Home » ජෛව පද්ධති තාක්ෂණය විෂය දිවයිනේ ප්‍රථමයා නෙත්මි

ජෛව පද්ධති තාක්ෂණය විෂය දිවයිනේ ප්‍රථමයා නෙත්මි

by Mahesh Lakehouse
May 3, 2025 12:30 am 0 comment
එච්.ඩී. හේවගේ - පන්නල සමූහ

සස් පෙළ විභාග හපනුන් ගැන වැඩිපුර කතාබහට ලක් වන මේ කාලයේ 2024 අපොස උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත් වෙමින් තම පාසල් මාතාව ජාතික තලයට ඔසවා තැබීමට සමත් වූ නෙත්මි නවෝද්‍යා දියණිය ගැන කතා නොකරම බැරිය. ඒ, මේ ජයග්‍රහණය අගනුවරට අයිති වූවක් නොවන නිසාය.

නෙත්මි නවෝද්‍යා මාරසිංහ දියණිය ජීවත් වන්නේ සත්කෝරලයට අයත් පන්නල ගලයාය නම් මනරම් ග්‍රාමයේය. ඇයගේ පියා සරත් මාරසිංහ ය. මව හෙන්ඩියගල ශ්‍රී රතනපාල මහා විද්‍යාලයේ ආචාර්යවරියක වන පී ශාමා මල්කාන්තිය. නෙත්මි නවෝද්‍යාගේ එකම සහෝදරයා නෙත්සර ප්‍රමෝද්‍ය පන්නල ජාතික පාසලේ 10 වැනි වසරේ ඉගෙනුම ලබයි.

පළමු ශ්‍රේණිය සඳහා පන්නල ජාතික පාසලට ඇතුළත් වූ නෙත්මි 5 වසර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 159 ක් ලබා ගන්නේ ශිෂ්‍යත්ව කඩඉම පසු කිරීමට එක් ලකුණක් අඩුවය. එහෙත් තම දක්ෂතාව සහ හැකියාව එක් ලකුණකින් යටපත් කිරීමට නොහැකි බව සනාථ කරමින් ඇය අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටිමින් ඒ සාමාර්ථ 09ක් ලබා ගනිමින් අතිවිශිෂ්ට ජයක් වාර්තා කළාය. පොත පතට පමණක් සීමා නොවූ නෙත්මි විද්‍යාලයේ නෙට්බෝල් කණ්ඩායම නියෝජනය කරමින් සමස්ත ලංකා තරග සඳහා ද තම කණ්ඩායමට දායකත්වය ලබා දී ඇත.

තම ජයග්‍රහණය පිළිබඳව නිහතමානීව සතුටු වන නෙත්මි නවෝද්‍යා දියණිය ඒ ජයග්‍රහණය කරා ආ මාවත ගැන නිහතමානීව මෙසේ ආවර්ජනය කළාය:

“පන්නල ජාතික පාසල කියන්නේ මගෙ මුල හදපු මගේ ඉස්කෝලේ. අදටත් ඒ ඉස්කෝලෙට, ඒ ඉස්කෝලෙදි මට අකුරක් හරි උගන්නපු හැම ගුරුවරයෙක්ටම මම හරිම ආදරෙයි. මාව මේ තැනට ගෙන ඒමට මට හයියක් වුණේ ආදරණීය පන්නල ජාතික පාසල. අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වෙන්න ඕනෑ කියලා මට හීනයක් තිබුණා වගේම මම ඒ හීනය ඉටු කරගත්තා. උසස් පෙළට තාක්ෂණික විෂය ධාරාව හදාරන්න මම කැමැත්තෙන් හිටියේ. මගේ කැමැත්ත දැනගෙන හිටිය උෂානි ජයතිලක මහත්මිය සඳලංකා මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට මට අවස්ථාව සලස්වා දුන්නා. මම සඳලංකා මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වෙලා ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාව හැදෑරුවා.

දිනපතා පාසල් පැමිණීම අපේ පාසලේ තිබුණ නීතියක්. එහෙම එන්නේ නැත්නම් මව හෝ පියා එක්ක පාසලට ගිහිල්ලා විදුහල්පතිතුමා ඉදිරියේ නොපැමිණි කාරණය කියන්න ඕනේ. ඒ නිසා අපි පාසල් යන්නේ නැතුව ඉන්නේ නැහැ. පාසල් පැමිණීම 80% අපිට අනිවාර්ය වුණා. සෑම වාර විභාගයකටම පෙනී සිටියා. හිටපු විදුහල්පති අසංක චාමින්ද මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම අපිට විශාල ශක්තියක් වුණා. පන්තිභාර ආචාර්ය රමිලා කල්හාරි වීරසිංහ ගුරුතුමියගෙන් විශාල සහයෝගයක් ලැබුණා. මට උසස් පෙළට ඉගැන්වූ තිළිණි නිර්මිකා ගුණරත්න සහ තනූජා පෙරේරා මිස්ලත් ඔවුන්ගේ දැනුම උපරිමයෙන්ම ලබා දුන්නා. මම උපකාරක පන්තිවලටත් සහභාගි වුණා. ඒ සියලු දේම ප්‍රතිඵලයක් විදිහට තමයි මට මේ ජයග්‍රහණය ලැබුණේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division