Home » සිංහල සිනමාවේ ප්‍රංශ සෙවණැල්ල

සිංහල සිනමාවේ ප්‍රංශ සෙවණැල්ල

by thanushika
May 3, 2025 12:33 am 0 comment
තුසිත ජයසුන්දර

ප්‍රංශ සිනමාව මතු නොව ජගත් සිනමාවම එකලු කළ සුපිරි තරුවක් වන ඇලයින් ඩෙලොන් සිනමාවේ අපූර්වත්වය හා ඉන් උපදින බලසම්පන්න බව පිළිබඳ කතිකාව තවදුරටත් පොහොසත් කළ අයෙකි. ඇලයින් ඩෙලොන් යනු සිරිලක සිනමා රසිකයනට එපමණ සමීප අයකු නොවේ. මෙරට රසිකයාට ප්‍රංශ සිනමාවද තරමක් දුරස්ථ හෙයින් ප්‍රංශ සිනමා නළු නිළියන් කෙරෙහි සිරිලක සිනමා රසිකයන්ගේ සැලකිල්ල යොමු වන්නේ මඳ වශයෙනි.

කෙසේ නමුදු ඉතාලි සිනමා නිළියක වූ සොෆියා ලොරේන් හා ස්විස්ටර්ලන්තයේ ඉපිද හොලිවුඩය තරණය කළ උර්සුලා ඇන්ඩෘස් කෙරෙහි සිරිලක සිනමා රසික අවධානය තීව්‍ර වූ අවස්ථා ගණනාවක්ම හඳුනා ගත හැකිය .මෙයට තුඩු දුන් පළමු හේතුව වනුයේ ඔවුන් ඇමරිකානු සිනමාව ජය ගැනීමයි. මේ සඳහා ඔවුන්ට ලැබුණු අවස්ථා බොහෝය. සියවසකට අධික ඉතිහාසයක් හිමි සිරිලක සිනමා කලාපය තවමත් ජගත් සිනමාව සමඟ ගැඹුරු සබඳතා පිහිටුවා ගෙන නොමැත යන අදහසට මෙවැනි කියැවීම් ආයාසයකින් තොරව සානුබල සපයයි.

මෙහිලා සිරිලක සිනමා රසික සුළුතරයකගේ අවධානයට ලක්වූ ප්‍රංශ සිනමා නළු ජීන් – පෝල් බෙල්මොන්ඩෝ අරභයා වෙසෙසින් අවධානය යොමු විය යුතුවේ. ඔහු ඇලයින් ඩෙලොන්ගේ සමකාලීනයකු යන්න ද අමතක නොකළ යුතුය. 1960 හා 1970 දශක තුළ ඔවුන් දෙදෙන එක්වූ සිනමාපටද කිහිපයකි. ඉන් වඩා ප්‍රකට සිනමාපට වන්නේ ‘බි බියුටිෆුල් බට් ෂට් අප්’ හා බොර්සලිනෝ’ය.

සිරිලක සිනමා රූපණයේ ඇතැම් වර්ධනීය හා සියුම් අවස්ථා විෂයෙහි ජීන් – පෝල් බෙල්මොන්ඩෝගේ රූපණ ඡායාව වැටී ඇතැයි සිතේ. මෙයින් අදහස් කෙරෙන්නේ සිරිලක සිනමා රූපණය ඔහුව සෘජුව හෝ වක්‍රව අනුකරණයට පියවර ගෙන තිබූ බව නොවේ. නිරායාසයෙන් සිදුවන අනුකරණ සෑම මාධ්‍යයකදීම දත හැකිය. වඩා වැදගත් වන්නේ අනන්‍යතාව හා ස්වීයත්වය සාපේක්ෂ ලකුණු වැඩි සංඛ්‍යාවකින් සහතික කර ගැනීමය. සිනමාවට අදාළව මේ කරුණ රූපණයට පමණක්ම සීමා නොවේ. ඇතැම් ප්‍රවීණ සිනමාකරුවන්ගේ මුල් පෙළේ සිනමාපට පවා යම් අනුකාරක ලකුණු ප්‍රකට කරන බවට මතයක් තිබේ. කෙසේ වුව සිරිලක සිනමා විචාරය බොහෝ විට මෙබඳු අවස්ථා හමුවේ තාර්කික හා සහේතුක පිළිවෙත් අනුගමනයට නොපැකිළුනු වග ද පැහැදිලිය.

ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම වැන්නන් එවැනි සිනමාකරුවන් අතර ප්‍රමුඛය. විචක්ෂණශීලීව කරුණු විමසීමේදී පෙනී යන්නේ ඔවුනගේ ඇතැම් සිනමාපටවලට එරෙහිව මතු කළ අනුකාරක චෝදනා පදනම් විරහිත බවයි.

