සිහිනලන්තය
කර්තෘ – සම්මානී විජේසිංහ
සරසවි ප්රකාශනයකි.
උසස් ළමා සාහිත්‍ය කෘති රැසක් දරු පරපුරට තිළිණ කළ සම්මානී විජේසිංහගේ අලුත්ම කෘතියයි. සිහින සමඟ සොඳුරු ලොවක සැරිසැරීමට අපේ දරුවනට මේ මඟින් ඇය ඉඩ හසර පාදා දෙයි. සොබා දහම ඇගෙන් පණ ලබයි. ඇය සමඟ කතා බහේ යෙදෙයි. ඇගේ ඇඟිලි තුඬගින් ගෙන ඇවිදියි. අළු පැහැ ඇඳුම් ඇඳගත් වලා, ඇහිපිල්ලන් ගැසීමද නතර කොට බටහිරට ගොස් බිම බලාගන්නා හිරු, මුහුණ අඳුරු කරගෙන එන හැන්දෑව, පුංචි හිනාවක් පාමින් වැටෙන වැහි බින්දු, ගිම්හාන විඩා දුරු කරන වැස්ස, පාට හතක් පිරිවරාගත් දේදුන්න, දකිමින්, විඳිමින් ඇය සොබා සමඟ ඒ ගමනේ යෙදෙයි. ඇය ඒ ගමන අරඹන්නේ තමා උපන් ගාල්ලේ ලේන්බාන් වීදියෙනි. වසර සියයකට නොඅඩු වයසින් යුතු ගෙවල් සහිත ඒ වීදිය ගැන කියමින් ඇය ‘සිහිනලන්තය’ අරඹයි.
“මම ජීවත් වුණේ ඉතාම මහලු වීදියක. ඒක පුරා ආලේපන බොඳ වෙලා ගිය වේළුණු වීදියක් බව කාටත් පැහැදිලිව පේන්න තිබුණා. හුස්ම වැටෙන බවක් මට තේරුණේ නැහැ. වීදි කෙළවර රාත්‍රියට නිඳි වරන පහන් කණු බොහොමයක් විඩාපත්ව උන්නා.”
ඒ ඇගේ මනසට පෙනුණු සැබෑ ලෝකයයි. එහෙත් ඇය මනසින් දකින්නේ සොඳුරු ලෝකයකි. ඇය ඒ සොඳුරු ලොවේ කරක්ගසයි.
ඇය උපන් නිවෙස පිහිටි වීදියේ ජනතාව ඇයට යළි සිහි වෙයි.
“මං හිතන්නෙ එයාල හැමෝම වෙහෙසටයි, අධික තෙහෙට්ටුවටයි මහලු වෙච්ච අය. දන්නෙම නැතුව ඉතාමත් ඉක්මනින් ඒ අය මියැදේවි.”
වැඩ කරන වෙහෙසෙන ජනතාවට ඇගේ ඇස යොමු වෙයි. ශ්‍රමය වැගිරුවද එහි ඵල ඔවුන්ට නැත. ශ්‍රම පූජාවෙන්ම ඔවුහු වහල්ලු වූහ. ඇයගේ සිත ඔවුන් පිළිබඳ අනුකම්පාවෙන් පිරෙයි.
ඒ ගමනේදී ඇයට බලු මහත්තුරු, බලු නෝනලා, බලු ළමයි, පූස් නෝනලාද හමු වෙති.
ඇය ‘යන්නේ කොහේ’දැයි බලු මහත්මයාගෙන් අසයි. බස්තමක් තොප්පියක් සහිත බලු මහත්තයා සිහින ලන්තයට යන බව කියයි.
“බලු මහත්තයාගේ හිතේ තිබුණේ උජාරුවත්, අහංකාරකමත් විතරයි. හිනාව අහලකවත් තිබුණේ නැහැ.”
“මහත්තුරු එහෙම නේ…”
ඇය කියයි. සැබෑ ලොවේ මහත්තුරුයැයි කියාගන්නා අය ඇයට සිහි වේ. සිහිනලන්ත ගමනේදී ඇය අලි සහ සමනලුන් අතරටද යයි. ඇය මෙසේ කියයි.
