අනුරපුර අටමස්ථානාධිපති ධුරන්ධර, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක, සාහිත්‍යසූරි පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ශාසනික, සමාජ සහ සාහිත්‍ය සේවාව විමර්ශනය කෙරෙමින් පැවැත්වෙන විශේෂ සම්භාෂණයක් මැයි 3 සෙනසුරාදා සවස බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.
මේ විශේෂ සම්භාෂණයට නිමිති වන කරුණු කිහිපයක්ම වන්නේය. ඉකුත් දිනෙක ඉන්දියාවේ සාරානාත් වරාණසීහි පිහිටා ඇති, ‘ද සෙන්ට්‍රල් ඉන්ස්ටිටියුට් ඔෆ් හය ටිබැටන් ස්ටඩීස්’ විශ්වවිද්‍යාලයීය ආයතනය විසින් නාහිමියන් වෙත ගෞරව ආචාර්ය උපාධියක්ද පිරිනමන්නට යෙදිණි. එකී කාර්යයෙහි දී තත් විශ්වවිද්‍යාලයීය ආයතනයේ සැලකිල්ලට ලක්ව ඇති මූලික කාරණය වී ඇත්තේ, උන් වහන්සේ විසින් අඩසිය වසක් පමණ වන කාලයක් තුළ සම්බුද්ධ ශාසනයටත් ශ්‍රී ලාංකික සාහිත්‍ය කලාවටත්, විශේෂයෙන්ම රජරට ශිෂ්ටාචාරයට අනුබද්ධ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික විමර්ශන කාර්යයන්ටත් කරන ලද සම්ප්‍රදානයන්ය.
නාහිමියන් විසින් මෙතුවක් ලියන ලද ගීත සහ විශේෂයෙන්ම උන් වහන්සේගේ සුප්‍රකට ‘පහන නිවී දොළොස් මහේ’ නමැති කෘතියත්, ඉනික්බිතිව ප්‍රකාශයට පත් ‘අතීතය සිහිනයක්’, ‘සීතල ගඟුල වගෙයි’, ‘සඳ මඬල වී’ යන කෘතිවල සංගෘහිත ගීත පද රචනා සියල්ල ‘මගේ මේ ගී’ යන හිසින් ප්‍රකාශයට පත් වන කෘතියත් අතරට ජය ශ්‍රී මහා බෝධිය ගැන උන් වහන්සේ විසින් අභිනවයෙන් ලියා ඇති ගද්‍ය ලේඛනයකුත් ප්‍රකාශයට පත් කරන්නට නියමිතය.
පල්ලේගම හේමරතන නාහිමියන් සමඟ මගේ දීර්ඝකාලීන මිත්‍රත්වයට දශක හතරක් සම්පූර්ණ වී ඇති වගද, උන් වහන්සේ සම්භාවනාවට පත් වන මේ මොහොතේ දී අමතක කරනු නොයෙදෙයි. එකී දීර්ඝ කාලය තුළ ශාසනික සමාජ සහ සාහිත්‍ය කටයුතු සම්බන්ධයෙන් උන් වහන්සේට සමීපස්ථව කටයුතු කරන්ට ලැබීමද භාග්‍යයකි.
මෙකී විශේෂ සම්භාෂණය නම් කර ඇත්තේ, ‘බෝධියෙන් වට බෝ පතක්’ යන ආකර්ෂණීය වූද, හෘදයාංගම වූද සිරස්කඩකිනි. හෙළයේ මහා ගාන්ධර්වයාණන්ව සිටි පණ්ඩිත් අමරදේව නමැති සංගීත ප්‍රාඥයාගේ අර්ථවත් භාවපූර්ණ ගායනයට නිමිත්ත වූයේද, නාහිමියන් විසින් රචනා කරන්ට යෙදුණු ‘බෝධියෙන් වට බෝ පතක් සේ සුමුදු මළුවේ…’ නමැති ගීත රචනයයි. තමන් වහන්සේ හඳුනා ගැනීම සඳහා, උන් වහන්සේ විසින් නිරන්තරයෙන්ම යොදාගනු ලබන්නේ, අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධියෙන් වට බෝ පතක් හැටියටය. මේ බුද්ධ පුත්‍රයාණන් තරම් වන, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඥාතිවරයකු මා දැක නැත.
මේ ශ්‍රී මහා බෝධි සම්බන්ධය තරමටම උන් වහන්සේගේ ජීවිතය සාරවත් කළා වූද, අර්ථවත් කළා වූද අනෙක් කාරණය වන්නේ උන් වහන්සේ තුළ වන සාහිත්‍ය ආසක්තභාවයයි; සාහිත්‍ය නිර්මාණ වාසනා ගුණ මහිමයයි. තමන් වහන්සේ ලියූ ගී පද පෙළකට සංගීතයේ සුහද සුරම්‍ය ස්පර්ශය ලැබෙන හැම මොහොතකම අපේ පල්ලේගම හාමුදුරුවන් තුළ හට ගැනෙන අමන්දානන්දය මම නොයෙක් විට දැක ඇත්තෙමි.
