– මාලබේ ඕඅයිසීට ආ ඔත්තුවෙන් කොටිකාවත්තේ නිවසක් වටලයි
– හෙරොයින් කිලෝ 13ක් අයිස් කිලෝ 3ක් සමඟ සැකකරුවෙක් කොටු වෙයි
– බන්ධනාගාරේ ඇතුළේ ඉඳන් ජාවාරම මෙහෙයවූ ‘මොරා’ කවුද?
ගෙවුණු අප්‍රේල් මාසය මෙරට ආරක්ෂක අංශ විසින් ‘මාසයක්‘ ඇතුළත මත්ද්‍රව්‍ය වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් කාලය ලෙස ඉතිහාසයට එක් විය. පොලීසිය, නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු මත්ද්‍රව්‍ය වැටලීම්හි නිරත ආරක්ෂක අංශ විසින් ගෙවුණු මාසය තුළදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් එකකට අධික ප්‍රමාණයක් නැතිනම් කිලෝග්‍රෑම් 115ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණේ මෙරට තුළදී සහ මහමුහුදේදී දිවරෑ නොබලා සිදු කළ මෙහෙයුම්වලිනි.
ඉකුත් අප්‍රේල් 13 දා සිට පොලීසිය සුළු, මධ්‍ය සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර ඒ ඔස්සේ ද මේ වන විට අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝග්‍රෑම් 130කට අධික ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන තිබීම ද සුවිශේෂීය.
ඒ අනුව ඉකුත් 13 වැනිදා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත ඇරැඹි අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට සමගාමීව පසුගිය 26 වැනිදා මාලබේ පොලීසියේ නිලධරයන් ද සුවිශේෂ වැටලීමක් සිදු කරමින් මත්ද්‍රව්‍ය තොගයක්ම අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය ජාලයක තොරතුරු ද හෙළිකර ගනිමිනි.
මාලබේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායකට සිය පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් ලද තොරතුරක් මත සිදු කළ එම වැටලීමේදී සැකකරුවෙක් සමඟ රුපියල් කෝටි 80ක් පමණ වීදි වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 372ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 58ක් අත්අඩංගුවට ගැනිණි. එම මත්ද්‍රව්‍ය ජාවාරමේ සුලමුල අනාවරණය කර ගත් ආකාරය පිළිබඳ කතාව පෙළ ගැසෙන්නේ මෙසේ ය.
ඉකුත් 26 වැනිදා දහවල් මාලබේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායකට සිය තොරතුරුකරුවකුගෙන් තොරතුරක් ලැබිණි.
“සර්… කොටිකාවත්තේ… නාගහවෙල ගෙදරක කුඩු බිස්නස් එකක් කරනවා… ඒ ගෙදර ඉන්න මනුස්සයා මහා පරිමාණෙන් වැඩ කරන හැටියක් තමයි පේන්න තියෙන්නේ… පොඩ්ඩක් සර්ච් පාරක් දාලා බලන්න…“ යැයි එම තොරතුරුකරු පැවැසීය.
පොලිස් ස්ථානාධිපතිවරයා එම හෝඩුවාව ගැන වැඩිදුරටත් සොයා බලද්දී හෙළි වූයේ එම නිවස වැල්ලම්පිටිය පොලිස් වසමට අයත් වූවක් බවය. ඒ අනුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් ද දැනුම්වත්කොට එම නිවෙසේ සිදුවන මත් ජාවාරම වැටලීමට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මාලබේ පොලීසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කවිඳු ප්‍රභාෂ්වරට පැවැරීය.
උපපොලිස් පරීක්ෂක කවිඳු ප්‍රභාෂ්වර එසැණින් සිය කණ්ඩායම සමඟ මාලබේ පොලීසියේ සිට කිලෝමීටර් 6ක පමණ දුරකින් පිහිටි එම නිවස සොයා ගියේය. ඒ වන විට වේලාව දහවල් 1.45ට පමණය. එම නිවස ආසන්නයට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායම නිවස දෙසට සිය උකුසු ඇස් යොමා රැකවල්ලා සිටියහ. කාමර දෙකකින් පමණ යුත් මඳක් පැරැණි එම නිවෙසේ කිසියම් පුද්ගලයකු සිටින බව පොලිස් නිලධාරින්ට ඒත්තු ගියේ තවත් විනාඩි කීපයක් ගතවෙද්දීය.
