරන විටය. අප ජීවිතය ගොඩනඟා ගත යුත්තේ තමන් ආදර්ශයට ගෙනය. අනෙකා ආදර්ශයට ගත යුත්තේ ඉන් පසුවය.
උදේ සිට රෑ වන තුරු බණ දහම් ඇසුවද මේ සමාජයෙන් වෛරය, තරහව, ඊර්ෂ්‍යාව තුරන් කළ නොහැකිය. ඒ ඇයි දැයි කියන්නට කිසිවකුට වැටහෙන්නේද නැත.
ගහට කොළට සතා සීපාවාට ආදරය කරන මිනිස් හිත් පිරිසුදුය. මිනිස්කම පිරුණ මිනිසුන් මේ සමාජ රටාව තුළ අද සොයා ගන්නට අපහසුය. එනමුදු අප වෑයම් කළ යුත්තේ ගුණ යහපත් කමින් පිරුණ සමාජයක් ගොඩනඟන්නටය. එවන් වෑයමක යෙදෙන මිනිසකුගේ අතින් ලියවුණ ගීතයක් පසුගිය දා අසන්නට ලැබිණි:
‘දිලෙයි තරුවක් ඈත අහසේ
පෙර ගමන් කියනා
සිතේ වැටකොටු බැඳන් නුඹ ඇයි
නතර වී ඔතැනා
හාමතේ අර නිදන බිලිඳකු
දුක් සුසුම් හෙළනා
සිතේ කහටක් නොමැති උන් ටික
මාවතක් තනනා…’
‘දිලෙයි තරුවක් ඈත අහසේ…’ ගීතය ලියන්නේ වෘත්තියෙන් ශ්‍රවණවේදියකු වන එච්.කේ. ආරියදාසයන්ය. ඒ පද පෙළ සංගීතවත් කරන්නේ නව පරපුරේ සංගීතවේදියකු වන විහඟ ප්‍රසාද් සිරිවර්ධනයන්ය. ගීතය ගයන්නේ යොවුන් ගායන ශිල්පී නවෝද් නෙරංජන ආරියදාසයන්ය. මින් පෙරද අපූරු ගීත කිහිපයක්ම රචනා කර ඇති ආරියදාසයන් තමන් විසින් රචනා කරන ලද මේ ගීතය ගැන පැවැසුවේ මෙවන් අදහසකි:
“අපි ඉපදුණ සමාජයට වඩා අද අපි ජීවත් වන සමාජය වෙනස්. එහෙම කියලා අපිට මේ සමාජ ක්‍රමය ඇතුළේ හුදෙකලා වෙලා ඉන්න අපහසුයි. අපි පුංචි කාලේ හිටිය සමාජයට වඩා අද සමාජ ක්‍රමය වෙනස්. එහෙම වුණත් අපි හැමවිටම උත්සාහ කරන්න ඕන මේ සමාජය යහපත් කරන්නට. සමාජය යහපත් කරන්නට නම් මේ සමාජයේ සිටින මිනිසුන් ආදරණීය වෙන්න ඕනෑ. අපි එකිනෙකාට ආදරණීය වෙන්න ඕනෑ. අද වන විට ලෝකයම එක යායක් වෙලා තියෙන්නේ. මේ සමාජ ක්‍රමයේ මිනිසුන් ජාති ආගම් භේදවලින් බෙදිලා ඉදලා පලක් නැහැ. මිනිස්සු මිනිස්සුන්ට ආදරය කරන්න ඕනෑ. එකිනෙකාට උදවු කරන්න ඕනෑ.
“වටු කුරුලු කතාවේ වටු කුරුල්ලෝ වගේ ඔක්කොම එකට එකතු වෙලා ගමනක් ගියොත් කුමන බාධකයක් වුවත් ජය ගන්නට අපට පුළුවන්. එකමුතුකම තමයි අපට හරිම වැදගත්. මෙන්න මේ අදහසයි මට ලියන්න ඕනෑ වුණේ. මම මගේ රටට හරි ආදරෙයි. මේ රටේ හැම මනුස්සයෙක්ම ආදරයෙන් සාමයෙන් ඉන්නවා දකින්නයි මට ඕනෑ. ඒ හැම අදහසක්ම මේ ගීතය ලියන විට මගේ හිතට ආවා. ගීතයට අපූරු තනුවක් නිර්මාණය කළා
විහඟ ප්‍රසාද් සිරිවර්ධන සොහොයුරා. ඒ වගේම මේ ගීතය ගයන්නේ මගේ පුතා. ඔහු දැනට සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ගීතයට ලැබෙන ප්‍රතිචාරත් සමඟ මට කියන්න ඕනෑ දෙය ලියැවුණා කියලා.”
මේ මුළු ලෝකයම පැහැදිලි ලෙසම මානව ගුණධර්මවලින් වෙනස් විය යුතුය. එවිට ලෝකය ලස්සනය. පද රචකයා එය වඩාත් තහවුරු කර කියන්නේ මෙවන් පද පෙළකිනි:
‘අතින් අත ගමු රොද බැඳෙමු අපි
වටු කුරුලු කැල මෙන් එදා
නපුරු ලෝකය නිමා කරවමු
හැමෝටම සෙනෙහස පුදා…