1988 වසරේ දී ප්‍රකාශයට පත් කරන්නට යෙදුණු උන් වහන්සේගේ ‘පහන නිවී දොළොස් මහේ’ නමැති ගීත රචනා සරණියට දීර්ඝ හැඳින්වීමක් ලියමින්, එහි එක් තැනෙක දී මම මෙසේ සඳහන් කළෙමි:
“සිංහල ගීතයේ අනාගත අභිවෘද්ධියට ඉමහත් සේවාවක් සැලසීමට පාරමී දම් පුරන ප්‍රතිභාසම්පන්න යතිවරයාණ කෙනකුන් හැටියට පල්ලේගම හේමරතන හිමියන් හඳුන්වා දීමට, උන් වහන්සේගේ මේ ගීත සමුච්චය අපට අනුබල දෙයි. ස්වකීය ගීතයේ කාර්යභාරය කුමක්දැයි උන් වහන්සේ නිසැක ලෙස ප්‍රත්‍යවේක්ෂ කොට ඇත්තේය.
‘ලොවේ දුක දැක දයාබර වී
නෙතින් කඳුළක් නොහැලූවේ නම්
ඔබේ නාමෙන් – කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළුවී මම්…
‘දුගී දෑතට අත් වැලක් වී
දිරිය සවි බල නොපිදුවේ නම්
ඔබේ නාමෙන් – කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළු වී මම්…’
“උන් වහන්සේගේ මේ මුළු ගීත සමුදායම, එකී දෘෂ්ටියෙහි තරව පිහිටා ලියවුණු කෘතීනැයි සැලකීමට බොහෝ හේතු යුක්තීන් ඇත්තේය.”
අපේ පැරණියෝ ‘පෙදෙන් බුදු සිරිතැ’යිද, යළිදු ‘වැනුවා නම් බුදුගුණ වැනුවාමයැ’ යිද පැවසූහ. අපගේ ගද්‍ය පද්‍ය සාහිත්‍යය, බණ කතා සාහිත්‍යයක් බවට පත් වූයේ එහෙයිනි. අපේ පැරණි සාහිත්‍යකරුවෝ කවියෙන් බණ කීහ. ඔවුහු කවියෙන් බණ කීවේ, ‘ළය ගිනි නිවනු’ උදෙසාය. හේමරතන හිමියන් බණ කියනු සඳහා ගීතය උපයෝගි කොටගන්නේ, යට කී ‘මගේ මේ ගී ඔබේ ළය ගිනි – නිවණු වෙනුවට අවුළුවා නම්, කුමට සත්සර රාව නංවා’ යන දෘෂ්ටියෙහි පිහිටාය.
උන් වහන්සේගේ මුල්ම ගී සරණියෙහි දැක්වුණු ‘දන මන පිනවා රඟ දක්වාලා’, ‘නුඹේ මනාපෙට මුල් තැන දීලා’, ‘රටා ඇඳී නෑ බෝ මළුවේ’, ‘කටුක දිවි මාවතේ නොසැලී’, ‘බෝධියෙන් වට බෝ පතක් වී’, ‘සත්මුතු පරපුරක් පුරා පුන් සඳ වූ’, ‘දුක නොදකින්නට දිව නෙත් අඳ කරවා’, ‘ගෝරිමන්ද සිටුමැඳුරට කහවණු වැහැලා’ යන ගීත සියල්ල සවිමත් බෞද්ධ දෘෂ්ටි මාර්ගය මත පිහිටා නිර්මාණය කරන ලද අර්ථපූර්ණ රචනාවෝ වෙති. එකී රචනා සියල්ලෙහි හේමරතන හිමියන් බණ කියන්නට ගත් ව්‍යායාමයක් දැකිය හැකිය. බණ කතාව මෙන්ම, බණ කලාවද අපගේ සාහිත්‍ය මාර්ගයෙන් ඉවත් කළ හැකි නොවේ. එනයින්ම, බණ කීම සඳහා ගීතය යොදාගැනීම, චිරාගත සාහිත්‍ය සම්ප්‍රදාය සමඟ රිසි සේ බැඳී සිටියි.
