Home » රජයේ ප්‍රතිපත්ති ඒ ආකාරයටම නගර සභාවෙත් ක්‍රියාත්මක කරනවා

රජයේ ප්‍රතිපත්ති ඒ ආකාරයටම නගර සභාවෙත් ක්‍රියාත්මක කරනවා

සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභා අපේක්ෂිකා ඉඳුමිණි වෛද්‍යසේකර

by Mahesh Lakehouse
May 3, 2025 12:30 am 0 comment
සුභද්‍රා දේශප්‍රිය

ඔබ කොළඹ මහ නගර සභාවට නැඟෙනහිර කොළඹ අපේක්ෂිකාවක ලෙස නාම යෝජනා භාර දී තිබෙනවා. කොළඹ නගරය ලෝකයට ගැළපෙන, වඩා දියුණු නගරයක් බවට පත් කිරීමට ඔබේ යෝජනා මොනවාද?

කොළඹ මහ නගර සභාව ලංකාවේ ලොකුම පරිපාලන අංශයක්. එහි විශාල අයවැයක් සහ බලයක් ඇති නගර සභාවක්. කොළඹ මහ නගර සභාවට අයත් සීමාවේ දැනට ලක්ෂ පහක පමණ ජනතාවක් ජීවත් වෙනවා. එයට අමතරව දෛනිකව ලක්ෂ පහක් වැඩිහිටියන්ට රැකියා සඳහා සහ ලක්ෂ දෙකක් පමණ පාසල් සඳහා පැමිණීම නිසා ඉතා ජනාකීර්ණ නගරයක්. මෙහි දෛනිකව ඉටු කිරීමට ලොකු කාර්යභාරයක් තිබෙනවා. නගරයේ ජීවත් වන තරුණ පරපුර නියෝජනය කරන කෙනෙක් හැටියට මා දන්න කරුණක් නම් පහළම සහ ඉහළම ආදායම් සහ මධ්‍යම පන්තික නිවාස තිබෙනවා. ඒ වගේම වතු ආශ්‍රිත පිරිසක් ඉන්නවා. සියලු සාමාජයීය ආගමික සංස්කෘතිකමය වෙනස්කම්වලින් යුතු පිරිසක් මීට අයත්. පාසල් ආසන්නයේ සිටින ඇතැම් දරුවන්ට ජනප්‍රිය පාසල්වලට යන්න බැහැ. එහෙත් ඈත පළාත්වල දරුවන්ට ඒ අවස්ථාව උදා වෙලා තිබෙනවා. මේ වගේ සමාජ අසමතුලිතතා තිබෙනවා. කොළඹ නගරය ආශ්‍රිතව ඇතැම් දරුවන් සාමාන්‍ය පෙළින් පාසල් අත්හරිනවා. මේ අය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරනවා. මේ අයට වෘත්තීය අධ්‍යාපන පහසුකම් ලබන්න අවකාශ නැහැ. එහෙත් ඒ වෘත්තීය අධ්‍යාපන ආයතන කොළඹ තිබුණත් ඒ අයට නිසි යොමු කිරීම නැහැ. මාර්ගයක් පෙන්වීමට කෙනෙක් නැහැ. ඒ අය නොයෙකුත් සමාජ විරෝධි දේවල්වලට යොමු වෙනවා. මේ දේවල් අපි වලක්වා ගත යුතුයි. කොළඹ නරග සභාවේ තරුණ පරපුර වෙනුවෙන් කරනු ලබන ප්‍රතිපාදන සම්බන්ධයෙන් වෙනම පිරිසක් ඉන්නවා. මේ අය එකතු කරගෙන පාසල් ආශ්‍රිත වැඩසටහන් ඇති කරන්න කටයුතු කරනවා. වෘත්තීය අධ්‍යාපනයට යොමු කරන්න වැඩපිළිවෙළක් අපි සූදානම කරනවා. මේ අනුව නගරය ලෝකයට ගමන් කිරීමට නම් නිසි ක්‍රමවේදයක් අනුව යම් විධිමත් සැලසුම් ක්‍රියාත්මක විය යුතුයි.

නොයෙක් සමාජ කණ්ඩායම් ජීවත් වන කොළඹ මහ නගර සභාව පවතින සමාජ අසමතුලිතභාවය නැති කරන්න විශේෂයෙන් තරුණ පරපුර වෙනුවෙන් මොනවාද කරන්න බලාපොරොත්තු වෙන්නේ?

