ශ්‍රී ලංකාව නව ඩිජිටල් පරිවර්තනයකට යොමු කිරීමේ රජයේ වැඩපිළිවෙළට අනුගතව ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ සමාගම් නියෝජනය කරන වෘත්තිකයන් සහ සිංගප්පූරුවේ එම ක්ෂේත්‍රයේ කටයුතු කරන ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් අතර සම්බන්ධතා ගොඩනැඟීමේ හා වර්ධනය කිරීමේ හමුවක් එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී පසුගියදා (24) පැවැත්විණි.
මේ හමුව ආරම්භ කරමින් අදහස් දැක්වූ මහකොමසාරිස් සෙනරත් දිසානායක අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය කෙරෙහි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තීරණාත්මකව වැදගත් වන බවයි. එසේම, රටට විදේශ විනිමය ගෙන ඒමේදී හා රැකියා වෙළෙඳපොළ අරබයාද එය ඉහළ වැදගත්කමක් සහිත මූලාශ්‍රයක් බවත්, නව රජයේ ඩිජිටල් පරිවර්තන වැඩපිළිවෙළ යටතේ ප්‍රමුඛතාවක් ලෙස ප්‍රකාශයට පත් වී ඇති රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ හා දූෂණය අවමකිරීමේ ප්‍රතිපත්තියේදී එම අභිමතාර්ථ සාධනය කරගැනීම වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේ මෙන්ම විද්වතුන්ගේ, වෘත්තිකයන්ගේ හා සිවිල් සමාජයේ සාමූහික ක්‍රියාකාරිත්ව අත්‍යවශ්‍ය බවත් මහකොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දුන්නේය. මේ හමුව සංවිධාන කිරීම මඟින්ද එම සාමූහිකත්වය හා අන්තර් සම්බන්ධතා දිරිගැන්වීම අරමුණු කෙරිණි.
තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රයේ ප්‍රමුබයන් වන IBM, ORACLE, HP වැනි සමාගම්හි නියුතු ශ්‍රීලාංකික වෘත්තීය ප්‍රවීණයන් සහ ශ්‍රී ලංකාවේ සිට පැමිණි තොරතුරු තාක්ෂණ වෘත්තීය ප්‍රවීණයන් මේ හමුවේදී සිය දැනුම හා අත්දැකීම් හුවමාරු කරගනිමින් එම සබඳතාවන්ගේ නව පරිච්ඡේදයක් ඇරැඹූ අතර, මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් සහාය වීමට ඇති හැකියාව සොයා බැලීමටද එකඟ වූහ.
මේ ක්ෂේත්‍රයේ ආසියාවේ විශාලතම මෙන්ම ඩිජිටල් ආයෝජන හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ගෝලීයව ඉදිරියෙන්ම ඇති GITEX ASIA – 2025 සම්මේලනය අප්‍රේල් 23-25 දෙදින සිංගප්පූරුවේදී පැවති අතර, එය නියෝජනය කළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයෝ මේ හමුවට එක්ව සිටියහ.