මැතිවරණයන්හිදී ඡන්ද දායකයා ඡන්දය ප්‍රකාශ කළ බවට ඇඟිල්ල දම් පැහැයෙන් පාට කිරීම ඉවත් කරන ලෙස වසර 44ක සිට මැතිවරණ කොමිෂන් සභාව (පෙර මැතිවරණ දෙපාර්තමේන්තුව) විසින් ඉල්ලීම් කර ඇතත්, එය මේ දක්වා ඉටු වී නැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේය.
අවශ්‍ය නම් ඒ සඳහා නව ක්‍රමයක් ගෙන එන ලෙස කොමිෂන් සභාව දන්වා ඇතත්, එවැන්නක් සිදුව නැති බවද ඔහු පෙන්වා දුන්නේය. මේ සඳහා කැබිනට් මණ්ඩලය වෙත යෝජනා ඉදිරිපත් වුවත් ඒවා ප්‍රතික්ෂේප වී ඇති බවද ඔහු පැවසීය. ඇඟිල්ල පාට කිරීම ඉවත් කරන ලෙස 1971 වර්ෂයේ සිට යෝජනා කර ඇති බව පැවසූ ඒ මහතා, මේ ක්‍රමය නොදියුණු රටක ලක්ෂණ පෙන්නුම් කරන්නක් බවද, ඒ සඳහා අධික මුදලක් වැය වන බවද පැවසුවේය. මේ වන විට මැතිවරණයන්හිදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය කර ඇති හෙයින් ඇඟිල්ල පාට කිරීම අනවශ්‍ය කාර්යයක් බවද ඔහු කීවේය.