Home » කොළඹ සිදු වන්නේ ජනතාව ඉලක්ක කරගත් සංවර්ධන වැඩපිළිවෙළක්

කොළඹ සිදු වන්නේ ජනතාව ඉලක්ක කරගත් සංවර්ධන වැඩපිළිවෙළක්

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභා අපේක්ෂක හේමන්ත වීරකෝන්

by Mahesh Lakehouse
May 3, 2025 12:30 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

කොළඹ නගරය නව ලෝකයට ගැළපෙන නගරයක් බවට පත් කිරීම සඳහා ඔබේ වැඩපිළිවෙළ කුමක්ද?

මේ දක්වා කොළඹ නගර සභාවේ බලය ගත්ත දැවැන්ත පක්ෂවල මහජන නියෝජිතයන් කොළඹ නගරය වෙනුවෙන් මොනවද කළේ කියලා අපිට පැහැදිලිවම පේන්න තියෙනවා. ජනතාව ඒ හැම පක්ෂයකින්ම පාලකයෝ පත්කරගත්තේ සද් භාවයෙන් වුණත් ඒ හැම කෙනාටම කොළඹ නගර සභාව ගේන්න පුළුවන් වුණ දුර මෙච්චරයි. සීයට තුනේ හිටපු අපිට යූඑන්පී එකේ, ශ්‍රී ලංකා එකේ, පොදු පෙරමුණේ හැමෝම එකට එකතුවෙලා දීපු බලය නිසයි මාලිමාවේ ආණ්ඩුව හැදුණේ.

අපට ඡන්දය දුන් නොදුන් හැම දෙනාටම සතුටු වෙන්න පුළුවන් රටක් හදන්නෝනි කියලා ජනාධිපති අනුර කුමාර සහෝදරයා කියන්නේ ඒ නිසයි. හොරකම, වංචාව, දූෂණය නැතිව රට දියුණු කරගන්න ඕනෑ කියලා හිතලා අපිට බලය දීපු ගමේ, නගරයේ ජීවත් වන හැම මනුෂ්‍යයකුටම සාධාරණව තමන්ගේ ඕනෑ එපාකම් ඉටු වන පරිසරයක් නිර්මාණය කරන වැඩපිළිවෙළක් අප ඉදිරිපත් කර තියෙනවා.

20 වැනි සියවස ආරම්භයේ අපට වඩා බොහෝ පසු පසින් සිටි සිංගප්පූරුව අද දකුණු ආසියාවේ දියුණුම නගරය බවට පත්ව තිබෙනවා. අපට වැරදුණේ කොතැනද?

බස්නාහිර පළාතේ පොහොසත්ම දිස්ත්‍රික්කය කොළඹ වුණත්, කොළඹ දැවැන්ත ගොඩනැඟිලිවලට වැහුණු ජීවිත ගණනාවක් තියෙනවා. ගලි උතුරන, කුණු එක්ක ජීවත් වන ජීවත් වෙන පර්චස් දෙක-තුනේ ඉඩමෙ අයිතියවත් නැති මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නවා. කොළඹ 1-15ත් අතර නිවාස 13,000කට වඩා විදුලිය නැහැ. මෙතෙක් මේ නගරය පාලනය කළ අය ක්‍රියාත්මක කළේ ජනතාව එක්ක එකතු වුණු සංවර්ධන වැඩපිළිවෙළක් නොවෙයි. සංවර්ධනය කරනවා කියලා මොකක්හරි ව්‍යාපෘතියක් හදලා, කාට හරි කොන්ත්‍රාත්තුවක් දීලා, ඒකෙන් තමන්ගේ සාක්කුවට කීයක්හරි දාගන්න ක්‍රමයක් බලාගෙනයි එයාලා වැඩ කළේ. අද හදන පාර හෙට කඩනවා. දැන් කාපට් කරන පාර ලබන සතියේ විදුලිබල මණ්ඩලයෙන්, ටෙලිකොම් එකෙන් හරි ජලපවහන මණ්ඩලයෙන් හරි ඇවිත් කඩනවා. ඒ කියන්නේ මධ්‍යගත සැලසුම්කරණ වැඩපිළිවෙළක් නැතිවයි ඒ වැඩ කරන්නේ. ඒ නිසා කොළඹ ජන ජීවිතය දුක්ඛිත තත්ත්වයට ඇද වැටුණේ.

