ජෙන්ජි මොනොගතරි විශ්ව සාහිත්‍යයේ ප්‍රථම, ශ්‍රේෂ්ඨ, සම්භාව්‍ය නවකතාව ලෙස සම්මානිතය. එය නිර්මාණය කරන ලද්දේ, මුරසකි ෂිකිබු නම් ජපන් කුලවමියක විසිනි. නවකතාව ගෙතී ඇත්තේ ගද්‍ය වෘත්තාන්තයකට නැඹුරු වෙමින්, චිත්තජ රූප දල්වනසුලු භාෂා ශෛලියකිනි. ලොව අපූර්වතම ගතිසිරිත් විරිත් සම්ප්‍රදායකට අනුගත වූ, ජපන් රාජ වංශිකයන්ගේ දිවි පෙවෙත අතිශයින්ම, සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීමට කතුවරිය දක්වා ඇත්තේ අනුපමේය වූ කුසලතාවකි. රජවාසල තත්‍ය සිදුවීම් ඉදිරිපත් කෙරෙන්නේ සජීව සංවාදමය ස්වරූපයෙනි.
කතාව විකාශනයේදී අතිශයින්ම ද කම්පනීය සිදුවීම්, ‘වකා‘ නම් වූ ජපන් සාම්ප්‍රදායික පද්‍ය ඛණ්ඩයන් මඟින් සැරසීමට කතුවරිය දක්වා ඇති සාමර්ථ්‍යය ඉමහති. මෙහිදී අපට ශ්‍රී ලංකාව ඇතුළු පෙරදිග රටවල ප්‍රචලිත ගද්‍ය, පද්‍ය සම්මිශ්‍රිත ‘චම්පු’ ශෛලිය සිහිපත් වේ.
ඕනෑම රාජ්‍යයක, දේශයක සම්භාව්‍ය කාව්‍ය, සාහිත්‍ය කෘති බිහි වන්නේ එහි සාමකාමී සංහිඳියාවෙන් පිරිපුන් පරිසරයක් පවත්නා යුගයන්හි බව ඉතිහාසය අපට සිහිගන්වයි. ජපානය විශ්ව සාහිත්‍යයට මුල්ම නවකතාව දායාද කරන්නේ එවන් හිතකර රාජ්‍ය පසුබිමක් පැවති යුගයකදීය.
අටවන සියවසේ අග භාගයේදී, අධිරාජ්‍යා මධ්‍යම ජපානයේ අගනුවර සඳහා නව ස්ථානයක් තෝරාගෙන මනරම් කඳු වළල්ලකින් වට වූ නගරයක් ඉදි කළේය. නව නගරය හැඳින්වූයේ ‘සන්සුන්කමේ අගනුවර‘ යන අරුත් දෙන ‘හියන්-කියෝ‘ යනුවෙනි (එය නූතනයේ ‘කියෝතෝ‘ නගරය බවට පත් වී ඇත). මේ නගරය ‘හියන්-කියෝ‘ නමින් නම් කරන ලද හියන් කාලයේදී (794-1185) රට සැබැවින්ම සාමකාමීව පැවති අතර, අධිරාජ්‍යයේ වංශාධිපතීහු සම්භාව්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමේ ප්‍රයත්නයක නියැළී සිටියහ.
ජෙන්ජි මොනොගතරි නවකතාව නිර්මාණය කළ ජපන් කුලවමිය, මුරසකි ෂිකිබු පහළ වන්නේද මේ ස්වර්ණමය යුගයෙහිය. ‘ෂිකිබු‘ යනු ජපන් බසෙහි ‘ආර්යාව‘ යන ගෞරවනීය අරුත ගෙන දෙයි. ‘මුරසකි‘ යන්න ඇයගේ නියම නම නොව, එය ලේඛිකාවක වශයෙන් ඇය භාවිත කළ ආරූඪ නාමයක් බව ඇතැම් වියත්හු පෙන්වා දෙති. 1007 ඇය සේවයෙහි නිරතව සිටි රජ මාලිගයේ දිනපොතක සඳහන් වූ ෆුජිවාරා නො කෞරුකෝ ඇයගේ නාමය විය හැකි බව ඇතැම් පැරණි මූලාශ්‍රයන්හි සඳහනි.