අනතුරුව උපපොලිස් පරීක්ෂක කවිඳු එම නිවෙසේ කිසියම් පුද්ගලයකු සිටින බව දැනගත් සැණින් ඒ බව මාලබේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් කළේය. මාලබේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක ද ක්ෂණයෙන් එම නිවස ආසන්නයට පැමිණ රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමට එක් විය.
එලෙස පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණි සැණින් පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායම ක්ෂණයෙන් එම නිවස වටලා කඩා පැන්නේ එහි සිටි පුද්ගලයාට කිසිවක් සිතා ගැනීමටවත් නොහැකි වන ලෙසිනි. නිවසේ සිටි පුද්ගලයා ඒ මොහොතේ නිවසේ ඉදිරිපස කාමරයේ සිටියේය. පොලිස් නිලධාරීන් නිවසට කඩා වැදුණු බව ඒ වන විටත් නොදැන සිටි එම පුද්ගලයා කාමරයේ ඇඳ යට තිබූ පාර්සල් කීපයක් විශාල බෑගයකට අසුරමින් සිටියේය. පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන එම පුද්ගලයා බෑගයට අසුරන්නේ කුමක් ද යන්න පරීක්ෂා කරද්දී දුටු දෙයින් තොරතුරුකරුගේ තොරතුර ‘තිත‘ටම නිවැරැදි බව තහවුරු විය.
නිවසේ සිටි පුද්ගලයා ඇඳ යට තිබී ගත් පාර්සල් මත්ද්‍රව්‍ය බව පොලිස් නිලධාරීන් හඳුනා ගන්නේ ඉන් අනතුරුවය. පසුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂාවේදී හෙළි වූයේ පාර්සල් 11ක හෙරොයින් කිලෝ 13යි ග්‍රෑම් 372ක් සහ පාර්සල් 3ක අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 580ක් තිබෙන බවය. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වීදි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 80කට අධික බව පොලිස් විමර්ශනවලින් හෙළි විය. මත්ද්‍රව්‍ය තොගය සමඟ මත්ද්‍රව්‍යවල බර මැනීමට යොදාගත් තරාදියක් සහ ජංගම දුරකතන දෙකක් ද පොලිසිය අත්අඩංගුවට ගැනිණි.
එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා සමන් නමැත්තෙකි. 27 හැවිරිදි සමන් මැණිකාගාර පාර, කොරතොට, කඩුවෙල ලිපිනයේ පදිංචි විවාහක අයෙකි. ඔහුට දරුවකු ද සිටි. කලක සිටම ඒ හැටි රැකියාවක් නොකළ සමන් පසුගිය කාලය පුරාවටම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පුද්ගලයෙකි. මාලබේ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත් සමන්ගෙන් ප්‍රශ්න කෙළේ එම මත්ද්‍රව්‍ය ජාලයේ සුලමුල සොයා ගැනීම සඳහාය.
“තමුන්ට මේ ‘බඩු‘ කොහෙන්ද?“ යැයි පොලිස් නිලධාරියෙක් ඔහුගෙන් විමසීය.
“සර්… මට මේ බඩු හම්බ වුණේ මොරාගෙන්… මොරා මට සෙට් වුණේ වැලිකඩ ප්‍රිසන් එකේදී… මිනිහා දැන් ඉන්නේ මහර ප්‍රිසන් එකේ…“ යැයි සමන් කීවේය.