ජීන් – පෝල් බෙල්මොන්ඩෝ පිළිබඳ මතකය අවදි කරන්නට මෙසමයේදී අනගි නිමිත්තක් උදා වී ඇත. ඒ සුප්‍රකට ප්‍රංශ නව සිනමා රැල්ලේ සමාරම්හක හා අද්විතීය අවස්ථාවක් සේ පිළිගැනෙන ජීන් ලුක් ගොඩාඩ්ගේ ‘බ්‍රෙත්ලස්’ සිනමාපටය මේ වසරේ මාර්තු මස සිය හැට පස්වන ජන්ම දිනය සැමරීමයි. ‘බ්‍රෙත්ලස්’ එතෙක් මෙතෙක් ලොව නිර්මිත වඩාත්ම නිර්මාණශීලී, පුරෝගාමී, විවාදාපන්න සිනමාපටයක් සේ සැලකේ. ලොව බොහෝ සිනමා කලාප වෙත ‘බ්‍රෙත්ලස්’ සිදුකළ හා සිදු කරමින් ඇති බලපෑම ඉමහත්ය. වෙසෙසින්ම තරුණ සිනමා ධාරා බොහොමයක් තුළ ‘බ්‍රෙත්ලස්’ හි ලකුණු දක්නට ලැබේ. ජීන් – පෝල් බෙල්මොන්ඩෝ ප්‍රංශ සීමාව අතික්‍රමණ කරවන ලොව පුරා තරුණ හා විදග්ධ සිනමා රසිකයන්ගේ පරමාදර්ශී ලකුණක් බවට පත්වන්නේ ‘බ්‍රෙත්ලස්’ සමඟිනි.

බෙල්මොන්ඩෝ ‘බ්‍රෙත්ලස්’හි නිරූපණය කරන්නේ පැරිස් නගරයේ වෙසෙන මයිකල් නමැති ඉබාගාතේ යන තරුණයකුගේ චරිතයයි. පෙම් කෙළිමින්, දුම්වැටි උරමින්, මධු පැන් තොල ගාමින් මයිකල් තුරුණු වියේ ආස්වාදය අත්විඳින්නේ සිය දිවියට නිසි අරුතක් සපයා ගැනීමේ නිල පිළිවෙත් මත නොපිහිටමිනි. පසුව ඔහු දත හැක්කේ මෝටර් රථ සොරකු සේය. අත්වැරදීමක් නිසා ඔහු අතින් පොලිස් නිලධාරියකු මිය යයි. පොලිසිය ඔහු ලුහු බඳී. අවසානයේ මහ මඟ ඔහුගේ දිවිය කෙළවර වෙයි.

බෙල්මොන්ඩෝ මෙම චරිතය නිරූපණය කරන සැහැල්ලු හා විවෘත විලාසය හැට පස් වසකට පසුව වුව සිනමා රසිකයන්ට ගෙන එන්නේ නැවුම් බවකි. බෙල්මොන්ඩෝ හා ප්‍රංශ සිනමා නව රැල්ල පිළිබඳ කවර නිර්වචන මත රැඳී සිටියද මයිකල් බඳු චරිත සිරිලක සිනමාවේ වරින් වර වුව මුණගැසේ. මෙම චරිත දැක සිය සිනමා ප්‍රේමය කුළු ගන්වා ගන්නා ඇතැම් රසිකයන් බෙල්මොන්ඩෝ හෝ ප්‍රංශ සිනමා නව රැල්ල පිළිබඳ වැඩිදුර විස්තර නොසොයන බවද මෙහිලා සඳහන් කළ යුත්තකි.

ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව’ , ‘පාර දිගේ’ හා ‘මතුයම් දවස’ නරඹන කල ප්‍රංශ සිනමා නවරැල්ල කෙසේ වතුදු බෙල්මොන්ඩෝගේ තුරුණු රූපණ විලාසය විද්වත් සිනමා රසික සුළුතරයට මඟ නොහැරෙන බව සැබෑවකි. අමරසිරි කලංසූරිය, විමල් කුමාර ද කොස්තා, විජය කුමාරතුංග, වසන්ත මොරගොඩ හා සෞම්‍ය ලියනගේ මේ සිනමාපටවලදී බෙල්මොන්ඩෝ පිළිබඳ මතකය අලුත් කළ බව පෙනේ. කෙසේ වුව මෙතැන පවතින්නේ අනුකරණයක් නොවේ. එසේම බෙල්මොන්ඩෝ පසුකාලීනව නිරූපණය කළ චරිත සමඟ මේ චරිත සැසඳීම් අනුචිත බවද පැහැදිලිය. ‘බ්‍රෙත්ලස්’ පූජනීය සිනමා වස්තුවක් සේ ගෙන වන්දනාමාන කිරීමේ හැඟීම්බර ප්‍රයත්නයේ පසුගාමී බව පිළිබඳ අදහසක්ද මෙතැන උපදී.

