Home » කළු සුදු අරගලය වෛවර්ණ කළ හැටි

කළු සුදු අරගලය වෛවර්ණ කළ හැටි

by thanushika
May 3, 2025 12:36 am 0 comment
රසික කොටුදුරගේ

@ ඒකාලෙ වෙද්දි අදහසක් තිබුණා; ජනතාව කියල කෙනෙක් ඉන්නෙ අපේ ඔළුව ඇතුළේ ; යථාර්ථයේ එහෙම කෙනෙක් නැහැ; ඒක කල්පිතයක් කියලා. ඒක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ දාර්ශනික මතවාද ඇතුළෙත් තිබුණ අදහසක්. නමුත් අරගලය පැත්තට එද්දි මේ කල්පිතය යථාර්ථයක් බවට පත්වෙලා ආර්ට් එකට ලොකු අභියෝගයක් එල්ල වී තිබුණා. මේ කල්පිත ලෝකය හෙළවෙන්න ගත්තා.

2022 අප්‍රේල් 09 වැනිදා යනු මෙරට සමාජ දේශපාලන භූ සිතියම උඩු යටිකුරු කළ ඓතිහාසික දිනයකි. මෙරට ජනතාව එකාවන්ව පෙළගැසී ලක්ෂ 69ක ජනවරමකින් බලට පත්ව සිට වියරු ඒකාධිපති ආණ්ඩුවක් පන්නා දැමීමට ජනතාව පරමාධිපත්‍ය බලය පාවිච්චි කරමින් බලමුළු ගැන්වී ගෝල්ෆේස් පිටිය ආක්‍රමණය කළේ එදාය. මේසඳහා පසුබිිම සකස් වන්නේ 2019 කෝවිඩ් වසංගතත් සමඟ පැමිණි ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට එවක ආණ්ඩුව අපොහොසත් වීමත් සමඟය.

ආර්ථික විශේෂඥයන්, ආර්ථික විද්වතුන් මෙන්ම විපක්ෂ දේශපාලන නායකයන් එවක ආණ්ඩුවේ අදූරදර්ශී ආර්ථික ක්‍රියා පිළිවෙත නිසා ආර්ථික අර්බුදයක් ඇති විය හැකි බවට පුරෝකථනය කළද ඒවා උද්දච්ච ලෙස ප්‍රතික්ෂේප කළේය. ආණ්ඩුව විසින් රට ආර්ථික වශයෙන් අගාදයටම ඇද දැමුවේය. විදුලි බලය ඇණ හිටිණ. ගෑස්, ඉන්ධන නොමැති විය. ජීවිතය ගෙවා ගැනීමට කිසිදු හැකියාවක් ජනතාවට නොමැති විය. තැන තැන ආණ්ඩුවට එරෙහි වීදි සටන් ආරම්භ වී තිබුණි. බොහෝදෙනා අතීත අත්දැකීම් හා වියරු පාලකයාට මුහුණ දීමට විවිධ ක්‍රමෝපායන් තෝරමින් සිටියේය. ඒ අතරේ අහඹු ලෙස කලාකාරුවන් අරගලයට සම්ප්‍රාප්ත වීමත් සමඟ වෙනස් මුහුණුවරකින් අරගලය සමාජ ගතවීමට පටන් ගත්තේය. හුදකලා සටන් එක මාවතකට රැගෙන ඒමට මේ කලාකරුවෝ සමත් වුහ. යම් යම් දේශපාලනික මැදිහත් වීම් නිසා කිසියම් ප්‍රචණ්ඩකාරී සිද්ධි කිහිපයක් වාර්තා වුවද සමස්ථයක් වශයෙන් ගත් කල නූතනයේ ලෝක භූ දේශපාලනික සිතියම තුළ දක්නට ලැබුණු ප්‍රචණ්ඩත්වය අවම වූ ජනතා නැඟිටීම මෙය වේ.

