සෑම සේපියන්ස් කෙනෙක්ම සතුට සොයා බොහෝ දේ සිදු කරති. ජීවිතයේ සැබෑ අර්ථයත්, සතුටත් වෙන්වෙන්ව හා ඒකාබද්ධව තේරුම් ගැනීම සේපියන්ස් ගොයියා ද නිතරම කල්පනා කරන දෙයකි. එය අලුත් දෙයක් ද නොවේ. අපට පෙරාතුව පෘථිවි ග්‍රහලෝකයේ විසූ බොහෝ සේපියන්ස්ලා ජීවිතය යනු කුමක්ද? සතුට යනු කුමක්ද? යන්න සම්බන්ධයෙන් ඇතිපදම් විමසා බලා තිබේ.
සේපියන්ස්ලා තුළ දාර්ශනිකත්වය ගොඩනැඟෙන්නේ ද එකී ගවේෂණ නිසාමය. එහිදී, ජීවිතයේ යථාර්ථය වූකලි, යටිපෙළෙහි ඇත්තේ අතිශයින්ම ඛේදවාචකයකි, මිසරියකි (Misery), දුකකි. බෞද්ධ දාර්ශනික ඉගැන්වීම් තුළ ජීවිතයේ යාථාර්ථයෙහි වූ ඛේදවාචකය හඳුන්වන්නේ දුක්ඛ හෙවත් දුක ලෙසය. එය අතිශයින්ම සියුම් සහ ජීවන යටිපෙළ ගැන කෙරෙන්නා වූ ගැඹුරු මෙන්ම, අපූරු විග්‍රහයකි.
එහිදී, දුක් (දුක්ඛ) යන්න ශාරීරික වේදනාව හෝ මානසික වේදනාවට පමණක් සීමා නොවේ. එහි ඊට ඔබ්බෙන් වූ අනිත්‍ය හෙවත් අනිස්ථිර වූ අනිවාර්ය වෙනස් වීමට (අභාවයට) පත් වන ස්වභාවය නිසා ජීවිතයේ ඇති වන්නා වූ, නෛසර්ගික අතෘප්තිය සහ අසහනය ද ඇතුළත් වේ. දුක්ඛ යනු පැවැත්මේ සලකුණු තුනෙන් (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම) එකකි. අනිත්‍යය යනු නිරන්තර වෙනස් වීමට බඳුන් වන ස්වරූපය වන අතර, පැවැත්මට ඉන් සිදු වන අගතිය නිසා දුක උපදී. අනාත්ම යනු, මේ ක්‍රියාදාමය පුද්ගලයාට අවශ්‍ය ආකාරයට පාලනය කරමින් නතර කිරීමට නොහැකි, ස්වරූපයයි. නැතහොත් සදාකාලිකව පුද්ගල ආත්මයක් පවත්වාගත නොහැකි බවය.
එසේම දුක්ඛ යනු චතුරාර්ය සත්‍යයේ කේන්ද්‍රීය පළමු වන සත්‍යය ලෙස දැක්වේ. එය යම් යම් භෞතික හෝ අභෞතික හෝ සංකල්පමය ආදී, විවිධාකාර දේවලට ඇලී සිටීමේ අසතුටුදායක බව සහ උපත, මරණය සහ නැවත ඉපදීම හෙවත් පුනර්භවය සහිත අනවරත චක්‍රීය ක්‍රියාදාමය හෙවත් සංසාරය නඩත්තු කරයි.
