මෙරට ඉතිහාසයේ විශාල වශයෙන් ජනයා පීඩාවට පත් කළ වසංගත රෝග තත්ත්වයක් ලෙස මැලේරියාව හඳුන්වාදිය හැකිය. 1934 -35 වර්ෂවලදී මෙරට පුද්ගලන් 80,000ක් – 90,000ක් වැනි ප්‍රමාණයක් මීට ගොදුරු වී මහත් පීඩාවට පත්ව මියයෑමට ලක් වූහ. එකල උපත් අනුපාතිකයට වඩා මරණ අනුපාතිකය ඉහළ අගයක් දැක්විණි. එනයින් ලංකා ඉතිහාසයේ වාර්තාගත දරුණුතම‚ මාරාන්තිකම වසංගත තත්ත්වය ඒ වර්ෂවලදී උදා වූයේ මැලේරියාව හේතුවෙනි.
ක්‍රමයෙන් මදුරු මර්දන රසායන ද්‍රව්‍ය භාවිතයෙන් මැලේරියා තත්ත්වය පාලනය කර ගත හැකි විය. මේ රෝගී තත්ත්වය 1963 වර්ෂය වන විට තුරන් කරන ලද මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබුණද මේ පිළිබඳ අවධානය යොමු නොකිරීම මත නැවත හිස එසවීය. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන අංශවල අසීමිත කැප වීම සහ උනන්දුව අනුව 2012 වර්ෂය වන විට රට තුළ එකදු රෝගියකුවත් වාර්තා නොවන මට්ටමකට ශ්‍රී ලංකාව ගෙන ඒමට හැකියාව ලැබිණි.
ඒ අනුව අවසන් වරට රට තුළ රෝගියකු වාර්තා වන්නේ 2012 වර්ෂයේ වන අතර අවසාන මරණය වාර්තා වන්නේ 2007 වර්ෂයේදීය. ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කිරීමට ලක් වන්නේ 2016 වර්ෂයේදීය. ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 38ක් මැලේරියාවෙන් තොර බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කර ඇත.
මේ අතර, මෑත කාලීනව – එනම්: 2023 වර්ෂයේදී පිටරට සිට මෙරටට පැමිණි 62ක්ද 2024 වර්ෂයේදී 38ක්ද 2025 වර්ෂයේදී 14ක්ද වශයෙන් මැලේරියා ආසාදිතයන් හඳුනාගෙන ඇත.
අපේ රට මැලේරියා පරපෝෂිතයා තුරන් කළද වාහක මදුරුවා මෙරට බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන අතර, ප්‍රධාන වශයෙන්ම වියළි කලාපය නම් කළ හැකිය.
එවැනි ප්‍රදේශවලින් මැලේරියා ආසාදිතයන් ඉහළ යෑමකට ලක් වුවහොත් නැවත වතාවක් රට තුළ මැලේරියා වසංගත තත්ත්වයක් දක්වා පැතිරීමට පුළුවන.
මැලේරියාව යනු පරපෝෂිත මදුරුවන් විසින් ඇති කරන මාරාන්තික රෝගයක් වන අතර ආසාදිත ගැහැනු ඇනොෆිලස් මදුරුවන් දෂ්ට කිරීමෙන් මිනිසාට එය සම්ප්‍රේෂණය වේ.
ළදරුවන්, වයස අවුරුදු 5ට අඩු දරුවන්, ගර්භිණී කාන්තාවන් සහ එච්.අයි.වී. (ඒඩ්ස්) ආසාදිත රෝගීන්, ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන්, සංචාරකයන් මේ වයිරසය වැලඳීමේ අවදානමට ලක්ව ඇත.
රෝග ලක්ෂණ
සාමාන්‍යයෙන් මෙහි රෝග ලක්ෂණ ප්‍රකට වන්නේ මදුරුවන් දෂ්ට කිරීමෙන් දින 10කට -15කට පසුවය. එහිදී, තද උණ, හිසරදය සහ සෙම්ප්‍රතිශ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුතා, හෘදය ස්පන්දනය ඉහළ යෑම, ඇඟ සීතල වීම, ඔක්කාරය, වමනය, පාචනය, ඇඟපත වේදනාව රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැකිය. දරුණු අවස්ථාවලදී එය කෝමා තත්ත්වකයට හෝ නැතිනම් මරණය පවා සිදු විය හැකිය.
