Home » සාමූහික මිනිස් මෙහෙයුමකට ජය ගත නොහැකි අභියෝග නැත

සාමූහික මිනිස් මෙහෙයුමකට ජය ගත නොහැකි අභියෝග නැත

by Mahesh Lakehouse
May 3, 2025 12:30 am 0 comment
ධනුෂ්ක හර්ෂණ වික්‍රමරත්න

හසය වසරකට පසුව පැවැත්වූ දින දහයක ශ්‍රී දළඳා දැක්ම මේ වන විට අවසන්ව ඇත. දළදා වන්දනාව අවසන එය පිළිබඳව මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් දෙපළගේ මූලිකත්වයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් කරන ලදි. එහිදී මල්වතු මහනාහිමියන් ප්‍රකාශ කොට තිබුණේ මෙය ඉතිහාසයේ බෞද්ධ උත්සවයක් සඳහා සහභාගි වූ සුවිසාලම සෙනඟ බවයි. සැබැවින්ම මහනුවර නගරයට දරාගත හැකි ප්‍රමාණයට සාපේක්ෂව එය මහා ජන සන්නිපාතයකි.

මේ මහා සෙනඟෙහි ආරක්ෂාව, මූලික අවශ්‍යතා සපුරාදීම ඒ සඳහා වෙහෙසුණු ආයතන සියල්ලෙහි මහා මෙහෙයුමක් විය. ජනතාවගේ පැමිණීම පාලනයෙන් තොර තත්ත්වයට පැමිණෙද්දී ජනතාව හසුරුවා ගැනීම, ආරක්ෂාව සැපයීම හා අවශ්‍යතා සැපිරීමේ මෙහෙයුම පුළුල් සහ වේගවත් වන්නට අවශ්‍ය විය. අවශ්‍ය වේගය සපයද්දී විවිධ ගැටලු මතු වීම විය හැක්කකි. එය පෙරළා සනීපාරක්ෂක, ජීව විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක ගැටලු බිහි කරන්නට විය. මේ තත්ත්වය හමුවේ ආණ්ඩු විරෝධීහු සෙංකඩගල නගරය විසාලා මහනුවරක් යැයි අවලාද නඟන්නට වූහ.   

ලෝකවාසී බෞද්ධයන්ට දළදාව යනු ආගමික අනන්‍යතාවේ සංකේතයකි; එය දැක බලාගැනීම මහා වන්දනාවකි. ඒ සඳහා ඔවුන්ට ලැබෙන දුර්ලභ අවස්ථාව උදා කරගැනීමට වෙහෙසීම පොදු මිනිස් ගුණයකි. ඒ අරමුණ වෙනුවෙන් පැමිණෙන බැතිමතා කෙසේ හෝ දළදාව වැඳ ගන්නෙමි යන අදිටනට එළඹේ. දළදා වන්දනාව සාමූහික පින්කමක් වුවද එහි යම් තරගකාරී හැඟීමක් තිබීම විය හැක්කකි. එහෙත් කෙසේ හෝ දහසය වසරකට පසු දළදා ප්‍රදර්ශනය යනු ලෝකවසී බෞද්ධ ජනතාවට මහඟු අවස්ථාවකි. එනිසා ඒ සඳහා අවස්ථාව සලසා දුන් ජනාධිපතිවරයාට ජනතාවගේ කෘතඥතාව නිතැතින්ම හිමි වේ.

මේ මහා ජන ගංගාවට පහසුකම් සැපයීම, ආරක්ෂාව සැලසීම රජයේ වගකීම විය. ඒ සඳහා මාසයකට වඩා කාලයකදී සිට වෙහෙසෙ වී මහනුවර නගර සභාව, ආරක්ෂක අංශ ප්‍රමුඛ අදාළ රාජ්‍ය ආයතන විසින් පෙර සූදානම් කිරීම් කරන ලදි. පෝලිම්වලට අවශ්‍ය සෙවණ, ආරක්ෂක වැට, වැසිකිළි කැසිකිළි ආදියෙහි පටන් සෙසු මූලික අවශ්‍යතා සූදානම් කෙරිණි. මාලිගා පරිශ්‍රයෙහි කටයුතු මෙහෙයවන්නේ දියවඩන නිලමේවරයාගේ මූලිකත්වයෙනි. ඔහුගේ ඉල්ලීම මත රාජ්‍ය ආයතන විසින් උදවු උපකාර සලසා දෙනු ලබයි. මාලිගා පරිශ්‍රයෙන් පිටත දළදා දැක්මේ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ප්‍රමුඛ රජය සතුය.

අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පවත්වා තිබෙන්නේ 2009 වසරේදීය. ඉන් මෙපිට ජනාධිපති මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, ගෝඨාභයගේ දිගුව රනිල් වික්‍රමසිංහ පාලන යුග පැවතිණි. එහෙත් දළදා වන්දනා නොපැවතිණි. ඒ ගෙවුණු දහසය වසර තුළ වර්ධනය වූ බැතිමතාගේ දළදා වන්දනා පිපාසය සංසිඳුවීම ආගමික සත්කාරයකි. අනුර කුමාර දිසානායක ජනාධිපති ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත් වීමෙන් පැනනැඟි නව දේශපාලන තත්ත්වය විසින්ද මෙවන් ප්‍රදර්ශනයක් ඉල්ලා සිටින්නට විය.

ආගමික හා ජාතික සංහිඳියාව

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා පාලනය බිහි වන්නේම දිවයිනේ සිව්දිගින් ලැබූ ජනවරමක් ඔස්සේය. එහි ජාතිවාදය නැත; ආගම්වාදය නැත; ප්‍රාදේශීයවාදයන් නැත. ඒ ජනවරම ඉල්ලා සිටින්නේ ආගමික හා ජාතික සංහිඳියාවයි; පොදුවේ ජාතික සමගියයි. රටේ ජනතාව තුළ මෙලෙස පිබිදී තිබෙන ශ්‍රී ලාංකික යන හැඟීම සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ මැනවින් ප්‍රකාශයට පත් විය. ඉදිරි උත්සව සමයන්හි එය තවදුරටත් කුළුගැන්වෙනු ඇත. දළදා ප්‍රදර්ශනය බෞද්ධ කටයුත්තක් වුවද එය ජාතික උත්සවයක් බවට පත් වන්නේ මේ සන්දර්භයේදීය. හුදු ආගමික වන්දනාවකට එහා ගිය ජාතික උත්සවයක් බවට දළදා වන්දනාව පත් වීම මේ මාලිමා පාලනය මෙරට තහවුරු කරමින් යන ආගමික හා ජාතික සමගියේ පළමු පරීක්ෂණය වශයෙන් ගත හැකි තරම්ය.

බෞද්ධයෝ දළදාව දැක බලා සිත පහන් කරගන්නට මහනුවර කරා රොක් වන්නට වූහ. සැප්තැම්බර් 21ට පෙර ප්‍රභූ පන්තියේ බල ප්‍රදර්ශනයන්ගෙන් ත්‍රස්තව සිටි ජනතාවක් ලද නිදහස් මනසින් මහනුවර කරා ඇදෙන්නට වූහ. ප්‍රභූ පන්තිය වටා සිටි පාතාලයන්ගෙන් හිරිහැරයට පත් ජනතාව සැකෙන් බියෙන් තොරව සෙංකඩගල පුරවරයට සැපත් වූහ. ඒ වන්දනාකරුවන් වෙනුවෙන් කැප වූයේ සිංහල බෞද්ධයෝ පමණක් නොවෙති. රජයද ප්‍රදේශවාසීන්ගෙන් සහය ඉල්ලා සිටි නමුත්, බොහෝදෙනා පරිත්‍යාග සහ කැපවීම් කළේ ස්වව්ච්ඡාවෙනි. ජනතා පාලනයක වැදගත්ම බලය ස්ෙව්ච්ඡා ශ්‍රමයයි. එය ජාති, ආගම් භේදයකින් තොරව සිදු වූවකි. මුස්ලිම් පල්ලි වන්දනා පිරිසට පහසුකම් සලසන මධ්‍යස්ථාන බවට පත් කළේ ඉස්ලාම් බැතිමතුන් විසිනි. හින්දු ආගමිකයෝද ක්‍රිස්තියානි ආගමිකයෝද පහසුකම් සැලසීමේ ඉදිරියෙන්ම වූහ. මඟ දෙපස පෝලිම් වෙනුවෙන් තම නිවෙස්, වැසිකිළි පහසුකම් සලසා දුන් නිවැසියෝ ඉන් තමන්ට වන අපහසුව සතුටින් දරාගත්හ. තම නිවෙස්, ගෙවතු, උද්‍යාන පවා සැදැහැවතුන්ගේ ගිමන්හල් බවට පත් කරන්නට සියලු මහනුවර වැසියෝ උත්සුක වූහ. පෝලිම් තුනකින් දළදා දැක්මට පැමිණි බෞද්ධ ජනතාවට පහසුකම් සැලසූවන් මේ සිංහලය, මේ මුස්ලිම්ය, මේ දෙමළය කියා වෙන් කර දැක්විය නොහැකිය. එය බෞද්ධය, ඉස්ලාම්ය, හින්දුය, ක්‍රිස්තියානිය කියා වෙන් කර දැක්විය නොහැකි තරමේ සාමූහිකත්වයක් විය. එනිසාම මේ දළදා දැක්ම පූජනීය කටයුත්තකින් එහා ගොස් තිබේ. එය මහා සංස්කෘතික සාමූහිකත්වයක්ම විය. මෙය අන් කවරක්වත් නොව, ජාතික හා ආගමික සංහිඳියාව, සමඟිය හා සාමූහිකත්වයේ ප්‍රකාශනයයි.

දන් දීම යන්න සියලු ආගම් විසින් පිළිගනු ලබන දෙයකි. එහෙත් තමන්ගේ නොවන ආගමික උත්සවයකට පිවිස ආගමික භේදයකින් තොරව මෙවන් ආහාරපාන නොමිලේ සැපයීමක් මෙයට පෙර දැක නැති තරම්ය. දළදා දැක්මේ අවසන් දිනවල දන්සල් යන්න අවශ්‍යතාව ඉක්මවා පවතින්නට විය. වංචනික හෝ වෙනත් අරමුණකින් තොර පරිත්‍යාගයන් මෙහි විය. එය පුණ්‍ය කටයුත්තකට එහා ගිය නව පරිත්‍යාගශීලි සංස්කෘතියක් විය.

බණෙහි සඳහන් විසාලා මහනුවර යනු සාගතයෙන්, දුර්භික්ෂයෙන්, වසංගතයෙන් මරණයට පත් මිනිසුන්ගේ මළකඳන් තැන තැන විසිරි නගරයකි. එහෙත් දළදා දැක්ම පැවති මහනුවර මිනිසුන් පරිහරණයෙන් පසු විසි කළ දෑ මිස, මළ කඳන් තැන තැන නොවීය. ජනතාව මංකොල්ලකන මැර බලයන්ට ඉඩ නොවීය. සැබවින්ම මහජනතාව අසීමිතව රැස් වීමෙන් ඇති වූ තත්ත්වයන් පාලනය කරමින්, ඒවා අනතුරු ආපදා දක්වා වර්ධනය වීම වැළැක්වීමට ආරක්ෂක අංශ හා සංවිධාන කමිටු සමත් විය. ජනතාවගේ අසීමිත භක්තිය හා කලබලය විසින් තමන් භාර දී ගිය ගමන් මලු හා පරිහරණ භාණ්ඩ අමතකව ගියද කිසිවකුගේ භාණ්ඩ සොරාගැනීම් අසන්නට නැති තරම් විය.

