ලෝක සමාජවාදී විප්ලවයේ ශ්‍රේෂ්ඨ නියමුවා වූ ව්ලැඩ්මීර් ඉලිව් ලෙනින්ගේ අභාවය සිදු වූයේ 1924 ජනවාරි 21 වැනි දිනය. මොස්කව් නුවර රතු චතුරස්‍රයේ විශේෂ ස්මාරකය තුළ ලෙනින්ගේ දේහය මහජන ගෞරවය දක්වනු පිණිස තබා තිබේ.
සෝවියට් රුසියානු සමූහාණ්ඩුව 1993දී බිඳ වැටුණු නමුත් සහෝදර වී.අයි. ලෙනින්ගේ දේහයට අවසන් ගෞරව දක්වනු පිණිස වර්තමානයේද ලොව පුරා වෙසෙන ජනයා මොස්කව් රතු චතුරස්‍රය වෙත පැමිණෙති. ලෙනින්ගේ දේහය ඉදිරිපිට රතු මලක් තැබීම තම ජීවිතයේ සුවිශේෂී මොහොත ලෙස හිතන්නට ලොව පුරා විවිධ රටවල පීඩිත ජනයා පුරුදුව සිටිති. සකලවිධ නිර්ධන පන්ති ජනයාගේ ගුරුවරයා, මඟ පෙන්වන්නා ලෙනින් සහෝදරයා බව ඔවුහු විශ්වාස කරති. 1924 සිදු වූ ලෙනින්ගේ අභාවය ඔවුන්ගේ හදවත මොහොතකට නතර වන්නට තරම් වේදනාකාරී අත්දැකීමක් වූයේය.
බොහෝ දුර මඟ ගෙවා පැමිණි ජනයා දුක වාවාගත නොහැකිව මොස්කව් රතු චතුරස්‍රයට පැමිණ හඬන්නටත් විප්ලවීය සහෝදරත්වය පළ කරන්නටත් විය. සෝවියට් පාලනය විසින් ශෝක වන්නන් විසින් ගෞරවය දක්වන්නට සුදුසු පීඨිකාවක වී. අයි. ලෙනින්ගේ දේහය තැන්පත් කරන්නට තීරණය කළේය. එහි වගකීම පවරන ලද්දේ ඇලෙක් සී. ෂුචෙව් නමැති නිර්මාණ ශිල්පියා හටය. මොස්කව් රතු චතුරස්‍රයේ ක්‍රෙම්ලින් තාප්පය ආසන්නයේ ඉදිකළ සොහොන් ගැබෙහි වී. අයි. ලෙනින්ගේ දේහය තැන්පත් කරන ලදි. රුසියානු නායකයාගේ දේහය තවත් කාලයක් තබාගත හැකි පරිදි එම්බාම් කරන ලදි.
අනතුරුව ඇලෙක්සි අබ්රිකොසොව් විසින් සිදු කළ සංරක්ෂණ කටයුතු ප්‍රමාණවත් වූයේ වසර පහකට පමණි. 1929 කිරිගරුඬින් නව සොහොන් ගෙයක් තනවන ලද අතර, දේහය එහි ගෙන යන ලදි. අංක එකේ සෙන්ට්‍රි යනුවෙන් එම ස්මාරකය හඳුන්වන ලදි. රතු චතුරස්‍රයේ පෙළපාළි යෑමේදී ලෙනින්ගේ දේහයට ගෞරවය පළ කිරීමට හැකි අන්දමින් එය ප්‍රතිෂ්ඨාපනය කොට තිබිණි. එතැන් පටන් ලෝකයේ විවිධ දේශ දේශාන්තරවල ජනයා වී.අයි. ලෙනින්ට ගෞරවය පළ කරනු පිණිස මොස්කව් නුවර රතු චතුරස්‍රය කරා ඇදී ආහ. රතු චතුරස්‍රය හිමෙන් වැසුණු ශීත කාලයේ වුවද ලෙනින්ට ගෞරවය පළ කරන්නන් හිඟ නොවීය. 1941 ඔක්තෝබර් මාසයේදී අභාවප්‍රාප්ත රතු නායකයාගේ දේහය එතැනින් ඉවත්කර සයිබීරියාවේ ටියුමන් නගරය වෙත ගෙන ගියේය. එයට හේතු වූයේ හිට්ලර්ගේ ජර්මානු නාසි හමුදා මොස්කව් නගරය ආසන්නයට පැමිණීම නිසා නගරය අවදානමට ලක්වීමය.