ඇය ජපානයේ හෙයි – අන් රජ පෙළපතේ පාලන සමයෙහි. රාජ සභාවේ නියුක්තව සිටි ප්‍රභූ කාන්තාවකි. මුරසකි ආර්යාව ජීවත්ව ඇත්තේ, ක්‍රිස්තු වර්ෂ 978 – 1031 අතර කාල පරිච්ඡේදයේය. ඇය ජීවත් වූයේ අවුරුදු 53ක් වන් අල්ප කාලයකි.
මුරසකි ආර්යාව උපත ලද්දේ ඉතා වංශවත් ෆුජිවාරා පවුලේ දියණියක ලෙසිනි. නවවැනි සියවසේ සිට 12 වැනි සියවස දක්වා කාලය තුළ ෆුජිවාරා පවුල, ජපන් අධිරාජ්‍ය පාලන තන්ත්‍රයේ ආධිපත්‍යය දැරීය. විචක්ෂණශීලි හා රාජ්‍යතාන්ත්‍රික පළපුරුද්දෙන් අනූන වූ පරම්පරාවක් සේ අතීතයේ ඔවුහු සමාජයේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ බැව් සඳහනි. මනා අධ්‍යාපනයක් ලද මුරසකි ගැඹුරු භාෂා ඥානයකින් හෙබි කාන්තාවක ලෙසද ප්‍රකටය.
ඇය සිය යොවුන් වියේදීම, බොහෝ වැඩිමහල් තම ඥාතියකු වූ ෆුජිවාරා නොබුටකා සමඟ විවාහප්‍රාප්ත වූවාය. මේ දෙපළ දියණියක ලැබූ අතර, විවාහයෙන් වසර දෙකකට පසු ෆුජිවාරා මියයන්නට යෙදිණි.
ජපන් ජනප්‍රවාදයකට අනුව, මුරසකි ආර්යාව සිය ස්වාමියා වියෝ වීමෙන් පසු හුදෙකලා දිවියකට අනුගත වූවාය. ඇය එක්තරා දිනක, හිරු අවරට ගිය යාමයක, බීවා විල් තෙර, දෑස් අහස් කුස වෙත යොමා නිසල කල්පනාවේ නිමග්නව සිටි නිමේෂයකි. පෙරදිගු අහසේ උදා වෙමින් පැවති නව සඳ ඇය නෙත් ගැටිණි. නිසල පරිසරයේ සඳ වට පැතිරී චන්ද්‍ර බිම්බය, තමන් රජ මැඳුරේ රාජකාරියේ නියැළී සිටි අවධියේ එහි නිවැසි රාජකීයයන්ගේ ප්‍රභාස්වරය සිය මතකයට සමීප කරවනසුලු විය. එදවස තමන් දෑසින් දුටු, මනසින් ස්පර්ශ කළ රාජකීයයන්ගේ අපූර්ව ජීවන චර්යා රටා ඇසුරෙන් නව මාදිලියේ කතාවක් ගෙතීමේ අභිලාෂය තීව්‍ර ලෙස ඇය සිත් පිළිසිඳ ගැනිණි. වසර කිහිපයක ප්‍රයත්නයෙන් ඇය අභිලාෂය මල්පල ගැනිණි. ඇය රජ මැඳුරේ රාජකාරියේ නිරතව සිටි වසර දසක කිහිපය තුළම, එහි දෛනික සිදුවීම් සියල්ල සිය දිනපොතෙහි සවිස්තර සටහන් කර තිබීම, මේ කාර්යය ඇයට වඩාත් පහසු කරලන්නක් වූවා සේ හැඟේ. මේ අයුරින් ලොව මුල්ම නවකතාව සේ පිළිගැනෙන ‘ජෙන්ජි මොනොගතරි‘ ග්‍රන්ථය ක්‍රි.ව. 1008දී ලොවට බිහි විය.