සාර්ථක අවසානයක්

නියමිත දින ගණන අවසන් කරමින්, දළදා දැක්ම අවසන් කරන්නට රජය සමත් විය. වීඅයිපී සහ වීවීඅයිපී පෝලිම් නැති බව ආණ්ඩුව විසින් මුල සිටම දැනුම් දෙන ලදි. දියවඩන නිලමේගේ භාරකාරිත්වයෙන් යුත් දළදා මැඳුරු භූමියෙහි හැර ඉන් පිටත ආණ්ඩුවේ ඍජු වගකීම් සහිත බාහිර ප්‍රදේශයේ එවන් විශේෂ පෝලිම් නොවීය. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත අාබාධිත ප්‍රජාව වෙනුවෙන් වෙනම පෝලිමක් හා විශේෂ පහසුකම් විය. ආරක්ෂක නිලධාරීහුද සිවිල් නිලධාරීහුද එකාවන්ව මේ ආබාධිත ප්‍රජාවට මෙන්ම අබල දුබල අයටද නිරන්තර උදවු උපකාර සිදු කළෝය. සෞඛ්‍ය අංශ මැදිහත්ව රුධිර පීඩනය බැලීමේ සිට හදිසි රෝහල්ගත කිරීම් දක්වා මනා සෞඛ්‍ය සේවයක් පවත්වා ගන්නට සමත් විය.

සියල්ල අවසන මහනුවර නගරය මහ කුණු කන්දක් වනු ඇතැයි සිහින දුටු කුහක විපක්ෂයේ සිහින අවසන් කරමින්, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ප්‍රමුඛ ආරක්ෂක අංශද වෙනත් ස්වෙච්ඡා සහ රාජ්‍ය අංශද මහා පිරිසුදු කිරීමේ මෙහෙයුම ආරම්භ කරන්නේ දළදා දැක්ම අවසන් වූ මොහොතේ සිටය. වැව රවුමේ මහජනයා සිටි පෝලිම්ද වැව් ඉවුරද මහා මාර්ගද පල්ලි-පන්සල්ද, පාසල්ද කඩපිල් සහ රාජ්‍ය ආයතනද මේ මෙහෙයුමට අයත් විය.

ක්ලීන් ශ්‍රී ලංකා

දින දහයකට අධිකව කළ සේවයට ජනපති මැදිහත් වීමෙන් ලද අවස්ථාව විසින් දළදා වඳින්නට වරම් ලද සනීපාරක්ෂක කම්කරු ප්‍රජාව මේ මෙහෙයුමේ විශිෂ්ට කාර්යයක් කළෝය. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජනාධිපති කාර්යසාධක බළකාය නියෝජනය කරමින් නුවරට පැමිණි 600කට අධික කණ්ඩායම දින 10 තුළම පිරිසුදු කිරීම් කටයුතුවල නිරත විය.

අවසන් දින කිහිපයෙහි මහනුවර විවිධ වෙළෙඳ ආයතන, ස්වේච්ඡා සංවිධාන මේ සත්කාර්යයට සම්බන්ධ විය. දළදා දැක්ම අවසන් මොහොතේ පටන් ඇරඹි පිරිසුදු කිරීමේ මෙහෙයුම මහා මාර්ග, වීදි පිරිසුදුකාරක යොදා සේදීමෙන් අවසන් විය. සැබවින්ම මහනුවර නගරය පෙර තිබුණාටත් වඩා පිරිසුදු නගරයක් බවට පත් කරමින් දළදා දැක්ම නම් මහා මිනිස් මෙහෙයුම අවසන් විය.

‘පුනරුදය’ යනු රට වැටී සිටින තැනින් ක්ෂණිකව නැඟීසිටුවීමකි. මහනුවර දළදා දැක්ම නම් මාලිමා ආණ්ඩුවේ මෙහෙයුම පුනරුදයේ එක් අත්දැකීමකි.

මොනවද එහි නොදැක්කේ? මෙතෙක් 70 වසරක ප‍්‍රභූ දේශපාලනයෙන් පුරුදු පුහුණු කළ සාමාන්‍ය මිනිසාගේ පසුගාමි හැසිරීම් මෙහි විය.

