Home » The Beatles වේදිකාවෙන් රිදී තිරයට

The Beatles වේදිකාවෙන් රිදී තිරයට

by thanushika
May 3, 2025 12:34 am 0 comment
මංජුලා විජයරත්න

ලෝ පුරා සංගීත රසකාමීන්ගේ හදවත් අමන්දානන්දයට පත් කළ “ද බීට්ස්ල්” (The Beatles) රොක් ගායක කණ්ඩායම, වත්මන් වැඩිහිටියන් බහුතරයකට අදටත් අමතක වන්නට හේතුවක් නැත. ඒ අනෙකක් නිසා නොව “ද බීට්ල්ස්” සංගීත කණ්ඩායම හැට දශකයේදී එපමණට ම ප්‍රසිද්ධියට පත්ව තිබූ බැවිනි. “ප්ලීස් ප්ලීස් මී” (Please Please Me), “විත් ද බීට්ල්ස්” (With the Beatles), “හෙල්ප්” (Help!), “රබර් සෝල්” (Rubber Soul), යෙලෝව් සබ්මැරීන් (Yellow Submarine), “ලෙට් ඉට් බී” (Let It Be), “සම්තින්ග් නිව්” (Something New) යනු ඔවුන්ගේ ජනාදරයට පත් ඇල්බම්වලින් කිහිපයකි. බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් මුල් කරගෙන බිහි වූ බීට්ල්ස් බටහිර ජනප්‍රිය සංගීත ධාරාවෙන් රසිකයන්ට වැඩිම බලපෑමක් කළ සංගීත කණ්ඩායම වශයෙන් ද එකල පිළිගැනිණ. එසේ වූවත් මේ සංගීත කණ්ඩායමේ අභ්‍යන්තරයේ හට ගත් ගැටලු කිහිපයක් මුල් කරගෙන සාමාජිකයෝ හැටේ දශකයේ අග භාගයේදී සංගීත කණ්ඩායම අත්හැර යන්නට පටන් ගත්හ. ඉන්පසු සංගීත කණ්ඩායමේ ඉදිරි කටයුතු අරභයා අධිකරණය වෙත යෑමට ද එහි සාමාජිකයන්ට සිදු විණ. 1970 වසරේදී “ද බීට්ල්ස්” සී සීකඩ විසිරී ගියේ ය. එසේ විසිරී ගිය “ද බීට්ල්ස්” සංගීත කණ්ඩායම පිළිබඳ මතකය පසුගිය සතියේදී නැවත ආවර්ජනය කෙරිණ. ඒ, ඉංග්‍රීසි ජාතික සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ සෑම් මෙන්ඩෙස් අධ්‍යක්ෂණය කරන චිත්‍රපට හතරක් හේතුවෙනි. එකී චිත්‍රපට හතරම “ද බීට්ල්ස්” සංගීත කණ්ඩායම පාදක කරගත් ඒවා වීම විශේෂත්වයකි.

සිනමා සිත්තම් හතර “ද බීට්ල්ස්” සංගීත කණ්ඩායමේ සාමාජිකයන් සිව්දෙනාගේ ජීවිත කතා අළලා නිෂ්පාදනය කෙරේ. ජෝන් ලෙනොන් (John Lennon), පෝල් මැක් කර්ටනි (Paul McCartney), ජෝර්ජ් හැරිසන් (George Harrison) සහ රින්ගෝ ස්ටාර් (Ringo Starr) යන සාමාජිකයෝ සිව්දෙනා එකල “ද බීට්ල්ස්” සංගීත කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෝ වූහ. ඔවුන් අතර ද අද වනවිට ජීවතුන් අතර සිටින්නේ පෝල් මැක් කර්ටනි සහ රින්ගෝ ස්ටාර් පමණි. ඔවුහු ද වයස අවුරුදු අසූ ගණන්වල පසු වෙති.

“ද බීට්ල්ස්” සාමාජික ජෝන් ලෙනොන් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හිදී වෙඩික්කරුවකුගේ ගොදුරක් වී 1980 වසරේදී අකාලයේ මිය ගියේ ය. මියයන විට හෙතෙම හතළිස් හැවිරිදි වියේ පසු විය. ජෝර්ජ් හැරිසන් 2001 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාහිදී ජීවිතක්ෂයට පත් වූයේ උගුරෙහි හටගත් පිළිකාවක් හේතුවෙනි. පිළිකාවට කිහිප වරක් ප්‍රතිකාර කළ ද එය දිගින් දිගට ම ඔහුගේ සිරුරේ පැතිරෙන්නට වූ බව සඳහන් වේ. අවසානයේදී මොළයට සහ පෙනහලුවලට ද එමඟින් බලපෑම් එල්ල විණ. මිය යන්නට දෙවසරකට පෙර ජෝර්ජ් හැරිසන්, උමත්තකයකු කළ පිහි ඇනුමකින් ද බරපතළ තුවාල ලබා තිබිණ. මිය යන අවස්ථාව වනවිට හෙතෙම ඉන්දීය සංස්කෘතියට අනුව දිවි ගෙවමින් ද හින්දු ආගම අදහමින් ද සිටියේ ය. එනිසා ඔහුගේ භෂ්මාවශේෂ ඉන්දියාවේ වරානාසිහිදී ගංගා සහ යමුනා නදී දෙකෙහි පා කර හරින ලදී. ජෝර්ජ් හැරිසන් ඉන්දීය සංස්කෘතියට අනුගතව ජීවත් වූයේ විශිෂ්ට භාරතීය පුත්‍ර රවි ශංකර්ගේ ඇසුරට වැටීම නිසා ය. රවී ශංකර් ඇසුරෙහි හෙතෙම සිතාර් වාදනය ද හදාළේ ය. ඔහු දිවි සැරිය නිම කළේ පනස් අට හැවිරිදි වියේදී ය.