මෙය තවදුරටත් ගැඹුරින් විග්‍රහ කිරීමේ දී, ඕනෑම ජීවී හෝ අජීවි වස්තුවක්, ගෙඩිය පිටින්ම කාලානුරූපියව, කෙමෙන් කෙමෙන්, වැළැක්විය නොහැකි වූ අභාවයට යන ස්වරූපය (ආයුක්ඛ මරණය) වන වෙනස් වීම නිසා ඇති වන දුක එක ස්වරූපයක දුකකි. එසේම, සෑම ක්ෂණයක් පාසාම එකී ජීවි හෝ අජීවි වස්තුවේ වූ අණුක, පරමාණුක, අංශුමය ස්වරූපය තුළ සිදු වන අනවරත වෙනස් වීම හෙවත් අභාවය (ක්ෂණික මරණය) ද නිසා සමස්ත ජීවී දේහය අභ්‍යන්තරිකව සිදු වන පියවි ඇසට හෝ, පියවි සංජානනයට අසු නොවන ක්ෂණික වූ අභාවමය දුක නමැති දුක්ඛය දෙවැන්නය. මේ දෙයාකාරයේම දුක්ඛයක සත්ත්වයා ගිලී පවතී.
එහෙත්, සත්ත්වයාගේ දුක හෙවත් සැබෑ ජීවන ඛේදවාචකය වූ සංසාර දුක්ඛය නමැත්ත, ලෙඩ වීම, මරණය, වෙන්වීම, සිත් තැවුල්, බිය, සංත්‍රාසය ආදී නානාප්‍රකාර විලාසයන්ගෙන්, ජීවීන්ට මතුපිටින් හසු වෙයි. මෙය ගැඹුරු සහ අපූර්ව විග්‍රහයක් ද වෙයි (එනම්: සත්ත්වයා දිගින් දිගටම දුක සමඟ චක්‍රියව සසරෙහි පැවතීම පටිච්ච සමුප්පාදය නමැති ඉගැන්වීම තුළ විග්‍රහ කරයි. එය වෙනම කතා කළ යුත්තකි).
කෙසේ වෙතත්, බෞද්ධ ඉගැන්වීම් තුළ, ජීවිතයේ සතුට උදාකර ගැනීම උදෙසා සෘජුවම ජීවන ඛේදවාචකය වන දුක්ඛය නමැති සත්‍යය සමඟ මුහුණට මුහුණ සම්මුඛව, නිශ්චිතවම එය දැනහඳුනාගෙන, එය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කරගෙන, එය මුලිනුපුටා දැමීම කළ යුතුය යන ප්‍රබල තර්කානුකූල අදහසට එළඹෙයි.
මෙය වූකලි, හේතුඵල න්‍යාය (Cause and effect) ලෙස හඳුන්වනු ලබන, වත්මන් විද්‍යාත්මක චින්තනය ද ගොඩනැඟෙන ප්‍රබලතම තාර්කික පදනමය.
යමක ප්‍රතිඵලයක් දුටු විට ඒ ප්‍රතිඵලය ගැන වූ විවිධාකාර අදහස්, මතිමතාන්තර සමඟ දැවෙටෙමින් නිෂ්ඵලව ගත නොකොට, එවැනි ප්‍රතිඵලයක් ඇති වීමට හේතුව කවරේදැයි සොයා, එකී හේතුව විනාශ කිරීමෙන්, එවැනි නරක ප්‍රතිඵල ඇති වීම වැළැක්වීම මෙහි සිද්ධාන්තයයි. එය අතිශය බුද්ධිමය ක්‍රියාවලියකි.
වර්තමානයේ, ‘සාක්ෂ්‍ය පාදක කරගත් ප්‍රයෝගික භාවිතාව’ (Evidence Based Practice) යනුවෙන් විද්‍යානුකූල පර්යේෂණවල භාවිත වන්නේ ද මේ සිද්ධාන්තයයි. එය බුදුන් වහන්සේ මෙන්ම අතීතයේ බටහිර දාර්ශනික චින්තකයන් ද විවිධ ගැටලු නිරාකරණය කිරීම පිණිස භාවිත කළ විශිෂ්ට සිද්ධාන්තයකි.