සමාජයට බණ කියන්නට අපගේ ජාතික උරුමය විසින් මෙහෙයවන ලද බෞද්ධ භික්ෂූන් වහන්සේ සතු අයිතිය, කාලීන ලෙස උපයෝගි කරගනිමින් උන් වහන්සේ ස්වකීය ගීතය මඟින්, බණ රීතිය ප්‍රතිභාපූර්ණ කලාවක් බවට පත් කරන අයුරු මනෝඥය. ස්වකීය ගීතය, තමන් වහන්සේ විසින් නිශ්චය කරගත් දෘෂ්ටි මාර්ගයෙහි කුමන අයුරින් මෙහෙයවාලූවද, උන් වහන්සේගේ ගීතයේ නෙතැන දක්නා ලැබෙන ප්‍රතිභා මහිමය නැවුම්ය; ආස්වාදකරය; ආහ්ලාදජනකය. අපූර්ව ප්‍රතිභා මහිමයක ඉෂ්ටදායක ලක්ෂණ පළ කරන තැන් රැසක්ම, උන් වහන්සේගේ ගීත රචනා බහුතරයක දී දැකගත හැකිය.
‘ජීවිතයම ඔට්ටු තියා කහවණු මැද්දේ
වාසි අහිමි වී කාසිය නෝක්කාඩු වී…’
‘කලාකාමි ළෙහි මෙත් කරුණාවෙන්
කළු ගල් මල් පෙති විලස මොළොක් විය…’
‘කේතුමතී පුර ඈත මායිමේ
පැල්පත් යායේ අගු පිළ දෑලේ
අගහිඟකම වැහි වැහැලා…’
හේමරතන හිමියන් බුදු සමිඳුන් නැමඳීම සඳහා උපයෝගි කරගන්නේද, බෞද්ධ පරිසරයෙන් උකහාගත් භාවපූර්ණ වූ නවතම ඉන්ද්‍රිය රූපයන්ය.
‘බෝධියෙන් වට බෝ පතක් වන්නට, පැන් බිඳක් වී පා දොවන්නට, මල්මිටක් වී පා වඳින්නට, තමන්ට නොහැකි හෙයින්, බුදු සමිඳුන් දැකීමෙන් සිත පහන් වේයැ’යි උන් වහන්සේ පවසති. යට සඳහන් කළ රූපාකාර්ථ ත්‍රිත්වයම, බෞද්ධ සාහිත්‍ය සම්ප්‍රදාය තුළ මුල් ඇදගත් සංකේත රූප බැව් සලකන විට, උන් වහන්සේගේ කවි රීතිය කෙරෙහි ඇති ඉමහත් බෞද්ධ බලපෑම කෙතෙක්දැයි වටහා ගැනීම දුෂ්කර නොවේ.
ගීතය වූ කලි, කලින් නිශ්චිත, සුන්දර වචන ගොනුවක් හෝ මායාකාරි සංකල්පනා සමුදායක් හෝ නොවේ. අද්‍යතනයෙහි, සිංහල ගීතය යථාර්ථවත් සාහිත්‍ය භාෂණයක් බවට පත්ව ඇත්තේය. මේ ප්‍රවණතාව පිළිබඳ මනා වැටහීමක් ඇතිව අර්ථවත් ගීත රැසක් හේමරතන හිමියන් විසින් රචනා කොට තීබීම, මේ කෘතියේ අගය සාහිත්‍යමය පක්ෂයෙන් කිහිප ගුණයකින් වර්ධනය වීමට හේතු වී ඇත. ජනතාවගේ නැති බැරිකම හා ආර්ථික අනාථභාවය, ගුණධර්ම පරයමින් කාසියේ ආධිපත්‍යය නැඟී සිටීම, අනන්ත දරිද්‍රතාව හමුවේ මාතෘ ගුණය පවා සිඳී යෑම, ජනවාර්ගික වෛරය හා අසහනය, ආවේණික චර්යාධර්ම වාණිජ සමාජ ක්‍රමයක් හමුවේ ගරාවැටීම, කහවණු පතා දරුවන් විකිණීම, සමාජ අසාධාරණය හේතු කොටගෙන, ස්ත්‍රී වර්ගයාගේ කුල දහම් ගරාවැටීම හා පතිව්‍රතා ධර්මය විනාශ වීම, අධිපති සමාජය විසින් ශ්‍රමිකයන්ගේ ශ්‍රමය සොරාගැනීම වැනි, සමකාලීන සමාජ විපත්ති සමුදායයක්ම, උන් වහන්සේගේ විෂය පථයට හසු වී ඇති බැව් දත හැක්කේය. හේමරතන හිමියන් ඒ සියල්ල විවරණය කොට දක්වන්නේ, කවියකුගේ සංයත දෘෂ්ටියෙහි පිහිටාය. එසේ හෙයින්, උන් වහන්සේගේ සමාජ වීමංසනය අවශ්‍යයෙන්ම සාහිත්‍ය කාර්යයක්ම බවට පත් වෙයි.