මාලබේ පොලිස් නිලධාරීන් මහර බන්ධනාගාරයේ ‘මොරා‘ නමින් හඳුන්වන අයකු සිටිදැයි සොයා බැලීය. එහෙත් මහර බන්ධනාගාරය තුළ ‘මොරා‘ නමින් පුද්ගලයකු නොසිටිය ද මොරිස් යනුවෙන් හඳුන්වන අයකු සිටින බව පොලිස් නිලධාරින්ට බන්ධනාගාර පරිපාලන අංශයෙන් අනාවරණය විය. විමර්ශන නිලධාරින් සැක කරන්නේ සමන් පවසන මොරා යනු ඒ මොරිස්ම විය යුතු බවය.
“තමුන්ට මේ මත්ද්‍රව්‍ය හම්බ වෙන්නේ කොහොමද?“ යැයි තවත් පොලිස් නිලධාරියෙක් සමන්ගෙන් ප්‍රශ්න කළේය.
“සර්… මට මොරා හම්බ වුණේ මම වැලිකඩ බන්ධනාගාරයේ ඉන්දැද්දි… මිනිහා දැන් ඉන්න මහර ප්‍රිසන් එකේ ඉඳන් වට්ස්ඇප් එකෙන් මට කෝල් කරනවා… ඊට පස්සේ මිනිහා කියනවා අහවල් තැන වෑන් එකක් ඇවිත් නතර කරලා තියෙනවා… ගිහින් වෑන් එක ගෙදරට ගේන්න කියලා… ඊට පස්සේ මං ගිහින් ඒ වෑන් එක ගෙදර අරන් ඇවිත් ඒකේ තියෙන බඩු ටික මේ ගෙදර හංගලා තියාගන්නවා…“ යැයි කී සමන් අනතුරුව එම වෑන් රථය දින කීපයකට පසු නාඳුනන පුද්ගලයකු පැමිණ රැගෙන යන බව ද සඳහන් කළේය.
“සර්… ඒ වෑන් එක ගේන… වෑන් එක අරන් යන… ඒ කිසිම කෙනෙක් මං අඳුරන්නේ නෑ… පස්සේ මං කරන්නේ ගෙදර හංගගෙන ඉන්න අයිස්, හෙරොයින් පැකට් මොරා මට කෝල් කරලා කියන අහවල් පාරේ ඉන්න… අහවල් පුද්ගලයාට ගිහින් දෙන්න කියලා… අන්න ඒ තැන්වල ඉන්න අයට මං කිලෝ එක… කිලෝ දෙක වගේ ගිහින් දෙනවා…“ යැයි සමන් පොලිස් නිලධාරීන් ඉදිරියේ පාපෝච්චාරණය කළේය.
ඒ අනුව මාස දෙක තුනක සිට කොටිකාවත්ත, නාගහවෙල නිවෙස රුපියල් පනස් දහසක මුදලකට කුලියට ගෙන සමන් විසින් අවට පෙදෙස්වලට මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක පමණ ප්‍රමාණයක් බෙදාහැර තිබිණි. සමන්ට එම කාර්යය සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් මසකට ගෙවා තිබූ අතර ඊට අමතරව ඔහුට කෑම-බීම සඳහා ද තවත් රුපියල් විසිපන් දහසක මුදලක් මසකට ගෙවා ඇති බව සමන් හෙළි කළේය.
සමන් අත්අඩංගුවට ගැනුණේ වැල්ලම්පිටිය පොලිස් වසමට අයත් ස්ථානයකදී හෙයින් ඔහු වැල්ලම්පිටිය පොලීසියට භාර දී අධිකරණයෙන් දින හතක රැඳවුම් නියෝගයක් ගෙන මාලබේ පොලිස් නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින්නේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කළ මේ කල්ලියේ ප්‍රධානීන් කවුරුන්ද යන්න හඳුනා ගැනීමටයි.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනියගේ උපදෙස් මත මාලබේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායකගේ මෙහෙයවීමෙන් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කවිඳු ප්‍රභාෂ්වර, කොස්තාපල්වරුන් වන (85009) වීරවංශ, (97512) හසිත, (97893) මධුසංඛ, (93308) ගිහාන් සහ කොට්ඨාස බුද්ධි අංශයේ කොස්තාපල් (104905) බණ්ඩාර යන නිලධරයෝ වැටලීමට එක් වූහ.