චිත්‍රපට හතරෙහි කටයුතු කරගෙන යෑම සඳහා “ද බීට්ල්ස්” සංගීත කණ්ඩායමේ දැනට ජීවතුන් අතර සිටින සාමාජිකයන්ගෙන් අවසර ලබා ගැනීමට සෑම් මෙන්ඩෙස්ට සිදු වූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ශ්‍රීමත් පෝල් මැක් කර්ට්නි, ශ්‍රීමත් රින්ගෝ ස්ටාර් යන ශිල්පීන් දෙදෙනා ඒ සඳහා ඍජුව ම අනුමැති ලබා දී තිබිණ. ජීවිතක්ෂයට පත් ජෝන් ලෙනොන් සහ ජෝර්ජ් හැරිසන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයෝ ද අනුමැතීන් ලබාදීමට එකඟ වී තිබුණහ. විශේෂයෙන් ම “ද බීට්ල්ස්” සංගීත කණ්ඩායමේ ගීත, චිත්‍රපටවලදී භාවිත කිරීම සඳහා එම සාමාජිකයන්ගේ හෝ ඔවුන්ගේ පවුල්වල උදවියගේ හෝ අවසරය අවශ්‍ය වූ බව සෑම් මෙන්ඩෙස් පවසයි. “ද බීට්ල්ස්” සහ බීට්ල්ස් විසිරුවා හැරීමෙන් පසු එහි සාමාජිකයන් පිහිටුවා ගනු ලැබූ ඇපල් කෝර්ප්ස් (Apple Corps) යන ආයතන “ද බීට්ල්ස්” සංගීත කණ්ඩායමේ තොරතුරු සහ සංගීත නිර්මාණවල අයිතිය, චිත්‍රපට තිර පිටපතක් සඳහා ලබා දුන් පළමු අවස්ථාව මෙය බව ද කියැ වේ. මෑත ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම සංගීත කණ්ඩායමේ කතාව මේ අන්දමට පැවසීමට ඉඩ ලැබීම තමන්ට ලැබුණු ගෞරවයක් ලෙස සලකන බව සෑම් මෙන්ඩෙස් මාධ්‍යයට පවසා තිබිණ.

චිත්‍රපට හතරෙහි නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන්නේ “සෝනි පික්චර්ස්” (Sony Pictures) සහ සෑම් මෙන්ඩෙස්ට අයත් “සෑම්ස් නීල් ස්ට්‍රීට් ප්‍රොඩක්ෂන්ස්” (Sam’s Neal Street Productions) යන සමාගම් විසිනි. එම චිත්‍රපට හතර ම රසිකයන්ට බලා ගැනීමට හැකි වන්නේ 2028 වසරේ අප්‍රේල් මාසයේදී බව බී.බී.සී. වාර්තාවක් පෙන්වා දෙයි. චිත්‍රපට හතර ම එකවර තිරගත කරන්නේ ද යන්න සම්බන්ධයෙන් නිෂ්පාදන සමාගම් මේ වනතුරු එකඟතාවයකට පැමිණ නැත. එනිසා චිත්‍රපට හතර ම රසිකයන්ට එකාසන්නයේ නරඹා රස විඳින්නට අවස්ථාවක් ලැබේ ද යන්න ස්ථිරව ම කිව නොහැකි ය.

චිත්‍රපටවල “ද බීට්ල්ස්” සංගීත කණ්ඩායමේ සාමාජිකයන් හතරදෙනාගේ චරිත චිත්‍රපටවල නිරූපණය කරන්නේ කවුරුන් ද යන කුකුස බොහෝ දෙනෙකුට තිබේ. අයර්ලන්ත ජාතික රංගන ශිල්පීන් වන පෝල් මෙස්කල් සහ බැරී කියෝග්හන් පිළිවෙලින් පෝල් මැක් කර්ට්නිගේ චරිතයත්, රින්ගෝ ස්ටාර්ගේ චරිතයත් නිරූපණය කරනු ඇත. බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පීන් වන හැරිස් ඩිකින්සන් සහ ජෝසෙෆ් ක්වින් පිළිවෙලින් ජෝන් ලෙනොන්ගේ චරිතයටත්, ජෝර්ජ් හැරිසන්ගේ චරිතයටත් පණ පොවති. මේ රංගන ශිල්පීන් සිව්දෙනා ම බෙහෙවින් දක්ෂ රංගන ශිල්පීන් බව ද මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වේ.

චිත්‍රපට හතර සම්බන්ධයෙන් මහත් බලාපොරොත්තු තබා ඇති අධ්‍යක්ෂක සෑම් මෙන්ඩෙස් මාධ්‍යයට කරුණු අනාවරණය කරමින් පසුගිය දා පවසා තිබුණේ මෙවැන්නකි:

“… මිනිසුන් නිවෙස්වලින් බැහැරට රැගෙන ඒම සඳහා විශාල සිනමාරූපී සිදුවීම් අවශ්‍ය වෙනවා. අපි බීට්ල්ස් ගැන එක චිත්‍රපටයක් නෙමෙයි හදන්නෙ; චිත්‍රපට හතරක් ම හදනවා. ඔවුන් ගැන තවත් ටිකක් ගැඹුරින් තේරුම් ගන්න එය අවස්ථාවක් වේවි. …” යනුවෙනි.

“ද බීට්ල්ස්” සංගීත කණ්ඩායම සංගීත ඉතිහාසයේ නොමැකෙන නමක් සනිටුහන් කළ පරිද්දෙන් ම මේ චිත්‍රපට හතර පුළුල් තිරය මත සදානන්දනීය සටහනක් තබනු ඇති බව විශ්වාස කළ හැකිය.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division