නගරයේ නවීන මහල් ගොඩනැඟිලි ඉදි වුවත්, තවමත් නගරවාසීන්ගෙන් බහුතරය ජීවත් වන්නේ නිසි සෞඛ්‍ය තත්ත්වයක්වත් නැති පැල්පත්, මුඩුක්කු සහ වතු නිවාසවල…

නගර සභාවට විතරක් නෙවෙයි, රටටම මේ තත්ත්වය ඇති වුණේ මහජන නියෝජිතයෝ බිස්නස්කාරයෝ, පගාකාරයෝ, දූෂකයෝ වුණු නිසයි. ජනතාව ඒ යථාර්ථය තේරුම් ගත් නිසා තමයි ජාති, ආගම් භේදයකින් තොරව අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති කළේ. ඒ බලයත් එක්ක ලොකු වැඩ කොටසක් පහුගිය මාස කිහිපය තුළ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කර තිබෙනවා. සමස්ත ජනතාවටම පොහොසත් රටක ලස්සන ජීවිතයක් උදාකිරීමටයි අපි මහන්සි වෙන්නෙ. අපේ නගරාධිපති අපේක්ෂිකාව හැටියට ව්‍රායි කැලී බල්තසාර් සහෝදරිය ප්‍රමුඛ ශක්තිමත් කණ්ඩායමක් අපට ඉන්නවා. ඔවුන් දක්ෂ, සමාජය ගැන සහකම්පනයක්, තෙතමනයක් සහිත පිරිසක්. ඒ නිසා අනිවාර්යෙන්ම අපි කොළඹ නගර සභාව මේ තිබෙන දුක්ඛිත තත්ත්වයෙන් ගොඩ ගන්නවාමයි.

බහුතරයගේ අදහස නගර සභාව හොර ගුහාවක් බවයි. හිඟ වරිපනම් ආදායම කෝටි 500ක්. නිසි නාගරික පහසුකම් නොලැබෙන නිසා පදිංචිකරුවන් වරිපනම් ගාස්තු ගෙවන්න මැළි වී තිබෙනවා…

ඇත්ත. සාධාරණ විදිහට උපයාගත් මුදලින් බදු පිට බදු ගෙවලා සභාවට කුලී හැටියට, දඩ හැටියට, වරිපනම් බදු හැටියට ගෙවන සල්ලිවලින් ජනතාව වෙනුවෙන් කිසිවක් නොකරන පිරිසක් ඇවිත් හොරාකනවට කිසිම කෙනෙක් කැමැති වෙන්නෙ නෑ. මේ ක්‍රමය නවත්වන්න නම් තාක්ෂණය පාවිච්චි කළ යුතුයි. ඩිජිටල්කරණය මඟින් හොරකම, අත යට ගනුදෙනු, නාස්තිය, වගේම මහජනයාට සිදු වන රස්තියාදුවත් නතර කළ හැකියි. සියලු‍ සභාවලදි සුපිරි කෑමවේල් තමයි කාලා තියෙන්නෙ. කෑම සඳහා මාස 8-9කට රුපියල් ලක්ෂ 170ක් වියදම් කර තියෙනවා. ඒ වියදම් කරලා තියෙන්නෙත් රටේ ආර්ථිකය බින්දුවටම කඩාගෙන වැටුණු කාලවල. ඒ කාලවල ආර්ථික දුෂ්කරතා නිසා කෑමවේලක් ගන්න බැරි අහිංසක දුවලා පුතාලා වෙනුවෙන් ඉස්කෝලවල බත් බැංකු හැදුණා. එහෙම රට ගොඩගන්නයි ජනතාව අපේ පන්තියේ මිනිහෙකුට ජනාධිපති ධුරය දුන්නෙ. ඒ වගේම පාර්ලිමේන්තුවේ බලය නාස්තිය, දූෂණයට එරෙහි කණ්ඩායමකට දුන්නා. එහෙම නම් භාණ්ඩාගාරයෙන් පළාත් පාලන ආයතනවලට එවන මුදල්වලින් හරියට වැඩත් කරන කණ්ඩායමකට ඒ ආයතනවල බලය දෙන්න ඕනේ. විවිධ ජාතීන්, ආගමිකයන් ජීවත් වන කොළඹ නගර සභාවට ජාතික, ආගමික සහජීවනයෙන් වැඩ කරන සියලු ජනතාවට ගෞරවාන්විත ජීවිතයක් අත් කර දීම වෙනුවෙන් අප වැඩ කරනවා.

පහුගිය කාලයේ හිතුමතේට දී ඇති ටෙන්ඩර් නිසා නගර සභාවට බිලියන ගණනාවක පාඩුවක් සිදු වී තිබෙනවා නේද?

