තවත් දින දෙකකින් එනම් ලබන 6 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත නිසා දේශපාලන ක්ෂේත්‍රය බොහෝ උණුසුම් වී ඇත. ඒ උණුසුම පසුගිය සතිය තුළ වඩාත් වැඩි වූයේ පළාත් පාලන මැතිවරණ ආසන්නයේ මැයි දින සැමරුම පසුගිය 1 වැනිදා පැවැත්වීම නිසාය.
ජාතික ජන බලවේගයේ නොහොත් මාලිමා ආණ්ඩුවේ මැයි රැලිය පැවැත්වුණේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොරදීය. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්, දේශපාලන නායකයන් පමණක් නොව, විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් ඇතුළු අති විශාල පිරිසක් ගාලුමුවදොරට පැමිණ තිබීම විශේෂත්වයකි. ‘රට හදන ජන බලය පෙළගැසෙන මැයි රැලිය’ යන තේමාව යටතේ පැවති මේ ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.
ජාතික ජන බලවේගයේ මැයි දින රැලියට චීනය, ඉන්දියාව, වියට්නාමය ඇතුළු රටවල් රැසක දේශපාලන නියෝජිතයන්ද සිය රටවල සුබ පැතුම් රැගෙන පැමිණ සිටින ආකාරයක් දක්නට ලැබිණි.
ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසු පැවැත්වෙන පළමු රැලිය ඓතිහාසික මැයි රැලියක් කරගැනීමට මාලිමාව සමත් වූ අතර, එහිදී ජනපති කළ කතාවට ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවිය.
මැයි රැලිය අමතමින් ජනපති කළ කතාවට වැඩි අවධානයක්
වසර 65ක් මුළුල්ලේ එක් අරමුණක් වෙනුවෙන් කැප වෙමින් අතිශය අභියෝගාත්මක බලය ලබා ගැනීමේ අභියෝගය ජයග්‍රහණය කළ තම දේශපාලන ව්‍යාපාරය සහතික වශයෙන්ම මේ රට ගොඩනැඟීම සහ ජනතාවගේ වුවමනා ඉටු කිරීමේ අභියෝගයද ජයග්‍රහණය කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
අද රට පාලනය කරන්නේ රට ගොඩනඟමින් ඉදිරියට ගෙන යෑමට සූදානම් ව්‍යාපාරයක් බවත්, එහිදී මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයටද පැරණි ඇඳුම් ඉවත ලා අලුත් ඇඳුම් ඇඳගැනීමේ කාලය උදා වී තිබෙන බවත් පැවසූ ජනාධිපතිවරයා රට ගොඩනැඟීමේ ව්‍යායාමය සාර්ථක කරගැනීමට ආණ්ඩුව සමඟ එක් වන ලෙස සියලු වෘත්තීය සමිති ව්‍යාපාරවලට ආරාධනා කරන බවද පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ පසුගිය 01දා පස්වරුවේ ගාලුමුවදොර පිටියේ පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද දේශපාලන ව්‍යාපාරයක් ලෙස පවතින්නේ ජාතික ජන බලවේගය පමණක් බවත් මේ රටේ අනාගතය සහ ජනතාවගේ අනාගතය මුළුමනින්ම රඳා පවතින්නේ ජාතික ජන බලවේගය අත බවත් සියලු දෙනා අවබෝධ කරගත යුතු බවයි.
රට ගොඩනැංවීම සඳහා ජනතාව පෙළගස්වයි
මැයි දින රැලිය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය:
“අපි දීර්ඝ කාලයක් මැයි දිනය සමරා තිබෙනවා. ඒ සෑම අවස්ථාවකම අපේ අපේක්ෂාව බවට පත් වුණේ බලය අත්පත් කරගැනීම සඳහා ජනතාව පෙළගැස්වීමයි. අද අප පළමු වතාවට බලය අත්පත් කරගෙන මේ රට ගොඩනැඟීම සඳහා ජනතාව පෙළ ගස්වන මහා රැලිය පවත්වනවා.