නොයෙක් සමාජ කණ්ඩායම් වගේම පැල්පත්වාසීනුත් ඉන්නවා. ඒ අය අති දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වෙන්නේ. මේ පිරිස් අතර ඉන්න තරුණ තරුණියන්ට නිසි මාර්ගය පෙන්විය යුතුයි. නිසි වෘත්තීය අධ්‍යාපනයකට යොමු කළ යුතුයි. ඍජු සහ වක්‍ර රැකියා සඳහා සූදානම් කිරීම අපේ මූලික අරමුණයි. එසේම සංචාරක කර්මාන්තය ආශ්‍රිත සහ හෝටල් කර්මාන්තය ආශ්‍රිත රැකියා ගණනාවක් තිබෙනවා. තරුණ පිරිස මේ සඳහා අනුයුක්ත කරගැනීමේදී යම් ගැටලු තිබෙනවා. ඒ පිරිසට යම් පුහුණු දීමට කටයුතු කළ යුතුයි. මේ අයට රැකියා බැංකුවක් මඟින් රැකියාවක් තෝරා ගන්න කටයුතු කරනවා.

අපට වඩා පිටුපසින් සිටි රටවල් දකුණු ආසියාවේ දියුණුම නගර බවට පත්ව තිබෙනවා. අපට වැරදුණේ කොතැනද?

දීර්ඝකාලීන ප්‍රතිපත්තියක් තිබෙනවා නම්, ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ප්‍රතිපත්තියක් තිබෙනවා නම් රජයකින් රජයට තියෙන්නේ ක්‍රියාත්මක කිරීමයි. එහෙත් හොඳ ව්‍යාපෘතියක් වුණත් ආණ්ඩු මාරු වුණාම කරගෙන යන්නේ නැහැ. නගර සංවර්ධනයට පවා දීර්ඝ කාලින ප්‍රතිපත්තියක් සැකසිය යුතුයි. ආණ්ඩු මාරු වෙද්දි මඟ නතර කරනවා. මේ දේවල් වෙනස් වෙන්න අවශ්‍යයි. ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ප්‍රතිත්තියක් නැති නිසා අපේ රටේ මානව සම්පත් අපිට අහිමි වෙනවා. නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය හදාරලා උසස් අධ්‍යාපනය හදාරන්න හොඳ මධ්‍යස්ථාන ලංකාවේ තියෙනවා. බුද්ධිය දැනුම වගේම සම්පත් අපි සතුයි. එහෙත් අධ්‍යාපනය ප්‍රායෝගිකව පාවිච්චි කිරීමේදී යම් ගැටලුවක් තිබෙනවා. නිදහස් අධ්‍යාපනය ඇතුළේ මේ ප්‍රායෝගික අධ්‍යාපනික පුහුණුව කියන දේ ගැටලුවක් වන අවස්ථා තියෙනවා. බුද්ධිගලනය සිදු වෙලා තිබෙනවා. පවුල් පිටින් රට යන්න පෙලඹිලා. අධ්‍යාපනයට නිසි තැන නැහැ. ඒ රජයකින් ආරම්භ කරපු අධ්‍යාපනික ක්‍රමය අනෙක් ආණ්ඩුවක් යටතේ වෙනස් වනවා. ප්‍රතිත්තියක් නැති නිසා අපේ රටේ මානව සම්පත් අපිට අහිමි වනවා. අධ්‍යාපනය ලබන ලොකු පිරිසක් ඉන්නවා මේ අය ඇගැයීමට ලක් වන්නේ නෑ.

දේශපාලන බලපෑම් නිසා නගරයේ ඉඩම් අවිධිමත් ඉදි කිරීම්වලට යට වෙලා. ඒ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද?

කොළඹ මහ නගර සභාවට පමණක් මෙය විසඳන්න බෑ. උදාහරණයක් ලෙස: අපි මහල් නිවාස සංකීර්ණයක් ඉදි කරනවා නම් නිවාස සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නිවාස අමාත්‍යංශය වැනි සියලු රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කර, වැඩ කරන ක්‍රමවේදයක් අවශ්‍යයි. නාගරික සංවර්ධන අධිකාරිය එකක් කියනවා, නගර සභාව තව එකක් කියනවා. මේ බඳු මතවාදි ගැටලු තිබෙනවා. ඒ නිසයි මේ සැලසුම ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. ඒ නිසා දීර්ඝකාලීන සැලසුම් හදලා ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නයි අප බලාපොරොත්තු වන්නේ.

