Home » ජපන් තරුණයෝ ආදරය එපා කියති

ජපන් තරුණයෝ ආදරය එපා කියති

by Mahesh Lakehouse
May 3, 2025 12:30 am 0 comment

තම ජීවිතය සතුටින් සාර්ථකව පවත්වාගැනීමට දිගු කාලීන ආදර සම්බන්ධතාවක් හෝ විවාහයක් තවදුරටත් අවශ්‍ය නැති බව සිතන ජපන් තරුණ පිරිස ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී. පවුල් සංස්ථාව සමාජ සම්මතයක් ලෙස හැඩගැසී තිබූ ජපානයේ වර්තමාන සම්මතය වීමට පටන්ගෙන ඇත්තේ විවාහ නොවී සිටීමය. ජපන් ආර්ථිකයටද එය බලපෑමක් වී තිබේ.

සේවා ස්ථානයේදී පරිගණකයේ සිර වී සිට, දුම්රියේ ගමනාන්තය දක්වාම පරිගණකයේ රාජකාරි කොට, නිවෙසට පැමිණි මොහොතේ සිට නැවතත් පරිගණකයේ එල්බගැනීමෙන් අධික වෙහෙසට පත් වන ජපන් තරුණ තරුණියෝ ලිංගික ජීවිතයෙන් මුළුමනින්ම ඈත්ව සිටිති. ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනය ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව කළ පර්යේෂණයකදී නිරාවරණය වූ කරුණු රැසකි.

ජපානයේ උත්පත්ති අනුප්‍රාප්තිකය 1.44කි. එය ඉතා අඩු අගයකි. 2017 වසරේ උත්පත්ති සංඛ්‍යාව මිලියන එකටත් වඩා අඩු වී තිබුණි. මේ අන්දමින් ඉදිරියට ගියහොත් මිලියන 126ක ජපන් ජනගහනය. 2050 වන විට මිලියන 88 දක්වා පහත බසිනු ඇත. දියුණු වන ජීවන පරිසරය, උසස් වෛද්‍ය පහසුකම් නිසා ආයු කාලය ඉහළ යාම ජනගහනයෙන් 40%කට වඩා අවුරුදු 60ට වැඩි පිරිසක් වීම ජපන් ආර්ථිකයට බරක් වනු ඇත.

ජපන් තරුණියෝ සාම්ප්‍රදායික කාන්තා භූමිකාවේ බැඳී සිටීමෙන් විතැන් වෙති. ඔවුහු උසස් රැකියා කරන ස්වාධීන ස්වරූපිනියන් වීමට පෙරුම්පුරති.

පුද්ගල වාසියට වඩා සමාජයට වැඩ කිරීම උසස් ලෙස සලකන, වැඩ කිරීම පමණක් ජීවිතය කරගත්, ඉහළ පෙලේ සමාගම්වලට තම ජීවිත කාලයම වැයකර අවසානයේ දිනකට පැය 18ක දීර්ඝ වැඩමුරවලින් අධික ලෙස වෙහෙසට පත්වන පිරිසක්ද ජපානයේ සිටිති.

ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයට පරිබාහිරව ලිංගිකත්වය සන්තර්පනය කරන ගේෂා ස්ත්‍රීන්, මසාජ් සායන, ලිංගික උපකරණ රෝබෝ ස්ත්‍රී බෝනික්කන්, ලිංගිකත්වය ඉහළ දමන නිල් චිත්‍රපට, කාටූන් චිත්‍රපට, ආදියට ජපානයේ දැවැන්ත ආකර්ෂණීය වෙළඳපොලක් නිර්මාණය වී තිබීම මේ තත්ත්වය වැඩිදියුණු කරන්නට තවත් හේතුවකි.

ජපන් සමාජ ආකල්පද මෙයට ඉවහල්වේ. දරුවන් විවාහයක ප්‍රතිඵලයක් විය යුතු බව ජපන් නීතියෙන්ද සමාජ සදාචාරයෙන්ද කියැවේ. විවාහ අසාර්ථක වුවද ජපන් සමාජයේ දික්කසාදය සඳහා ඇති ඉඩ සීමිතය.

තාක්ෂණික වහල්ලුන් වී ජීවිතයේ සතුට අන්තර්ජාලය තුළින්ම ප්‍රාර්ථනය කරන අතිවිශාල යොවුන් පරපුරක් ජපානයේ බිහිවී ඇත. එම මායා ලෝකයේ අධි සුන්දරත්වයට හුරුවන මනස සැබෑ ලෝකය පියකරු ලෙස නොදැකීමේ ව්‍යාධියෙන් පෙළේ. ස්වභාවික සජීවී පුද්ගල සබඳතා ප්‍රතික්ෂේප කරන අතිවිශාල යොවුන් පරපුරක් ජපානයේ බිහිවී ඇත. එම මායා ලෝකයේ අධි සුන්දරත්වයට හුරුවන මනස සැබෑ ලෝකය පියකරු ලෙස නොදැකීමේ ව්‍යාධියෙන් පෙළේ. ස්වභාවික සජීවී පුද්ගල සබඳතාවලින් ඈත්වීම ජපානයෙන් ආරම්භවුවද ලොව අනෙක් රටවල්වලටද වේගයෙන් පැතිරෙමින් ඇති බවට සමාජ විද්‍යාඥයෝ අනතුරු හඟවති.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division