“අද දේශපාලන ව්‍යාපාරයක් ලෙස පවතින්නේ ජාතික ජන බලවේගය පමණයි. මේ රටේ අනාගතය, මේ රටේ ජනතාවගේ අනාගතය මුළුමනින්ම රඳා පවතින්නේ ජාතික ජන බලවේගය අත බව අපි සියලු දෙනා තේරුම් ගත යුතුයි. අන් කිසිවක් තවදුරටත් දේශපාලන ව්‍යාපාර නොවෙයි. ඒවා සුන්බුන් ගොඩක්. එහෙත් තැනින් තැන හඬවල් ඇසෙනවා. දීර්ඝ කාලයක් ඔවුන් විසින් බලය හොබවනු ලැබුවා. එතැනින් නොනැවතී තම පරම්පරාව වෙනුවෙන් බල සිතියම එළා තිබුණා. ඔවුන්ගේ පරම්පරා අතේ බලය රඳවාගනිමින් පොදු ජනයා පීඩාවට, අසාධාරණයට පත් කරමින් ඉදිරියට බලය ගෙන යෑමට හැකි වනු ඇතැයි ඔවුන් සිතුවා. එහෙත් පසුගිය සැප්තැම්බර් 21 වනදා මේ රටේ ජනතාව ඉතාමත් නිර්භීත තීන්දුවක් ගත්තා. පරම්පරා ගණනාවක් ඉදිරියට එළා තිබූ බල සිතියම මුළුමනින්ම හකුළා පොදු ජනතාව අතට බලය මාරු කිරීමට මේ ජනතාව සමත් වුණා. ඒ බලය අහිමි වීමේ සහ අපේක්ෂාභංගත්වයේ අඳෝනාව අද අපට අහන්න ලැබෙනවා.
“ඒ වගේම තමන් බලය හොබවන විට මහජනතාවගේ ධනය නාස්ති කරමින් අතිවරප්‍රසාද සහිත ජීවිතයක් ගත කළා. පොදු නීතියට යටත් නොවන ජීවිතයක් ගත කළා. පොදු ජනයාට ඉහළින් මහා බල පරාක්‍රමයක් යොදා ගෙන බලය හෙබවූවා. එහෙත් අද පොදු නීතියට යටත් වී තිබෙන අතර, වරප්‍රසාද අහිමි වී තිබෙනවා; නීතිය සමානව ක්‍රියාත්මක වී තිබෙනවා. එබැවින් ඔවුන්ට දුකක් ඇති වී තිබෙනවා. ඒ නිසා වේදනාවේ අඳෝනාව ඇති වී තිබෙනවා.
“තවත් පැත්තකින් වංචා සහ දූෂණ සිදු කළ ප්‍රමාණය ඔවුන් අපට වඩා හොඳින් දන්නවා. ඒ වගේම ඔවුන් දන්නවා අපි කවුද කියලා. ඔවුන් ඔවුන්ගේ අපරාධයේ ප්‍රමාණය දන්නා තරමට අපිව හඳුනනවා. ඒ නිසා භීතියේ අඳෝනාව තිබෙනවා. ඒ නිසා අද දේශපාලනයේ අනෙක් පස තිබෙන්නේ අපේක්ෂාභංගත්වයේ වේදනාව, වරප්‍රසාද අහිමී වීමේ අඳෝනාව සහ භීතියේ තැති ගැන්මයි. ඒ නිසා තවදුරටත් දේශපාලන ව්‍යාපාර නැහැ; දෘෂ්ටිවාදයක් සහ සංවිධාන ශක්තියක් නැහැ. කරන්නේ කුමක්ද කියා නොදැන, එහෙ මෙහෙ විසිරුණු කොටස්වල එකතුවක් පමණයි තිබෙන්නේ.