කොටස් තුනක් වශයෙන් පරිච්ඡේද 54කින් සමන්විත ගෙන්ජි නවකතාව ලියා නිම කරලන්නට, ඇයට අවුරුදු දහයක් ගත වූ බැව් පැවසේ.
මුරසකි ආර්යාව සිය නිර්මාණකරණයේදී නව නිර්මානනීය මං පෙතකට අවතීර්ණ වූ සෙයක් විද්‍යමාන වේ. ක්‍රිස්තු පූර්ව යුගයන්හි සිට ජපන් සාහිත්‍ය සම්ප්‍රදායයේ ජනගතව පැවති, දේවකතා, මිථ්‍යා විශ්වාස, ජන ඇදහිලි ආදියෙන් ඇය සහමුලින්ම බැහැර වූවාය. අත්‍යයන්තයෙන්ම ඇය ඉන්ද්‍රිය ගෝචර වන, මසින් ලෙයින් සුසැදි සජීව මානව ප්‍රජාවේ ක්‍රියාකාරකම් සහ දෛනික දිවි පෙවෙත ප්‍රස්තුත කොට සිය නිර්මාණකරණයෙහි නියුක්ත වූවාය. එතෙක් ජපන් සාහිත්‍ය ක්ෂේත්‍රයේ මුල්බැසගෙන පැවති සම්ප්‍රදායයෙන් බැහැරව, ව්‍යක්ත ආකෘතියකින් මුරසකි ආර්යාව කළ මේ නව නිර්මාණය ලෝකයේ ප්‍රථම තාත්වික නවකතාව ලෙසින් වියතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වේ.
අතිසොඳුරු ප්‍රේමණීය සබැඳියාව, රුදුරු, කුරිරු, කාලය නමැති ආඥාදායකයාට නතුව මැකී යන සෝචනීය විලාසය මේ නවකතාවේ තේමා සංකල්පය ලෙස ඉස්මතු වේ. බුදු දහමේ සනාතනික අනිත්‍ය සංකල්පය අපට සිහිගන්වන ගැඹුරු දෝමනස්සසහගත දර්ශනවාදි චින්තනයක් කතාව විකාශනයේදී ඉතා සියුම් ලෙස ගම්‍ය වේ.
යුවතියනගේ ආදරයෙන් මුසපත් මනෝභාවයන් පමණක් නොව, වංශවත් කුමාරවරුන්ගේ රාගයට ආසක්ත වූ සිතිවිලි පරම්පරාවන්ද කාව්‍යමය භාෂා රීතියකින්, ඉතා සංයමයෙන් ඉදිරිපත් කරන්නට මුරසකි ලේඛිකාව දක්වා ඇති මහිමය අපමණය. සිය පාත්‍රවර්ගයාගේ පසුබිමේ පැවති සොබාදහමේ සුන්දරත්වයද මුසු කරමින් කතාව ඉදිරියට ගලා යන්නේ නදියක රිද්මයානුකූල ගමන් ලාලිත්‍යයෙනි. තෙළිතුඩ අත රැඳි සිත්තරකු තමන් අධ්‍යාහාරයෙහි නිපන් මානව ක්‍රියාකාරකම් තීව්‍ර සංවේදිතාවකින් බිතුසිතුවමකට නඟන්නා සේ ඇය සිය නවකතා වියමන සිදු කර ඇත.
එහි කතාව විකාශනය වන්නේ, හීයාන් යුගයේ ජපානයේ ප්‍රභූ පෙළැන්තියේ සංස්කෘතිය පිළිබඳ අශ්ලීල පූර්විකාවක් ලෙසිනි. එහි විනෝදාස්වාදය, විසිතුරු ආයිත්තම්, ඇඳුම් පැලඳුම් සහ සදාචාරාත්මක නොවන දෛනික ජීවිතය දෙස කතුවරිය සිය විමසුම්සහගත ආලෝක ධාරාවක් විහිදුවන්නීය.