කෙසේ වෙතත්, බෞද්ධ ඉගැන්වීම තුළ දුක යන ප්‍රබල කාරණාව නිශ්චය වශයෙන් තේරුම් කරගත් පසු, දුකට හේතුව කවරේදැයි සොයයි. එවිට සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ විසින් දුක ඇති වන්නේ තෘෂ්ණාව හෙවත් එය එසේ පවත්වාගනිමින් දිගින් දිගටම සත්ත්වයා තුළ පවතින ආශාව නිසා බවත්, ආශාව නැති කරන්නේ කෙසේද? යන ඊළඟ හේතුඵල ප්‍රශ්න කිරීම ඔස්සේ තවත් ගැඹුරට ගමන් කර විමසයි.
එහිදී තෘෂ්ණාව, තණ්හාව, ආශාව ආදි සංකල්ප ඔස්සේ විග්‍රහ වන දුකට හේතුව, විනාශ කර දැමීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත්, අංග අටකින් යුක්ත ජීවන වැඩපිළිවෙළක් සහිත ක්‍රමවේදයක් උගන්වයි. එම ජීවන වැඩපිළිවෙළ ප්‍රගුණ කරමින් දුක නැති කර නිවන හෙවත් බෞද්ධ දාර්ශනික නිෂ්ටාවට ගමන් කරයි.
මෙය එන්ලයිට්න්මන්ට් (Enlightenment) හෙවත් විමුක්තිය හෝ බුද්ධත්වය වශයෙන් ද හඳුන්වනු ලැබේ. මෙලෙස ප්‍රධාන පියවර 4කින් යුක්තව, සත්ත්වයාගේ ජීවන දුක්ඛය, මුලිනුපුටා දමා ජීවන විශිෂ්ටත්වය හෙවත් සතුට උදා කරගැනීමේ බෞද්ධ දාර්ශනික ක්‍රමවේදය චතුර්ය සත්‍යය (Nobel Truth) ලෙස දැක්වෙයි.
බෞද්ධ ඉගැන්වීමේ කේන්ද්‍රගත වූ සත්ත්වයාගේ උපරිම ජීවන සතුට ළඟා කර දීම තල දෙකකින් ක්‍රියාත්මක වන බව භාවිත ප්‍රායෝගිකය දෙස බලන විට පෙනේ. එනම්, ඉන් පළමු වැන්න දුක සහමුලින්ම නැතිකර දැමීමේ ඒකායන වැඩපිළිවෙළයි. නැත හොත්, ජීවිතයේ ගැඹුරුම වූ, සත්‍ය හෙවත් පරම සැපත (නිවන/ විමුක්තිය) සොයන්නා විසින්, ඉහත දැක්වූ චතුරාර්ය සත්‍ය මාර්ගයේ පියවරින් පියවර සපුරමින්, දුකත්, දුකට හේතුවත් අවබෝධයෙන් දකිමින්, එය නැතිකිරීමේ කාර්යසාධනය සම්පූර්ණ කරමින් ඉලක්කයට පැමිණීමය.
දෙවැන්න වූකලි, දුක සහමුලින්ම නැති කර අදාළ නිෂ්ඨාවට යෑමට අසීරුයැයි සිතන, පසුව, ඒ සඳහා යන තුරු, මේ විශ්වය තුළ සත්ත්වයකු ලෙස ඉපදෙමින් අනවරත අභාවයන්ට පාත්‍ර වෙමින් යන අතරතුර ලබන්නා වූ ජීවිතය තුළ දුක සහ සතුට සමබර කරමින්, සතුට කළමනාකරණය කරගැනීමය.
ඒ අනුව සේපියන්ස්ලාට ළඟා කරගත හැකි ජීවන සැපත ලෞකික හා ලෝකෝත්තර ලෙස දෙකොටසින් යුක්ත වන බවත්, ඒ දෙඅංශයෙන්ම එකී සැපත ස්පර්ශ කරමින් මානව ජීවිතය සතුටින් ගත කළ හැකි බවත් බෞද්ධ දර්ශනයේ කියවේ. එසේම, ජීවන සැපත සෙවීමේ බෞද්ධ සංකල්පය වූකලි, ස්වෝත්සාහය, සිය වීර්යය, ප්‍රබුද්ධත්වය සමඟ ඈඳුණු මානව ජීව කුසලතා සමුච්චයක එකමුතුවකින්ම මිස, දෙවියකුගේ උපකාරයෙන් ළඟා කරගත හැකි අදිසි ක්‍රියාදාමයක් ද නොවේ. වත්මන, විද්‍යනුකූල දාර්ශනික ප්‍රවේශයන්හිද, සතුට, සැපත, ලෝකය ජය ගැනීම ආදී සෑම දෙයක්ම පුද්ගල උත්සාහය හා පුද්ගල දැනුම, කුසලතා සහිත ගුණාංගයන්ගේ විශිෂ්ටත්වය මතම සාක්ෂාත් කරගත යුත්තකි.
බෞද්ධ දාර්ශනික කියවීම් එසේ තිබියදී, තවත් පසෙකින් වූ සතුට සම්බන්ධ වර්තමාන, දියුණු සේපියන්ස්ලාගේ කියවීම් ද ස්පර්ශ කිරීමට සේපියන්ස් ගොයියා මනාපය. ඒ කිමද යත්: ලෞකික සතුට යන්න මේ මිහි මත කොහේ විසුවත්, සේපියන්ස්ලා වන අපට අත්‍යවශ්‍ය දෙයකි. මැරි මැරී ජීවත් වන දාර්ශනික කතා සත්‍යය. එහෙත්, ඉපදුණ ඩිංගේ කාටවත් කරදරයක් නැතිව, මේ ජීවිතය ද ගවේෂණය කරමින් ලැබී ඇති හෝමෝ සේපියන්ස් ජීවිතය සපුරා අතපත ගා එහි සුන්දරත්වය, දිග, පළල, අවකාශය සිසාරා පිරිසිඳ අත්විඳීම අප ලබා ඇති අවස්ථාවකි.
එහෙත් සතුට යන මනෝභාවය කුමක්ද යන්න, ඉතා නිශ්චිතව අර්ථ ගන්වාගැනීම ද ගැටලුවකි. ඊට හේතුව නම්, සතුට වැනි මනෝ මූලික කාරණා භෞතිකමය ස්වරූපයෙන් කිරා මැන බලමින් තක්සේරු කිරීමේ පවතින, අපහසුතාත්, සතුට යන්න වූකලි, පුද්ගල බද්ධ මෙන්ම, පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂ වූ කාරණයක් වන නිසාත්ය.
කෙසේ වෙතත්, වර්තමානයේ, එක්තරා වර්ගකිරීමකට අනුව සතුට යන්න, සුඛපරම හෙවත් හෙඩොනික් (hedonic) සහ, සුබසාධකවාදී හෙවත් යුඩයිමොනික් (eudaimonic) ලෙස දෙකොටසකට බෙදා අර්ථ දක්වා තිබේ.
එනම්, සුඛපරමවාදය (hedonism) යනු ජීවිතයේ වැදගත්ම දෙය නම්, තමන් විසින් යම් යම් දේ භුක්තිවිඳීමය, යන විශ්වාසයට අනුව ඔබට හැකි තරම් සතුටක් ඇති බව අදහස් කරන ආකාරයට ජීවත් වීම සහ හැසිරීමය.
සුබසාධකවාදය (Eudaimonism) යන්නෙන් අදහස් කරන්නේ ජීවිතයේ අවසාන ඉලක්කය වන්නේ සතුට හෝ සතුට පමණක්ම අරමුණක් ලෙස සොයනවාට වඩා සිල්වත් හා අරමුණු සහිත ජීවිතයක් තුළින් යහපැවැත්මක් සාක්ෂාත් කරගැනීම බවයි. එයද වූකලි බුදු දහම තුළ විග්‍රහ කෙරුණු ලෞකික හා ලෝකෝත්තර සැපත හා සමාන්තර වූ ආසන්න සංකල්පයකැයි බැලූබැල්මට සිතේ. එහෙත්, මෙහි යම් යම් වෙනස්කම් ද තිබිය හැකිය.