කාලයක් තිස්සේ ඒවාට විරුද්ධව කතා කරපු අය විදිහට අපි ඒ ක්‍රමය වෙනස් කරන්න අනිවාර්යෙන්ම කටයුතු කරනවා. දිනපතා විවිධ කාර්යයන් සඳහා කොළඹට එන ජනතාව වෙනුවෙන් පොදු වැසිකිළි ටිකවත් හදන්න කොළඹ නගර සභාව අසමත් වුණ නිසා ලෝක බැංකුව මැදිහත් වෙලයි වැසිකිළි පද්ධති 21ක් හැදුවේ. ඒ වැසිකිළි ටික පිරිසුදු කිරීම කොළඹ නගර සභාව කොන්ත්‍රාත්කාරයකුට දුන්නා. සාමාන්‍යයෙන් පොළක් බදු දෙද්දි සභාවට වැඩිම මුදලක් ගෙවන ගෙනාට කමයි ඒ කොන්ත්‍රාත්තුව දෙන්නෙ. ඒත් කොළඹ නගර සභාව මේ කොන්ත්‍රාත්කරුට මාසෙකට ලක්ෂ 3ක් දෙනවා සේවක පඩිනඩි ගෙවාගෙන වැසිකිළි පිරිසුදු කරන්න. ඒකේ ලයිට් බිල, වතුර බිල ගෙවන්නෙත් නගර සභාව. ශරීර කෘත්‍යය කරන්න එන ජනතාවට කඩන ටිකට්වලින් එන ආදායම ගන්නෙත් කොන්ත්‍රාත්කාරයා. පිටකොටුව වගේ තැනක දවසක ආදායම ලක්ෂ 3-4ක්. මේ එක සිද්ධියක් විතරයි. විනිවිදභාවයක් නැතිව එක් එක් පුද්ගලයාගේ ඕනෑ එපාකම් මත තමන්ටත් කීයක් හරි ලැබෙන කෙනාට ටෙන්ඩර් දීමේ ක්‍රමවේදයෙන් බැහැර විය යුතුමයි. ඒ නිසා එවැනි ගිවිසුම් ගැන නැවත සොයා බලා ඒවා නිසි ක්‍රමවේදයකට ගෙන ඒම අප අනිවාර්යෙන්ම කරනවා.

කොළඹ නගරය හරිත නගරයක්, ස්මාර්ට් නගරයක් කරන්න බොහෝ මහජන නියෝජිතයන් පොරොන්දු දෙනවා. මේ ගැන ඔබේ අදහස?

කාලයෙන් කාලයට විවිධ සංකල්ප ගැන කතා කරනවා. ඒත් ජනතාවට අවම පහසුකම්වත් නැහැ. ස්මාර්ට් කරන්න කතා කළාට කොළඹම අඳුරේ තියෙන තැන් කොපමණ තියෙනවාද? නිකම් වචන වැඩක් නැහැ, ඒවා යථාර්ථයක් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම අපි කරනවා. කොළඹ නගරයේ ඇතැම් ගස් ගැන නිවැරදි විශ්ලේෂණයක්වත් කරලා නැහැ. ඒ සඳහා ක්ෂේත්‍රයේ දැනුම, පළපුරුද්ද සහිත කණ්ඩායම් නැහැ. ඒ සඳහා නිසි බඳවාගැනීම් කළ යුතුයි. අවශ්‍ය පහසුකම් දිය යුතුයි. ශීත කාමරවල ඉඳගෙන ඒවා ගැන තීරණ ගන්න බැහැ, මහපොළොවට අඩිය තියලා බලන්න ඕනෑ. ලක්ෂ 6ක ජනතාවක් ජීවත් වන, දෛනිකව ලක්ෂ 10කට ආසන්න පිරිසක් එහාමෙහා යන කොළඹ නගරය ජනතාවට පිරිසුදු වාතය හුස්ම ගන්න පුළුවන්, කොළ පැහැය වැඩි හරිත නගරයක් බවට පත් කළ යුතුයි. ඒ සඳහා ජනතාවත් සමඟ රජයේ වැඩපිළිවෙළ බද්ධ විය යුතුයි. ගමනාගමනය, ඇළ මාර්ග, මේ සියල්ල පිළිබඳ ප්‍රමාණික දැනුම සහිත නිලධාරීන් සමඟයි මේ ගමන යා යුත්තේ. ඒ අවබෝධය අතිවයි අපි වැඩ කරන්නෙ.

කොළඹ නගරයේ අනවසර ඉදිකිරීම් බොහොමයකට නගර සභාවේ මන්ත්‍රීවරයෙක්, දේශපාලඥයෙක් හෝ නිලධාරියෙක් සම්බන්ධයි. ඉදිරියේදී මේවා වළක්වාගන්නේ කොහොමද?

