– අපේ සාම්ප්‍රදායික අපනයන අපි වෙනස් කරන්න ඕනෑ. 1994 සිට බැලුවොත් අපි අපනයනය කරන්නේ එකම වර්ගයේ භාණ්ඩ හා සේවා ටිකක්. එහෙත් ලෝකය දියුණු වෙමින් ඉදිරියට ගිහින් තිබෙනවා.
– අප පැතිරුණු වෙළෙඳපොළක් හොයාගන්නවා. එවිට අපට එක රටක් හෝ දෙකක් මත යැපීමට අවශ්‍ය වන්නේ නැහැ.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අයිඑම්එෆ් එකඟතා තුලනය කර ගැනීම මෙන්ම වෙළෙඳාම විවිධාංගීකරණයට රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ග නැවත සකස් කිරීම සහ කාර්මික තරගකාරිත්වයේ නව යුගයක් කරා ප්‍රවේශ වීම සඳහා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සමඟ ‘සිළුමිණ’ කළ සාකච්ඡාවකි මේ.
අමෙරිකානු ජනාධිපතිවරයා සිය නව බදු ප්‍රතිපත්තිය මත මෙරටට පනවා ඇති තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා දූත පිරිසක් එක්සත් ජනපදයට ගියා. එහි ප්‍රගතිය කුමක්ද?
මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුමගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක් එක්සත් ජනපදයට ගියා. එහිදී ප්‍රධාන අරමුණු දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබුණා. පළමුවැන්න අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ සම්බන්ධ වීම සහ දෙවැන්න එක්සත් ජනපද වෙළෙඳ නිලධාරීන් හමු වී සාකච්ඡා කිරීමයි. මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවල අරමුණ වුණේ විස්තීර්ණ අරමුදල යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිවුවැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමයි. එය ඉතා ඵලදායී ලෙස සිදු කිරීමට හැකියාව ලැබුණා. මේ මූලික සාකච්ඡා අවසන් වනවාත් සමඟම අප කියූ ආකාරයටම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට අපට හැකි වුණා. අපේ ආණ්ඩුව පසුගිය කාලය තුළ ඒ සඳහා අවශ්‍ය කටයුතු නිසි පරිදි සිදු කර තිබීම ඊට හේතු වී තිබුණා. ඒ අනුව ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා.
අපේ ගමනේ අනෙක් අරමුණ වුණේ අප රටට බලපා ඇති තීරුබදු ප්‍රශ්නය විසඳා ගැනීමයි. එය අප රටට පමණක් නොවෙයි, මුළු ලෝකයටම බලපෑ ප්‍රශ්නයක්. මේ ගැන අමෙරිකානු ජනාධිපතිවරයාගේ අදහස් පළ වීමත් සමඟ මුල සිටම අප අවධානය යොමු කර තිබුණා. අභ්‍යන්තර කමිටුවට හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ උදවියත් සහභාගි කරගෙන මෙවැනි ගැටලුවක් ආවොත් කොහොමද ඊට මුහුණ දෙන්නේ කියන සාකච්ඡාව ඒ අනුව ආරම්භ කර තිබුණා. අප්‍රේල් පළමු සතියේදීම, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 90කට පමණ තීරුබදු ප්‍රකාශයට පත් කළා. ඒ අනුව අප්‍රේල් 9 වැනි දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ මෙම තීරුබදු ප්‍රතිපත්තිය පසුව මාස තුනක් සඳහා කල් දැමුණා.
එහෙත් අපි අප්‍රේල් 3 වැනිදා වන විටත් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා ආරම්භ කර තිබුණා. මේ සාකච්ඡා ඉතාම ඵලදායී මට්ටමක පැවතුණා. අනතුරුව අප ඊට පසු සතියේ තවත් සාකච්ඡාවක් සිදු කළා. එහිදී අපි ද්විපාර්ශ්වික වෙළෙඳාම පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් ඉදිරිපත් කළා වගේම ඒ සඳහා විසඳුම් කිහිපයක් යෝජනා කළා. එක්සත් ජනපද නිලධාරීන්ගෙන් ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාර ලැබී තිබුණා. ඒ අනුව ඊට පසු සතියෙදිත් අපට සූම් සාකච්ඡා සඳහා ආරාධනා කළා.