එමෙන්ම නගරයේ මහල් නිවාසවල ගැටලු තිබෙනවා. ඒසේම වතු නිවාස ආශ්‍රිතව ගත් විට සංස්කෘතික සමාජයීය, අධ්‍යාපනික සහ සෞඛ්‍ය තත්ත්වය ආදී දීර්ඝකාලීනව ගැටලු තිබෙනවා. මේවා සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවද?

අවම යටිතල පහසුකම්වත් නැති තත්ත්වක ඉන්න පිරිසක් මේ කොළඹ නගරයේම ජීවත් වෙනවා. එදිනෙදා කරන රැකියාවකින් ජීවත් වන්නේ. දෛනික වැටුප නිසා ලොකු අර්බුද ගණනාවකට මුහුණ දෙන්න වෙලා තිබෙනවා.

එක නිවාසයක පවුල් කිහිපයක් වෙසෙනවා. ජලනළ, මලනළ පද්ධති ඇතුළු ප්‍රජා සෞඛ්‍ය ගැටලු රැසක් තියෙනවා. වතු ආශ්‍රිතව සෞඛ්‍ය අංශයේ ලොකු ගැටලුවක් තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය විසින් යෝජනා කළ මහල් නිවාස සංකල්පය තිබෙනවා. වතු නිවාසවල ජනතාව ඒ මහල් නිවාසවලට යන්නේ නැත්තේ ඇයි කියන ගැටලුවක් තිබෙනවා. ඒ අයගේ ජීවිකාව ඒ පැල්පත් ආශ්‍රිතව පැවැතීමත්, ඇතැම් විට නාගරික ප්‍රදේශයෙන් දුර බැහැර මේ මහල් නිවාස ඉදිවීමත් නිසා මේ අය ඒ නිවාසවලට යන්නේ නැහැ.

වතු ආශ්‍රිත ජීවත් වන පිරිසට මහල් නිවාසයකට ගියාම තියන ප්‍රතිලාභ ඒ සම්බන්ධයෙන් දැනුවත් කර, ඒ අයව ඊට යොමු කරන්න ඕනෑ. මහල් නිවාස සම්බන්ධව ගත් විට: යම් කිසි නවීකරණයන් කළ යුතුයි. නගර සභාවට අයත් නිවාස මෙන්ම නිවාස සංවර්ධන අධිකාරය සහ අනෙක් ආයතන එකතු කරගෙන මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආසන්නම වෛද්‍යවරයකු ළඟට ගිහිල්ලා සෞඛ්‍ය පහසුකම් සලසාගැනීමට කටයුතු කරනවා. දේශීය විදේශීය වෛද්‍ය මධ්‍යස්ථාන පිහිටු වීම් සිදු කරනවා.

කොළඹ මහ නගර සභාවට ලොකු ආදායමක් ලැබෙනවා. දූෂණ, වංචා හේතුවෙන් මහජන මුදල් විශාල වශයෙන් නාස්ති වන බවට චෝදනා නැගෙනවා…

මිලියන දහයකට වඩා ආදායමක් ලැබෙනවා. මධ්‍යම රජයෙන් අය විය යුතු ප්‍රමාණයකුත් තිබෙනවා. මම හිතන්නේ මධ්‍යම රජයෙන් අය වන ඒ මුදල අය කර ගෙනත් නැහැ. මධ්‍යම රජයෙන් ප්‍රතිපාදන නැතත් බදු වරිපනම් අය කරගැනීම් තියෙනවා. ආදායම් නිසි ලෙස එකතු වීමක් නැති නිසා එය 100% එකතු කරගෙන නැහැ. පෞද්ගලික ආයතනවල ගෙවීම් පැහැරහැර තියෙනවා. ආදායම් වියදම්වලදී යම් යම් ගැටලු තිබෙනවා. ඒ දේවල් විධිමත්ව කරගෙන යන්න අවශ්‍යයි. අදාළ පෞද්ගලික ආයතනවලින් ආදායම් එකතු කර ගැනීම් අපි නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. වියදම් පාර්ශ්වයෙන් ගත් විට අදාළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළත් අදාළ ගෙවීම් සිදු වෙලා තියෙනවා. සමහර ව්‍යාපෘතිවල අවශ්‍ය ප්‍රමිතියක් නැහැ. කොළඹ මහ නගර සභාවේ වත්කම් වාර්තා වෙලා නැති අවස්ථා තියෙනවා. ගෙවීම් ආදායම් වියදම් නිසියාකාරව සිදු කර, ගිණුම්ගත කරන්න අවශ්‍යයි. විනිවිදභාවයෙන් කළ යුතුයි. විගණනය කිරීමේ ගැටලුවක් තිබිය යුතුයි. විනිවිදභාවය අත්‍යවශ්‍යයි. දේශපාලන හිතවතුන්ට අවශ්‍ය දේවල් ලබාදෙන වරප්‍රසාද නතර කරන්න අවශ්‍යයි. වත්මන් රජයේ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරගෙන යන්න අප කටයුතු කරනවා. නගර සභාවේ ලොකු අයවැයක් තියෙන නිසා මධ්‍යම රජයෙන් යම් සහයෝගයක් නැතිව වුණත් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන්න පුළුවන්.