කතාවේ ප්‍රධාන චරිතය වන ජෙන්ජි, කිරුට්සුබෝ අධිරාජයාගේ පුත්‍රයා වන අතර, ඔහුගේ මව පෝලොනියා දේවියයි. ජෙන්ජිගේ මව ගිලන්ව, ඔහු කුඩා අවධියේම මියැදීමෙන් ඔහු වැඩෙන්නේ මවු සෙනෙහස අහිමි දරුවකු ලෙසිනි. වයසින් වැඩෙත්ම ඔහු තුළ ආදරය පසුපස හඹායනසුලු මනෝභාවයක් උද්දීපනය වීමට එයද ප්‍රබල සාධකයක් වන්නට ඇත.
මුරසකි ෂිකිබු ආර්යාව සහ ඇයගේ කතාවේ ප්‍රධාන චරිතය වන ජෙන්ජි කුමරු ජපන් සංස්කෘතිය කෙරෙහි අසමසම බලපෑමක් කර ඇත. හේ නියම හියෑන් යුගයේ රජ කුමරුවකුගේ ප්‍රතිරූපය විදහා දක්වයි. ජෙන්ජි කුමරු අසාමාන්‍ය කඩවසම් පෙනුමක් ඇති දක්ෂ කවියකු, නර්තන ශිල්පියකු, සංගීතවේදියකු මෙන්ම චිත්‍ර ශිල්පියෙක්ද වේ. ඔහුගේ නමද ඔහුගේ පෙනුමට බෙහෙවින්ම ගැළපෙන්නක් විය. ජපන් බසින් ජෙන්ජි යන්නෙහි අරුත ‘ප්‍රභාස්වර කුමරු‘ යන්නයි. ඒ නිසාම නිරන්තරයෙන්ම ඔහු සොඳුරු ළඳුන්ගේ ප්‍රේමණීය නෙතග බැල්මට යොමු වූ අයුරු මුරසකි සිය කෘතියේ කාව්‍යමය බස් වහරකින් අපූර්ව ලෙස අප සිත්හි සිතුවම් කරන්නීය. පුහුදුන් මානව චර්යාව ජෙන්ජිටද පොදු විය. ඔහු තමන් කෙෙරහි ආකර්ෂිත යුවතියන් ගණනාවක් සමඟ අසීමාන්තිකව පෙම් සබැඳියාවන් ඇති කරගැනීමට පෙලඹිණි.
ජෙන්ජිගේ නවකතාවේ බොහෝ කථාංග ගෙතී ඇත්තේ ජෙන්ජි සම්බන්ධ වන ප්‍රේම සබඳතා සහ ඔහුගේ ජීවිත කතාව තුළ ඔවුන් අත්විඳින සතුට හා සංකූලතා කේන්ද්‍රීයවය. ෆෙන්ජිට් සුබෝ ආර්යාව මුණගැසෙන තුරු ජෙන්ජිගේ මවගේ මරණය ගැන අධිරාජ්‍යයා වැලපෙයි. කෙටි කලකදී ජෙන්ජිගේ මව වැනි කාන්තාවක වෙත අධිරාජ්‍යයාගේ ආකර්ෂණය යොමු වෙයි. අධිරාජ්‍යයා ඒ යුවතිය හා සරණේ බැඳෙයි. ඇය ෆුජිට්සුබෝ ආර්යාවයි. තම මව සිහි කිරීමට තරම් කුඩා නොවූ ජෙන්ජි කෙරෙහිද ඇය දැඩි ඇල්මක් දක්වයි. මේ අනුව, ෆුජිට්සුබෝ ආර්යාව ඔහුට ආදේශක මවක් වේ.
වයස අවුරුදු 12 දී, ජෙන්ජි, රජ වාසල ඇමැතිවරයෙකුගේ දියණියක වූ 16 හැවිරිදි අයෝයි සමඟ විවාහ විය. ඔවුන්ගේ පුත්‍රයා වූ යුගිරි ඉපදී මඳ වේලාවකට පසු ඇය මියයයි. නව යොවුන් වියට පත් වත්ම ජෙන්ජි තම මාමාගේ වැන්දඹුව වන රොකුජෝ සහ යුගාඕ නම් කාන්තාවක ඇතුළු තවත් කාන්තාවන් කිහිප දෙනකු සමඟ දැඩි සමීප සබඳතාවක් පවත්වයි.