අභියෝගය ඇත්තේ මාලිමාව තුළමයි
ඒ නිසා තවදුරටත් අපෙන් එළියේ අපට අභියෝගයක් නැහැ. අපෙන් එළියේ තිබෙන්නේ සුන්බුන් ගොඩක එකතුවක් මිස අභියෝගයක් නොවෙයි. එසේ නම් අභියෝගය තිබෙන්නේ අපට අප තුළමයි. එම අභියෝගය මතින් පියමං කිරීම සඳහා අපි අප තුළම තිබෙන ප්‍රතිවිරෝධතා, නොගැළපීම් සහ අලුත් තත්ත්වයන්ට අනුව අනුරූපි වීමට අසමත් වීම් පිළිබඳ තත්ත්වයන් අවබෝධ කරගත යුතුයි.
වසර 65ක් පුරා එකම අරමුණකට කැප වීමේ උරුමය අපට තිබෙනවා. එවන් ව්‍යාපාරයක් තමයි අද මෙතැනට එක් රැස් වී තිබෙන්නේ. අතිශය පරාජයන් සහ අභියෝගයන් මැද සමීපතමයන් අත්හැරයෑම පමණක් නොව එරෙහි වෙමින් ව්‍යාපාර ගොඩනැඟීම් මැද පවා අත්නොහැර සිටි අරමුණක් අපට තිබෙනවා. ඒ නිසා අපි අරමුණක් වෙනුවෙන් උරුමය කර තබාගෙන යන කණ්ඩායමක්. ඇතැම් විට අපි පුරුද්දේ බලයට වැඩ කළා. ඈත ඉලක්ක, සමීප අභියෝග, අප ඉදිරියේ ඉතා ව්‍යාකුල තතත්වයන් හමුවේ අපි වැඩ කළා. ඇතැම් විට පුරුද්දේ බලය විසින් අප වැඩ කිරීමට පොලඹවනු ලැබුවා. දැන් ඒ සියල්ල පසු කර පසුගිය සැප්තැම්බර් 21 වන දා අපේ අතට බලය ලබා ගැනීමට අපි සමත් වුණා. දැන් තවදුරටත් අපට තිබෙන්නේ පුරුද්දේ බලය නොවෙයි, විශ්වාසයේ බලයයි” යනුවෙන් ද අනුර කුමාර ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වැදගත්ම කරුණු රැසක් ඇමැති විජිතගෙන් යුරෝපා සංගමයට
මෙරට සංචාරයක නිරතව සිටින යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර සාකච්ඡාවක් පසුගියදා (30) පැවැත්විණි. මේ සාකච්ඡාවේදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට අඛණ්ඩව දෙන සහාය පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා ස්තුතිය පළ කළේ ය. GSP+ සහනය රටේ ආර්ථික දියුණුව සඳහා පමණක් නොව, දුප්පත්කම තුරන් කිරීමටත් දායක වන බවද අමාත්‍යවරයා නියෝජිත කණ්ඩායමට පෙන්වා දුන්නේය.
නව රජය බලයට පත් වීමෙන් පසු ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ඔහු නියෝජිත පිරිස දැනුවත් කළේය. රට තුළ වාර්ගික ගැටුම්, ආගමික ගැටුම් වාර්තා නොවන අතර, ජාතික සමගිය රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය වේ. උතුරු සහ නැඟෙනහිර පළාත් මෙන්ම වතුකරයේ ජනතාවගේ පිළිගැනීම නව රජයට හිමි වීම සුවිශේෂ ලක්ෂණයකි. 2024 මහමැතිවරණයේදී උතුරු පළාතේ සියලු දිස්ත්‍රික්ක ජයග්‍රහණය කිරීම රජය ලබා ඇති ජනතා විශ්වාසය පිළිබිඹු කරයි.
