දියවැඩියාව යනු අපගේ ශරීරයේ බොහෝ ඉන්ද්‍රිය, අවයව දුර්වල කරන රෝගි තත්ත්වයකි. දියවැඩියාවේ බලපෑමට ලක් වන ඉන්ද්‍රියයන් අතර වකුගඩු, අක්මාව, මොළය, හෘදය ප්‍රධානය. මේ අතුරින් දියවැඩියාව නිසා සංකුලතා ගණනාවක්ම පෙන්නුම් කරන ශරීර ඉන්ද්‍රියයකි. හෘදයවස්තුව. දියවැඩියාවත් හෘදය ආශ්‍රිත රෝගත් අතර ඉතා සමීප සම්බන්ධතාවක් ඇත්තේ ඒ නිසාය.

දියවැඩියාව සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත බුළුගහපිටිය
දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට හෘදයාබාධ මෙන්ම හෘදය ආශ්‍රිත වෙනත් රෝගි තත්ත්වයන් ඇති වීමේ හැකියාව දියවැඩියාවෙන් නොපෙළෙන රෝගියකුට වඩා තුන්හතර ගුණයකින් වැඩිය. එසේම දියවැඩියා රෝගියකුට හෘදයාබාධයක් ඇති වුව හොත් එම හෘදයාබාධය නිසා ඇති වන සංකූලතා දියවැඩියාවෙන් නොපෙළෙන රෝගියකුට වඩා ඉතා ඉහළ අගයක් ගනී. හෘදයාබාධ සහ දියවැඩියාව අතර ඇති සම්බන්ධතාව පිළිබඳ කරන ලද පර්යේෂණ මඟින් අනාවරණය වි ඇත්තේ දියවැඩියාවට ගොදුරු වූ පුද්ගලයන් වැඩි වශයෙන්ම මිය යන්නේ හෘදයාබාධ නිසා බවයි. දියවැඩියාව හෘදයාබාධවලට අතවැනීමක් වන්නේ එබැවිනි. එබැවින් දියවැඩියාවට ගොදුරු වී සිටින පුද්ගලයන් තමන්ගේ හෘදය ආශ්‍රිතව ඇති රෝගාබාධ පිළිබඳ වඩාත් අවධානයකින් සිටීම ඉතාම වැදගත්ය.
දියවැඩියාව හෘදයට බලපෑම් කරන හැටි
දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වීම නිසා කාලයක් තිස්සේ හෘදයට සම්බන්ධ ධමනිවල යම් යම් වෙනස්වීම් ඇති වේ. මෙම වෙනස්වීම් හෘදයාබාධයක් දක්වා වර්ධනය වීමේ හැකියාව ඇත. දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට ඇත්තේ එම රෝගය පමණක්ම නොවේ. ඔවුහු අධික රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් මේදය අධික වීම වැනි රෝගි තත්ත්වයන්ගෙන් පෙළෙනු බොහෝ විට දැකගත හැකිය. ඊට අමතරව දියවැඩියා රෝගීන් බොහෝවිට ස්ථුලය; තරබාරුය. මෙවැනි කරුණු හෘදයාබාධයන්ට අතවනන සාධකයන්ය. ඉහත ලක්ෂණ ඇති රෝගීන් දුම්පානයට ඇබ්බැහි වී සිටින්නේ නම්, ඔවුනට හෘදයාබාධ ඇති වීමේ ප්‍රවණතාව ඉතා ඉහළය.
හෘදයාබාධවලට අමතරව දියවැඩියා රෝගීන්ට හෘදයේ ක්‍රියාකාරිත්වය පිළිබඳවද ගැටලු ඇතිවේ. ඉන් ප්‍රධාන ගැටලුවක් වන්නේ හෘදයෙන් රුධිරය පොම්ප කිරීමේ ගැටලු (Heart failure) ඇති වීමය. මීට අමතරව පාදවලට රුධිරය සැපයීම අඩු වීම නිසා විවිධ සංකුලතා ඇති විය හැකිය. මෙහිදී සුළු සීරීමකින් පවා පාදවල තුවාල ඇති වීම, එම තුවාල ලෙහෙසියෙන් සුව නොවීම පාදවල සංවේදිතාව නැති වීම වැනි තත්ත්වයන් මතු වීමේ හැකියාව ඇත. මෙසේ වන්නේ දියවැඩියාවේ සංකුලතා හැටියට පාදවල රුධිර කේශ නාළිකා අවහිර වීම නිසාය. මෙහි අවසන් ප්‍රතිඵලය පාදය අහිමි වීම වුවද විය හැකිය. මීට අමතරව දියවැඩියා රෝගීන්ට රුධිර කේශනාළිකා ආශ්‍රිතව රෝග වැලඳීමේ හැකියාවක්ද ඇත.