බෙල්මොන්ඩෝ හා ‘බ්‍රෙත්ලස්’ මුල් කර ගෙන සිරිලක සිනමාවේ තුරුණු ලකුණු විමසීම සඳහා නව මඟක් විවර කර ගැනීම පහසුය. පෙර දැක්වූ සිරිලක සිනමාපට ත්‍රය මෙහිදී පාදක කොට ගත හැකි වේ. එමෙන්ම පරාක්‍රම ද සිල්වාගේ ‘හෙවණැලි ඇද මිනිස්සු’ හා ‘බිත්ති හතර’ ද, විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ ‘මිල්ලෙ සොයා’, උබර්තෝ පැසොලිනිගේ ‘මචං’ ද බෙල්මොන්ඩෝ හා ‘බ්‍රෙත්ලස්’ සිහිගන්වන වග සඳහන් කළ යුතුය. ධර්මසිරි බණ්ඩාරනායක , නීල් අලස්, පියසේන අහංගම, කමල් අද්දරආරච්චි, මහේන්ද්‍ර පෙරේරා , ධර්මප්‍රිය ඩයස්ගේ නිවහල් හා නිදහස් රූපණ කුසලතාව සිරිලක සිනමා රූපණය අළලා නව කතිකාවක් පොහොසත් කරලීම අසීරු නොවේ. ශමීර නාඔටුන්නගේ ‘මෝටර් බයිසිකල්’ ද මෙතැනට කැඳවිය යුතු සිනමාපටයකි. දසුන් පතිරණ ‘මෝටර් බයිසිකල්’ ඔස්සේ වත්මන් සිරිලක නාගරික තුරුණු දිවියේ අඳුරු පැතිකඩ අනාවරණයට දරන තැත යටපත් නොකිරීම විචාරක විද්වත් රසික දෙපක්ෂයේ පරම වගකීමකි.

ප්‍රංශ සිනමා නවරැල්ල, බෙල්මොන්ඩෝ හා ‘බ්‍රෙත්ලස්’ පිළිබඳ මතකය අවුළුවන ප්‍රතිභා සම්පන්න සිරිලක සිනමා නළුවන් අතර කැපී පෙනෙන්නට කලන ගුණසේකර මේ වන විටත් සමත්ව සිටී. ‘නයිට් රයිඩර්’, ‘සූස්ති’, ‘රහස් කියන කඳු’, ‘විය සිදුරු’ යන සිනමාපට කිහිපය ඊට අගනාම නිදසුන්ය. දිවියට නිසි අරුතක් සොයා හැල්මේ දුවන නාගරික තරුණයකුගේ අත්දැකීම් සමඟ මාලක ගොඩනඟන දේශපාලනික කතිකාව වඩා නිර්මාණශීලී හා සිනමානුරූපී ලකුණු සමඟ උද්දීපනය කරන්නේ කලනගේ රූපණයයි.

‘බ්‍රෙත්ලස්’ට පසුව ජීන් පෝල් බෙල්මොන්ඩෝ 1960 හා 1970 දශක දෙකේ නිරූපණය කළ චරිතද ලොව පුරා තරුණ සිනමා රසිකයන්ගේ නොමඳ සැලකිල්ලට බඳුන් වූ වග රහසක් නොවේ. මේ චරිත ඇතුළත සිනමාපට අතර ‘සෙවන් ඩේස් සෙවන් නයිට්ස්’, ‘ලව් ඇන්ඩ් ද ෆ්‍රෙන්ච් වුමන්’, ‘ටූ විමෙන්’, ‘අ වුමන් ඉස් අ වුමන්’, ‘දැට් මෑන් ෆ්‍රොම් රියෝ’, ‘ද හන්ටර් විල් ගෙට් යූ’ කැපී පෙනේ.

වසර 2021දී බෙල්මොන්ඩෝ මිය යන්නේ අසූ අට හැවිරිදි වියේදීය. තුරුණු විය හා මැදිවිය ගෙවා දැමීමෙන් අනතුරුව ඔහු චරිත නිරූපණය කළ සිනමාපට පිළිබඳ මතකය එපමණ දුර ගමන් නොකිරීමද සලකා බැලිය යුතු වේ. ඒ වෙසෙසින්ම රසික ප්‍රතිචාර ආදියට අදාළවය. ඉන් උද්ධරණය කෙරෙන්නේ ලොව පුරා සිනමා රසිකයන් සේම ප්‍රංශ සිනමා රසිකයන්ද බෙල්මොන්ඩෝ වෙතින් මුළුමනින්ම දුටුවේ තුරුණු බවය යන්නයි. කලංසූරිය, කොස්තා, විජය සේම පෙර දැක්වූ සිරිලක නළු පිරිස ගතින් වියපත් වුව, නොවූව තුරුණු රූ සපුවක් සමඟ රසික සිත් සතන් තුළ ළැඟුම් ගෙන ඇත්තාහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division