ජමුනානන්ත ප්‍රණාවන් හා ජමුනානන්ත සරවනාන් යාපනයේ පදිංචි යාපනයේ හින්දු විදුහලේ අධ්‍යාපනය ලබන නිවුන් සොහොයුරෝය. පසුගියදා මේ නිවුන් සොහොයුරෝ දෙපළ යාපනයේ කප් ගසා වාර්තාවක් පිහිටුවන්නට සමත් වූහ. අයියා දිස්ත්‍රික්යෙන් අංක 1 වන විට මල්ලි දිස්ත්‍රික්කයෙන්ම අංක 2 විය. අයියා ලංකාවෙන්ම අංක 3 වන විට මල්ලි ලංකාවෙන්ම අංක 5 විය. දෙදෙනාම ජීව විද්‍යා අංශයෙන් ඉහළම ඉසෙඩ් ලකුණු වාර්තා කරමින් වාර්තාවක් පිහිටුවූයේ යාපනය හින්දු විදුහලටත් ගෞරවයක් අත්කර දෙමිනි.
ප්‍රණාවන් හා සරවනාන්ගේ පියා යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය ජමුනානන්ත සිවනාතන්ය. පියාට ඇවැසි වී තිබුණේ තම ඇස් දෙකවන් දරු දෙදෙනාද තමන්ගේ ගමන් මාර්ගයට ප්‍රවිෂ්ට කරවන්නටය. සිය පියාගේ අරමුණ ඉටු කරන්නට පමණක් නොව, කවුරුත් බලාපොරොත්තු නොවූ ඉහළ ජයග්‍රහණයක් අත්කර ගන්නටද තමන්ට හැකි වෙතැයි මේ දෙසොහොයුරෝ විශ්වාස කරන්නට නැත.
“අපි දෙන්නටම ගොඩාක් සතුටුයි. වැඩියෙන්ම අපේ අම්මා තාත්තා වගේම පාසලේ ඉගැන්වූ ගුරුවරුන් සතුටු කරන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි. අපි දෙන්නගේ ජයග්‍රහණයට උදවු කරන්න ගුරුවරු ගොඩාක් මහන්සි වුණා. මගේ සහෝදරයාත් මමත් එකතු වෙලා තමයි පාඩම් වැඩ කළේ. දෙන්නම එකතු වෙලා ප්‍රශ්නපත්‍ර කරලා අපැහැදිලි තැන් පැහැදිලි කරගත්තා. එක් පැත්තකින් අපි දෙන්නා නිවුන්නු වීම අපේ ජයග්‍රහණයට හේතුවක් වුණා. එහෙම වූ නිසා තමයි අපි දෙන්නට එකතු වෙලා එකට විභාගයට මුහුණ දෙන්න හැකි වුණේ. මම ජීව විද්‍යා විෂයන් හදාරන්නේ හරිම ආසාවෙන්. ශරීර කොටස් ඇතුළත් ජීව විද්‍යාවේ විෂය කොටස් ආසාවෙන් ඉගෙනගත්තා.
“අපි දෙන්නා කවමදාවත් නිකරුණේ කාලය නාස්ති කළේ නැහැ. අපි අමතර පන්ති ගිහින් ඉගෙනගැනීමට වඩා කළේ හැම දෙයක්ම තනිවම අධ්‍යයනය කිරීමයි. ඒක අපේ ජයග්‍රහණයට හේතුවක් වුණා. අපි දෙන්නා පාසලේ එදිනෙදා කරන වැඩ කටයුතු එදාම අවසන් කළා; කිසිම වැඩක් අතපසු කළේ නැහැ. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ තව තවත් වැඩියෙන් මහන්සි වුණා.
“ජීව විද්‍යාව හදාරද්දි ජීව විද්‍යා විෂයයට වැඩි තැනක් හා වැඩි අවධානයක් දිය යුතු බව මගේ අදහසයි. ඉතා හොඳින් මතක තබාගෙන ඉගෙනගැනීම් සිදු කළ යුතුයි. භෞතික විද්‍යාව විෂයය මෙන්ම රසායන විද්‍යා විෂය කොටස් හරියට තේරුම් ගත්තොත් ඉගෙනගන්න පහසුයි. අපි නිතරම පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් විභාගයට සූදානම් වුණා. ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළමුවැනි කොටස තිබුණු දවසේ අපට ගොඩාක් වැස්ස. දෙවැනි කොටස කරන දවසේ වැහැලා වැහැලා ගංවතුර. අපි හිතුවා අපට විභාගය කරගන්න පවා නොලැබෙයි කියලා. අෙධෙර්යවත් වුණේ නැහැ. ඒත් අපි ඒවා බාධාවක් කරගත්තෙත් නැහැ; හිතට ශක්තිය අරගෙන සාර්ථකව ඒ අභියෝගවලට මුහුණ දුන්නා. අමතර පීඩනයක් ඇති කර නොගෙන විභාගයට මුහුණ දෙන්න අපි ශක්තියක් ඇති කර ගත්තා…” සරවනාන් තම ජයග්‍රහණයේ රහස අප හා විස්තර කළේ එලෙසිනි.