දකුණු ආසියානු සහ ආසියානු රටක් ලෙස ගත් විට ඩිජිටල්කරණය යන මාතෘකාවෙන් අප රට සිටින්නේ තරමක් පසුපසිනි. ඉන්දියාව, මැලේසියාව, කාම්බෝජය, වියට්නාමය යන රටවල් රාජ්‍ය ඩිජිටල්කරණය සහ ඩිජිටල් මුදල් ගෙවීම ආදියෙන් ඉදිරියෙන් සිටී. පසුගිය දශකය තුළ ඩිජිටල්කරණය සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම සහ ප්‍රමුඛත්වයක් නොදීම එයට ප්‍රධාන හේතුව වී ඇත. ඒ අනුව අභියෝග රැසක් සමඟත්, වත්මන් රජය ජනතාවට දුන් පොරොන්දුවකට අනුවද, ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් සහ ඩොලර් බිලියන 5ක අපනයන ආදායමක් කරා ගමන් කිරීමට අවශ්‍ය වෙයි. මේ වන විට තිබෙන ආදායම සමඟ සංසන්දනය කිරීමේදී එය විශාල ප්‍රතිශතයක් වනවා මෙන්ම ඩිජිටල් ආර්ථිකය ගත් විට 300%ක පමණ විශාල ප්‍රතිශතයක්ද වේ.
රජය විසින් ඩිජිටල්කරණය ඔස්සේ පොදු ජනතාවට ඉතා කඩිනම් පහසුකම් රැසක් මේ වන විට සලසමින් තිබේ. එය රාජ්‍ය ඩිජිටල්කරණය සහ ඩිජිටල් ගෙවීම් ආදියෙන් සමන්විත වේ. මුදල් රහිත වීම, කඩදාසි පිරවීම අවසන් විය යුතු වීම සහ රැඳී නොසිටිය යුතු වීම ආදියෙන් සන්නද්ධව ලාංකික ඩිජිටල් ආර්ථික ගමන යම් යම් සන්ධිස්ථානවලට පැමිණ තිබේ. රාජ්‍ය ගෙවීම්ද ඩිජිටල්කරණයට ලක් කරමින් පවතී. නවමු කරුණ වන්නේ පොදු ජනතාව වෙත ඩිජිටල් හැඳුනුම්පතක් දීමට කටයුතු කරමින් සිටීමයි. ඒ සමඟම ජනාධිපති අරමුදල සහ අනෙකුත් සේවා ඩිජිටල්කරණයට ලක් කරමින් පවතියි. ඊට අමතරව බොහෝ දේ මූලික කරගනිමින් අභියෝග සමඟ ජනතාවට ඩිජිටල්කරණය මඟින් පහසුකම් සැලසීමට රජය අපේක්ෂා කරනවා මෙන්ම අපේක්ෂිත අරමුණු කරා ගමන් කරමින්ද සිටී.
ඩිජිටල් ආර්ථිකය ගොඩනැඟීම සඳහා මෙවර අය වැයෙන් රුපියල් මිලියන 3,000ක පමණ මුදලක් වෙන් කර ඇති අතර, ඒ මුදලත් සමඟ ඩිජිටල් ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කිරීමට අමාත්‍යාංශයක් ලෙස වැඩසටහන් රැසක් මේ වන විටද ආරම්භ කර ඇත. විසිරී තිබුණු ඩිජිටල්කරණයට සම්බන්ධ සියලු ආයතන මේ වන විට එක් වහලක් යටට ගෙනැවිත්, එකම අමාත්‍යාංශයක් යටතට පත් කර තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT), විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC), දත්ත ආරක්ෂක අධිකාරිය, ශ්‍රී ලංකා ටෙලිකොම්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආදිය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතට ඇතුළත් කර තිබෙන ආයතන වේ.
එවැනි ක්‍රියාවලියක් සමඟ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මේ වන විට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද සහිතව ව්‍යාපෘති කළමනාකරණ අංශයක්ද අමාත්‍යාංශයට ඒකාබද්ධ කර තිබේ. ඊට අමතරව අමාත්‍යාංශය යටතට ඩිජිටල් ආර්ථික අධිකාරියක් ස්ථාපිත කිරීමටද බලාපොරොත්තු වෙයි. ඩිජිටල්කරණය යනු කුමකුදැයි රටේ ජනතාවට හඳුන්වාදීම සඳහා ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙලක් ආරම්භ කිරීමටද බලාපොරොත්තු වේ. ඩිජිටල් ආර්ථික ගමන යටතේ මූලික වශයෙන් යටිතල පහසුකම් හඳුන්වා දිය හැකිය.