ඒ අතරම තම සුළු මව වන ෆුජිට්සුබෝ ආර්යාව සමඟින් ජෙන්ජි රහස් සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමෙන් ඒ දෙපළට දාව පුත්‍රයෙක් බිහි විය. දරුවාගේ පියාගේ රහස අධිරාජ්‍යයාගෙන් සැඟවීමට ඔවුහු සමත් වෙති. ඒ දරුවා තමාගේම යැයි පිය අධිරාජායා උපකල්පනය කරයි. ජෙන්ජි මීට අමතරව රජ වාසල කොකිඩන් ආර්යාවගේ සහෝදරිය ඇතුළු අනෙකුත් කාන්තාවන් සමඟ සබඳතා පවත්වයි. ජෙන්ජිගේ පියා අධිරාජ්‍යයා ලෙස විශ්‍රාම ගොස් මියයන මොහොතේදී ජෙන්ජිගේ අවකල් කිරියාව අනාවරණය වේ. ඒ හේතු කොට ගෙන ඔහුට රජවාසලින් සුමා ප්‍රාන්තයට පලා යාමට සිදුවිය.අධිරාජ්‍ය පදවිය වෙනත් බිසවකගේ පුත් කුමරුවෙකුට හිමිවේ.
පිටුවහල්ව සිටියදී වුවද ඔහු තුළ නිසගයෙන් පැවති ස්ත්‍රී ලෝලත්වය තුනී වී නොතිබිණි. ජෙන්ජි පූජකයකුගේ දියණිය වන අකාෂි ආර්යාව සමඟ සම්බන්ධයක් ඇති කරගත් අතර, ඔවුනට දාව දියණියක් බිහි වෙයි. ජෙන්ජි නැවත අගනුවරට පැමිණෙන අතර, හිටපු අධිරාජ්‍යයා ධුරයෙන් ඉවත් වීමෙන් ජෙන්ජිට රාජ්‍ය බලය හිමි වේ. ජෙන්ජි තවත් කාන්තාවන් කිහිප දෙනකු සමඟ ඔහුගේ රොකුජෝ මන්දිරයේ පදිංචියට පැමිණේ.
ජෙන්ජි තුළ කලකට ඉහත මියගිය සිය සුළු මව මෙන්ම අනියම් භාර්යාව වූ ෆුජිට්සුබෝ ආර්යාව නිරන්තරයෙන් සිහිපත් කරමින් පසුතැවිලි වන්නට විය. ඒ අතර ජෙන්ජිට මුරසකි නම් තරුණියක් මුණගැසේ; ඇය ෆුජිට්සුබෝ ආර්යාවගේ ලේලියයි. ඇය වංශවතියක් නොවුණද ජෙන්ජි, මුරසකි ඔහුගේ දෙවැනි බිරිය බවට පත් කරගන්නා ලද්දේ ඇයගේ රූ සපුවද, තමන් බෙහෙවින් ඇලුම් කළ ෆුජිට්සුබෝ ආර්යාවගේ රූපයට සම වූ නිසාය. මුරසකිට තමන්ගේම දරුවකු ලබා ගැනීමට අසමත් වෙයි. එනමුදු ඇය සතුටින් ජෙන්ජිගේ කලින් බිරිය වූ අකාෂිගේ දියණිය හදා වඩා ගත්තාය. ජෙන්ජි අතිශයින් ඇලුම් කළ මුරසකි හදිසියේ දැඩි ලෙස රෝගී වෙයි. මුරසකි මරණය නොවැළැක්විය හැකි බව වටහාගනී. ඇය ආධ්‍යාත්මිකව මරණයට සූදානම්ව පවුලේ සැමට සමු දෙයි. සරත් ඍතුවේ එක් සිසිල් සන්ධ්‍යාවක, ඇයගේ උද්‍යාන දැකගත හැකි වන පරිදි ජනේලයක් අසලට තමා ගෙන යන ලෙස ඇය ඉල්ලයි. උද්‍යානයේ අසිරිය දෙස දෙනෙත් යොමා සිටින අතර ඇය මියයයි. ජෙන්ජි අතිශය ශෝකයට මෙන්ම කලකිරීමට පත්වෙයි.ඔහු තම අතීතය පිළිබදව සෝබරිතව ආවර්ජනයක නියළෙයි. විවිධ පෙම් සබඳතා ඇති කරගනිමින් ඔහු තමන් පැමිණි ගමන් මඟ පිළිබඳව සිහිපත් වෙද්දී, ඒවා කොතරම් නිසරු බොළඳ ප්‍රයත්නයන්ද යන්න වටහා ගනී. ජෙන්ජිගේ අවසන් කාලයේ ඔහුගේ ආවර්ජනය ඇසුරෙන්, කතුවරිය බුදු දහමේ සනාතනික අනියතතාව මැනවින් උද්දීපනය කර දක්වයි.
