Home » මැයි රැලි අතරින් ඇසුණු කතා

මැයි රැලි අතරින් ඇසුණු කතා

by Mahesh Lakehouse
May 3, 2025 12:32 am 0 comment
වජිර ලියනගේ
නිදහස් වෙළෙඳ කලාප සහ පොදු ජන සේවා සේවක සංගමය මැයි රැලියට එක් වූ අවස්ථාව

ලෝක කම්කරුවනි එක්වව් යනුවෙන් මෙවරද මැයි දිනයේදී කියවිණි. එහෙත් කම්කරුවන්ට මෙවරද මැයි දිනය සමරන්න සිදු වූයේ රට පුරා විසිර යමිනි. එලෙස ප්‍රධාන දේශපාලන පක්ෂ ඇතුළු විවිධ පාර්ශ්ව විසින් රටේ විවිධ ප්‍රදේශවල සංවිධානය කරන ලද කම්කරු දින සැමරුම් අතරේ හිටපු පක්ෂ නායකයන් තිදෙනකුගේ දරුවන් පැවැත්වූ මැයි රැලි 3ක්ද දැකගත හැකි විය.

හිටපු ජනපති ආර්. ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර මේ තිදෙනාය. එහෙත් මේ තිදෙනාම තම පියවරුන්ගේ උරුම පක්ෂවලින් නොව, නව පක්ෂවලින් මැයි රැලි පැවැත්වීම විශේෂත්වයක් විය.

රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් තම රැලිය පැවැත්වූයේ සීතල තලවකැලේදීය. “කම්කරු ප්‍රජාව තමයි අපේ රටේ ශක්තිය, ප්‍රාණය. අද වන විට කම්කරුවන්ගේ අයිතිවාසිකම් අහිමි වෙලා. ඊටීඑෆ්, ඊපීඑෆ් එකට පික්පොකට් ගහන යුගයක් උදා වෙලා…” සජිත් පැවසීය.

හිටපු ජනපති මහින්දගේ පුත්‍රයා තම රැලිය පැවැත්වූයේ නුගේගොඩදීය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව තුළම මහින්ද රාජපක්ෂ මහතා නිදොස් කොට නිදහස් කරගන්නා බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඒ පක්ෂයේ මැයි රැලිය අමතමින් අවධාරණය කළේය.

දෙවැනි පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර තම රැස්වීම පැවැත්වූයේ කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේය. “ඉන්දු ලංකා ගිවිසුමට එදා විරුද්ධ වූ රෝහණ විජේවීර සමඟ සිටි ජවිපෙ පිරිස් මේ අලුත් ගිවිසුම් ගැන දැනුවත්ද යන්න ප්‍රශ්නයක්. මේ ආණ්ඩුවේ හෘදයසාක්ෂිය කොහේදැයි කියන එක මට ප්‍රශ්නයක්. 71 කැරැල්ල ගහපු අප්‍රේල් 5 දා වැනි දිනකම රටට අහිතකර ගිවිසුම් ගණනාවක් රජය අත්සන් තැබුවා… කැරැල්ල ඉතිහාසයට එක් වූ දිනකම මේ ගිවිසුම්ද අත්සන් තැබීම හාස්‍යයට කරුණක්…” විජේවීරගේ පුත්‍රයා සඳහන් කළේය.

මැයි දිනය වඩාත් ප්‍රසිද්ධ බස් රථවලින් සෙනඟ අදින උත්සවයක් ලෙසය. එහෙත් සර්ව ජන පක්ෂයේ නායක දිලිත් ජයවීර එය අභියෝගයට ලක් කළේය. බස්වලින් ගෙනත් සෙනඟ පෙන්වා මිනිස්සු රවට්ටන ව්‍යාජ දේශපාලනයට තිත තබන දවස මැයි දිනය බව ඔහු පැවසීය. ‘ඉන්න තැනින් ඉස්සරහට’ යන තේමාව යටතේ වරකාපොළ සතිපොළ පරිශ්‍රයේ සංවිධානය කර තිබු සර්වජන බලයේ මැයි දින රැලියට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

හිටපු අගමැති කෙනකු මැයි රැලියක කතා කළේ නම් ඒ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන අතුරුගිරිය ජනෝදාන ශාලාවේය. “අද අපි පක්ෂ කිහිපයක් එකතු වෙලා ඉන්නවා. අපට මේ ආණ්ඩුවෙන් අහන්න ප්‍රශ්නයක් තිබෙනවා. ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමිකයන්ගේ බැංකුවල තියෙන ඉතිරි කිරිමේ ගිණුමට ඇයි බදු දාන්නේ? මොන ඡන්ද පොරොන්දුවේද කිවුවේ විශ්‍රාමිකයන්ගේ බැංකු ගිණුමට බදු දානවා කියලා. කිවුවද එහෙම? ජනාධිපතිවරණයේ කිවුවද? මේ අහිංසක අපේ රට අමාරුවෙන් ගොඩගත්ත, ඇදගෙන ආපු අයගේ විශ්‍රාම වැටුපට බදු දැමීම සම්පූර්ණ වැරදි ක්‍රියාවක් බව මේ සභාවේ අප ප්‍රකාශ කරනවා. කල්පනා කරලා අයින් කරගන්න. විශ්‍රාමිකයන් ලක්ෂ ගණනාවක් එකතු කරපු තැන්පත් මුදල්වලින් ජීවත් වෙනවා; ලැබෙන මුදලින් කඩයක්, ව්‍යාපාරයක් ගෙනියනවා. ඒ ඔක්කොටම තට්ටු කරන්න හදපු මේ විසඳුම ඉවත් කර ගන්න” යයි හිටපු අගමැති දිනේෂ් පැවසීය.

එස්. තොණ්ඩමන් කලක් මෙරට ‘කිංග් මේකර්’ විය. තොන්ඩමන් බිහි කළ වතුකරයේ ප්‍රධාන වෘත්තීය සමිතියක් වන ලංකා කම්කරු කොංග්‍රසය මැයි දින රැලියක් හෝ පෙළපාළියක් නොපැවැත්වීමට එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් තීරණය කර තිබිණි. හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථායේදී ඔහු පක්ෂයේ ධජය ඔසවා කොටගල ශ්‍රී මුත්තු විනායගර් හින්දු කෝවිලේ පැවති විශේෂ පූජාවකට සහභාගි වීම පමණක් සිදු විය.

මෙවර ශ්‍රීලනිපය මැයි උත්සවය පැවැත්වුණේ ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයේදීය. එහිදී පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා “ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ පසුගිය කාලයේ දේශපාලන කුණාටුවකට හසුව සෑම පක්ෂයක්ම දෙකට තුනට කැඩුණා. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් මුහුණ දීමට සිදු වූ තත්ත්වයක් නොවේ…” යැයි ප්‍රකාශ කළේය. මැයි දිනයේ අයිතිකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පන්ෂයට මැයි දිනය අභිමානවත් දිනයක් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ කම්කරු අමාත්‍යවරයා වූ ටී.බී. ඉලංගරත්න මහතා මෙරට කම්කරු දිනයක් ප්‍රකාශයට පත් කළ බවත් ඔහු කීය.

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් තම රැලිය ඇමතුවේ කිරුළපන ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණයේදීය. “ආර්ථික අර්බුදයෙන් බැටකාපු මිනිස්සු අලුත් බලාපොරොත්තුවක් එක්ක තමයි පරණ හොරු එළවලා මේ ආණ්ඩුවට බලය දුන්නේ. අපිත් දන්නවා මේ ආණ්ඩුව අලුත් ආණ්ඩුවට කල් දෙන්න ඕනෑ. මේකෙ ඉන්නේ අලුත් අය. ඒ ඉන්නේ සාමාන්‍ය පන්තියේ මිනිස්සු අතරින් ආව නියෝජිතයෝ. ජනාධිපති තඹුත්තේගම කොල්ලෙක්. මේ ගොල්ලන්ගේ චරිත සහතිකය තවම හොඳයි. හොරකම්, වංචා ගැන චෝදනා නෑ. ඒ නිසා ආණ්ඩුවට කල් දෙන්න ඕනෑ කියන මතයේ තවමත් පිරිසක් ඉන්නවා.”