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම
නව රජය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට අදාළ ක්‍රියාමාර්ගද ගෙන ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 2024 මහමැතිවරණ සඳහා රාජ්‍ය සම්පත් භාවිත නොකිරීම, පසු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවීම සුවිශේෂ අවස්ථා වේ. ස්වාධීන කොමිෂන් සභාවන්හි ක්‍රියාකාරීත්වයට මැදිහත් නොවී ස්වාධීනව ක්‍රියාත්මක වීමට ඉඩ සලසා තිබීමත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා නිසි කාල සීමාවන් තුළ මැතිවරණ පැවැත්වීමටත් රජය ක්‍රියාමාර්ග ගෙන ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා කමිටුවක් පත් කොට ඇති අතර, එම කමිටුව මාස තුනක කාලයක් තුළ වාර්තාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ආර්ථික ප්‍රගතිය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අමාත්‍යවරයා පසුගිය කාලසීමාව තුළ රජයේ වැඩි අවධානය ආර්ථිකය නැවත නඟාසිටුවීම කෙරෙහි යොමු කර තිබූ බවත් පාර්ලිමේන්තුව තුළ අයවැය සාර්ථකව සම්මත කරගැනීම සුවිශේෂ කඩඉමක් බවත් නියෝජිත පිරිසට පෙන්වා දුන්නේය. එමෙන් ම විවිධ රාජ්‍යන් සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම්වලට එළඹීමට හැකි වීමත් නව රජය ලබාගත් සුවිශේෂ ජයග්‍රහණ වේ.
යුරෝපා සංගමයෙන් රජයට සුබ පැතුම්
යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම නව රජයට සුබ පැතූ අතර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගතව රජය ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රසාදය පළ කළේය. එමෙන්ම නව රජය අනුගමනය කරන යහපාලන පිළිවෙත්ද නියෝජිත කණ්ඩායමේ පැසසුමට ලක් විය. ස්වාධීන කොමිෂන් සභාවන් ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවස්ථාව සලසා තිබීම සහ ඒ පිළිබඳ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමද නියෝජිත කණ්ඩායමේ ඇගයීමට ලක් විය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් කාලරාමුවක් සහිතව ක්‍රියාත්මක වීමද පැසසූ නියෝජිත පිරිස ඒ සඳහා තාක්ෂණික සහාය අවශ්‍ය වන්නේ නම් එය සැපයීමටද සූදානමින් පසු වන බව ප්‍රකාශ කළේ ය.
GSP+ සහනය සැලසීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ වැදගත් සන්ධිස්ථානයක පිහිටීමේ සාධකයද සලකා බැලෙන බවත්, මේ සංචාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව සකස් කරනු ලබන වාර්තාව වැදගත් වනු ඇති බවත් මෙහිදී අවධාරණය කරනු ලැබිණි. මීට අමතරව, 2028 ජනවාරි වන විට කම්කරු ගැටලු සහ කම්කරු නීතිවලට අදාළ නව කොන්දේසි මාලාවක් සකස් වීමට නියමිත බැවින් එයට සූදානම් වන ලෙසත් එතෙක් GSP+ සහනය ක්‍රියාත්මක වනු ඇති බවත් නියෝජිත පිරිස අමාත්‍යවරයා දැනුවත් කළේය.
හිටපු ඇමැති තුනකට වැඩ වරදී
මේ වන විට ආණ්ඩුව විවිධාකාර විමර්ශන කටයුතු සිදු කරමින් සිටී. මේ විමර්ශන හමුවේ හිටපු ඇමැතිවරුන් තිදෙනකුට වැඩ වරදින්නට යන බවට රාවයක් පවතී. මොවුන්ට නැඟී ඇති චෝදනාව වී ඇත්තේ ලියාපදිංචි නොකළ වාහන භාවිත කිරීමයි. මේ තිදෙනාට එරෙහිව කඩිනමින් නීත්‍යනුකූල පියවර ගන්නා බව ජනාධිපතිවරයාම පවසයි. රථවාහන ආනයනය සඳහා තහනමක් පනවා තිබුණු කාල සීමාව තුළ ආනයන කළ වාහන අවභාවිත කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයන් සම්බන්ධ බවට විමර්ශනවලින් හෙළි වී ඇති බවද කියවේ. නිසි ලියාපදිංචියකින් තොරව වාහන භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් තිදෙනාට නීතිමය ක්‍රියාමර්ගවලට මුහුණ දීමට සිදු වනු ඇතැයිද පැවැසේ.
රනිල්ගෙන් උත්තර
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මේ චෝදනාවට උත්තර දුන්නේ තම දේශපාලන හිතවතුන් පිරිසක් සමග සාකච්ඡාවක් අතරතුරදීය.
