මාර්තු 14 දා දහවල් දෙක පසු වී විනාඩි හතළිස් පහට සමකාලීන චින්තකයන් අතුරින් ශ්‍රේෂ්ඨතම චින්තකයා අවසන් හුස්ම හෙළීය. අප ඔහු තනි කළේ විනාඩි දෙකකටය. පසුව ඔහු සිටි කාමරයට නැවත පැමිණි විට ඔහු තම හාන්සි පුටුවේ සන්සුන්ව නිදා සිටියේය. ඔහු සදහටම දෙනෙත් පියාගෙන සිටින බව අපි වටහා ගතිමු.
යුරෝපයේ හා අමෙරිකාවේ සටන්කාමී නිර්ධනීන්ටද ඓතිහාසික විද්‍යාවටද මේ මහා පුරුෂයාගේ නැති වීම නොපිරිමැසිය හැකි පාඩුවකි. මේ මහා ප්‍රඥාවන්තයාගේ මරණය නිසා ඇති වූ පාඩුව ඉක්මනින් අප කාටත් දැනෙනු ඇත.
ඩාර්වින් ඓන්ද්‍රීය ලෝකයේ රීතීන් හෙළි කළාක් මෙන් මාක්ස් විසින් මිනිස් ඉතිහාසයේ සංවර්ධනය පිළිබඳ රීතීන් හෙළි කරන ලදි. හැමටම පෙර මිනිසුන්ට ආහාර, ඇඳුම් හා නිවාස තිබිය යුතු යැයි ද දේශපාලනය, විද්‍යාව, කලාව හා ආගම ආදී දේවල නිරත වීමට පෙර ඔවුන්ට ඉහත කී දෑ අවශ්‍ය යැයි ද හෙළි කළ මාක්ස් මේවා සියල්ලක්ම මීට පෙර දෘෂ්ටිමය ආවරණයන්ගෙන් වැසී තිබුණු බවද පෙන්වා දුන්නේය.
ආර්ථික සංවර්ධනය හෝ යුගයක සංවර්ධනය හෝ රඳා ඇත්තේ ද්‍රව්‍යමය මාධ්‍යයන් නිපදවීමේ මට්ටම් අනුව බවත් රාජ්‍ය සංස්ථා නීතිය පිළිබඳ සංස්ථා, කලාව සහ ආගම පිළිබඳ ආකල්පයන් පවා ඇති වන්නේ මෙම සංවර්ධන මට්ටම් අනුව බවත් එබැවින් මෙතෙක් කළාක් මෙන් එය වසන් කිරීම නොව එය සම්පූර්ණයෙන් හෙළි කිරීම කළ යුතු බවත් ඔහු කීවේය.
එපමණක් නොවේ සමකාලීන ධනවාදි නිෂ්පාදනයේ ක්‍රියාදාමයන් පිළිබඳ විශේෂ රීතීන් සහ එය විසින් ජනිත කරන ලද ධනපති සමාජය පිළිබඳ රීතීන්ද මාක්ස් සොයා ගත්තේය. මෙයට පෙර ධනවාදය පිළිබඳ නොයෙකුත් විවරණයන් කළ ධනවාදී අර්ථ ශාස්ත්‍රඥයන් හා සමාජවාදි විවේචකයන්ද අඳුරේ අතපත ගාමින් මංමුළා වූවන් ලෙස හැසිරුණු අතර අතිරික්ත වටිනාකම පිළිබඳ රීතිය සොයාගනිමින් මාක්ස් නියම තතු පැහැදිලි කළේය.
මෙවැනි සොයාගැනීමේ දෙකක් එක ජීවිතයකට හොඳටම සෑහේ. එහෙත් මාක්ස් තමා පර්යේෂණ පැවැත්වූ හැම අංශයකම නව සොයා ගැනීම් හෙළි කළේය. උසස් ගණිත විද්‍යාවේදී අලුත් දේ සොයා ගැනීමට ඔහු සමත් විය. විද්‍යාව වූකලි ඓතිහාසික ජංගමශීලි විප්ලවවාදි බලවේගයක් බව මාක්ස් දුටුවේය. න්‍යායාත්මක විද්‍යාවත් ඔහු විසින් සොයා ගනු ලැබු හෙළි කිරීම් නිසා ආලෝකවත් විය. කර්මාන්තයේ සහ පොදු ඓතිහාසික සංවර්ධනයේ විප්ලවවාදී ඉදිරි ගමනට ක්ෂණිකව බලපාන සොයා ගැනීම් නිසා ඔහු අතිශයින් ප්‍රීති විය.