මේ සඳහා බලපෑ ප්‍රධාන සාධකය වන්නේ අරගලයේ කලා භාවිතයයි. ආරම්භයේ සිටම කිසියම් දෘෂ්ටිවාදීමය අදහසක් සමඟම ප්‍රාසංගික අත්දැකීමක් ලබා දීමට අරගලයට සම්බන්ධ වූ කලාකරුවන් කලාකාරිනියන් පියවර ගත්හ. සංගීතඥයන්, චිත්‍ර ශිල්පීන්, නාට්‍යකරුවන්, රංගන ශිල්පීන්, ගායක ගායිකාවන්, සිනමාකරුවන්, සාහිත්‍යවේදීන්, නර්තන ශිල්පීන් ඇතුළු මෙකී නොකී සියලු දෙනා ඊට සහභාගි වී සිටියේය. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ සිය මාධ්‍ය හරහා තමන් ඇතුළු සියලු ජනතාව මුහුණ පා සිටින අර්බුදයේ මුහුණුවර පෙන්වාදීම සහ ඉන් මිදීම සඳහා අවශ්‍ය පරිකල්පනීය මිනිසකු නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමය. මෙම ව්‍යායාමය කෙතරම් සාර්ථක වීද යන්න වර්තමාන දේශපාලන වෙනස තුළින් විද්‍යාමාන වේ. එසේ නොවන්නට මේ දේශපාලන වෙනස ලාංකිකයාට සිහිනයක්ම වන්නට ඉඩ තිබුණි.

මෙකී පරිකල්පනීය එළඹුම සඳහා මුල් වූ අරගලයේ කලා භාවිතයට ආරම්භයේ සිටම සක්‍රීය දායකත්වයක් සැපයූ අරගලයේ නියමු සංගීතවේදියා අජිත් කුමාරසිරි ඒ පිළිබඳ පවසන්නේ මෙවන් අදහසකි.

“ 2022 අරගලය පාරට එනකොට මම මේ සමාජයේ කාලයක් ජීවත්වෙලා යම් පුහුණුවක් ලබල තිබුණා. 87-89 භීෂණ යුගය, විශේෂයෙන් බටලන්ද වධකාගාරය ගැන මට අදහසක් තිබුණා. මං උතුරෙ මිනිස්සු එක්ක වැඩ කළා. එල්.ටී.ටී.ඊ එක හමු වුණා. මෙතෙක් කාලයක් කල්පිතයක් වෙලා හිටිය ජනතාව මේ අත්දැකීමත් එක්ක යථාර්ථයක් විදියට දැනෙන්න ගත්තා. ඒකාලෙ වෙද්දි අදහසක් තිබුණා; ජනතාව කියල කෙනෙක් ඉන්නෙ අපේ ඔළුව ඇතුළේ ; යථාර්ථයේ එහෙම කෙනෙක් නැහැ; ඒක කල්පිතයක් කියලා. ඒක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ දාර්ශනික මතවාද ඇතුළෙත් තිබුණ අදහසක්. නමුත් අරගලය පැත්තට එද්දි මේ කල්පිතය යථාර්ථයක් බවට පත්වෙලා ආර්ට් එකට ලොකු අභියෝගයක් එල්ල වී තිබුණා. මේ කල්පිත ලෝකය හෙළවෙන්න ගත්තා.

මෙතෙක් කල් රාජ්‍ය පාලකයා හිටියෙත් කල්පිතයක; එවක ඡන්දදායකයා හිටියෙත් කල්පිතයක. දේශපාලකයන්, පූජකයන්, නළුවන් අධිනිශ්චය කරගෙන ඒ අය වඳින පුදන තත්ත්වයකයි ජනතාව හිටියේ. මේ කල්පිත ලෝකයක ජීවත් වෙච්ච ජනතාව මගේ අත්දැකීම් හා සංගීත භාවිතය ඇතුළේ මම ප්‍රශ්න කරමින් හිටියේ. ලස්සනට ඇඳල ඉන්න ලක්ස්රි වාහනවල ගිය නෝනල මහත්තුරු පයින් යන්න ගත්තා; අපි එක්ක පෝළිම්වල ඉන්න ගත්තා; බෙන්ස් කාර්වල ප්‍රාඩෝවල ගිය ලොකු මිනිස්සු ෆුට් බයිසිකල්වල යන්න එන්න පටන් ගත්තා. මේ එක්ක කල්පිත ලෝකය ටික ටික පොළවට ඇවිල්ලා පොළොවෙ බඩගාන තත්ත්වයට ආවා. අපි හා සමාන නැහැයි කියල හිතපු අපිට වඩා ලොකුයි කියල හිතපු මිනිස්සු අපි එක්ක සමානව කටයුතු කරන්න ගත්තා. කල්පිතයක් කියල හිතපු මිනිස්සු ඇත්ත මිනිස්සු වෙලා මගේ දෑස් ඉස්සරහා පේන්න පටන් ගත්තා. මේත් එක්කම මං ඇතුළු මා වටා සිටිය පිරිසට මේක වෙනස් තත්ත්වයක් බව දැනෙන්න ගත්තා.

අරගලය කියන අදහස ඇතිව ඒ වෙද්දි ජෝසප් ස්ටාලින් සහ තවත් පිරිසක් සටන් කරමින් හිටියා. “මාල ගන්න ගිරව් මරන්න එපා” කියන අදහස ඇතිව හුදකලාවත් කණ්ඩායමක් විදියටත් ඒ වන විටත් අපි සංගීත මාධ්‍යයෙන් සන්නද්ධ වෙලා සිටිය. මේ එක්කම අරගලයට ආර්ට් ගෙනියන්න ඕනද? කියන සාකච්ඡාවක් ගුරුමැදුර ඇතුළේ වුණා. තරුණ ව්‍යාපාර, වෘත්තීය සමිති, විශ්වවිද්‍යාල සෞන්දර්යය විෂය හදාරමින් සිටි අය, කලාකරුවන් ආදී බොහෝ පිරිසක් සහභාගි වී සිටියා. ඒ මොහොතේ මත දෙකක් ඉදිරිපත් වුණා. කලාව පාරට ගෙනියන්න බැහැ කියල සමහරු කිව්වා. නැහැ; කලාව පාරට අරන් යන්න පුළුවන් කියලා මං ඇතුළු තවත් පිරිසක් එතැනදි කිව්වා. අරගලයේ සිත්තරා ලෙස භෞතිස්ම වුණ සුජිත්ගෙ අදහස වුණේ චිත්‍ර ගැලරියට හැර පාරට ගෙනියන්න බැහැ කියන එකයි. මට පාර සම්බන්ධයෙන් අත්දැකීම් තිබුණු නිසා මං ඒ ගැන තර්ක කළා. කොහොම හරි මේ සංවාදය අැවිලිලා ගිහිල්ලා තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය මගේ අදහසට සහය දැක්වීමට තීරණය කළා.

ඔය අතරේ අපි කණ්ඩායමක් කොට්ටාවට ආවා, මගේ අතේ ට්‍රම්පට් එක තිබුණා. තවත් අය අතේ එක එක සංගීත භාණ්ඩ තිබුණා. “සාදුකින් පෙළෙන වුන් දැන් ඉතිං නැඟිටියව් අන්තිම සටනට සැරසයව්! ” කියලා පාරේ ගහද්දි අනික් අයත් ඒ අනුව එයාලගෙ සංගීත භාණඩ වාදනය කළා. මිනිස්සු ඒකට ප්‍රතිචාර දක්වන්න පටන් ගනිද්දි; අපිට මේ මිනිස්සු අවුස්සන් සින්දු කියනවට වඩා යමක් මියුසික් පාවිච්චි කරලා කරන්න පුළුවන් කියන අදහස ආවා. ඒ අනුව සංගීත පා ගමනක් ආරම්භ කළොත් හොඳයි කියන අදහස ආවා. අපි මේ අදහස මහල්වරාවේ බේකරියේ සෙට් එකට කිව්වා. “ අජිත් වැඩේ ඩිසයින් කරන්න අපි වැඩේට බහින්නම් කියලා”. ඒ අනුව අපි පා ගමනින් මහල්වරාවෙ ඉඳලා පාර්ලිමේන්තු වටරවුමට එන්න තීරණය කළා. මොන ප්‍රශ්න තිබුණත් සුජිත් රත්නායක එයාගේ ආම්පන්නත් අරන් උදේම මහල්වරාවට ඇවිත් හිටියා. ඒක අපට සප්‍රයිස් එකක් වගේ සංතෝෂයක් එකතු කළා. අපි අතරේ මොන වාද විවාද ඇති වුණත් වැඩේ ආරම්භ කරද්දි සුජිත් එතන ඉඳීම විශාල ජවයක් වුණා. නාමිනී එතන හිටිය ස්ත්‍රීන් බෙර වැයීමට සංවිධානය කළා. ජෙහාන් සහ විදර්ශනත් ඇවිත් හිටියා. රාජා ඇතුළු බේකරියේ කටිටිය වැඩේ හොඳටම ඕගනයිස් කළා.