“මම චාමර සම්පත් ඇමැතිතුමා ගැන කිවුවේ එතුමා ක්‍රියාත්මක කළේ මගේ උපදෙස් උඩ කියලයි. එහෙම කිවුවාම මම දැනගෙන හිටියා මට එන්න කියනවා කියලා. මට ඕනෑ වුණොත් ඒක කරගන්නම තමයි.”
හිටපු ජනාධිපතිවරයා එසේ පවසන විට කිත්සිරි රාජපක්ෂ හිටපු නාගරික මන්ත්‍රීවරයා මෙලෙස ඇසුවේය:
“සර්, ඔය ගමන ගියා කියලා සර්ට තියෙන වාසිය මොකක්ද?”
“කිත්සිරි! මම බ්‍රයිබරි එකට ගිහින් ආවම ප්‍රෙස් එකක් තියලම ඒකට උත්තර දෙන්නම්.” හිටපු ජනාධිපතිවරයා කීවේය.
ඒ කිවුවා වගේම අල්ලස් කොමිසමට ගිය හිටපු ජනාධිපතිවරයා පැය තුනක පමණ ප්‍රකාශයක් දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවූයේය. එහිදී ජනාධිපති අනුර කුමාරගේ හඬ පටයක් ද විකාශය කෙරිණි.
“ජනාධිපතිතුමා මේ කියවන්නේ මම බ්‍රයිබරි එකට යවපු ලියුමේ තියෙන විස්තර. එතකොට එතුමා කොහොමද ඒ විස්තර දැන ගත්තේ? අල්ලස් හෝ දූෂණ වංචා කොමිෂන් සභාව කියන්නේ සම්පූර්ණයෙන්ම ස්වාධීන ආයතනයක්. එතකොට දැන් මේ ආයතනයත් ජනාධිපති ලේකම් කාර්යාලය යටතට අරගෙනද?” හිටපු ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ අල්ලස් හෝ දූෂණ වංචා කොමිෂන් සභාව දේශපාලනීකරණය වී ඇති ආකාරය පෙන්වීමටය.
“කොහොමද රනිල්ගේ මොළේ?” වජිර අබේවර්ධන එහෙම කිවුවේ තමා සමීපයේ සිටි මාධ්‍යවේදියකුටය.
අල්ලස් කොමිසමට රනිල් යැවූ ලිපිය මාධ්‍යයට කලින් නිකුත් කරලා
හිටපු ජනාධිපතිවරයා වැරැදි අර්ථකතනයක් දෙන්න උත්සාහ කළත්, ඔහු අල්ලස් කොමිසමට යවන ලද ලිපිය එජාපය විසින්ම කල්ඇතිව මාධ්‍යයට නිකුත් කර තිබූ එකක් බව රජයට සම්බන්ධ මාධ්‍ය හෙළි කළේය.
දෙසැම්බර් ජනපති සජිත්ලු
රනිල් අගෝස්තුවේ ජනාධිපති වන බව රාජිත පවසා දිනක් ගත වන විට සමගි ජන බලවේගයේ සභාපති කබීර් හෂීම්ද අනාවැකියක් කීවේය. එනම් සජබ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දෙසැම්බර් මාසයේ ජනාධිපති වන බවයි.
“මම පොරොන්දු වෙනවා දෙසැම්බර් වෙන කොට සජිත් මහත්තයා ජනාධිපති කරනවා. හෙමින් යං. මම කියන්නේ අපි ගන්න ඕන නෑ, ඒක දීලා යයි. කරන්න බැරි වෙන කොට ගෝඨත් දෙන්න බැලුවා නේ. ගෝඨා දෙන්න යන කොට අපේ ලොක්කා ගන්න පොඩ්ඩක් පරක්කු වෙන කොට මොකද වුණේ? අරයා රිංගුවා. කවුද? රනිල් මහත්තයා. මේ පාර දෙන්නේ නෑ එහෙම. මේ පාර අපිත් බලන් ඉන්නේ. දැනුත් එයා රෙඩි වෙලා ඉන්නේ සපත්තු පොලිෂ් කරගෙන. හෙට වැටෙයි කියලා. හැබැයි ඒක කරන්න දෙන්නේ නෑ මේ පාර අරගෙන මේ රට වෙනස් කරන්න ඕන.” යැයි කබීර් පැවසීය.