“හැම මලක්ම තාලයකට නැළවෙනවා. පෙති විහිදාගෙන හිනාව සරසනවා. සතුට උතුරනවා. සතුට උතුරනවා කියන්නෙ අපි කවුරුත් ජීවත් වුණා කියන එකයි. මං හිතුවා.” සැබෑ ජීවිතයක් නම් එහි සතුට තිබිය යුතුය. බහු ජනතාවගේ ජීවිතය කෙබඳුද? අයුක්ති සහගත බෙදීම් සහිත සමාජ ක්‍රමය නිසා ඔවුන්ට සතුටක් නැත. සතුට නැති තැන ජීවත් වීමක් නැත. කතුවරිය අඟවයි. වස්සානය සතුටින්ගත කිරීමට ගිම්හානයේ වහ වහා අහර රැස් කොට තැබීමේ යෙදෙන කූඹියෝ ඇය හමුවට එති. කාලයෙන් උපරිම ඵල නෙළන අයුරු ඔවුහු ඇයට කියති. පෙන්වති. කතුවරිය කූඹි මගින් දරුවනට කදිම පාඩමක් ඉදිරිපත් කරති.
‘සිහිනලන්තය’ හුදු කවියක් මෙනි; බස රසය.
“රාත්‍රියේ නිඳිකිරන පහන් කණු.”
“ඉර ඇහිපිල්ලන් ගැසීම නතර කරන්නේ බටහිර අහසට ගිහිල්ලාමය.”
“තරු මගෙ හිතට එබිකම් කරන්නට පටන් ගත්තා.”
ඒ උදාහරණ කීපයකි. සම්මානිගේ සිහිනලන්තය, සිහිනයක් මෙන් පෙනුණද ඇය සැබෑ ලොවද ඒ තුළින් අපට පෙන්වයි.
සිය කෘතිය ඇය අවසන් කරන්නේ මෙසේය:
“අනේ ඒ සේරම මගේ සිතිවිලි නේ… මේ සේරම මගේ හිත ඇතුළෙන් ගිය සවාරි නේ…”
දෙනගම සිරිවර්ධන
****************
අමුකොටුව කඩේ
කර්තෘ – ජයන්ත ග. ජෝතියරත්න
කර්තෘ ප්රකාශනයකි.
කවියකු, ගීත රචකයකු මෙන්ම ළමා කෘති ගණනාවක්ම ලියූ ලේඛකයකුද වන ජයන්ත ග. ජෝතියරත්නගේ නවතම කෘතිය වන ‘අමුකොටුව කඩේ’ කෙටිකතා සංග්‍රහය පසුගියදා නිකුත් විය. ඔහුගේ මුල්ම කෙටිකතා එකතුව නිකුත් වන්නේ 2020 වසරේදීය. ඒ ‘බෝම්බයක පිපි ප්‍රේමය’ නමිනි. කතුවරයා විසින් විටින් විට ලියන ලද කෙටිකතා දහයක් මේ කෘතියට ඇතුළත් වේ.
****************
පියාඹන සිතුවිලි
කර්තෘ – ජයන්තසිරි දිසානායක
නිර්මාණි ලේඛක පුබුදුව හා සමාජ සංවර්ධනය ප්රකාශනයකි
දකුණු පළාතේ උපත ලැබ, කොළඹ විශ්වවිද්‍යලයෙන් උපාධිය හදාරා රාජ්‍ය සේවයට එක් වූ ජයන්තසිරි දිසානායක විසින් ලියන ලද දෙවැනි කෘතිය ලෙස ‘පියාඹන සිතුවිලි’ හඳුන්වා දිය හැකිය. ඔහු සිය වෘත්තීය ජීවිතය තුළ ලැබූ අත්දැකීම් බොහෝය. ඒ අත්දැකිම් මෙන්ම සිය ජීවන අත්දැකීම්ද එක් කරමින් ලියූ ‘පියාඹන සිතුවිලි’ වෙනස්ම ආරක් ගත් කෘතියකි.
******************
කරන්දෙණිය අහස යට අවුරුදු අසූ හතරක්
කර්තෘ – නෝමන් සිරිපාල
‘පොත්ගුල’ පර්යේෂණ පුස්තකාලයේ ප්රකාශනයකි
ලේඛකයා, දිළිඳු පවුලක පළමුවැනි දරුවා වී ඉපිද, විවිධ දුක්ගැහැට විදිමින් ජීවිතය ජය ගත් අයුරු මේ කෘතියට ඇතුළත් වී ඇත. ඔහු සිය මතකයන් ඇසුරෙන් ලියූ මේ කෘතියට තමා ජීවිතයේ විවිධ තනතුරු දරමින් කළ මෙහෙවර පිළිබඳ, සිය ජීවන අත්දැකීම් ආදි සියල්ලක්ම ඇතුළත් කර ඇත.