එහිදී විවිධාකාර මානව සබඳතා, රැකියාව සහ පෞද්ගලික අවශ්‍යතා ඇතුළුව ජීවිතයේ විවිධ පැතිවලින් සම්පූර්ණ වූ හැඟීම් ඒ ධනාත්මක චිත්තවේග ඇති කරගැනීමට පෙළගස්වාගත යුතුය. ඒ අනුව, සතුට යනු අර්ථය සහ අරමුණ සොයා යනු පිණිස, ජීවිතය තම වටිනාකම් සමඟ සන්නද්ධ කරගත් බවට සවිඥානිකවම දැන සිටීම හෙවත් විශ්වාසයයි.
චිත්තවේග සමතුලිතතාව වූකලි, ධනාත්මක හා ඍණාත්මක හැඟීම් අතර සමතුලිතතාවක් පවත්වාගනිමින්, හැකි පමණ එය වැඩිපුර ධනාත්මක දෙසට නැඹුරු කරවීමය. එහිදී, ප්‍රීතිය, තෘප්තිය, කෘතඥතාව, බලාපොරොත්තුව සහ වෙනත් ධනාත්මක හැඟීම් අත්විඳින අතරම දුක, කෝපය හෝ කාංසාව වැනි නිෂේධාත්මක හැඟීම් කළමනාකරණය කිරීමද අදහස් කෙරේ.
ජීවිත තෘප්තිය යනු: ජීවිතයේ විවිධ පැති, ගති ස්වභාව, සංකල්ප, ලැබීම් සමඟ සෑහීමට පත්වීමත්, තෘප්තිය පිළිබඳ හැම් සහ අර්ථකථන සමඟ සමීපව කටයුතු කරමින් පවත්වාගෙන යෑමය; නැත හොත්: අප දන්නා අට ලෝ දහම ගැන මනා දැනුමකින් යුක්තව ජීවත් වීමය.
එහිදී, දුක, බිය, ත්‍රාසය, සාංකාව වැනි සෘණාත්මක හැඟීම් සහ ඒවායේ ඛේදනීය ඉරණම ගැන කල්ඇතුව අවබෝධයකින් සිටීම නිසා, ඒවා කළමනාකරණය කරගැනීමේ විභවයක් ඇති කරගත හැකිය. එවැනි සිතක් ඇත්තකුට එකී චිත්තවේගී කාරණා ගැන කලින් දන්නා නිසාම, එය ජීවන ස්වභාවයැයි තිබෙන ගැඹුරු අදහසම ධනාත්මක සිතුවිලි උපදවයි. එවිට, ඔබේ සබඳතා, ඔබේ වැඩ, ඔබේ රුචිකත්වයන් සහ ඔබේ ජීවිතයේ සමස්ත මාවත ගැන හොඳ හැඟීමක්, විශ්වාසයක් ඇති වේ.
ජීවිතයේ අර්ථය සහ අරමුණ සොයාගැනීම, සතුටේ තීරණාත්මක අංගයකි. තමන්ගේ ජීවිතයේ වඩාත්, උසස් සහ දියුණු අරමුණු, ඉලක්ක සමඟ පෙළගස්වාගෙන, නිරන්තරයෙන් ඒවා ගැන මෙනෙහි කරමින්, ඒවාට යා හැකි චිත්ත ධෛර්යය හා නොපසුබස්නා වීර්යය එක්රැස් කරගනිමින් සංවිධානය වීමත්, සෙසු සේපියන්ස්ලාත්, ගහකොළ සතා-සීපාවා ඇතුළු මේ ග්‍රහලෝකයේ සියලු දේ ගැනත් සාධාරණ කියවීමකින් යුක්තව, අනුන්ගේ අයිතිවාසිකම්වලට ද ගරු කරමින්, සිය අයිතිවාසිකම් භුක්ති විඳිමින්, ශික්ෂිතව, මේ අවකාශය තුළ යහපත්ව ස්ථානගත වීම සත්‍ය වශයෙන්ම සේපියන්ස්ලා ලෙස අප කාගේත් වගකීමකි.