අනවසර ඉදිකිරීම් කියන්නෙ හුදෙකලා සිද්ධියක් නෙවෙයි. ආර්ථික අමාරුකම් එක්ක ජීවත් වුණු ජනතාව පැවති සමාජ, ආර්ථික, දේශපාලන වෙනස්කම් එක්ක ඒ තැනට වැටුණා. ඒවා හරියටම හඳුනාගන්න නිවැරදි දත්ත පවා නෑ. ඒ නිසා මුලින්ම අපට කරන්න වෙලා තියෙන්නේ ඒවා හරියටම හඳුනාගෙන, මධ්‍යම ආණ්ඩුව එක්ක සැලසුම් සහගත සංවර්ධන වැඩපිළිවෙළක් තෝරාගැනීමයි. නිවාස ප්‍රශ්නය නගර සභාවට විතරක් තතියෙන් විසඳන්න පුළුවන් එකක් නෙවෙයි. අපි නිවාස සංකීර්ණ හදන්නේ නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ පළාත් පාලන ආයතන සේරම එකතු වෙලා ඒ ජනතාවගේ ආර්ථිකයට ගැළපෙන, ඔවුන්ට දරාගත හැකි සියලු කරුණු පිළිබඳ සාකච්ඡා කරලයි. අනවසර කියන කාරණය අපේ සභාව තුළදී නැතිවෙන ආකාරයට අපි ඒ සංවර්ධන වැඩපිළිවෙළ සකස් කරනවා.

කොළඹ නගරයේ බල පුළුවන්කාරයන්ට එක නීතියකුත් සාමාන්‍ය ජනතාවට එක නීතියකුත් තිබෙන බව ඔබ දන්නවාද?

බලයේ සිටි පාලකයන් නීතිය මකුළු දැලක් කළ නිසයි එවැනි තත්ත්වයක් ඇති වුණේ. පොඩි මිනිහා මකුළු දැලට අහු වෙද්දි ලොකු අය මකුළු දැල කඩාගෙන යනවා. දුබලයා සහ දුප්පත්කමන් මිරිකෙන මිනිහට නීතිය ක්‍රියාත්මක වුණාට බලපුළුවන්කාරයාට ඒක නැහැ. දැනටමත් රටේ අධිකරණය, පොලීසිය දේශපාලන බලපෑම්වලින් තොරව නිදහසේ වැඩ කරගෙන යනවා. ඉතිහාසයේ පළමු වතාවට පොලීසිය පොලිස්පති කෙනෙක් හොයන තැනට පත් වුණා. ඒ නිසා වගකීමෙන් කියනවා, මාලිමා රජයේ පළාත් පාලන ආයතන යටතේ නීතිය කාටත් සමානයි.

නගරයේ සංවර්ධනයට හා දියුණුවට නාගරික වැසියන් සම්බන්ධ කරගැනීම සඳහා ඔබ යෝජනා කරන වැඩපිළිවෙළ කුමක්ද?

අපට තිබෙන්නේ ජනතාව සමඟ යන සංවර්ධන වැඩපිළිවෙළක්. උදාහරණයක් විදිහට: ගමේ පාරක් හදද්දි ඒ ජනතාවගේ ඕනෑ එපාකම් සැලකිල්ලට අරගෙන, තාක්ෂණික වශයෙන් ඉංජිනේරුවන්ගේ දැනුම, පළපුරුද්ද එකතු කරගෙන ඒ වැඩපිළිවෙළ හදනවා වගේම ඒ සංවර්ධන කාර්යය අධීක්ෂණය කිරීමේ වගේම විගණනය වීමේ අවස්ථාවත් ජනතාවට ලැබෙන සංවර්ධන වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරනවා. ස්ථාවර කාරක සභා තුළින් ජනතාවට වග කියන නායකත්වයක් පත් කරලා, ජනතාව ඒ කාරක සභාවලට කැඳවලා, ඒ වැඩපිළිවෙළ සකස් විය යුතු ආකාරය ගැන අප සාකච්ඡා කරනවා. එතකොට ජනතාව තුළ නිරායාසයෙන්ම මනෝභාවයක් ඇති වෙනවා: මේ මම හදාගන්න මැදිහත් වුණ පාර – කානුව, මේක පිරිසුදුව තියාගන්න නඩත්තු කරගන්න මටත් වගකීමක් තිබෙනවා කියලා. කොළඹ නගරයේ සිදු වන්නේ ජනතාව ඉලක්ක කරගත් එවැනි සංවර්ධන වැඩපිළිවෙළක්. අපට මන්ත්‍රීවරුන් 113ක් ඉන්නවා. කොට්ඨාස 47ක් තිබෙනවා. බොහොම ලේසියෙන් මේ සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න, අධීක්ෂණය කරන්න පුළුවන් නිසා මේ ක්‍රමවේදය සාර්ථක වන බව විශ්වාසයි. ධනාත්මක වෙනස්කම් කරමින් හොඳ සභාවක් හදලා, ඔහේ ඉපදිලා ඔහේ මිය යන මිනිහෙක් වෙනුවට, නගරයට රටට වැඩක් ඇති මිනිහෙක් හදන්නයි අප මහන්සි ගන්නේ.

ඡායාරූපය – හිරන්ත ගුණතිලක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division