එහිදී අපට සපුරාගත හැකි ඉලක්ක නිශ්චිතව ඔවුන් වෙත ඉදිරිපත් කළා. ඒ අනුව ද්විපාර්ශ්වීය එකඟතාවලට එළඹීමට අපට හැකි බව පවසමින් එම සාකච්ඡා සඳහා එහි පැමිණෙන ලෙස අපට ආරාධනා කළා. ඒ අනුව, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ඒ. විමලේන්තිරරාජා, භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ සඳහා සහභාගි වුණා. එහිදී සාකච්ඡා වට දෙකක් පැවැත්වුණා. ඉන් එකක්: එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත (USTR) හි ප්‍රධානි ජේමිසන් ග්‍රියර් මහතා සමඟ සිදු කළා. ඔහු අපට මේ කටයුතු සිදු කිරීමට හැකි බව තේරුම් ගෙන තිබුණා. ඒ අනුව ඔහු දෙවැනි මට්ටමේ සාකච්ඡාවකට අපට ඇරියුම් කළා. එහිදී දකුණු ආසියාව හා ශාන්තිකර කලාපයේ වෙළෙඳාම් අධීක්ෂණය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ සහකාර අධ්‍යක්ෂවරුන් වන බ්‍රෙන්ඩන් ලින්ච් සහ එමිලි ඈෂ්බි යන අය සමඟ සාකච්ඡා සිදු කළා. එම සාකච්ඡාවලින් අනතරුව එකඟතාවයකට ආවා. දින 90ක කාලය තුළ ලෝකයේ සෙසු රටවලට වගේම අපෙන් බදු අය කරන්නේ 10%යි. ඒ අනුව මේ කාලය තුළ සාකච්ඡා ඉදිරියට ගෙනයා හැකි බව පවසා සිටියා.
මේ සාකච්ඡාවල අරමුණ කුමක්ද?
මේ සාකච්ඡාවල අරමුණ වන්නේ දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සම්බන්ධතා පුළුල් කරගැනීම සඳහා ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමයි.
වර්තමානයේ, අපි අමෙරිකා එක්සත් ජනපදයට ඩොලර් බිලියන 3ක් පමණ වටිනා භාණ්ඩ අපනයනය කරනවා. ඒ වගේම ඩොලර් මිලියන 370ක් පමණ ආනයනය කරනවා. මේ තුළ පවතින වෙළෙඳ අසමතුලිතතාව අඩු කර ගැනීම කෙරෙහි අමෙරිකාවේ අවධානය යොමු වී තිබෙනවා. ඒ සඳහා යම් ආරම්භයක් ලෙස අමෙරිකාවෙන් ආනයනය කරන සමහර භාණ්ඩ – විශේෂයෙන්ම ඖෂධ සඳහා – තීරුබදු අය කරන්නේ නෑ. අනෙක් භාණ්ඩ සඳහත් අප අය කරන්නේ 5% සිට 20% අතර ප්‍රමාණයක්. ඒ අනුව පැරා-ටරිෆ් ඇතුළුව අනෙකුත් තීරුබදු තවදුරටත් අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම අමෙරිකාවෙන් තෙල් සහ ගෑස් ආනයනය කිරීමේ හැකියාව සොයා බලමින් තිබෙනවා.
ඒ වගේම අප රට හා අමෙරිකාව අතර ආයෝජන වැඩි කරගැනීම කෙරෙහිද මේ සාකච්ඡාවලදී අවධානය යොමු කළා. ඒ වගේම ඉදිරියේදී දෙරට අතර වෙළෙඳාම වැඩිදියුණු කරගැනීම සඳහා ද්විපාර්ශ්වීය වෙළෙඳ එකඟතා ඇති කරගැනීමට අපි සාකච්ඡා කළා. එය ඉතා සාධනීය තත්ත්වයක පවතින බවයි මගේ හැඟීම. මේ වන තෙක් මෙවැනි ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා යොමු වී ඇත්තේ ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත් පමණයි. එහෙත් තවමත් සමහරුන් සමාජ මාධ්‍ය හරහා අපට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීමට නොහැකි බවට බොළඳ තර්ක නඟමින් තිබෙනවා. ඒ අයට ඉතා ප්‍රායෝගික පිළිතුරක් මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා හරහා අප ලබා දී තිබෙනවා.
