Home » සාමාන්‍ය පෙළට මුහුණ දුන් රනුලි මාස 4න් උසස් පෙළටත් ලියා A 3යි

සාමාන්‍ය පෙළට මුහුණ දුන් රනුලි මාස 4න් උසස් පෙළටත් ලියා A 3යි

by Mahesh Lakehouse
May 3, 2025 12:30 am 0 comment
සුභාෂිණි ජයරත්න
රනුලි පවුලේ සාමාජිකයන් සමඟ

– ගණිත අංශයෙන් විෂයන් තුනටම A
– අවුරුදු 17න් සරසවි වරම්
– දක්ෂ දරුවන්ට වේගයෙන් ඉහළට යා හැකි පරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි – රනුලිගේ පියා

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රටාව උඩුයටිකුරු කරමින් තවත් දරුවකු පසුගියදා වාර්තා පිට වාර්තා තැබූයේ විභාග ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් සලකුණු කරමිනි. මෙරට දරුවකු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන වයස් සීමාවේදී සාමාන්‍ය පෙළත් සාර්ථකව ජය ගෙන, ඒ වසරේදීම උසස් පෙළ කඩඉමත් සාර්ථකව ජය ලබා ඉහළම ඉසෙඩ් අගයක­ුත් උරුම කරගනිමින් ඇය සරසවි ප්‍රවේශය සඳහා සුදුසු වන්නේ වයස අවුරුදු 17 දීය.

රනුලි කවිත්‍යා විජේසිරිවර්ධන නම් වූ මේ සිසුවිය, කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළු වන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 190ක් හිමි කරගනිමිනි. කෙසේ වෙතත් 2024 මැයි මස ඇය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නේ A සාමර්ථ්‍ය 8ක් සහ B සාමර්ථ්‍යයක් ලබමිනි. එම B සාමර්ථ්‍යය ලැබී තිබුණේ ඉංග්‍රීසි සාහිත්‍යය විෂයටයි. ඉන් පසුව ඇය සූදානම් වූයේ උසස් පෙළ විෂය ධාරාවන් හදාරන්නට නොවේ. ඇයට අවශ්‍යව තිබුණේ තවත් මාස 6ක් වැනි කෙටි කාලයකින් පවත්වනු ලබන අභියෝගාත්මක උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් මුහුණ දෙන්නය. ඒ අනුව 2024 නොවැම්බරයේදී ඇය භෞතික විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නේ A සාමර්ථ්‍ය 3ක් සමඟ විශිෂ්ට ප්‍රතිඵලයක් ලබමිනි. ඒ විශාකා විදුහලෙන් ඉවත්ව පෞද්ගලික අපේක්ෂකයකු ලෙස විභාගයට මුහුණ දෙමිනි.

“මම පාදුක්ක සිරි පියරතන විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 190ක් අරගෙන තමයි කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළු වුණේ. සාමාන්‍ය පෙළ A 8ක් සහ B 1ක් ගත්තා. හරි විදියට මම උසස් පෙළ විභාගයට පෙනී සිටින්න ඕනේ 2027 වසරේ. ගණිත විෂයයට සහ විද්‍යා විෂයයට මම ඉතා තදින් ආසා කරනවා. ඒ නිසා අභියෝගය භාර ගත හැකි බවට විශ්වාසයක් තිබුණා. නියමිත කාලයට කලින් උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා විශිෂ්ට ලෙස සමත් වෙන්න පුළුවන් කියන විශ්වාසය තිබුණා. නීතියෙන් පාසල් අයදුම්කරුවකු ලෙස අඩු වයසෙන් පෙනී ඉන්න බැරි නිසා තමයි මම පාසලෙන් අස් වෙලා පෞද්ගලිකව අයදුම් කළේ. විශාකා විද්‍යාලයෙන් අයින් වීමේ තීරණය ගත්තෙ දුකෙන්.

“ඊට පස්සෙ මම 2024 වසරේදීම සාමාන්‍ය පෙළ විභාගයට ලිවුවා. මාස 6කින් උසස් පෙළ ලියන්න සූදානම් වුණා. මගේ තාත්තා සංයුක්ත ගණිත විෂය ගුරුවරයෙක්. කුඩා කාලයේ සිට තාත්තා පන්ති කරන කොට මම පිටුපස සිට ඒවා උගන්වන හැටි බලාගෙන හිටියා. මම 9 හා 10 ශ්‍රේණිවලට එන විට සාමාන්‍ය පෙළ විෂය කටයුතු ගොඩාක් දුරට අවසන් කර ගත් නිසා උසස් පෙළ විෂයන්ගේ වැඩ ආරම්භ කරන්න හැකි වුණා. මේ ජයග්‍රහණයේදී මගේ පියා සහ මව යෝධ සෙවණැල්ලක් වුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව ගණිත අංශයෙන් මහාචාර්යවරියක වීම තමයි මගේ ඉලක්කය…“ රනුලි පවසන්නීය.

රනුලිගේ පියා ප්‍රවීණ සංයුක්ත ගණිත දේශක සඳුන් වානගුරුය. ඔහු මේ වන විට සංයුක්ක ගණිත විෂයය වසර 20ක් පමණ කලක සිට දරුවන්ට ඉගැන්වීමේ නිරත වන අයෙකි.