ඉන්දියාවේ පුරවැසි භාවය දීම ගැන විරෝධය ආපු වෙලාවේ ආපු මූමන්ට්ස් මම ඒ වෙද්දි ස්ටඩි කරල තිබුණා. එතනදි බොඩි පේන්ට් ගැන අදහසක් අපට තිබුණා. සුජිත් මැදිහත් වෙලා හැමෝගෙම බොඩි පේන්ට් කරන්න පටන් ගත්තා. සංගීත ක්‍රියාන්විතය මට පැවරුණා. “ගෝ ගෝට ගෝ ! ” කාටවත් බලය අරන් දෙන්න නෙමෙයි ගෝටා එලවන්න ඒ පෙරඩ් එක නිර්මාණය වුණා. ඒ විදියට තමයි අරගලයට කලාව සම්බන්ධ වුණේ.

තම මැදිහත් වීම සම්බන්ධයෙන් සුජිත් රත්නායක පවසා සිිටියේ මෙවන් අදහසකි.

“සාමාන්‍යයෙන් පොදු ප්‍රශ්නවලට අපේ රටේ මිනිස්සු පාරට බහින ස්වරූපයක් අපි මීට පෙර අත්දැකල තිබුණේ නැහැ. ඒත් යන්න එන්න විදියක් නැතිව, කරන්ට් නැතිව, තෙල් පොළිම්වල ඉන්න සිද්ද වෙද්දී, කන්න බොන්න නැති වෙද්දී මිනිස්සු කිසිම භේදයක් නැතිව පාරට එන්න පටන් ගත්තා. මේ නිසා කලාකරුවන් විදියට අපි සහ අනෙක් පිරිස් මේක දේශපාලන අර්බුදයක් බවට සමාජ ගත කරන්න අවශ්‍යයි කියන නිගමනයට ආවා. ‍ෙමතන නිරාගමිකයින් හිටියා, එල්ජීබීටීකිව්ප්ලස් අය හිටියා, සිවිල් චරිත හිටියා, නිදහස් කලාකරුවන්, මාධ්‍යවේදීන්, නීතිඥයින්, වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්,… ආදී නොයෙක් දෙනා මේ වටා පෙළ ගැහුණා. මේක හුදු ආර්ථික අර්බුදයක් විතරක්ම නෙමෙයි මේ ආර්ථික අර්බුදය ආවේ මේ රටේ ස්ථාපිත වෙලා තිබුණු කැත දේශපාලන සම්ප්‍රදාය නිසා බව ඒ වෙද්දි අපට ඒත්තු ගන්වන්න ඕන වුණා. අනෙක් අතට කන්න බොන්න නැති ප්‍රශ්නය උග්‍රවෙලා තිබුණ නිසා පොලිසිය හමුදාවේ අය වුණත් කලින් රාජ්‍ය මර්දන උපකරණය විදියට ක්‍රියාත්මක නොවන බව අපට තේරුම් ගියා. මේ හැම සාධකයක්ම නිසා පොදු අවශ්‍යතාවක් බවට ඒ වනවිට අරගලය උඩුදුවමින් තිබුණා. රටේම මිනිස්සු ගෝඨා ගෝ ගමට එනකොට ඒ අයට සහභාගි වෙන්න ඔවුන්ගේ පීඩනය පිට කරන්න අවස්ථා තිබිය යුතු බව අපට අවබෝධ වුණා. ගෝටා ගෝ ගම චිත්‍රාගාරය නිර්මාණය වෙන්නේ මේ පසුබිම තුළයි. මේ නිසා චිත්‍රාගාරය රටේ හතර දිග්බාගයෙන් එතෙන්ට ආපු මිනිස්සු අනිවාර්යයෙන්ම එන තැනක් බවට පත්වුණා.