ආණ්ඩුව එක්සත් ජනපදයෙන් අපේක්ෂා කරන්නේ කුමන ආකාරයේ තීරුබදු සහනයක්ද?
මේ මොහොත වන විට, අමෙරිකාව විසින් අපට 44%ක් තීරුබදු පනවා තිබෙනවා. එය අපගේ අපනයන කෙරෙහි බරපතළ ගැටලුවක් මතු කර තිබෙනවා. ඒ නිසා අපේ අරමුණ වන්නේ එය 10% හෝ ඊට අඩු මට්ටමක රඳවා ගැනීමයි.
විදුලි පිරිවැය ප්‍රතිශෝධනය කර, ස්වයංක්‍රීය මිලකරණ යන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම වැනි පූර්ව ක්‍රියාමාර්ග මත අයිඑම්එෆ්හි ඉදිරි ක්‍රියාමාර්ග රඳා පවතින බව අවධාරණය කර තිබෙනවා. ඒ වගේම, ආණ්ඩුව මේ වන විට නිෂ්පාදන වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. දැනටමත් අප විදුලිය මිල දී ගන්නේ ඉහළ මිල ගණන් යටතේ. මේ තත්ත්වය ආණ්ඩුව තුලනය කර ගන්නේ කොහොමද?
අයිඑම්එෆ් මඟින් අවධාරණය කර ඇත්තේ විදුලි අවශ්‍යතාව රජය පාඩු පිට පවත්වාගෙන නොයන ලෙසයි. ආණ්ඩුවක් යම් ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින විට ජලය, විදුලිය සහ ඉන්ධන වැනි දේවල් මහා භාණ්ඩාගාරයට බරක් වන ආකාරයෙන් පවත්වාගෙන යෑම අර්බුදය තවත් තීව්‍ර කිරීමට හේතු වනවා. එවැනි දේ මේ මොහොතේදී නොකළ යුතුයි කියන එකයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ; එහෙම නැතුව, මේ දේවල්වල මිල ගණන් අඩු කරන්න හෝ වැඩි කරන්න කියන එක නෙමෙයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අප මේ වන විටත් ගනිමින් තිබෙනවා.
අපට කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය නම්, අපි ආදාන පිරිවැය අඩු කළ යුතු වනවා. ඉන් බලශක්තිය ප්‍රධානයි. ශ්‍රී ලංකාවේ විදුලි මිල ගණන් ඉහළ මට්ටමක පවතිනවා. අප ඒවා පහත දැමිය යුතුයි. ඒ සඳහා අඩු වියදම් පුනර්ජනනීය බලශක්තිය ඉහළ නැංවීම කෙරෙහි අප ලොකු විශ්වාසයක් තබා තිබෙනවා. පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ පිරිවැය පහත දැමිය හැකියි. මේ වන විට එමඟින් නිපදවන විදුලි ඒකකයක් සඳහා වැය වන්නේ අමෙරිකානු ශත පහක් පමණයි. පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම මඟින් මේ මිල ගණන් 2050 වන විට ශත දෙකකට පහත දැමිය හැකි බව අප කළ අධ්‍යයනය මඟින් හෙළි වී තිබෙනවා. අපගේ බලශක්ති අවශ්‍යතාව සඳහා පුනර්ජනනීය බලශක්ති විභවයන් ක්‍රමානුකූලව පුළුල් කිරීම මඟින් එය පහසුවෙන් අපට සාක්ෂාත් කළ හැකියි. අතීතයේදී, සූර්ය බල ව්‍යාපෘති සඳහා බලපත්‍ර නිකුත් කරන ලද්දේ උපාය මාර්ගික අධ්‍යයනයකින් තොරවයි. සමහර විදුලි මිල දී ගැනීමේ ගිවිසුම් රාජ්‍යයට බෙහෙවින් අහිතකර ඒවා. අපි මේ සියලු දෑ සමාලෝචනය කරමින් තිබෙනවා.