සෝවියට් රතු හමුදා විසින් ජර්මානු හමුදා පරාජය කිරීමෙන් පසු 1945 දී දේහය නැවත රතු චතුරස්‍රයේ පිහිටි සොහොන් ගෙය වෙත ගෙන එන ලදි. එය සලකන්නේ ව්ලැඩ්මීර් ලෙනින්ගේ වර්තමාන විවේක ස්ථානය ලෙසය.
ලෙනින්ගේ දේහය සංරක්ෂණයට මුදල් වෙන් කරන ලද්දේ සෝවියට් රුසියානු රජය විසිනි. එහෙත් 1991දී සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටීමත් සමඟ ලෙනින්ගේ දේහය සංරක්ෂණය කෙරෙන වැය ශීර්ෂය නව පාලනයේ මතභේද ඇති කරන්නක් වූයේය. එය තවදුරටත් නිරර්ථක වියදමක් සේ පෙන්වූ කැබිනට් මණ්ඩලයේ ඇතැම්හු දේහය මිහිදන් කළ යුතු බවට යෝජනා ගෙනාවෝය. ලෙනින්ගේ සොහොන් ගෙයි නඩත්තුව සඳහා වසරකට ඩොලර් ලක්ෂ 2ක් වැය වන බවත් එය අනවශ්‍ය වියදමක් බවත් සමහරු තර්ක කළහ. එහෙත් ලෝකවාසී ජනයාට තවමත් ලෙනින් අමතක කළ නොහැකිය. ඔවුහු ලෙනින්ගේ දේහය ගැන විමසිල්ලෙන් පසුවෙති.
මොස්කව් නගරයේ මාර්ග පිහිටා තිබෙන්නේ ලෙනින්ගේ සොහොන් ගෙය කේන්ද්‍ර කොටගෙනය. 2011දී සිදු කළ මත විමසුමකදී මොස්කව් වැසියන්ගෙන් 70% ක් මත දැක්වූයේ සොහොන් ගෙය වෙනත් ස්ථානයකට ගෙන යා යුතු බවටය. 2017 දී සිදු කළ සමීක්ෂණයකදී දේහය රතු චතුරස්‍රයෙන් ඉවත් කළ යුතු බවට මත දක්වා ඇත්තේ 41% ක් පමණි. කෙසේ වුවද 1991 සිට 2016 දක්වා ලෙනින් දේහය සංරක්ෂණයට වැය කරන ලද්දේ පෞද්ගලික ධන පරිත්‍යාගයන්ය. 2016 දී ව්ලැඩ්මීර් පුටින් ජනාධිපතිවරයා නැවත රජයේ වැය ශීර්ෂයක් ඒ සඳහා සම්මත කරනු ලැබීය. එම වැය ශීර්ෂය සම්බන්ධයෙන් 2018දී ඇති වූ සාකච්ඡාවකදී රුසියානු අමාත්‍ය මණ්ඩලය විසින් යෝජනා කර තිබෙන්නේ වී. අයි. ලෙනින්ගේ අභාවයට වසර 100 සම්පූර්ණ වන 2024 ජනවාරි 21 වැනි දින රතු නායකයාගේ දේහය ගෞරවයෙන් යුතුව මිහිදන් කළ යුතු බවය. නමුත් එවැන්නක් සිදු නොවීය.
ඒ අනුව අනාගතයේ ලෙනින්ගේ දේහයට සිදු වන්නේ කුමක්ද යන්න එදිනට තීරණය වනු ඇත්තේ ඒ වන විට පවතින සමාජ, දේශපාලන කාරණා පදනම් කොටගෙනය.
ශ්‍රියානි අජන්තා විතාන