Home » පරිවර්තන කාර්යය මට බුද්ධිමය අභ්‍යාසයක්

පරිවර්තන කාර්යය මට බුද්ධිමය අභ්‍යාසයක්

by thanushika
May 3, 2025 12:34 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

ජ්‍යෙෂ්ඨ මාධ්‍ය‍ෙව්දී රෝහණ වෙත්තසිංහ

‘සැනසුම් සුසුමක් හෙළූ ට්‍රැන්ග් අතේ වූ බිලිඳා සීරුවෙන් ඇඳ මත වූ පැදුරේ තැබීය. ඈ හෝආගේ ගුළි කරගත් ඇඟිලි, සිඟිති අත්පා දෙස ආශාවෙන් බලා සිටියාය. කුඩා අත්වල දැනටමත් මදුරුවන් විදි රතු පැල්ලම් දක්නට විය. තරබාරු කකුල් හා පුංචි දෙපා… බිලිඳාගේ මේ හැම කොටසක්ම මෙලොව එළිය දුටුවේ ඇගේ කුස තුළ මෝරා හැදී වැඩීමෙන් පසුවය. කිසිදු අඩුවකින් තොර මිනිස් ප්‍රාණියකු මෙලොවට බිහි කිරීම ආශ්චර්යයකි. මදුරු දෂ්ටනයෙන් මතුව තිබූ රතු තිත්වලට ඈ කටින් පිම්බේ පරෙස්සම මඳකම ගැන තමාටම දොස් නඟා ගනිමිනි.’

ඉහත උද්ධෘතයෙන් හැඟවෙන්නා සේම මාතෘත්වය එබඳු අපරිමිත සංවේදනාවකි; සියලු වේදනා පරයා නැඟෙන සන්තුෂ්ටියකි. දහසක් වගකීම්වලින් බැඳුණු මාතෘත්වයේ බර ගැහැනියකට තනිව දරාගත නොහැකිය. ඒ බර දරාගන්නට බිලිඳාට ජීවය දුන් පියා ඒ ගැහැනිය අසල සිටින්නේ නම් ඒ ඇයගේ හදවතේ උයන්සිරි මැවෙන්නේය. එහෙත් ඒ සොම්නස වෙනුවට ට්‍රෑන්ග් නම් අසරණ ගැහැනිය පියකුගේ උණුහුමත්, රැකවරණයත් පමණක් නොව, ඔහුගේ පෙළපත් නාමයද අහිමි දරුවා ළයට තුරුලු කරගත්තේ දැඩි ශෝකයෙනි. එදා ඇය ඇරඹි ගමනේ කෙළවර කෙසේ නම් වීද? හෝආට පිය සෙනෙහස හමු වේද? ඒ අනුවේදනීය කතාව අපට හමු වන්නේ ප්‍රවීණ පුවත්පත් කලාවේදී රෝහණ වෙත්තසිංහගේ ‘දූවිල්ලෙන් උපන් දරුවෝ’ කෘතියෙනි.

මෙය ඔහුගේ අට වැනි පරිවර්තන කෘතියයි. එහි අන්තර්ගතය පිළිබඳ අපි ඔහුගෙන්ම අසමු:

“දූවිල්ලෙන් උපන් දරුවෝ ලෙස මවිසින් පරිවර්තනය කරනු ලැබූයේ ප්‍රකට ලේඛිකා ‘නුවෙන් පැන් ක්වේ මායි’ විසින් රචිත ‘ඩස්ට් චයිල්ඩ්’ (Dust child) නම් කෘතියයි. වියට්නාම යුද සමය (1955-75) පසුබිම් කරගෙන ලියවී ඇති මේ නවකතාවෙන් එරට ජනතාවගේ ජීවිත උඩුයටිකුරු කළ ප්‍රශ්න රැසක් ගැන කියවෙනවා. විශේෂයෙන්ම අමෙරිකානු සෙබළුන්ට දාව වියට්නාම යුවතියන්ට උපන් ලක්ෂ සංඛ්‍යාත දරුවන් මුහුණ දෙන ඛේදනීය තත්ත්වයන් ගැන මෙමඟින් හෙළි වනවා. සිය සැබෑ මවුපියන් කවුරුන්දැයි සොයාගැනීමට වෙහෙසන දරුවන් මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳ ලෝක සමාජයේම අවධානය යොමු කිරීමට සමත් මේ කෘතිය සත්‍ය අත්දැකීම් ඇසුරෙන් ගොඩනැඟූවක් බව ලේඛිකා නුවෙන් පෑන් ක්වේ පවසනවා.”

මේ කෘතියේ කතානායකයා ෆොන්ග් වන අතර, ඒ චරිතය මඟින් එරට සමාජ ප්‍රශ්නවල සංකීර්ණත්වය නිරූපණය වේ. ෆොන්ග්ගේ චරිතය වටා බැඳුණු සෙසු චරිත සියල්ලද දාමයක් සේ එකට බැඳ තබාගන්නට කතුවරිය ගෙන ඇති උත්සාහය පරිවර්තකයාද ඉතා මැනවින් රැකගෙන ඇත. ඒ සඳහා ඉවහල් වී ඇත්තේ කෘතිය රචනා කිරීමේදී යොදාගෙන ඇති පැරණි කතා කලාව බව පෙනේ.

වසර 30කට අධික වෘත්තීය අත්දැකීමෙන් සහ පළපුරුද්දෙන් පොහොසත් පුවත්පත් කලාවේදී රෝහණ වෙත්තසිංහගේ පළමු පරිවර්තන කෘතිය වන්නේ ‘ඒරන්ගේ ලෝකය’ යි. ඉන් පසු ‘ගිනි ගත් සඳ’, ‘ජීවිතය යළි ලදිමි’, ‘අවුෂ්විට්ස්හි නිවුන් සොයුරියෝ’, ‘සයුරු තෙර සහන් බිම’, ‘මතු ජීවිත සහ බිඳුණු මංපෙත්’ යන පරිවර්තනද ඔහු පාඨකයාට තිළිණ කර ඇත. ඒ අතුරින් ‘ඒරන්ගේ ලෝකය’ 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ අවසන් පූර්ව වටයටද ‘ගිනි ගත් සඳ’ 2019 ගොඩගේ සම්මාන උලෙ‍ළේ අවසන් වටයටද ‘සයුරු තෙර සහන් බිම’ 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ අවසන් වටයටද නිර්දේශ විය. ‘ගිනි ගත් සඳ’ කෘතිය වසර 5ක් තුළ මුද්‍රණ වාර 7ක් නිකුත් වී තිබීමද සුවිශේෂය. පුවත්පත් කලාවේදියකු ලෙස ලැබූ දීර්ඝකාලීන අත්දැකීම් නිර්මාණ චාරිකාව සඳහා ඉවහල් වූයේ කෙසේද යන්නට රෝහණ වෙත්තසිංහ මෙසේ පිළිවදන් දුන්නේය:

“මම උපකර්තෘවරයකු ලෙස මුලින්ම සම්බන්ධ වුණේ ‘ලංකාදීප’ පුවත්පතට. ඉන් පසු ‘දිවයින’ පුවත්පතේ වසර 13ක් පමණ සේවා කාලයකින් අනතුරුව ‘ලේක්හවුස්’ ආයතනයට සම්බන්ධ වුණා. ‘සිළුමිණ’ පුවත්පතේ ප්‍රධාන උපකර්තෘ ලෙසත්, පසුව සමකර්තෘ ලෙසත් ‘රසඳුන’ කර්තෘ ලෙසත් කලක් කටයුතු කළා. ඔබ ඇසුවා වගේ පුවත්පත් කලාව ඇසුරෙන් ලද අත්දැකීම් නිර්මාණ කාර්යය සඳහාත් ප්‍රයෝජනවත් වුණා.

රෝහණ වෙත්තසිංහ නම් වූ සිංහල සිනමාවට අතිශය ඇලුම් කළ මේ තරුණයා මුලින්ම කලාවට පිවිසෙන්නේ කෙටි විත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමිනි.