මීළඟ පරිච්ඡේදයන්ගෙන්, ජෙන්ජි උජිහි පිහිටි හුදෙකලා කඳුකර ප්‍රදේශය වෙත ගොස් පදිංචි වන අයුරු අනාවරණය වේ. ජෙන්ජිගේ පුත්‍ර යුගිරි සහ මුනුපුරු නියෝගේ වික්‍රමාන්විතයන් මෙහි ගෙනහැර දක්වයි. මුරසකි ආර්යාව මියගොස් වසරකට පසු, 52 වැනි වියේදී ජෙන්ජි මියයයි. ජෙන්ජිගේ පුත්‍රයා වූ යුගිරි පවුලේ කුලදෙටුවා ලෙස ඔහුගේ ස්ථානයට පත්වේ.
අනතුරුව නවකතාව විකාශනය වන්නේ ජෙන්ජිගේ පරපුරෙන් පැවත එන්නන්ගේ ජීවන වෘත්තීන් හඹා යෑමක් ලෙසිනි.
ජෙන්ජිගේ ජීවන ප්‍රවාහය නිර්මාණය කළ මුරසකි උපත ලැබූ ජපානයේ කියෝතෝ නගරයෙහිය. ඇයගේ නවකතාවට දහස් වසරක් සපිරීම නිමිත්තෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් කියෝතෝහි 2008 වසර පුරා උත්සව පැවැත්විණි. ජපන් ජාතිකයන් තුළ මුරසකි ආර්යාව පිළිබඳ පවත්නා මහත් ගෞරවය එමඟින් පිළිබිඹු වේ. මුරසකි ආර්යාවට ජාතික ගෞරවය පිරිනැමීම උදෙසා ජපානයේ ප්‍රථමයෙන් නිකුත් කළ යෙන් දෙදහසේ මුදල් නෝට්ටුවේ මුරසකි ආර්යාවගේ ජෙන්ජි කතාවේ තේමාව නිරූපිතය.
ඊට අමතරව කියෝතෝවේ ස්ථාන කිහිපයක මුරසකි ආර්යාවගේ ප්‍රතිමා ඉදි කර තිබෙනු දැකිය හැකිය.
මේ ජපන් නවකතාව ලොව නන් දෙස භාෂා ගණනාවකට පරිවර්තනය කර ඇති බවද වාර්තා වේ. ජපන් චිත්‍ර ශිල්පීහු ගෙන්ජි නවකතාවේ ඇතැම් සිදුවීම් ආශ්‍රයෙන්, සම්භාව්‍ය චිත්‍ර නිර්මාණයට යොමු වූහ. ජෙන්ජිගේ ජීවන චර්යාව කෘතිය ඇසුරෙන් විවිධ රටවල ජනප්‍රිය සිනමා කෘති රාශියක්ද නිෂ්පාදනය වී ඇත. මෙලෙස, විවිධ අන්දමින් ජෙන්ජි කතාව ජපානයේ ජනජීවිතයේ මුල්බැසගෙන පවතී.