එතෙන්ට ආපු බාල මහලු වැඩිහිටි හැමෝම චිත්‍ර ඇන්දා. සමහරු බොර්ඩ්, පෙන්ට් ගෙනත් දුන්නා. මේත් එක්ක අරගල බිම ප්‍රචණ්ඩත්වයෙන් තොර විනෝද කාමී පරිසරයක් බවට පත් වුණා. බයක් සැකක් නැතුව මිනිස්සු ආව ගියා. මොන අපහසුතා මධ්‍යයේ වුණත් උදේ ඉදන් රෑ එළිවෙනකම් ක්‍රියාකාරකම් කරන්න අවස්ථාව එතන තිබුණා. මියුසික්, චිත්‍රපට, නාට්‍ය, නැටුම් ඒ විතරක් නෙමෙයි පුස්තකාලයක්, ප්‍රතිකාර මධ්‍යස්ථානයක්, නොමිලේ නීති උපදේශන සේවාවක් මේ ආදී සෑම දෙයක්ම මේ තුළ නිර්මාණය වුණා.

රාජපක්ෂවාදීන් සරණ ගිය නමගිය කලාකරුවෝ ගෝටා ගෝ ගමට ගියේ නැත්තම් තවදුරටත් ඔවුන්ගේ ප්‍රතිරූප රැකගන්න නොහැකි බව වැටහී යමින් තිබුණා. ඔවුන් අරගල බිමට ආවා, වැකි ලිව්වා සින්දු කිව්වා. මේ හැම සිදුවිමක්ම පසුබිමේ තිබුණේ අරගලය තුළ වූ කලාවයි”

ග්‍රැෆිටි සහ වීදි කලාව මෙම කලා ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වි තිබුණි. බිත්ති සහ පොදු අවකාශයන් පණිවිඩ, සටන් පාඨ සහ ප්‍රතිරෝධයේ සංකේත සහිත කැන්වස් බවට පරිවර්තනය විය. මෙම කලා කෘති රජයේ ආර්ථික ප්‍රතිපත්ති සහ සමාජ අසාධාරණය කෙරෙහි අතෘප්තිය ප්‍රකාශ කළේය. දේශපාලන පණිවිඩ සහිත පෝස්ටර් සහ බැනර් විරෝධතා ස්ථානවල කැපී පෙනෙන ලෙස ප්‍රදර්ශනය කරන ලදී. මේවාට සහයෝගීතාවයේ සංකේත, යුක්තිය සඳහා වන ඉල්ලීම් සහ දේශපාලන ප්‍රභූත්ව විවේචනය කිරීම ආදිය ඇතුළත් විය.

මේ ආකාරයට කොළඹ නගරයේ කේන්ද්‍රීය විරෝධතා ස්ථානයක් වූ ගෝඨා ගෝ ගම (හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නමින් නම් කර තිබුණි), නිර්මාණාත්මක ප්‍රකාශනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් විය. විරෝධතාකරුවන් විසින් චිත්‍ර, සටන් පාඨ සහ මූර්ති ඇතුළු කලා කෘති ප්‍රදර්ශනය කරන කූඩාරම් සහ අවකාශ සකස් කර තිබුණි.

ජනතාවගේ කෝපය හා කලකිරීම පිළිබිඹු කරමින් “ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිමාව” සහ අනෙකුත් සංකේතාත්මක නිරූපණයන් පුළුස්සා දැමිණි.

නාට්‍ය හා රංගනය ද විරෝධතාවේ දක්නට ලැබුණු තවත් සුවිශේෂී කලා අංගයකි. මේ තුළ ඉදිවූ වේදිකා මත කලාවේ හා ක්‍රියාකාරීත්වයේ අද්විතීය සම්මිශ්‍රණයක් ප්‍රකට කරමින්, කලාකරුවන් උපහාසාත්මක නාට්‍යමය ජවනිකා මෙන්ම විරෝධතා දැක්වීම සුලබ දසුනක් බවට පත්ව තිබුණි. මෙහි පැමිණි ජනයාගේ පරිකල්පනයට එමඟින් විශාල බලපෑමක් එල්ල විය.

විරෝධතා ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම සඳහා සමාජ මාධ්‍ය වේදිකාව තීරණාත්මක අවකාශයක් ලෙස යොදා ගැනුණු අතර, පාලකයන් සමච්චල් කිරීමේ සිට යුක්තිය සහ ප්‍රතිසංස්කරණ සඳහා හඬ නැඟීම දක්වා ලොව පුරා විරෝධතාවල සාරය ඩිජිටල් කලා කෘති, මේම්ස් නිර්මාණය විය.