ඒ අනුව, ඉදිරි වසරවලදී විදුලි මිල තුනෙන් එකකින් අඩු කිරීම අපගේ ඉලක්කය වී තිබෙනවා. අපගේ දිගුකාලීන අරමුණ වන්නේ කාර්මික වර්ධනය ඉහළ නැංවීම සඳහා විදුලි පිරිවැය අවම වශයෙන් තුනෙන් එකකින් අඩු කිරීමයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අප සැලසුම් කර තිබෙනවා. එනිසා ඒ පිළිබඳ ගැටලුවක් ඉදිරියේදී ඇති වන්නේ නැහැ.
ට්‍රම්ප්ගේ තීරුබදු අපට තදින්ම බලපෑ එක් හේතුවක් නම්, අපි ඇඟලුම් සහ තේ වැනි අපනයන කිහිපයක් මත දැඩි ලෙස රඳා පැවතීමයි. වෙළෙඳපොළ විවිධාංගීකරණය හරහා අපගේ නිෂ්පාදන සහ අපනයන වර්ධනය කරගැනීම මඟින් ඊට විසඳුම් සලසාගත හැකියි. ඒ සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
මේ තත්ත්වයෙන් ගොඩඒම සඳහා විවිධාංගීකරණය අත්‍යවශ්‍යයි. දැනට, අපගේ අපනයනවලින් 25%ක් පමණ අමෙරිකාවට අපනයනය කරනවා. ඒ අතර ඇඟලුම්, තේ, රබර් සහ වෙනත් ආහාර වැනි කිහිපයක් පමණයි.
ඊට පිළිතුරු හොයන අතරේ, අපේ වගේ රටක නිෂ්පාදන දෙගුණයක් හෝ තුන් ගුණයක් හෝ දහ ගුණයකින් හෝ වැඩි කළත් ගැටලුවක් නැහැ. මොකද: ලෝකය තුළ විශාල වෙළෙඳපොළක් තිබෙන්නේ. ට්‍රිලියන ගණනක ඉල්ලුමක් පවතිනවා. අපි මැදිහත් වුණොත් මේ වෙළෙඳපොළවල් අපට අල්ලා ගන්න පුළුවන්.
එහෙත් පැවති කිසිදු ආණ්ඩුවකට එවැනි අවශ්‍යතාවක් තිබුණේ නැහැ. අප ඒ පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. මේ වතාවේ අපි තානාපතිවරුන් තානාපතිවරියන් පත් කරන විට ඒ අදහස සැලකිල්ලට ගෙනයි ඔවුන් තෝරා පත් කර තිබෙන්නේ. මැතිවරණය නිසා ඔවුන් යැවීම ප්‍රමාද වී තිබෙනවා. ඡන්දය ඉවර වුණු සැණින් ඒ අය අදාළ කාර්යය සඳහා පිටත් කරහරිනවා. නිදසුනකට අප ජපානයට යවන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යවන්නේ ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක ආර්ථික අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්යවරියක්. ඇය පර්යේෂණ පත්‍රිකා අසූ ගණනක් ඉදිරිපත් කළ විද්වතියක්. ඇය ඒ විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙලා රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ. ඉන්දියාවටත් එහෙමයි. මේ ලෙස අප පළමුවෙන්ම සිදු කරන්නේ වෙළෙඳ සහ ආයෝජන අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කිරීමයි.
ඒ අනුව, අප පැතිරුණු වෙළෙඳපොළක් හොයාගන්නවා. එවිට අපට එක රටක් හෝ දෙකක් මත යැපීමට අවශ්‍ය වන්නේ නැහැ. මේක ඉන්දියාව, චීනය වැනි ලොකු රටකට අපහසු වුණාට; මේ ඉලක්කය ජය ගැනීම අපේ රටට අපහසු නැහැ. අපි පොඩි පොඩි වෙළෙඳපොළක් නිසා අපට ඊට ඇතුළු වෙන්න පහසුයි.
