– අම්බලන්ගොඩ තිලකපුර මඟ දෙපස කිලෝමීටර ගණනාවක් මල් පැළ හිටවලා
– ප්‍රදේශවාසීන්ගෙන් පැසසුම්
– මාසයකට දින 25ක්ම පාරේ වැඩ
දවසේ සෑම මොහොතකම පාහේ තමන් පදිංචි ප්‍රදේශයේ මාර්ගයේ දෙපස සුද්ද පවිත්‍ර කරමින් මල් සිටුවා පාරේ ටොපි කොළයක් පවා රැඳී තිබෙන්නට ඉඩ නොදී දේවකාරියක මෙන් එම කටයුත්තට කැපවී සිටින අපූරු මිනිසෙකු තිලකපුර, අම්බලන්ගොඩ මාර්ගය සුද්ද පවිත්‍ර කරමින් සිටියදී මට හමුවිය.
කිසිම බලාපොරොත්තුවක් නොමැතිව හිරු පායන්නටත් පෙර උණු වතුර බෝතලයක තේ කහට සහ කෑම පැකට්ටුවක්ද නිවසින් සරි කරගෙන මාර්ගයට පැමිණ මේ උදාර කටයුත්ත සිදු කරන්නේ අම්බලන්ගොඩ, තිලකපුර පදිංචි විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන නන්ද විජේරත්නය.
ඔහු සමඟ මම මේ ගැන කතාබහ කිරීමට ගියද ඔහුට එයද කරදරයක් සේ පෙනෙන්නට ඇත්තේ ඔහු එම කාර්යයටම ‘සම වැදී‘ සිටි බැවින් යැයි මට සිතුණි.
මාර්ගයේ වැඩ කරන අතරතුරේම ඔහු මෙසේ පැවසීය.
“මම ගුවන් හමුදාවේ වැඩ කළේ. දැන් විශ්‍රාමිකයි. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දුව ප්‍රජාපති විද්‍යාලයේ උගන්වනවා. පුතා බත්තරමුල්ලේ නිවාස සංවර්ධන අධිකාරියෙ වැඩ කරනවා. මගේ නෝනත් ගුවන් හමුදාවේ වැඩ කළේ. මට විශ්‍රාම වැටුප ලැබෙනවා. දැනට අවුරුදු දෙක තුනක ඉඳලා තමයි මම මේ වැඩේ පටන්ගත්තෙ. ඒ තිලකපුරෙන්. දැන් කිලෝ මීටර් ගණනක් පාර දෙපස මල් හිටවලා තියෙනවා. මාසෙකින් දවස් 25ක්වත් මම පාරේ වැඩ කරනවා. මේක දැන් මගේ විනෝදාංශයක් වෙලා තියෙන්නේ. මට මිනිස්සු හරිම ආදරෙයි. උදේට පන්සල් යන අය, දහම් පාසල් දරුවො, මල් කඩාගෙන යන විට මට හරිම සතුටුයි. පෝයට නම් මල් එකක්වත් නෑ. දැන් දවස් දෙක තුනක් මම ආවෙ නෑ. අවුරුද්දට වැඩ අල්ලන්න මෙතනට ආවේ. ගස්වල මල් පිරිල පළාතම සුවඳයි. ඒක දැක්කම මට හරිම සතුටුයි.
ඒ වගේම මට පාරේ වාහනවලින් යන අය තැඹිලි, කෑමබීම, යෝගට් වගේ දේවල් අරන් දීලා යනවා. මම ගෙදරින් තේ බෝතලයකුයි කෑමයි අරන් එනවා. දැන් මට ජනතාවගේ සහාය තියෙනවා.
මගේ අතින් මාසෙකට හයදාහක් විතර වියදමක් යනවා. ඒක මට ආයෝජනයක් කියලයි මම හිතන්නෙ. බුදු හාමුදුරුවොත් කියල තියෙනවා පාරවල් හදන එක… ඒදඬු දාන එක විශාල පිනක් කියලා. මගේ මව්පියන්ටත් මිනිස්සු පින් දෙනවා. මට කිසිම මහන්සියක් දැනෙන්නේ නැහැ. මගේ බිරියගෙන් මේකට හොඳ සහායක් ලැබෙනවා. නැත්නම් මට මේක කරගෙන යන්න ඉඩක් ලැබෙන්නේ නෑ.
දැන් ලස්සන ශ්‍රී ලංකාවක් ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ කියල වැඩසටහනක් රජයෙන් කරන්න යනවා. ඒක මම කරන්න අරන් ගොඩක් කල්. ඇත්තෙන්ම කවුරුත් තම නිවෙස් ඉදිරිපිට හරි පාර, කානු, ඇළදොළ සතියකට දවසක් හරි වෙහෙසිලා සුද්ද පවිත්‍ර කරගන්නවානම් රටම ලස්සන වේවි. මම කාගෙනුත් ඒ ඉල්ලීම කරනවා.