විරෝධතාකරුවන් සහ කලාකරුවන් ග්‍රැෆික් නිර්මාණය භාවිත කරමින් දෘශ්‍යමය වශයෙන් බලගතු රූප සහ තොරතුරු ග්‍රැෆික් නිර්මාණ භාවිතා කළ අතර එමඟින් ගෝලීය ප්‍රේක්ෂක ප්‍රජාව වෙත තම පණිවිඩ රැගෙන ගියේය. එමඟින් ව්‍යාපාරයට ආධාර අනුබල ලැබුණු අතර එහි රැඳීසිටීමේ හැකියාව වර්ධනය විය.

විරෝධතා ස්ථානවල විවිධ ආකාරයේ ස්ථාපන කලාවන් නිර්මාණය කරන ලද අතර, බොහෝ විට කොඩි, ඇඳුම් පැලඳුම් සහ එදිනෙදා වස්තූන් වැනි ද්‍රව්‍ය භාවිත කරමින් සාමූහික අරගලය සංකේතවත් කරන ලදී. මෙම ස්ථාපන බොහෝ විට පරාවර්තනය සහ සහයෝගීතාවට ආරාධනා කළ අතර, ඇතැම් ඒවා මහජනතාව කලාවට දායක වීමට ඉඩ සලසන අන්තර්ක්‍රියාකාරී අංග ඇතුළත් විය.

විරෝධතාවලින් එක් සංකේතාත්මක රූපයක් වූයේ ගෝඨා ගෝ ගම දොරටුවේ තබා ඇති කුකුළෙකුගේ ප්‍රතිමාවක් වන අතර එය විරෝධය සහ ඔරොත්තු දීමේ හැකියාව සංකේතවත් කරයි. ජනතාවගේ බලාපොරොත්තු සහ අභිලාස නියෝජනය කරන අනෙකුත් මූර්ති සහ සංකේතාත්මක වස්තූන් ද ඉදිකරන ලදී.

තනි වෙනස්කම් ඉක්මවා යා හැකි පොදු සංකේතාත්මක භාෂාවක් ලබා දීමෙන් විවිධ ජන කණ්ඩායම් එක්සත් කිරීමට කලාව භාවිතයට හැකි විය. දෘශ්‍ය, සංගීතය සහ රංගනය සාමූහික අනන්‍යතාවයක් සහ අරමුණක් පිළිබඳ හැඟීමක් ඇති කළේය.

විවේචනය සහ ප්‍රතිරෝධය: කලාව දේශපාලන සංස්ථාපිතය පිළිබඳ ප්‍රබල විවේචනයක් ගෙන ආවේය. රජය කෙරෙහි ඔවුන්ගේ කලකිරීම ප්‍රකාශ කිරීමට සහ වගවීම ඉල්ලා සිටීමට විරෝධතාකරුවන් එය භාවිත කළ අතර, බොහෝ විට දූෂණය, ආර්ථික වැරදි කළමනාකරණය සහ අසමානතාවය වැනි ගැටලු මෙහිදී ඉස්මතු කළේය.

කලාව චිත්තවේග මුදා හැරීමට සහ සුව කිරීමට අවකාශයක් නිර්මාණය කිරීමට උපකාරී වූ අතර, මෙම අර්බුදකාරී කාල පරිච්ඡේදයේදී බොහෝ දෙනෙකුට දැනුණු කෝපය, කලකිරීම සහ ශෝකය සඳහා විරේකයක් ලබා දුන්නේය. විරෝධතා කලාවට බලවත් හැඟීම් ඇති කිරීමට සහ විරෝධතාකරුවන් අතර සහයෝගීතාවයේ හැඟීමක් ගොඩනැගීමට එමඟින් හැකියාව ලැබුණි.

2022 ශ්‍රී ලාංකික අරගලයේදී කලාව භාවිත කිරීම, සංස්කෘතිය සහ නිර්මාණශීලිත්වය දේශපාලන ව්‍යාපාරවල කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කළ හැකි ආකාරය, පණිවිඩ පතුරුවා හැරීමට, ජනතාව එක්සත් කිරීමට සහ පීඩාකාරී පද්ධතිවලට එරෙහි වීමට උපකාරී වන ආකාරය නිරූපණය කළේය.

 

 

ඡායාරූප – ශාන් රඹුක්වැල්ල

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division