කබීර්ගේ මේ ප්‍රකාශයට ජනසෙත පෙරමුණේ ලේකම්, බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අපූරු පිළිතුරක් දුන්හ:
“දෙසැම්බර් සජිත් ජනාධිපති නම්, මම නොවැම්බර් ජනාධිපති!” යනුවෙනි.
රනිලුත් ජනපති වෙනවලු
ජනාධිපති වෙන එක ගැන සජිත් ප්‍රේමදාස සහ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි එසේ අනාවැකි ප්‍රකාශ කරන විට, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනද එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් අනාවැකියක් ප්‍රකාශ කළේය. වජිර මුලින්ම ප්‍රකාශ කළේ මේ වසරේ අගෝස්තු මාසයේ රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති වන බවයි. පසුව ගාල්ලේ පැවති උත්සවයකදී වජිර ප්‍රකාශ කළේ ලබන වසරේ අප්‍රේල්වලදී අවුරුදු කන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමෙන් පසුව බවයි.
අනාවැකිවලට අගමැතිනියගෙන් පිළිතුරු
කබීර් හෂීම් සහ වජිර අබේවර්ධන මෙසේ තරගයට අනාවැකි ප්‍රකාශ කරගන්නා විට, ගාලු මුවදොර පැවති මාලිමාවේ මැයි දින රැලියේදී ඊට ප්‍රතිචාර දැක්වීමට ආචාර්ය හරිනි අමරසූරිය අගමැතිනිය අමතක නොකළාය.
“ඔය කවුරු අනාවැකි ප්‍රකාශ කළත් තව අවුරුදු 5ක් යනකම්ම මේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයායි. අද ගාලුමුවදොරට ඇවිල්ලා ඉන්න ලක්ෂ සංඛ්‍යාත ජනකායෙන් ඒ බව පේනවා…” යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
වජිර කියපු තුවක්කු කතාව
“අපේ ලොක්කගෙ දිහාවට ආණ්ඩුවේ කාලතුවක්කු ඔක්කොම හරවලා නේද? කිසිම තනතුරක් දරන්නේ නැතුව විවේක පාඩුවේ ඉන්න හිටපු ජනාධිපතිට ආණ්ඩුවේ උදවිය මෙච්චර බය මොකද දන්නේ නෑ…” මල් පාරේ දේශපාලන කාර්යාලයේ පැවැති හමුවේදී වජිර කතාවට මුලපුරමින් පැවසීය.
“අවුරුදු 23ක් ලොක්කගේ ළඟ හිටපු පෞද්ගලික ආරක්ෂක නිලධාරී අශෝක එකපාරම කන්කසන්තුරේට මාරු කරලා. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි එහෙම මාරු කරන්න කලින් අදාළ ප්‍රභූවරයට දැනුම් දෙන එක. ඒ ක්‍රමවේදයවත් අනුගමනය කරන්නේ නැතුව තමයි මේ වැඩේ කරලා තියෙන්නේ…” තලතා කීවේ ආණ්ඩුව රනිල්ට බය වී ඇති ප්‍රමාණය ගැන හේතු සාධකයක්ද දක්වමිනි.
ආරක්ෂාව ගැන නාමල් කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සාගර කාරියවසම්ට දුරකතනයෙන් ඇමතුමක් ගත්තේය. ඔහු කතා කළේ වර්තමානයේ උද්ගතව ඇති අනාරක්ෂිත සමාජ තත්ත්වය ගැනයි.