බැතිමතාගේ ප්‍රඥාසහගත භක්තියද අන්ධ භක්තියද මෙහි විය. ධනවාදි තරගකාරි ලෝකයේ අතිශය ආත්මාර්ථයද එහි විය. වරප්‍රසාදිත ප්‍රභූ පෝලිම් පිළිබඳ පුරුද්ද බලාපොරොත්තුව සහිත ආත්මාර්ථය එහි විය. ආණ්ඩුවට පහරක් දීමට මඩ සොයන මෙහෙයුම් එහි විය. එහෙත් මේ සියලු පෘථග්ජන අරමුණු, හැඟීම් පරදා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දළදා වන්දවන්නට දහස් ගණනක ශ්‍රම මෙහෙයුමකට හැකි විය. අවසන යළි උපන් ලස්සන මහනුවර පවසන්නේ පුනරුද මෙහෙයුමක් යනු මෙන්න මෙය බවයි.

විස්ම්ත මෙහෙයුම

එහි විශේෂත්වය වෘත්තීය වශයෙන් මැදිහත් වූවන් පවා ඒ සීමාව ඉක්මවා ස්වේච්ඡා සේවයක් කොට ගෙවුණු දින දහයේ තම වගකීම් ඉටු කිරීමයි. විස්මිත මෙහෙයුම වන්නේ ස්වේච්ඡා මැදිහත් වීමයි.

ආණ්ඩුවේ පිරිස්ද ආණ්ඩුවට හිතවත් පිරිස්ද පොදු මහජනයාද වෙනසකින් තොරව, ස්තුතියක් වත් බලාපොරොත්තු නොවෙමින් දුන් ආදර්ශය වැටී සිටින රට ගොඩනඟන්නේ මෙසේ යැයි පෙන්වා දෙන උදාහරණයක් වැනිය. මේ කුණුගොඩ කවදා අවසන් වේද? පාසල් රාජ්‍ය ආයතන අවසන් වෙද්දී නගරයේ පය ගැසිය හැකිද ගඳ උසුලාගත හැකිද? පාචනය හා වෙනත් බෝවන රෝගවලින් නගරය රට වැසී යනු ඇතැයි මැසිවිලි නැඟූ කුහක විපක්ෂය මේ පුනරුද මෙහෙයුමට අතගැසුවේ නැත.

අතිශය ආත්මාර්ථකාමී තරගකාරි පෞද්ගලික ජීවිතවලට ඇබ්බැහි වූ ජීවිත පොදු හැඟීමෙන්, රටක් ලෙස සිතීමෙන් යුක්තව දින දහයකට අධික කාලයක් පුරා දළදා දැක්ම නම් සංකේතාත්මක නාමය පෙරදැරිව කළ මහ ශ්‍රම හා ආධ්‍යාත්මික මෙහෙයුම රටේ පුනරුද මෙහෙයුමෙහි පැතිකඩමය. ඕනෑම මෙහෙයුමක අඩුපාඩු විය හැකිය. වැදගත් වන්නේ ඒවා නිවැරදි කරගැනීමයි. සියල්ලට ඉහළින් පවතින්නේ සාමූහික මිනිස් මෙහෙයුමකට ජය ගත නොහැකි අභියෝගයක් නැත යන්නය.

අවසාන වශයෙන්: පෙර සිදු වූවා සේ දළදා දැක්ම අධික ජන පීඩනය නිසා දින ගණන් කලින් අවසන් නොකර නියමිත දින වන විට, සියල්ල නිවැරදි කරමින් අවසන ‘ක්ලීන්’ මහනුවරක්ද ජාතික හැඟීමක්ද ඉතිරි කළ මේ සාමූහික ප්‍රයත්නයට රටේ සමාජයේ ප්‍රගමනය පතන සියල්ලන්ගේ ශීර්ෂ ප්‍රණාමය අත් වන බව සඳහන් කරනු කැමැත්තෙමි. අවසන අාධ්‍යාත්මයෙන් පොහොසත් මහනුවරක් – ලස්සන මහනුවරක් ලෝකය තුළ සුපතළ විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division