මාක්ස් අන් හැමටම පෙර විප්ලවවාදියෙක් විය. ධනපති සමාජය සහ එය විසින් ගොඩනඟන ලද රාජ්‍ය සංස්ථා පෙරළා දැමීමද, නිර්ධනීන්ගේ අවශ්‍යතාවන් ගැන ඔවුන්ට නියම හැඟීමක් ලබා දීමද ඔවුන්ගේ විමුක්තිය පිළිබඳ තාත්වික හැඟීමක් ඉදිරිපත් කොට ඔවුන්ගේ විමුක්ති සටනට සහභාගී වීම තම ජීවිතයේ නියම පරමාර්ථය බව මාක්ස් පෙන්වා දුන්නේය. අරගලය ඔහුගේ සහජ ගුණය විය.
1842දී රයින් පුවත්පත මඟින්ද 1844 දී පැරිස්හි ‘ඉදිරි මඟ’ මඟින්ද 1847දී ‘ජර්මන් බ්‍රසල්ස්’ පුවත්පත මඟින්ද 1848 – 49 නව රයින් පුවත්පත මඟින්ද 1852 – 1861 ‘නිව්යෝර්ක් ට්‍රබියුන්’ මඟින්ද සටන් කළ හෙතෙම පැරිසිය බ්‍රසල්ස් හා ලන්ඩන් සංවිධානවල සටන් ගැන සටන්කාමි පත්‍රිකා පොත් රාශියක් ලීවේය.
අවසානයේ කම්කරුවන්ගේ ජාත්‍යන්තර සහෝදරත්වය නමැති සංවිධානය බිහි වූයේ මාක්ස් පෙන්වූ මඟ ඔස්සේය. අන් කිසිවක් නිර්මාණය නොකළද එයම පමණක් ඔහුගේ ආඩම්බරයට සෑහේ.
කාල් මාක්ස් අන් හැමට වඩා ධනපතීන්ගේ වෛරයට පාත්‍ර වූයේත් ඔහුට විරුද්ධව ද්වේෂ සහගත ප්‍රචාර ඇති වූයේත් ඔහු ලෝක කම්කරු පන්තියට ඉදිරිමඟ පෙන්වා දුන් නිසාය. රාජාණ්ඩු සහ සමූහාණ්ඩු විසින් ඔහු නෙරපා දැමීය. ධනපති දේශපාලනඥයෝ ඔහුට විරුද්ධව තොර තෝංචියක් නැතිව ද්වේෂසහගත ප්‍රචාර ගෙන ගියහ. ඔහු ඒවා ගණනකට නොගෙන මකුළුවකු මෙන් වේගයෙන් වැඩ කළේය.
සයිබීරියාවේ ආකරවල සිට කැලිෆෝනියාව දක්වා වූ රටවලද යුරෝපයේ හා ඇෙමරිකාවේද දස ලක්ෂ සංඛ්‍යාත විප්ලවවාදීන්ගේ ගෞරවයට හා ආදරයට භාජනය වූ මාක්ස් ඔවුන් දුක් සයුරේ ගිල්වමින් මිය ගියේ යැයි මට නිර්භයව කිව හැකිය. ඔහුට සතුරන් බොහෝ විය හැකිය. එහෙත් එම සතුරන් අතර ඔහුගේ පෞද්ගලික මිතුරෝ එකතුවක් නොවූහ.
කාල් මාක්ස් නාමය හා කාර්යයන් සදා බැබළේවා!
1883 මාර්තු 17 ප්‍රෙඩ්රික් එංගල්ස්