Home » ඉංජිනේරු තාක්‍ෂණයෙන් මුල්තැන ගත් මයුරපාදයේ රවිහංස

ඉංජිනේරු තාක්‍ෂණයෙන් මුල්තැන ගත් මයුරපාදයේ රවිහංස

by Mahesh Lakehouse
May 3, 2025 12:30 am 0 comment

මෙවර පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්‍ෂණ විෂය ධාරාවේ සමස්ත ලංකාවේම ප්‍රථමයා ලෙස නාරම්ම්ල මයුරපාද විද්‍යාලයේ කාව්‍ය රවිහංස රොසයිරෝ සිසුවා සමත්ව ඇත.

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ශිෂ්‍යත්වය ඉහළින්ම සමත්ව එම විද්‍යාලයෙන්ම සාමාන්‍ය පෙළ දක්වා මුලික අධ්‍යාපනය ලබා ඒ සාමර්ථ්‍ය 9ක් සහිතව සමත්ව තාක්‍ෂණික විෂයට ඇති ඇල්ම නිසාම කාව්‍ය සිසුවා නාරම්මල මයුරපාදය ඒ සඳහා තෝරාගෙන තිබිණි.

අලව්ව, ගොරොක්ගස්දෙණිය ප්‍රදේශයේ මව, පියා හා බාල සහෝදරියක සහිත පවුලක වැඩිමලා වූ කාව්‍ය වගකීම් රැසක් තමා මත පටවාගෙන මේ ජයග්‍රහණය ලබා තිබීම විශේෂත්වයකි.

කාව්‍යගේ පියා විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකි. මව අලව්ව ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කරන බව කාව්‍ය පවසයි. සාන්ත ආනා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ ලියා ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටියදී කාව්‍ය අලව්ව ආසන්නයේ මෝටර් රථ ගරාජයක සහයකයකු ලෙසින් මාස 6ක පමණ පුහුණුවක් ලැබීමෙන් අනතුරුව ඊට බොහෝ සෙයින් සමීප විෂය ධාරාවක් වූ ඉංජිනේරු තාක්‍ෂණ විද්‍යාව තෝරගත්තේය. විෂය ධාරාව හදාරමින් යන අතරවාරයේ ගරාජයෙන් ලද පන්නරය විභාග කඩඉම ජයගන්නට මහත් රුකුලක් වූ බවද කාව්‍ය පැවසීය. එහිදී තම ජයහ්‍රහණය පිළිබඳ නිහතමානීව අදහස් දැක්වූ කාව්‍ය මෙසේද කීය:

“මගේ පාඩම් වැඩවලට ගෙදර හැමෝම උදවු කළා. දහවල් කාලයේ නිවෙසේ ඉන්නෙ නංගියි මමයි. මම කවදාවත් රෑ තිස්සේ ඇහැරගෙනවත්, පාන්දර නැඟිට ගෙනවත් පාඩම් කළේ නැහැ. දවල් කාලයේ තමයි සියල්ල පාඩම් කළේ. උසස් පෙළට ආවට පස්සෙ මම හිතට අරගෙන වැඩ කළේ මොකක් හෝ ජයක් ලබන්න. මම වැඩ ගොඩගහගත්තෙ නැහැ. පුළුවන් තරම් එදිනෙදා සියලු වැඩ ඉවර කළා. හොඳින් නින්ද ලැබුවා. තවත් විශේෂ දෙයක් තමයි: මම අදහන ආගමේ විදිහට මම පරිත්‍යාගය උතුම් කොට සලකනවා. මම අපේ වයසේ යාළුවො බොහෝ දෙනෙකුට විෂය කියලා දුන්නා. ඒ අය මට කියලා දුන් අවස්ථාත් නැතුව නෙවෙයි. අපි දැනුම හුවමාරු කරගත්තා. උපකාරක පන්ති ගිහින් සෙනසුරාදාවේ කාගෙ හෝ යහළුවකුගෙ ගෙදර ගිහින් අපි කණ්ඩායම ඒ විදිහට දැනුම හුවමාරු කරගත්තා. අපේ කණ්ඩායමේ සියලු දෙනා හොඳින් ඒ සාමර්ථ්‍ය එක්ක සමත් වෙලා තියෙනවා කියන එකත් ආඩම්බරයෙන් කියන්න අවශ්‍යයි.

“මම උසස් පෙළ ලියලත් මේ ප්‍රතිඵල එන තෙක් අම්මා එක්ක අලව්ව ප්‍රදේශයේ වෙළෙඳසලක තාවකාලිකව සේවයට යනවා. එහි අපි මුදල් අයකැමියන් විදිහට වැඩ කරමින් හිටියෙ. ප්‍රතිඵල එද්දිත් මම ඒ කඩේ වැඩ කරමින් හිටියෙ. මගේ පවුලේ අය වගේම ඒ වෙළෙඳසලෙහි හිමිකාරිත්වය සිට සියලු දෙනාත් බොහොම සතුටු වුණා මගේ ප්‍රතිඵලය ගැන. මේ වෙලාවෙ මගේ අමමා, තාත්තා, නංගි වගේම මගේ පාසල මතක් කරන්නම අවශ්‍යයි. ඉකුත් ආසන්නම වසරකත් තාක්‍ෂණවේදය ධාරාවේ ප්‍රථමයා අපේ පාසලින් බිහි කළා. අපේ විදුහල්පතිතුමිය නන්දිකා රණසිංහ මහත්මිය වගේම අපට දරුවන්ට වගේ සෙනෙහස බෙදමින් අකුරු කළ සම්පත් විජේසිංහ, තිළිණි හේරත්, කැලුම් ජයශාන්ත ගුරු මවුපියවරුන් වගේම උපකාරක පන්ති ගුරුතුමන්ලාත් මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි” කාව්‍ය පැවසීය.

මෙවිරු ධනාන් – කුලියාපිටිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division