මැයි දිනය ගැන කතා කරන විට සමසමාජ පක්ෂය කොහොම අමතක කරන්නද? ලංකා සමසමාජ නායක මහාචාර්ය තිස්ස විතාරණ රැලිය ඇමතුවේ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදීය. “ලංකා සම සමාජ පක්ෂය කියන්නේ මේ රටේ තිබෙන පැරණිම පක්ෂයක්. 1935 වසරේදී ලංකා සම සමාජ පක්ෂය ආරම්භයේ සිටම මැලේරියා වසංගතයට එරෙහිව සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය යටතේ යටත්විජිත පාලනයෙන් පූර්ණ නිදහස සඳහා සටනට නායකත්වය දුන්නා. ජනතාවගේ බඩගින්න නිවන්න ආණ්ඩුව නිසි වැඩපිළිවෙළක් නෑ. හුස්ම යදින මවුබිමට විසඳුමක් ලැබෙන්නේ සමසමාජ පක්ෂයෙන් පමණයි. වැඩ කරන ජනතාවට ජයවේවා!”

සියලු මැයි රැලි අවසානයේ අප ගියේ දැවැන්තම මැයි රැලිය පැවති ගෝල්ෆේස් පිටියටය. ගිය ගිය තැන්වල මැයි රැලිවල සිටි සෙනඟ එකතු කළ ප්‍රමාණයටද වැඩි ජනතාවක් එහිදී අපට දැකගත හැකි විය. ‘වාසි පිලට හෝයියා!’ කිවුවාක් මෙන් පක්ෂයක් ජය ගත් පසු ඊට එක් වන පිරිස් තව තවත් වැඩි වන්නේ බලා සිටිද්දීය. එහිදී අනුර කුමාර ජනාධිපතිවරයා මෙසේ පැවසීය:

“අපි හැම දෙනාම එක අරමුණක් වෙනුවෙන් වැඩ කරමින් සිටිනවා. අප සතුව තියෙනවා විශ්වාසයේ බලය. මේ නිසා රට ගොඩනැඟීමත්, මේ රටේ ජනතාවගේ වුවමනා ඉටු කිරීමත් සහතික වශයෙන් සාර්ථක කරනවා. අපිට ලැබුණේ අත්තිවාරමක් නැති රටක්; කුඹගහ කැඩුණු නැවක් වගේ පාවි පාවි තිබුණු රටක්. මේ රට ගොඩනැඟීමේ ප්‍රධාන කුලුන අදූෂිත දේශපාලනයයි. මේ කුලුන පිහිටුටා තිබෙනවා. මීට අමතරව ජාතික සමගිය අවශ්‍යයි. අපේ රටට ජාතික සමගියක් නැතිව ඉදිරියට ගමන් කළ නොහැකියි. ගෙවන හැම බද්දක්ම, හැම රුපියලක්ම ආරක්ෂා කර දෙනවා. මේ රටේ පුරන් කුඹුරු, පුරන් ඉඩම් කිසි අඟලක් රටේ ඉතිරි නොවන ආකාරයට නව ගොවිජන පරිවර්තනයක් නිර්මාණය කරනවා.”

ගෝල්ෆේස් මාලිමා රැලිය අවසානයේ මොන රැලියකවත් නොවූ සිදුවීමක් අපට දැකගත හැකි විය. රැලිය අවසානයේ එකතු වු සියලු කසළ පාක්ෂිකයන් විසින් ඉවත් කිරීම ඒ සිදුවීමයි. දළදා වදින්නට ගිය බැතිමතුන්ටත් ඒ සංයමය නොතිබුණේ මන්දැයි සිතමින් ජනගඟක් අතරින් අපි ලේක්හවුස් මන්දිරය වෙත ගමන් ගතිමු.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division