ඒ වගේම මට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නලින් විජේසේකර මහත්තයත්, අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හසන්ති ගුරුගේ මහත්මියත්, පොලීසියෙ ස්ථානාධිපති ප්‍රසන්න ඇල්ගිරියගේ මහත්මයත් සහයෝගය දෙනවා. ඒ අය මතක් කළ යුතුයි. ඒ අය මට උපහාර උළෙලවල් පවා සංවිධානය කරල මට උපහාර පැවැත්තුවා. ඒවා මුදලට ගන්න බෑනෙ.
නන්ද විජේරත්න කරන කාර්යභාරය ගැන අම්බලන්ගොඩ සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නලින් විජේසේකරගේ විමසූ විට ඔහු මෙසේ කීය.
ඇත්තෙන්ම මේ නන්ද ගැන මට මුලින්ම කීවේ අපේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක. ආර්. පාලිත. මම පසුව ඔහු ගැන සොයා බැලුවා. දුර්ලභ මනුස්සයෙක්. ඔහු කරන මෙහෙවර සුළුපටු නෑ. ඒ වගේ මිනිස්සු ඉන්නවනම් රටක් ලස්සන වෙනවා. ඒ නිසා අපි ඔහුට කළ හැකි උපකාරයක් වේනම් එය කරනවා. මම අනිත් අයගෙනුත් ඉල්ලා සිටින්නෙ මේ වගේ රටට දැයට හිතලා බලලා වැඩක් කරන ලෙසයි.
අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හසන්ති ගුරුගේ ද නන්දගෙන් ගමට-රටට සිදුවන මේ අසිරිමත් කාර්යය ගැන විමසූ කල ප්‍රාදේශීය ලේකම්වරිය මෙසේ පැවසුවාය.
අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ තමයි නන්ද විජේරත්න ඉන්නේ. මම ක්ෂේත්‍ර රාජකාරියේ යන අවස්ථාවල ඔහු කරන කියන දේ දැකලා කතා කළා. මගේ නිලධාරිනුත් ඔහු ගැන මා දැනුවත් කරලා තිබුණා. පසුව ඔහුගේ විස්තර දැනගත්තා.
ඇත්තෙන්ම නව රජයේ ප්‍රතිපත්තියක් තියෙනවා ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ කියලා. ඉතින් රජයකින්ම කරන තෙක් ඉන්නෙ නැතුව මේ වගේ වැඩ ජනතාව ඒකරාශී වෙලා කරනවා නම් රජයට කරන්න වැඩි දෙයක් ඉතුරු වෙන්නෙ නෑ. ඒ ඉතිරි වන මුදලින් ජනතා සහන දෙන්නත් පුළුවන්. ජනතාව එකතුවෙලා ඇත්තෙන්ම ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් හරි මේ වගේ දේවල් ක්‍රියාත්මක කරනවනම් අපිට පුළුවන් හැම සහයෝගයක්ම පුද්ගලිකවත් පොදු වශයෙනුත් ලබා දෙන්න කටයුතු කරනවා. මොහුටත් අපි සහාය දෙනවා.
අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ ඔහු ගැන මෙසේ කීය.
ඇත්තෙන්ම ඔහු විශ්‍රාම ගිය රණවිරුවෙක්. මම ඔහු හමු වී තිබෙනවා අපිත් වෙරළ පිරිසිදු කිරීම ආදී ශ්‍රමදාන කරනවා. නන්ද කරන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. මේ වගේ මිනිස්සුන්ට අපි අපේ පූර්ණ සහයෝගය දෙනවා. අපෙන් උපකාරයක් කළ හැකි ඕනෑම මොහොතක අපි එය ඉටුකරනවා. මගේ බල ප්‍රදේශයේ ජනතාවගෙන් මම ඉල්ලා සිටින්නෙ කවුරුත් එකමුතුව මේ වගේ වැඩ පටන්ගන්න කියලයි.
මේ සද්කාර්ය සිදුකරන නන්ද විජේරත්න මාර්ගයේ දෙපස සවිකර තිබූ පුවරුවෙන් මෙසේ ඉල්ලීමක් කර තිබුණි.
‘පිපුණු මල් නෙළාගෙන යන්න.
මල් පොහොට්ටු කඩාගෙන යාමෙන් වළකින්න.‘
මෙයට,
පරිසරවේදී නන්ද විජේරත්න.
ඔහුට තව තවත් මෙවන් කටයුතු සිදු කිරීමට යෝධ ශක්තිය ලැබේවායි පතමින් පැමිණියෙමි.
lධර්මදාස සිරිවර්ධන
ගාල්ල දිස්ත්‍රික් සංචාරක