“ආණ්ඩුවෙන් ප්‍රභූවරුන්ට දේශපාලනඥයන්ට හා ව්‍යාපාරිකයන්ට මීට පෙර ආත්ම ආරක්ෂාව සඳහා ලබාදීලා තිබූ නීත්‍යනුකූල ගිනි අවි සියල්ලම මේ ආණ්ඩුව ආපසු රජයට ගත්තා. දැන් ඒ සියලු දෙනා නිරායුධයි කියලා පාතාල කල්ලි සාමාජිකයෝ හොඳින් දන්නවා. අවි ආයුධ තියෙනව නම් තියෙන්නේ දැන් පාතාල ලෝකය සතුව විතරයි. ඒගොල්ලෝ දැන් නිදැල්ලේ නිදහසේ වැඩ පටන් අරන් පොහොට්ටුවේ ඡන්දෙ ඉල්ලන අපේක්ෂකයන්ට කිසිම ආරක්ෂාවක් නෑ.”
සාගර කාරියවසම් නාමල්ට එසේ කියද්දී නාමල් කීවේ පොහොට්ටුවේ අයට පමණක් නොව, පොදුවේ මහජනතාවටද කිසිම ආරක්ෂාවක් මේ වන විට උදා වී නැති බවයි.
“ඔබතුමා ආරක්ෂා වෙන්න. මේ වෙලාවේ වැඩිම තර්ජනය තියෙන්නේ ඔබතුමාට. ආරක්ෂාව අඩු කළාට හරි නම් මේ වෙලාවේ ආරක්ෂාව වැඩි කරන්නයි ඕනෑ” සාගර කීවේය.
ඩෑන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග රැසක් ගැන එහිදී මහ ලේකම් සාගර හා නාමල් අතර සාකච්ඡාවක් ඇති විය.
“හෙට උදේට මම විජේරාමෙට ගිහිල්ල මහින්ද මහත්තයා හමු වෙලා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීන්දුවක් ගන්නවා.” සාගර අවසානයේදී කීවේය.
කතා කරගත් පරිදි සාගර කාරියවසම් උදේ විජයරාම මාවතේ මහින්ද මහතාගේ නිල නිවෙසට යන විට තවත් කිහිප දෙනෙක් එහි පැමිණ සිටියහ. ජයන්ත කැටගොඩ හා සංජීව එදිරිමාන්න ඒ අතරය.
“නාමල් කොළඹින් පිට නේද? හිටිය නම් එයත් මේ සාකච්ඡාවට වැදගත්…” එහෙම කිව්වේ හිටපු ජනාධිපති මහින්දය. කොහොමටත් ඩෑන්ගේ ඝාතනය වෙනුවෙන් මහින්ද පසු වුණේ කනස්සල්ලෙනි.
වජිර රැස්වීම් 100ක
එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට පසුගිය සතියම ඉතා කාර්යබහුල සතියක් විය. ඒ අන් කවරක් නිසාවත් නොව, මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ගමක් නගරයක් පාසා ගොස් ජනතාව දැනුවත් කිරීම නිසාය.
මෙසේ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන්ම වජිර පසුගිය සතිය පුරාම සහභාගි වූ රැස්වීම් ගණන 100කටත් වඩා වැඩිය. උදේ පාන්දරින්ම වජිර මේ රැස්වීම්, සුහද හමු සඳහා සහභාගි වන වජිර ඇතැම් දිනවල යළි නිවෙසට පැමිණියේ මධ්‍යම රාත්‍රියටත් පසුවය. කෙසේ වෙතත් මේ සියලු හමුවීම්වලදී වජිර රටේ දේශපාලන තත්ත්වය සහ ඉදිරියේදී රට මුහුණදීමට යන තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට වජිර පියවර ගෙන තිබිණි.
ඇතැම් දිනවල වජිර සහ පිරිසට දිවා ආහාරයවත් ගැනීමට වෙලාවක් කලාවක් නොවීය. ඒ දිනකට රැස්වීම් 20කට වැඩි ප්‍රමාණයකට සහභාගි වූ නිසාය. කොහොම නමුත් මේ සතිය පුරාම වජිර ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු ආසන ආවරණය වන පරිදි මෙම රැස්වීම් සඳහා සහභාගි වූ අතර ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේද විශේෂ රැස්වීමක් සූදානම් කර තිබිණි.
රනිල් ගාල්ලට
ඒ පසුගිය අඟහරුවාදා උදෑසන හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති අපේක්ෂකයන්ගේ හා ගාලු දිස්ත්‍රික් එජාප පාක්ෂිකයන්ගේ හමුවයි.
වජිර මේ සඳහා සූදානම් වූයේ මැතිවරණය කැඳවීමත් සමගයි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා රැස්වීම් තුනකට පමණක් සහභාගි වූ අතර ඉන් එක රැස්වීමක් මෙසේ ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොටගෙන පැවැත්වීම විශේෂත්වයක් විය. රැස්වීම පැවැත්වෙන දින උදෑසන සිටම වජිර මෙහි කටයුතු තිතට නූලටම සොයා බලා කිසිදු අඩපාඩුවක් සිදු නොවන්නට වගබලාගෙන තිබිණි. එසේම දිස්ත්‍රික් කාර්යාලයට පිවිසෙන ගේට්ටුව අසල සිටම රැස්වීම සඳහා සහභාගි වන සියලු ජනයා පිළිගෙන ඔවුන් සමග වචනයක් දෙකක් හෝ කතා කිරීමට වජිර කිසිදා අමතක නොකළේය.
“බලන්නකෝ! මොනා වුණත් සභාපතිතුමා කරන වැඩේ සුපිරියටම කරනවා. කිසිම අඩුපාඩුවක් වෙන්න දෙන්න නෑ.”
“ඒකනේ… ආණ්ඩු බලය තිබුණත් නැතත් එතුමා ගෙන යන වැඩපිළිවෙළ කිසිම දවසක වෙනස් වෙලා නෑ. එන හැමෝමත් එක්ක මෙච්චර වැඩ රාජකාරී මැද්දෙත් හිනා වෙලා කතා කරනවා. ඒකනේ මෙච්චර කාලයක් අපි එතුමත් එකක් ඉන්නේ.”
මේ රැස්ව සිටි පිරිස වජිර ගැන සිය අදහස් ප්‍රකාශ කළ ආකාරයයි.
රනිල් රැස්වීමට පැමිණෙන විටත් රැස්වීමේ වැඩකටයුතු ආරම්භ කොට තිබිණි. රැස්වීම ආරම්භ කළ පසු ජනතාව පළමුවෙන් ඇමතුවේ හිටපු ඇමැති රාජිත විසිනි. රාජිත සිය දේශපාලන ගමනේ සියලු අත්දැකීම් මුසු කොට වර්තමාන ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ සහ එයින් රටට වන අයහපත පිළිබඳ ජනතාව දැනුවත් කළේය. කොහොම වෙතත් රාජිත සිය කතාව කරගෙන යන අතරතුරම රනිල් රැස්වීම් භුමියට පැමිණි අතර, වජිරත් ගාලු දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුත් රනිල්ව පිළිගත්හ.
රනිල් පැමිණි පසු රාජිත සිය කතාව ඉදිරියට ගෙනයෑම සඳහා රනිල්ගෙන් අවසර ගත් ආකාරය සියලු දෙනාගේම කතාබහටත් විස්මයටත් හේතු විය.
“දැන් මෙතනට අපේ ජනාධිපතිතුමා සම්ප්‍රාප්ත වුණා. මම නම් එතුමගෙන් අවසර ගන්න කොට හිටපු ජනාධිපතිතුමනි කියලා කියන්න යන්නේ නෑ… මම කෙළින්ම කියන්නේ ‘රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙන් අවසරයි’ කියලා. මොකද: තව නොබෝ දිනකින් මේ රට නැවතත් පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා.”
මේ කතාවට රැස්වීමේ සිටි සියලු දෙනාම අත්පුඩි ගසමින්, විසිල් ගසමින් සිය සතුට පළ කරන්නට වූහ.
රනිල් රැස්වීමට පැමිණ කෙටි වේලාවකින් රාජිත සිය දේශනය අවසන් කළ අතර, ඉන් පසු හිටපු අමාත්‍ය මනූෂ සභාව ආමන්ත්‍රණය කළේය.