කිඩාරම් මලේ
මනිපත්වලින් රැක ගෙන ඇතුළත අගය
යහගුණ දහම් වඩවන නොමැතිව හිඟය
එම්බා කිඩාරම් මල! ළඳුනගෙ සගය
පවසයි සොබාදම ඇති පියකරු වගය
ඉඳුසැව් වෙතින් උදුරා දම් පැහැය හොරා
තවරා ගතෙහි උනවන ලෙස සිතට නුරා
නුසුවඳ තවරමින් කෙමියෙහි පතුල පුරා
ඔබ මැවුවේය මහබඹු නෙත පිනන යුරා
සුවඳෙහි පසමිතුරු බව විසිරුණද ගතේ
පැහැබර නයනකලු බව පෙති අතර එතේ
පැහැයෙන් හැඩෙන් බැඳලන හැම දෙනගෙ නෙතේ
එය වෙයි සොබාදම ගෙන දුන් වරම සිතේ
කේ.බී. රත්නායක
———————-
සතර ඇත්ත
දුක ඇති බව පිළිගනිමු
හේතුව ඇති බව සිහි කරමු
නැති කළ හැකි බව දැන ගනිමු
අරි අට මඟ පියනඟමු
ඇසින් දකින දෙය එය නොම වන්නේ
කනට ඇසෙන දෙය එලෙස නොවන්නේ
දිවට දැනෙන රස එය නොම වන්නේ
ගඳ සුවඳද එලෙසම නොම වන්නේ
ලොවේ සියලු දෙය අනිසය වන්නේ
මනස මවා පා අප රවටන්නේ
පංචස්කන්ධය මමයි සිතන්නේ
එහි ඇල්මෙනි දුක හට ගන්නේ
තිලක් මුණසිංහ
—————
ඈ එයිද…
ඉර අදත් පායයිද
පැතුම් මගේ ඉටු වෙයිද
සිහින බොඳ වී යයිද
එයා අද වත් එයිද
රොන් තිබේ ඉතිරෙන්න
බැහැ නොදී පරවෙන්න
ළඟට විත් අරගන්න
ආදරේ මට දෙන්න
එපා නොබලම යන්න
මගෙ ළඟට එන්න
සිහින මල් පුබුදන්න
මොහොතකට ළං වෙන්න
පියසෝම රුද්‍රිගු
—————–
මුතු පැතුම
ඇට්ටේරියා මල් සුවඳ
ගලා එයි ගේ ඇතුළතට
ඔය සෙනේ සුවඳ වාගෙම
හිත මන්මත් කරවයි මාගේ
තුරුණු ළය තුළ රැඳුණු
එදවස වාගෙයි අදත්
මඟ හැර යනු කෙලෙස
ඔය සෙනේවන්තකම
මම රැජනකි ලෝකය දිනු
දරු මුනුපුරන් එකට සිටින
ඒ ලොවෙහි රජුය ඔබ
හැමගෙම ආදරය දිනු
යුග දිවිය අරුත් ගැන්වූ
මේ අපගෙ ස්නේහය
මතු භවයටත් ගෙන යමු
එයයි අපගේ පැතුම විය යුතු
කමලා ධර්මලතා ජයසූරිය
———–
වියපත් බව
මහලු වයස පැමිණ ඇතේ
වෙර වීරිය නැතිය ගතේ
දුක් දොම්නස් නිසා හිතේ
කඳුළු පිරී ඇත දෙනෙෙත්
අත මිට සරු කාලේ
නෑ මිතුරන් ඉහළ පෙළේ
ඇවිදින් මෙහි පෑ ලීලේ
සිහි වෙනවා දැනුත් මලේ
කාසි වාසි තියෙන දාට
නැති නෑයොත් ඒවි ළඟට
ඒ සියල්ල නැති වූ දාට
තම අතමය තමන් හිසට
ටී.ඩබ්ලිව්.ඒ. කමලාවතී
————-
බුදු රූ සෙවණැල්ල
සලපතළ මළුව මත
වැටී ඇති බුදු රුවෙහි
සෙවණැල්ල
පෑගෙතැයි බිය දැනී
මළුව වට දුරින්
පියවර නඟමි
තවත් උඩුබිරුම් බැරි
මහලු වී ගත වැහැරි
සුනඛයෙක්
බුදු සෙවණ යට
නිඳයි වකගැසී
මමද ඒ බුදු
සිසිල විඳගනිමි
පතුල් බිම නොගැටෙනුව
පසඟ බිම
හොවාගෙන බෝ බැතින්
වැහිගල ප්‍රේමචන්ද්‍ර
————
උත්තමපුරුෂ
ප්‍රිය සගය,
කෙලෙස සිතන්න ද
ඔබ නැවත නොඑන වග.
ඔබේ හඬ දුරින්මුත්
ළඟ සේ
නැවත නැසෙන වග
මහා වනස්පතීන් යට
කිසිවක් නොවැඩෙද්දි
මහා නුගරුකක් විය
එහි සෙවණේ
කුඩා තුරු වදුළුවලට ද
ඉඩහසර සැලසූ
කිසිවක්මමය, මාගේය,
මට නොවීය.
සැමදේ අපි, අපේ, අපට විය.
කෙසේ සිතම්ද?
පහනක් වී දිදුල කලෙක
දුබල දැල්ල සුළඟේ දැවුණද
ඉඩක් ලද කල දිලෙන්නට
වෙනකෙකුට එළිය දුන්
නොමසුරුව.
ප්‍රිය සගය,
ඔබ නැවත
නොඑන වග
කෙසේ සිතන්න ද.
(හර්ෂණ සසංක රඹුක්වැල්ල මතකය වෙනුවෙනි)
අශන්ති ඒකනායක
———–
ඒ රන් පොට…
රන් පොටකට
රත්තරං පුරුක් එකිනෙක
මාත්තුවට යා කළ හැකි
සංවේදි මාත්‍රාවක
පෑහී ඇත
ඔබ මා හද
ගෙල බැඳි රන් පොටක්ය
අත බැඳි රන් පොටක්ය
ඉණ බැඳී රන් පොටක්ය
නැත,
හිත් බැඳි රන් පොටක්ය
නොපෙනේය අන් අයට
දිදුලාය මා හිතට
පැලඳ ගත් විට
ඒ මහඟු රන් පොට
දොවා කිරිදියෙන් දෙපතුල
තනා ප්‍රේමයේ දෙව්රුව
බහක් දෙන තුරා පසු වෙමි
සුබ නැකැත් සොයා
සංවේදි
මාත්‍රාවෙන් තැනූ
රන් මිණි පොට පලඳවන්න
නුඹේ හිතට
මහින්ද කුමාර දළුපොත
————-
උගන්වමි ඇයට හයිකු
වසත් සැඳෑවේ
අන්න හයිකු හැංගුණා
ඒ නිල්නුවන් පත්ලේ
පාලිත සේනාරත්න
දුම්බර කඳු බඳින්
දුරාවාරේ
වා තලයට
සැඳෑ විහඟකුගේ පිළිරැව්
රංග සිල්වා
නිසල විල්දියේ
ඉඳහිට මත්සයකු
දිය බිඳින හඬ
නලිනි ද සිල්වා
එකම ගංදිය
වරින් වර
සිඹින
හබල
චම්පා පෙරේරා
අතැති පිහාටුව
උදුරන් යන
වසත් සුළඟ
ඇතුගල්පුර චන්ද්‍රිකා
කඳු මුදුන මත
තාපසාරාමයෙත්
වසන්ත චෙරි මල්