රජයේ මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක පැවසුවේ ඉහත ක්‍රියාවලි නිසි පරිදි ක්‍රියාත්මක කොට රජයේ සමස්ත සේවයම ඩිජිටල්කරණය කිරීමට බලාපොරොත්තු වනවාක් මෙන්ම රජයේ ආයතන සියල්ල එකට එක් කොට රාජ්‍ය ජාලකරණයක් හඳුන්වාදීමටද කටයුතු කරන බවයි. රට ඩිජිටල්කරණයට යොමු වන්නේ නම් රටේ සෑම වැසියකුටම එකම වේගයකින් අන්තර්ජාල සැපයුම ලබා දෙන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ යුතු වේ. පෞද්ගලික අංශයට වුවද භාවිතයට ගතහැකි පරිදි යටිතල පහසුකම් දියුණු කළ යුතු වේ. එමෙන්ම ඩිජිටල් රාජ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන්ද අප අවධානය යොමුව තිබේ. ඒ යටතේ ඩිජිටල් හැඳුනුම්පත වගේම අපේ අනන්‍යතාව තුළ සහතිකපත් ආදිය ඩිජිටල්කරණයට ලක් කොට රඳවාගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබෙන බවද ඔහු පැවසුවේය.
එසේම සෑම කටයුත්තක් සඳහාම දත්ත අවශ්‍ය වේ. එමඟින් ඩිජිටල්කරණය සඳහා යොමු වන්නේ කුමන අංශද යන කාරණා සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරයි. ඒ අනුව සම්පූර්ණ ඩිජිටල් රාමුවක් අප අමාත්‍යාංශය විසින් ජනතාවට ලබා දී තිබේ. ඩිජිටල් ආර්ථිකයේ අපි යා යුතු ගමන එයයි. ඊට අමතරව කොටස් 5කට බෙදාගනිමින් ඩිජිටල් ආර්ථිකය සවිමත් කිරීමටද පියවර ගැනේ. එමෙන්ම රටේ සාක්ෂරතාව සම්බන්ධයෙන්ද අභියෝග ඇත. ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නම් සාක්ෂරතාව දියුණු කළ යුතු වේ. මේ වන විට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ විශේෂඥයෝ 85,000ත් 100,000ක් අතර ප්‍රමාණයක් සිටිති. ඉදිරි වසර 5ක කාලයේදී එය ලක්ෂ 2ක්, දෙකහමාරක් දක්වා ගමන් කළ යුතු බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය සෑම පියවරක්ම ගනිමින් සිටින බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කීවේය.
විදත් හැඳුනුම්පතක් ලබා දීම සම්බන්ධයෙන් මෑතකදී විශාල කතාබහක් ඇති විය. රටේ පුරවැසියන්ගේ අනන්‍යතාව වෙනත් රටවලට යනවා යැයි බොහෝ පිරිසක් ඒ සඳහා චෝදනාද එල්ල කර තිබූ හෙයින් එම ව්‍යාපෘතිය වසර 12ක පමණ කාලයක සිට හරි ආකාරව ක්‍රියාත්මක වූයේද නැත. ඒත් නව රජය විසින් ඩිජිටල් හැඳුනුම්පතේ ක්‍රියාවලිය සිදු කරමින් පවතී. ඊට අමතරව රටේ පුරවැසියන්ගේ හැඳුනුම්පත සඳහා අවශ්‍ය දත්ත එකතු කිරීම සඳහා අවශ්‍ය වන යන්ත්‍ර මේ වන විට ගෙනවිත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථාපිත කර තිබේ. ඩිජිටල් හැඳුනුම්පත ජනතාවට හඳුන්වාදීම ආදිය වෙනුවෙන් අවශ්‍යය සියලු දේ මේ වන විට සිදු වෙමින් ඇති අතර මේ වන විට එහි අවසන් අදියරට පැමිණ තිබේ.