පාලනය කිරීම
කෘමි විකර්ෂක ද්‍රව්‍ය භාවිත කර මදුරුවන් දෂ්ට කිරීම අවම කර ගත හැකි අතර, කෘමිනාශක ඉසීම හා මදුරුවන් බිත්තර දමන ජලය එකතු වන තැන් ඉවත් කිරීම මඟින් මදුරුවන් බෝ වීම අවම කර ගත හැකිය.
විදේශිකයන්ගේ සහ විදේශවල සංචාරය කර නැවත එන ශ්‍රී ලාංකිකයන් මඟින් එය පැමිණෙන අවස්ථාවන්හිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීම මත මැලේරීයා රෝගීන් නිසියාකාරව හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන අතර, මේ රෝගීන්ට නිසි ප්‍රතිකාර දෙමින් රෝගය වළක්වාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරේ. එහිදී විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී මැලේරියා මර්දන ඒකකයක් ස්ථාපිත කර ඇති අතර, මගීන්ට ස්ව කැමැත්ත මත අවශ්‍ය නම් මේ ඒකකයට ගොස් ඒ සම්බන්ධ පරීක්ෂණයක් සිදු කර ගැනීමේ හැකියාව ඇත.
සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව මැලේරියා රෝගි තත්ත්වය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් හෝටල් ක්ෂේත්‍රයේ හෝ එවැනි රැකියාවක නියැළී සිටින අය ලංකාවට පැමිණෙන්නේ නම් ලංකාවද එම රෝගය ව්‍යාප්ත වීමේ අවදානමට ලක් වෙයි.
එබැවින් යම් අයෙක් විදේශ රටකට ගොස් මෙරටට පැමිණ සිටියදී රෝග ලක්ෂණ ඉස්මතු නොවූවද මාස හයකට වතාවක් හෝ වෛද්‍ය සායනයකට යොමු වන්නේ නම් රෝගි තත්ත්වය ඇති වීමේ අවදානම පාලනය කර ගත හැකිය.
මැලේරියාව පැතිරී ඇති ප්‍රදේශයකට යෑමට ඔබ සැලසුම් කරන්නේ නම්…
ඕනෑම පුද්ගලයකු සංචාර, වන්දනා, ව්‍යාපාර කටයුතු හෝ වෙන යම් අවශ්‍යතාවක් හේතුවෙන් විදේශගත වන්නේ නම් විදේශ ගමන සම්බන්ධයෙන් තම ප්‍රදේශයට අයත් මැලේරියා මර්දන ඒකකයේ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කිරීමෙන් මේ රෝගය ඇති වීමේ අවදානම තවදුරටත් පාලනය කර ගත හැකිය.
අදාළ නිලධාරීන් විසින් එම අදාළ විදේස් රටෙහි මැලේරියා රෝගී තත්ත්වයෙන් වැළකී සිටීමට අවශ්‍ය කරුණු පැහැදිලි කර දෙන බැවින් මේ තත්ත්වයට ගොදුරු වීමේ අවදානමෙන් ඉවත් වීමට හැකියාව ලැබේ.
ඕනෑම අයෙක් විදෙස් ගමනින් අනතුරුව තමාට උණ, හිසරදය හෝ වමනය වැනි රෝගි තත්වක් පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමෙන්ද රෝගය ඇති වීම වළක්වාගත හැකිය.
මැලේරියාව රුධිරය ආශ්‍රිත රෝගයක් වන බැවින් රෝගය සඳහා නිසි ප්‍රතිකාර නොගන්නේ නම් පුද්ගලයාගේ සියලු රුධිර සෛල විනාශ වීමේ අවදානමට ලක්වේ. එහිදී රුධිර පට්ටිකා අඩු වීම, රක්තහීනතාව, අක්මාව ඉදිමුම වැනි තත්ත්ව සොයාගත හැකිය.
මැලේරියා රෝගය හඳුනා ගැනීමෙන් පැය දෙකක් ඇතුළත රෝගියාට අවශ්‍ය ප්‍රථම ඖෂධය හෙවත් මාත්‍රාව ලබාදීම සිදු කරයි.
මේ රෝගයට ගොදුරු වූ පුද්ගලයා ප්‍රතිකාර අවසන් කර රෝහලෙන් පිටව ගියද අවුරුද්දක් පමණ යන තෙක් සතිපතා මැලේරියා පරපෝෂිතයා රෝගියාගේ ශරීරයේ තවදුරටත් නිදන්ගතව ඉන්නේ දැයි පරීක්ෂා කර බැලීමේ ක්‍රියාපටිපාටියක්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීම මත මැලේරියා මර්දන ඒකක මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.