“මට මගේ දුව ගැන ගොඩාක් ආඩම්බරයි. කුඩා කාලයේ සිටම එයා ගණිත විෂයයට හරිම දක්ෂයි. ඒ නිසා එයාගේ කැමැත්ත මත මම තීරණය කළා හැකි ඉක්මනින් එයාව උසස් පෙළ විභාගය සඳහා යොමු කරන්න. එහෙත් ලංකාවේ ඇති අධ්‍යාපන ක්‍රමය අනුව මේ විදිහට ඉක්මනින් ඉහළට යෑමේ අවස්ථා අඩුයි. අපේ කාලයේ පාසල් අධ්‍යාපනයේ දක්ෂ දරුවන්ට ඉක්මනින් ඉහළට යෑමට ඩබල් ප්‍රමෝෂන් දුන්නා. එහෙත් දැන් එය නැහැ. ඒ නිසා ළමයින්ගේ කාලය අපතේ යනවා. අපේ රටේ අධ්‍යාපනය සැකසිය යුත්තේ දරුවෙකුගේ දක්ෂතාව අනුවයි. ලෝකයේ දියුණු රටවල නම් උසස් පෙළ හදාරලා අවුරුදු 21 වන විට උපාධිධාරියෙක් වෙන්න පුළුවන්. ඒත් ලංකාවේ උපාධිය හදාරලා ඉවර වන විට අවුරුදු 26ක් විතර වෙනවා. උපාධි සහතිකේ ගන්න කොට අවුරුදු 30ක් විතර යනවා. ඒ නිසා ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. සිසුන්ට තමන්ගේ හැකියාව අනුව කැමැති විෂය ධාරාවන් තෝරාගෙන, අඩු වයසින් උපාධිධාරියකු වීමේ අවස්ථාව සලසා දෙන පරිදි මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි.“ ඒ රනුලිගේ පියා දේශක සඳුන් වානගුරුය.

රනුලි දියණියගේ මව නිලූකා රාජපක්ෂද උපාධිධාරි ගුරුවරියකි:

“දැන් දුවට අවුරුදු 17ක්. දුව නවය ‍ශ්‍රේණිය වන විටම සාමාන්‍ය පෙළ විෂයයන් පාඩම් කරලා අවසන් වුණා. එයාට ඒ පාඩම් අසාගෙන සිටීම කිසිදු තේරුමක් වුණේ නැහැ. එයා පන්තියේ නිදා ගන්නවා කියලා ගුරුවරුන් පවසනවා. මේ නිසා දුවගේම ඉල්ලීමක් තිබුණා. ඇය සාමාන්‍ය පෙළ ලියන වසරේදීම උසස් පෙළ ලියන්න ඕනෑ කියලා. මගේ පන්තියේ පිටුපස ඉඳගෙන එයා ආසාවෙන් ඉගෙනගත්තා. සෙනසුරාදා අපේ ගමේ ගිහින් අනෙකුත් විෂයන් දෙකත් ඉගෙන ගත්තා. දුව 6 ශ්‍රේණියෙන් පසු කිසිම උපකාරක පන්තියකටවත් ගියේ නැහැ. සාමාන්‍ය පෙළටත් ගියේ නැහැ. අපේ ගෙදර ටීවීඑක නැති එක ලොකු විශේෂත්වයක් වුණා. අපි නිතරම නිවෙසේ හිටියේ විනෝදයෙන්. දුවට නංගියෙක් හා මල්ලියෙක් ඉන්නවා. ඒ තුන් දෙනාම නිදහසේ හිටියේ. පාඩම් කරන්න කියලා මෙයාට බල කළේ නැහැ. එයාට තනියම ඉහළට යෑමේ බලාපොරොත්තුව තිබුණා. අපි දුක් විඳින හැටි දුව බලාගෙන හිටියා. ඒ නිසා එයා ඒ ගැනත් නිතරම කල්පනා කළා. දුවට පිහිනුම්, සංගීතය වාදනය, බැඩ්මින්ටන් වැනි දේ හොඳට පුළුවන්. එයාගේ නංගියි මල්ලියි දක්ෂයි. දෙන්නා එක්ක නිතරම සෙල්ලම් කළා. දුව හොඳ තැනකට එයි කියන බලාපොරොත්තුව තිබුණා.” රනුලිගේ පියා පවසන්නේය.

රනුලි කවිත්‍යා අවුරුදු 17 දී ගණිත අංශයෙන් උසස් පෙළට මුහුණ දී ඉහළම ඉසෙඩ් අගයක් හිමි කර ගත්තාය. ඒ 1.99 ය. ඉංජිනේරු උපාධිය හැදෑරීමේ හැකියාව ඇයට ඇතත් ඇයගේ අපේක්ෂාව වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයෙන් විශේෂවේදි උපාධිය හදාරන්නය.

“මම වගේ වෙන්න හැමෝටම පුළුවන්. ඊට ඕනෑ උත්සාහය විතරයි. පීඩනයකින් වැඩ කරන්න හොඳ නැහැ. පොතපතේම ඉන්න හොඳත් නැහැ. ක්‍රීඩා කරමින්, විනෝදයෙන් කාලය ගත කළ යුතුයි. සැහැල්ලුවෙන් තමයි මම වැඩ කළේ. සින්දු කිවුවා; ක්‍රීඩා කළා. අමාරුවෙන් ඉගෙන ගත්තෙත් නැහැ. පොතේ පතේ විතරක් හිටියේ නැහැ. කුඩා කාලයේ සිට ගණිතය හා විද්‍යා විෂයන්ට කැමැත්තෙන් ඉගෙන ගත්තා වගේම අනෙකුත් විෂයන්ටත් සමබර කාලයක් ලබා දුන්නා. 10 ශ්‍රේණියේ විභාග කටයතු 9 ශ්‍රේණියේම අවසන් කළේ තනියම. ඒ නිසා 10 ශ්‍රේණියේ සිටම උසස් පෙළ කටයුතුවලට යොමු වෙන්න හැකි වුණා.” රනුලි කවිත්‍යා විජේසිරිවර්ධන සිසුවිය පවසන්නීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division