පදික වේදිකාව අවහිර වන සේ සකස් කරන ලද කඩ කාමර සම්බන්ධයෙන් විධිමත් විසඳුම් නැහැ. එසේම, නගරයේ අනවසර ඉදිරි කිරීම් රැසක් තිබෙනවා. මේ දෙවල්වලට නිලධාරීන් හෝ දේශපාලනඥයන් සම්බන්ධයි. මෙවැනි ගැටලු විසඳීමට ගන්නා පියවර මොනවාද?

වංචා, දූෂණ අවසන් කිරීමට අපේ සජබ කණ්ඩායම කටයුතු කරනවා. නගර සභාව පිහිටුවීමෙන් පසුව නගරාධිපතිවරයා යටතේ පත් වන නාගරික මන්ත්‍රීවරුන් නගරාධිපතිවරයාට මෙවැනි ගැටලු සම්බන්ධයෙන් වගකිව යුතුයි. එසේම තමන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක වෙන්න බැහැ. නගර සභාවට අයත් ඉඩම් තියෙනවා, ඒවායෙහි කඩකාමර ඉදි කිරීමට බලාපොරොත්තු වනවා. ඒ අනුව වෙනම ප්‍රදේශයක් දෙමින් පදික වෙළෙඳුන්ට යම් සහනයක් සලසා දෙනවා. එයින් පොදු ස්ථානයක් සකස් කිරීම තුළ ජනතාවට වන හිරිහැරය අවම වෙනවා. ඒ අනුව අනවසර ඉදිකිරීම්වලදී සිදු වන හිරිහැර අවම කරගැනීමට අපේක්ෂා කරනවා. එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වනවා.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන් රැසක් ඉන්නවා. මේ අයගේ ශ්‍රමදායකත්වය ගන්න යම් වැඩපිළිවෙළක් තිබෙනවාද?

ප්‍රදේශයට අදාළව ප්‍රජා ශාලා සකස් කර දීමට අප කටයුතු කරනවා. ඒ අයට ක්‍රිඩාංගණය සකස් කර දීමට අපි බලාපොරොත්තු වනවා. කොළඹ නගර සභාවට අයත් ක්‍රිඩාංගණ 55ක් තිබෙනවා. මේ අයගේ කායික වර්ධනයට සහ මානසික වර්ධනයට විසඳුම් ලෙස මේ පියවර ගන්න අප කටයුතු කරනවා. එසේම, අලුත් ව්‍යාපෘතිවලට මේ තරුණ තරුණයන් සහභාගි කරගන්න කටයුතු කරනවා. ක්‍රීඩා සමාජ පිහිටුවීම්, ප්‍රජාශාලා ආශ්‍රිත මැහුම් ගෙතුම්, පරිගණක වැනි අංශ පුහුණු කිරීමට කටයුතු කරනවා. සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඔන්ලයින් වෙළෙඳාම් හරහා යම් රැකියාවලට යොමු කිරීමට කටයුතු කරනවා. තරුණියන්ගේ නිර්මාණ අලෙවි කිරීමට අවකාශ ලබා දෙනවා. යම් නිර්මාණාත්මක දේ සඳහා පුහුණුවක් ලබා දෙමින් ඒ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමටද අවකාශ ලබාදීමට අපේක්ෂා කරනවා. තමන්ගේ නිර්මාණ අලෙවි කිරීමට ස්වයංරැකියා වෙළෙඳපොළක් නිර්මාණය කරනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division