දියවැඩියා රෝගීන් අතර මොළයට රුධිරය සැපයීම අවහිර වීමේ රෝගයට (stroke – ආඝාතය) ගොදුරු වීමේ ප්‍රවණතාව ඉතා ඉහළය. එය සාමාන්‍ය පුද්ගලයකුට වඩා තුන්හතර ගුණයකින් වැඩිය. එසේම එහිදී ඇතිවන සංකුලතාද ඉතා බරපතළය. මේ තොරතුරු අනුව පැහැදිලි වන්නේ දියවැඩියාව වැලඳුණු රෝගීන්ට හෘදයාබාධ සහ ආඝාත තත්ත්ව ඇති වීමේ හැකියාව ඉතා ඉහළ බවයි.
බොහෝදෙනකු තමා දියවැඩියා රෝගයට ගොදුරුවී ඇති බව දන්නේ නැත. ඒ, දියවැඩියා රෝගයේ මුල් අවස්ථාවේදී බරපතළ මට්ටමේ රෝග ලක්ෂණ නොපෙන්වන නිසාය. ඇතැම් රෝගීන් තමාට දියවැඩියාව ඇති බව හඳුනා ගන්නේ හදිසියේම හෘදයාබාධයක් හෝ ආඝාත තත්ත්වයක් ඇති වී, ප්‍රතිකාර ගැනීමට රෝහල්ගත කළ පසුවය; එසේ නැති නම් ශරීරයේ කොලෙස්ටරෝල් මේදය අධික වීමෙන් අධිරුධිර පීඩනය ඇති වී ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවකදීය.
හෘදයට සම්බන්ධ තරමක් විශාල රුධිර නාළවල අවහිරතාවක් ඇති වූ විට ‘බයිපාස්’ සැත්කමක් මඟින් හෝ ‘ස්ටෙන්ට්’ දැමීමෙන් ඒ අවහිරතාව ඉවත් කර සුවයක් අත් කරගත හැකිය. දියවැඩියාව නිසා බොහෝවිට අවහිර වන්නේ කුඩා රුධිර නාළයන්ය. ඒවා අවහිර වූ විට සැත්කම් කළ නොහැකිය; ‘ස්ටෙන්ට්’ දැමිය නොහැකිය. එනිසා ඔවුන්ගේ ජීවිත අවදානමේය.
දියවැඩියා රෝගීන් හෘදය ආරක්ෂා කර ගත යුත්තේ කෙසේද?
දියවැඩියාවට ගොදුරු වූ බොහෝ රෝගීන් මිය යන්නේ හෘදයාබාධ නිසා බව හෙළි වී ඇත. එය 55 – 60% අගයකි. එබැවින් දියවැඩියාවට ගොදුරු වී ඇති පුද්ගලයන් තම හදවත ආරක්ෂා කර ගැනීමට සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතුය. ඒ සඳහා ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ හොඳින් දියවැඩියාව පාලනය කර ගැනීමය.
මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් ඇත. ඒ, දියවැඩියාවට ගොදුරු වීමෙන් පසුව පළමු අවුරුදු පහ තුළ එය ඉතා හොඳින් පානය කර ගත යුතු බවය. නවතම පර්යේෂණ මඟින් හෙළි වී ඇති කරුණක් වන්නේ දියවැඩියාවට ගොදුරු වූ පළමු අවුරුදු පහ, දහය තුළ එය හොඳින් පාලනය කරගැනීමෙන් දියවැඩියාව හේතුවෙන් හෘදයාබාධ ඇති වීමේ හැකියාව අවම කර ගත හැකි බවය.
දියවැඩියා රෝගියකුට හෘදයාබාධයක් ඇති වන විට පෙන්නුම් කරන ලක්ෂණ කීපයක් ඇත.
* අඩු වයසකදී හෘදයාබාධය ඇති වීම
* දියවැඩියාව නැති රෝගියකුට වඩා බලවත් සහ දරුණු ලෙස හෘදයාබාධය ඇති වීම
* ඇති වන හෘදයාබාධයෙන් මරණයට පත් වීමේ හැකියාව වැඩි වීම ඒ ලක්ෂණ කීපයයි. තමන්ට සුළු වශයෙන් හෝ දියවැඩියාව ඇතැයි දැනගත් පසුව බොහෝ දෙනෙක් “මට දරුණුවට දියවැඩියාව නෑ. ඒ නිසා මම ඒ ගැන වැඩියෙන් හිතන්න ඕන නෑ” යනුවෙන් සිතා, සුපුරුදු ජීවන රටාවම අනුගමනය කරති. මාස තුනක රුධිරයේ සීනි ප්‍රමාණය මැන බැලීමේ පරීක්ෂාවේදී (HbAic) එහි ප්‍රතිඵලය 6.5ක අගයක මුල පටන්ම තබා ගන්නේ නම් හෘදයාබාධ ඇති වීමේ හැකියාව අවම කරගත හැකිය.
සියලු දියවැඩියා රෝගීන් වෛද්‍යවරයා විසින් තමන්ට නිර්දේශ කර ඇති ‘මෙට්ෆෝමින්’ වැනි ගිලින ඖෂධ හෝ ශරීරයට විදගන්නා ‘ඉන්සියුලින්’ නිවැරදි මාත්‍රාවෙන් නියමිත වේලාවට ගැනීම අත්‍යවශ්‍ය වේ. බොහෝදෙනකු සිතන්නේ තමන් ඖෂධ ලබාගන්නා නිසා තමාට ඕනෑම දෙයක් ආහාරයට ගැනීම අගුණයක් නොවන බවයි. මේ මතය වැරදිය. දියවැඩියා රෝගීන් තම ජීවිත කාලය පුරා ආහාර පාලනයකින් යුතුව ගැනීම අත්‍යවශ්‍ය වේ. සීනි, කැලරි, තෙල් අධික ආහාර දියවැඩියා රෝගීන්ට සුදුසු නැත. එසේම දියවැඩියාවට ගොදුරු වූවන් ක්‍රියාශීලි ජීවිතයක් ගත කළ යුතුය.
සතියකට දින 5ක් වත් දිනකට පැය භාගය බැගින් ශරීරය වෙහෙසවන ශාරීරික ව්‍යායාම්වල යෙදීම අත්‍යවශ්‍ය වේ. ඊට අමතරව වෙනත් රෝග ඇත් නම්, ඒ සඳහා ගනු ලබන ඖෂධ නිතිපතා නිවැරදිව ගැනීම වැදගත්ය. රුධිරයේ කොලෙස්ටරෝල් මේදය මට්ටම ඉහළ නම් ඒ සඳහා වෛද්‍යවරයා නිර්දේශ කරන Atorvastatin ඖෂධය හෝ ඒ හා සමාන ඖෂධයක් ලබාගෙන කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගැනීම අත්‍යාවශ්‍ය වේ.
බොහෝවිට වයස අවුරුදු 50 ඉක්මවූ දියවැඩියා රෝගීන්ට ‘ඇස්ප්‍රින්’ මිලි ග්‍රෑම් 75ක මාත්‍රාවක් දිනපතා ගැනීමට වෛද්‍යවරු නිර්දේශ කරති. එමඟින්ද හෘදයාබාධ ඇති වීමේ හැකියාව අවම කර ගත හැකිය.
ඉහත දැක්වූ රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කිරීමේ ඖෂධය සහ ‘ඇස්පිරින්’ ඖෂධය තරුණ වියේ පසු වන දියවැඩියා රෝගීන්ටද වෛද්‍යවරු නිර්දේශ කරති. ඒවා හෘදයාබාධ වැළැක්වීමට උදවු වන ඖෂධ නිසා නිතිපතා ගැනීම අවශ්‍යම වේ.
කිසියම් දියවැඩියා රෝගියකුගේ රුධිර පීඩනය 140/90 mmHgට වඩා වැඩි නම් වෛද්‍යවරයා රුධිර පීඩනය අඩු කිරීමට ඖෂධ දෙනු ඇත. මේ ඖෂධ නියමිත වේලාවට ලබාගැනීම හෘදයාබාධයකින් ජීවිතය බේරා ගැනීමට ඉතා උපකාර වේ. ඒ, දියවැඩියා රෝගීන් හෘදයාබාධවලට ගොදුරු වීමට බලපාන ප්‍රධානතම සාධකය වන්නේ රුධිර පීඩනය වැඩි වීම නිසාය. එබැවින් දියවැඩියාවට ගොදුරු වූවන් තම රුධිර පීඩනය අඩු මට්ටමක පවත්වා ගැනීම අවශ්‍යම වේ.
දැනටමත් දියවැඩියාවට ගොදුරු වූ අයකු අධික තරබාරු නම්, ස්ථුල නම්, ඒ පුද්ගලයා හෘදයාබාධයකට ලක් වීමේ හැකියාව ඉතා ඉහළය. දියවැඩියා රෝගීන් තම උසට සරිලන බරක් පවත්වාගත යුතු වන්නේ එබැවිනි. මෙහිදී තම ශරීරයේ බර 5%කින් හෝ අඩු කර ගැනීම, බර වැඩි වීම වළක්වා ගැනීමද ඉතා වැදගත් වේ. මේ සඳහා ගත හැකි හොඳම පියවර වන්නේ දිනකට පැය 1/2ක් ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම වැනි ව්‍යායාමයක යෙදීමය.
දියවැඩියාව නිසා ඇති වන හෘදය සහ රුධිර නාළ ආශ්‍රිත ආබාධවලට පිළියම දියවැඩියාව පාලනය කර ගැනීම පමණක් නොවේ. ඒ සඳහා රුධිරගත කොලෙස්ටරෝල් මේදය පාලනය කිරීම, සමබල ආහාර වේලක් ගැනීම, උසට සරිලන ශරීර බර පවත්වාගැනීම අවශ්‍යම වේ.