දෙක: අපේ සාම්ප්‍රදායික අපනයන අපි වෙනස් කරන්න ඕනෑ. 1994 සිට බැලුවොත් අපි අපනයනය කරන්නේ එකම වර්ගයේ භාණ්ඩ හා සේවා ටිකක්. එහෙත් ලෝකය දියුණු වෙමින් ඉදිරියට ගිහින් තිබෙනවා. ඒ රටවල් අවුරුදු 20කට 30කට කලින් අපනයනය කරපු භාණ්ඩ නෙමෙයි දැන් අපනයනය කරන්නේ. විශේෂයෙන්, තාක්ෂණික භාණ්ඩ මේ තුළට ඇවිත් තිබෙනවා. ඒ නිසා අප වෙළෙඳපොළ විවිධාංගීකරණයට අමතරව, භාණ්ඩ විවිධාංගීකරණය කෙරෙහිත් අවධානය යොමු කළ යුතුයි. එය අපට කළ හැකියි. අපේ විභවතා ගොඩක් තිබෙනවා. අගය එකතු කළ නිෂ්පාදන ගොඩක් අපට හදන්න පුළුවන්. තාක්ෂණය ඉලක්ක කරගත් භාණ්ඩ විශාල ප්‍රමාණයකට දායක වෙන්න පුළුවන්. මේ පිළිබඳ අප අවධානය යොමු කර තිබෙනවා.
තුන්වැන්න: මේ වෙළෙඳපොළ විවිධාගීකරණයට අමතරව ඩිජිටල් ආර්ථිකයත් එක්ක එකතු වී ගෝලීය අගය දාමය ඇතුළට කොටස්කරුවකු ලෙස පිවිසෙන්නේ කොහොමද කියා සොයා බැලීමයි. අපේ පර්යේෂණ කණ්ඩායමක් මේ වන විටත් ඒ සඳහා කටයුතු කරමින් තිබෙනවා. එමඟින් තනි භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා වෙනුවට නිෂ්පාදන භාණ්ඩයක කොටසක් නිෂ්පාදනය කිරීමට දායක වීම මෙහි ඇති විශේෂත්වයයි. උදාහරණයකට ජංගම දුරකතනයකට කිසියම් උපාංගයක් අපට සකස් කළ හැකි නම් ඒ සඳහා අවස්ථාව හිමි කර ගැනීම. මේ ආකාරයට ලොව පුරා නිෂ්පාදනය වන විවිධ භාණ්ඩවල අගය දාමයක කොටස්කරුවකු වී විශාල විදේශ විනිමයක් උපයාගත හැකියි.
හතරවැන්න: අපේ පර්යේෂණාත්මක අංශයයි. බොහෝ දෙනකු උත්සාහ ගන්නේ වෙළෙඳපොළ තුළ තිබෙන දේ ප්‍රතිනිෂ්පාදනය කරන්නයි. එහෙත් මේ පර්යෙෂණ උත්සාහ ගන්නේ නූතන ගෝලීය අවශ්‍යතා හඳුනාගෙන ඉදිරි අවුරුදු පහ-දහය, විස්ස-තිහ ඇතුළත මොනවගේ භාණ්ඩද මිනිසුන්ට අවශ්‍ය වෙන්නේ කියන කාරණය පිළිබඳ අවධානය යොමු කිරීමයි. ඒ අනුව ඒ අවශ්‍යතාවන්ට සරිලන භාණ්ඩ හා සේවා පුරෝකථනය කර, නව නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දිය හැකියි.
ඒ නිසා අපට ඉදිරියේදී එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ හැකියාව තිබෙනවා. අපි ආර්ථිකය ස්ථාවර කරන අතරතුර විශ්වාසය පාරදෘශ්‍යභාවය ඇති කර, නව ආයෝජන අවස්ථා වර්ධනය කිරීමට අවශ්‍ය විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරන පරිසරයක් නිර්මාණය කරනවා.