ඉතා කෙටි කලකින්, පොදු ජනතාව භාවිත කරන හැඳුනුම්පත වෙනුවට ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීම සිදු වෙයි. ඩිජිටල් හැඳුනුම්පතේ ඉලෙක්ට්‍රොනික් හෝ වෙනත් කිසිවක් අදාළ වන්නේ නැත. එය අපට ලැබෙන සාමාන්‍ය ප්ලාස්ටික් හැඳුනුම්පතකි. බොහෝ රටවල ඩිජිටල් හැඳුනුම්පත කියන්නේ තමන්ගේ අංකය පමණකි. එහි අංකය කියූ පසු එයට ප්‍රවේශය ඇති ඕනෑම පුරවැසියකුට අනන්‍යතාව පෙන්නුම් කිරීමටත්, ජෛවමිතික දත්ත නැවත ලබා දීමටත් හැකියාව ලැබේ. එම ජෛවමිතික දත්ත කිසිදු අවස්ථාවක වෙනත් රටකට හෝ වෙනත් ස්ථානයකට ලබා දීමක් සිදු වන්නේ නැත. එලෙස එක් කරන සියලු දත්ත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතු වේ. මේ සියලු දත්ත වෙනත් ක්‍රමවේදයකට යටතේ පරිවර්තනය කළද යළිත් කිසිදු දිනෙක එම තත්ත්වයට පරිවර්තනය කරගැනීමට නොහැකි වේ. පරිවර්තනය කිරීමෙන් පසුව යළිත් වරක් පෙර පැවැති තත්ත්වයට පරිවර්තය කළද තිබුණු දත්තම නැවත වතාවක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත. ඒ අනුව පුද්ගලයකුගේ ජෛවමිතික දත්ත වෙනත් පාර්ශ්වයක් විසින් ලබා ගත්තද ඒවා කිසිදු ආකාරයකින් ප්‍රයෝජනයට ගැනීමට හැකියාවක් නොලැබේ. ඒ අවශ්‍ය සියලු ආරක්ෂණ විධිවිධාන මෙම පද්ධතිය තුළ තිබෙන නිසාවෙනි. ලෝකයේ තිබෙන සියලු ප්‍රමිතීන්ට අනුව සිදු වන ඩිජිටල් හැඳුනුම්පත ඉතා කෙටි කලකින් පොදු ජනතාවට ලබා දීමට හැකියාව ලැබේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ
උපදේශක සුමුදු රත්නායක
එමෙන්ම ඉදිරියේදී ලංකාවේ පවතින සියලු අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටුවලින් ගෙවීම් කටයුතු කිරීමේදී කාඩ්පත් මඟින් ගෙවීමට හැකි ක්‍රමයක් සකස් කෙරේ. මෙමඟින් මුදල් රහිත ගනුදෙනු පමණක් ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වේ. රජය විසින් සියලු අංශවලට අදාළ වන පරිදි මෙරටට පොදු ගෙවීම් පද්ධතියක් ඉතා ඉක්මනින් හඳුන්වාදීමටද කටයුතු කරයි. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සඳහාද ගෙවීම් කිරීමේදී බැංකු කාඩ්පතින් ගෙවීමට හැකි ක්‍රමයක් ඇති කිරීම සඳහා මේ වන විට සාකච්ඡා සිදු වෙමින් පවතියි. ඒ අනුව බස් රථයේ ගමන් කරන විට නෝට්ටු සහ කාසි වෙනුවට බැංකු කාඩ් පතින් ගෙවීමට හැකි ක්‍රමයක් ඉදිරියේදී පැමිණීමට නියමිතය. ඒ අනුව කිසිවකු මඟනොහැර, ඩිජිටල් ආර්ථිකයට සම්බන්ධ සියලු පාර්ශ්ව එකතු කරගත් ගමනක් යෑමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය කටයුතු කරයි. ජනතාවගේ අදහස් හා යෝජනා එකතු කරගනිමින්, ලෝකයේ ඉල්ලුමට සරිලන ඩිජිටල් නිෂ්පාදන රට තුළ නිෂ්පාදනය කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය කටයුතු ආරම්භ කර තිබේ.