“1970-80 දශකය කියන්නේ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය වගේම මගේ ජීවිතෙත් තරුණ අවධිය නිසා චිත්‍රපටවලට උමතුවෙන් වගේ ඇලුම් කළා කිවුවොත් නිවැරදියි. 1970 මම ‘විප්පයෝගෝ’” කියලා කෙටි විත්‍රපටයක් කළා. එහි පිටපතත්, අධ්‍යක්ෂණයත් මගේ. ආධුනිකයෙක් වුණාට හොඳ වෘත්තීය කැමරාවකින් තමයි රූගත කිරීම් කළේ. ඒ කාලේ කැමරාවකට දවසක කුලිය රුපියල් 100යි. ඒ කාලේ බරසාර තේමා ගැන තමයි වැඩිපුර උනන්දු වුණේ. 1981දී ‘සතර දිගන්තය’ කියලා පළමු චිත්‍රපට තිර නාටකය ලිවුවා. ඊට පස්සේ ‘අප්පොච්චිගේ සිනමාව’ කියලා තවත් චිත්‍රපටයක් කළා. ඒත් ඒ විත්‍රපට එතරම් සාර්ථක වුණේ නැහැ. ඊට පස්සේ තමයි පත්තරවලට යොමු වුණේ.”

එසේ කී ඔහු පරිවර්තන සාහිත්‍යය කෙරෙහි යොමු වීමට තමා උනන්දු කළ සහ නිරන්තර සහයෝගය දෙන සරසවි සමූහ ව්‍යාපාරයේ සභාපති එච්.ඩී. ප්‍රේමසිරිට කෘතඥතාව පළ කළේ සහෘදත්වයෙනි. රෝහණ වෙත්තසිංහ විසින් පරිවර්තනය කරන ලද කෘතිවලින් බහුතරය යුද්ධ පසුබිම් කරගත් ඒවා බව නිරීක්ෂණය කළ හැකි කරුණකි. ඒ සම්බන්ධයෙන් ඔහුට ඇත්තේ මෙවන් පිළිතුරකි:

“ඒවා මම එහෙම හිතලා තෝරාගත් කෘති නොවෙයි. ඒත් ගොඩක් කෘතිවල දෙවැනි ලෝක යුද්ධය හෝ එවැනි යුද පසුබිමක් තිබුණා. පොතක් තෝරාගනිද්දී ප්‍රසිද්ධ, පාඨක ආකර්ෂණය දිනාගත් කෘතියක් වීම වගේම ලාංකේය පාඨකයන්ටත් ගැළපෙන පොතක්ද යන්න පිළිබඳ මම සැලකිලිමත්.”

පර්වර්තන කාර්යයේදී තමා මුහුණ පෑ විශේෂ සිදුවීමක් පිළිබඳ ඔහු මතකය ආවර්ජනය කළේ මෙලෙසිනි:

“මේ කෘතියේ මුල් ලේඛිකාව ගාල්ලේ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයේදී මට හමු වුණා. ඇය මා සමඟ කෘතිය ගැන කතාබහ කළා. මේ දක්වා එවැනි පෞද්ගලික හැඳුනුම්කමක් ඇති කරගත් එකම ලේඛිකාව ඇයයි. එය සුවිශේෂ අත්දැකීමක් වුණා.”

වියට්නාම-අමෙරිකා යුද්ධය කාලයේ අමෙරිකා සොල්දාදුවකුට දාව වියට්නාම තරුණියක බිහි කරන කළු සමක් සහිත දරුවා සිය සැබෑ මවුපියන් සොයාගැනීමට දරන උත්සාහයේදී මුහුණ දෙන ඒ ඛේදනීය තත්ත්වය විවරණය කර ඇත්තේ මෙලෙසිනි:

‘මාස අටහමාරක ගැබකුත් දරාගෙන ට්‍රැන්ග් කාමරයේ එහාට මෙහාට පිය මනිමින් සිටියාය. ක්වින් හා තව යෙහෙළියන් දෙදෙනකු සමඟ හවුලේ මෙහි ජීවත් වීමට ඇයට සිදුව තිබිණි. ඇඳ මත ඇගේ කොට්ටය අසල උඩට අසුරා තිබූ පොත් ගොඩෙන් එකක්වත් ගෙන යෑමට සූදානම් කරගෙන තිබුණේ නැත. ඒ පොත් මිල දී ගැනීම සඳහා ඈ විශාල වියදමක් දැරුවද එය නිරර්ථක දෙයක් බවට දැන් පත්ව ඇත. දවල් හීන දකිමින් ආදර බැඳීම් දිගටම පවතියි යන විශ්වාසය ජීවිතයේ එන ඕනෑම අභියෝගයකට ගැහැනියකට මුහුණ දිය හැකිය යන දැඩි මතයක් ගොඩනඟා ගැනීමද ඔවුන්ගේම වරදකි.’

රෝහණ වෙත්තසිංහගේ පරිවර්තන කෘති තුළ දැකිය හැකි විශේෂත්වයක් වන්නේ, විවිධ සමාජ ශෝකාන්තයන් අතර ගැටෙන චරිත දුෂ්කරතා මැද වුවත් ආලෝකය කරා යෑමට දරන උත්සාහයයි. ඒ ගැන රෝහණ පැවසුවේ මෙවන් අදහසකි:

“බොහෝ දුරට ඒ කතාවේ ඇත්තක් තිබෙනවා. ජීවිතයේ දහසක් දුක්කම්කටුලු තුළින් ජීවිතය සොයා යෑම සාක්ෂාත් කරගන්න මම වඩාත් කැමතියි. මගේ ‘බිඳුණු මංපෙත්’ පොතේ හැර, අනෙක් හැම කෘතියේම වගේ ජීවිතයේ පසුබැසීම් ඔස්සේ ජීවිතය සොයා ගිය චරිත හමු වෙනවා.”

“අනේ වෙච්ච දෙයක්. ඒත් ඒක තමයි ජීවිතේ කියන්නෙ. වෙලාවකට ජීවිතේ අලියකු පිටේ නැඟලා යනවා වගේ ගාම්භීරයි. තවත් වෙලාවකට බල්ලකුගේ පිටේ යනවා වගේ නිහීනයි…”

ඒ වදන් පාඨකයාගේ හදවතට සමීප වීම අරුමයක් නොවන්නා සේම, එය ජීවිතයට දිරි වඩන්නේය. එනිසාම පරිවර්තන කෘතියක් වුවද මේ නවකතාව හැල්මේ කියවාගෙන යෑමට රුචිය වඩන්නේ විටෙක එහි චරිතවලින් විහිදෙන හැඟීම්වලින් පාඨකයාගේ හදද තෙත් කරවමිනි.

“ඩෑන්ගේ කඳුළු තුළ සමාව ඉල්ලා ඔහු කරන ආයාචනයද ලියවී තිබිණි. ඔහු හමු වී වසර හතළික් ගෙවී තිබුණද ඈ තුළ කිඳාබැස තිබූ වේදනාව හා වරදකාරිත්වය පිළිබඳ හැඟීම ඊට ඉඩක් නොසැලසීය. ඇයත් ලින්ඩාත් එකිනෙකා වැලඳ ගති. ඔවුන් සමුගෙන යන්න සූදානම් වෙද්දි ක්වින් එක ඉල්ලීමක් කළාය. ‘ඔබලාට හෝආ හම්බු වුණොත් මගෙ සහෝදරී වෙනුවෙන් කරුණාකරලා ඔබ එයාට අම්මා වෙන්න.’ ලින්ඩාගේ කම්මුල දිගේ කඳුළු රූරා වැටිණි. ‘මං ඒක කරන බවට පොරොන්දු වෙනවා’ ඈ ක්වින් යළි තරයේ වැලඳගනිමින් කීවාය.”

එයද ‘දුවිල්ලෙන් උපන් දරුවෝ’ කෘතියේ උපුටා ගැනීමකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division