Home » ගායන ලොවට පිවිසි නවක තරුව

ගායන ලොවට පිවිසි නවක තරුව

විමුක්ති

by Mahesh Lakehouse
April 26, 2025 12:30 am 0 comment

දවසින් දවස අපේ ගායන ලෝකයට නවක නිර්මාණකරුවන් පිවිසේ. එසේ පැමිණි නවක ශිල්පියෙකු ලෙස විමුක්ති කුලංග හඳුන්වා දිය හැකිය. මේ ඔහු සමඟ කළ කතාබහකි.

ඔබ ගායකයකු ලෙස ගොඩනැඟුණේ කොහොමද ?

මට පොඩි කාලේ ඉඳලම ලස්සනට සින්දු කියන්න පුළුවන්. මගේ ගායන හැකියාව මුලින්ම හඳුනාගත්තේ අම්මයි තාත්තයි. අම්මා තාත්තා වගේම අනෙකුත් ඥාතින් තමයි මගේ මුල්ම ප්‍රේක්ෂකයෝ වුණේ. පානදුර සුමංගල පාසලේ ගුණසිංහ මිස් තමා පාසලේදී මුලින්ම මගේ දක්ෂතා හඳුනාගත්තේ.

පාසලේදී පන්තියේ ළමයින් අතර ගොඩක් ජනප්‍රිය වුණේ හින්දි ගීත ගායනා කරලා. එක්දහස් නවසිය හැට හැත්තෑව දශකවල ජනප්‍රිය වූ හින්දි ගීත තමයි මම පාසලේදී ගැයුවේ.

එතකොට ඔබ රැකියාව වශයෙන් තෝරගත්තෙත් සංගීත ක්ෂේත්‍රයමද?

නැහැ. මගේ ජීවිතේ මුල්ම රැකියාව රත්මලාන මැලිබන් බිස්කට් ආයතනයේ. මේ වන විට මම ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සේවය කරන්නේ.

එතකොට ඔබ කොහොමද නැවත වතාවක් සංගීතයට පිවිසුණේ?

සන්දනායක සර්ගේ මුණගැසීමත් සමඟ නැවත වතාවක් මම සංගීත කටයුතුවලට පෙලඹෙනවා. සර් තමයි හැමතිස්සෙම වගේ කිවුවේ මගේ තියෙන දක්ෂතා අනුව ගීතයක් කළා නම් හොඳයි කියලා. ඊට පස්සේ තමයි ‘අමබිඳු‘ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට තීරණය කළේ.

එම ප්‍රසංගය ගැන විස්තර කියනවනම්?

පළමු වතාවට තමයි මම මේ වගේ ප්‍රසංගයක් පැවැත්තුවේ. මට ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කරන්න ආසාව ඇති වුණේ විවිධ ගායකයන්ගේ නිර්මාණ කුඩා කාලයේ සිටම රූපවාහිනියෙන් නරