එලීනා ජයවර්ධන
අපේ අම්මා උපන්නේ සියනෑ කෝරළේ කිරිඳිවැල ගමේය. අම්මා ගම්පහ නගරයේ තිබූ එකම ඉංග්‍රීසි මාධ්‍ය පාඨශාලාව වූ හෝලි ක්‍රොස් කන්‍යාරාමයේ අධ්‍යාපනය ලැබූ තැනැත්තියකි. වයස විසි එකේදී ඇය හෝලි ක්‍රොස් කන්‍යාරාමයේම ගුරුවරියක ලෙස පත්වීම් ලැබ, ගුරු වෘත්තියට පිවිසුණාය. ඇය විශ්‍රාම යන විට මහරගම ගුරු අභ්‍යාසයාලයේ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක ලෙස ලංකාවේ බොහෝ ප්‍රදේශවල සේවය කර තිබිණි.
අම්මා-තාත්තා දෙදෙනාම ගුරු වෘත්තියේ නියැළුණු අතර, පවුලේ සෙසු සහෝදරයෝ සියලු දෙනාම අධ්‍යාපන කටයුතුවල නියැළුණහ. වැඩිමහල් සහෝදරයා වූ මම එතෙක් කරමින් සිටි රැකියාවද අත්හැර ජවිපෙට සම්බන්ධ වී, පූර්ණ කාලීන දේශපාලනයේ නිරත වීමි. ඉතා කලාතුරකින් ගෙදර පැමිණෙන මට නිවෙසේ ආර්ථික ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් තිබුණේ නැත.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ මල්ලීද, සමාජවාදි ශිෂ්‍ය සංගමයට සම්බන්ධව කටයුතු කරන්න පටන්ගෙන තිබිණි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙන ඒම නිසා 1980 වකවානුවේ ශිෂ්‍ය අරගල පැනනැඟී විශ්වවිද්‍යාල උණුසුම්ව පැවතියේය. මේ අතර ලොකු නංගීද කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමේ වරම් ලද්දීය. පළමු වසරේ ශිෂ්‍යාවක වූ ඇයට ද සේරම් පාරේ කාන්තා නේවාසිකාගාරයේ නවතින්නට අවස්ථාව ලැබිණි.
මෙතෙක් ඔබ කියවූයේ මේ කතාවේ පූර්විකාවය. දැන් අපි කතාවට බසිමු.
වෛද්‍ය පීඨයට ඇතුළත් වූ ලොකු නංගීට අනිවාර්යයෙන් ගත යුතු පොත් ලැයිස්තුවක් කථිකාචාර්යවරුන් විසින් නියම කර තිබිණි. විදේශවලින් ගෙන්වනු ලබන, ශල්‍ය වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ පොතක් ඒ වකවානුවේ රු. 2000ක් තරම් මිල අධික වන්නට ඇත. පොත් ලැයිස්තුව අම්මා අත තැබූ නංගී ඊළඟ සති අන්තයේ පොත් රැගෙන යන්නට ගෙදර ආවාය.
“දුවේ ලබන සතියෙ ගෙදර එනකොට පොත් ගෙනත් තියන්නම්” යැයි අම්මා යන්තමින් ගැලවී තිබිණි. නංගී නාහෙන් අඬමින් ආපසු ගියාය. සති තුනකට පසු බ්‍රහස්පතින්දාවක අම්මා නංගී සිටින කාන්තා නේවාසිකාගාරයට ගියාය.
“දුවේ, අපි පොඩි ගමනක් යමු” යැයි ඇයට පවසා, අම්මා නංගී කැටුව වෝඩ් ප්ලේස් පාරේ බොරැල්ල දෙසට පයින් ගමන් කර ඇත.
“කොහෙද අම්මෙ මේ යන්නේ?” යැයි නංගී මුනුමුනු ගෑවාට අම්මා ඇයට පිළිතුරු දී නැත. එකල දකුණේ පැවති කලබල නිසා වෝඩ් ප්ලේස් පාරේ රථ වාහන ගමන් කිරීම තහනම් කර තිබිණි. අම්මාත් නංගීත් නතර වී තිබුණේ වෝඩ් ප්ලේස් පාරේ පිහිටි දැඩි ලෙස මුරකාවල් යොදා තිබූ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ නිවෙසේ ගේට්ටුව ඉදිරිපිටය. ඔවුන් එහි පැමිණෙන බව ආරක්ෂක නිලධාරීන් දැනුවත්ව සිටි බව පෙනුණු විට නංගී විමතියට පත් වූවාය.
ඇත්ත වශයෙන්ම සිදුව තිබුණේ මෙයයි:
පොත් ගැනීමට අධ්‍යාපන සමුපකාරයෙන් ණය මුදලක් ගැනීමට අම්මා උත්සාහ කළද, එය කරගැනීමට නොහැකි වී ඇත. විසඳුමක් නැතිව කල්පනා කරමින් සිටි අම්මා එක්වරම සිතට නැඟුණු අදහසකට අනුව ජනාධිපති ආර්යාව වූ එලීනා ජයවර්ධනට නංගී ලියන ආකාරයට ලිපියක් ලියා තිබේ. ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබූ ඒ ලිපියේ කොළඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක වන තමා පවුලේ ආර්ථික අපහසුතා නිසා අත්‍යවශ්‍ය පොත් කිහිපයක් මිල දී ගත නොහැකිව අසීරුවට පත්ව සිටින බවත්, පොත් මිල දී ගැනීමට උදවු වනවා නම් එය අධ්‍යාපන කටයුතුවලට මහත් පිටිවහලක් වන බවත් සඳහන් කර, පොත් ලැයිස්තුවද ඊට අමුණා ඇත. වෝඩ් ප්ලේස් පාරේ බ්‍රෙමා නිවෙසට පැමිණෙන ලෙස දන්වමින් දින කිහිපයකට පසු නංගී නමට දිනය හා වෙලාව ඇතිව එලීනා ජයවර්ධන මහත්මිය විදුලි පුවතක් එවා ඇත. අම්මා පැමිණ තිබුණේ එයද රැගෙනය.
ආරක්ෂක නිලධාරීන් ඔවුන් දෙදෙනා කැඳවාගෙන ගොස් නිවෙසේ ආලින්දයේ හිඳුවා, ජයවර්ධන මැතිනියට ඒ බව දන්වා ඇත. නොබෝ වේලාවකින් තේ ගෙනයන ට්‍රොලියක් මත පොත් ගොඩ තබාගත් ජයවර්ධන මහත්මිය ඕ තොමෝම එය තල්ලු කරගෙන විත් නංගී ළඟ අසුන් ගත්තාය.
“ඔයාගෙ එක පොතක් හොයාගන්න මගෙ ඩ්‍රයිවර්ට ගොඩක් අමාරු වුණා. ඒකයි ටිකක් පරක්කු වුණේ. දැන් හරි. පොත් ඔක්කොම තියෙනවා. හොඳට ඉගෙනගන්න. රටට ප්‍රයෝජනවත් ඩොක්ටර් කෙනෙක් වෙන්න,” කියා ඔවුන් දෙදෙනා සමඟ සතුටු සාමීචියේ යෙදී ඇත.
නංගී රටක් රාජ්‍යයක් ලද්දියක මෙන් පොත් රැගෙන ගියාය. ආණ්ඩු විරෝධී දේශපාලනයේ නියැළී සිටි අපට අම්මා හෝ නංගී මේ සිදුවීම හෙළි කළේ නැත. වෛද්‍යවරියක වී දිගු කලක් රජයේ රෝහල්වල සේවය කළ නංගී 2019 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග වැදුණාය.
අම්මා මියෙන්නට පෙර අසනීපව සිටියදී එතෙක් නොකී මේ කතාව මට පැවසුවාය.