පළාත් පාලන මැතිවරණය තවත් දින දෙකකින් පැවැත්වේ. මැයි 6 වැනිදා පැවැත්වෙන මේ පුංචි ඡන්දය කන්දක් විලි ලා අසීරුවෙන් දිනා ගත් එකකි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ මැතිවරණය පැවැත්වීම වැළැක්වීම සඳහා දහසකුත් එකක් උපරවැට්ටි යෙදුවේ ය. ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමේ කිසිදු වුවමනාවක් එදා වික්ෂයේ සෙසු පක්ෂවලට ද තිබුණේ නැත.
එනයින් තවත් දින දෙකකින් පැවැත්වෙන්නේ අප රටේ ප්රජාතන්ත්රවාදය සහතික කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහ ජනතාවට හිමි කර දෙනු ලැබූ පළාත් පාලන මැතිවරණයයි.
1931 සර්වජන ඡන්ද බලය ලැබුණු තැන් පටන් ඡන්දය පාවිච්චි කිරීමේ පළපුරුද්ද අපට තිබේ. කතිරයෙන් ආණ්ඩු පෙරළා අලුත් ආණ්ඩු බලයට ගෙන ඒමට අපට වඩා හපන්නු ලොවෙත් නැත. එහෙත් 1948 සිට 2024 දක්වා වසර 76ක් වැඩවසම් ප්‍රභූ පෙළැන්තිය අතේ පැවති රාජ්‍ය බලය සාමාන්‍ය ජනතාව අතට මාරු කරන්නට මෙරට ඡන්ද දායකයන්ට නොහැකි විය. 2024 දී මුළු රටම යෝධ මිටකට සමඟි කරවන්නට සමත් වූ ජාතික ජන බලවේගය ඒ ඓතිහාසික අවස්ථාව උදා කර ගත්තේය.
සර්වජන ඡන්ද බලය ප්‍රකාශ කිරීම පිළිබඳව 1931දී රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී ‘සිංහල ජාතිය’ පත්‍රයේ කර්තෘ පියදාස සිරිසේන මහතා ඉතා වැදගත් කතුවැකියක් ලියා තිබේ. ‘අභිනව කාලපරිච්ඡේදයක ආරම්භය’ යනුවෙන් නම් කෙරුණු ඒ කර්තෘ වාක්‍යය අදටද වලංගුය. නැවත නැවතත් හිතන්න කරුණු රැසක් එහි තිබේ.
“ඔබ ජීවත් වන ගමේ ඡන්දය පාවිච්චි කිරීමේදී ආවාට ගියාට, තමන්ගේ කමට, කේන්තියට, පලි ගැනීමට, ලාභයට, මිත්‍රකමට, කුල ගෝත්‍ර ගැන සලකා, කල් ඇතුව පොරොන්දු වූ නිසා හෝ තවත් කෙනකු පරද්දන්න ඕනෑ නිසා ආදි පටු අරමුණු මත වැරදි ආකල්ප ඇති කරගෙන ඡන්දය දුන්නොත් රටට වන්නේ අගතියකි.
“ඒ නිසා සතර අගතියෙන් තොර නුවණින් කල්පනා කොට, විශාරද ඉගෙනීමක් ඇති, පොදු වැඩ කර පුරුද්දක් ඇති, වුවමනා කරන විවාදයක් එවේලේ ම එතැනදී ම කළ හැකි, නිර්භීත, අනුන් වෙනුවෙන් වැඩ කිරීමට කැමැත්ත ඇති, ශරීර ශක්තිය හා ඥාන ශක්තිය ඇති, ගෞරවාදරය ලැබීමට හේතු සම්පන්න මහතුන් තෝරා පත් කර ගැනීමට කතිරය ගැසිය යුතු ය.
“නිරායාසයෙන් ලැබෙන සාධාරණ ගෞරවයකට මිස, බලහත්කාරයෙන් නම්බු ලැබීමට වීරිය කරන, කුහක නීචයන්ගෙන් එකකු මන්ත්‍රණ සභාවකට යැවුවොත් අල්මාරියක මීයකු ලා ගත්තාක් මෙන් මහත් කරදර ඇති වන බව සිතට ගත යුතුය. ආණ්ඩුවේ මෙහෙ කොට පැන්ෂන් පඩි ලබමින් අහකට වී ඉන්නා මහලු මහතුන් මන්ත්‍රණ සභාවට යැවීමේදී අවශ්‍යයෙන් ම පරිස්සම් විය යුතු ය.
“වෙන තැනක පඩි ලබමින් මන්ත්‍රණ සභාවේත් වැඩ කරන්නට දඟලන උදවියට ද ඉඩ නොදිය යුතු ය. අධම මිනිසුන් එකකු හෝ මන්ත්‍රණ සභාවට යැවුවොත් කිරි කළයක් දොවා ගොම කලඳක් දැම්මා සේ මුළු සභාව ම දූෂණය වේ.
“රටවැසියා අප දැක්වූ කරුණු නොසලකා අයුතු මාර්ගයේ ගියොත්, අපේ රටට සිදු වන්නේ කබලෙන් ළිපට වැටුණා හා සමාන අවැඩකි.”
මැයි 6 වැනිදා ඡන්ද පොළට යන ඔබට අද අපට කියන්න තිබෙන්නේ ද වසර 89කට පෙර පියදාස සිරිසේන මහතා කියූ කතාව ම ය:
මීයන්ට අල්මාරියේ දොර ඇර දෙන්න එපා!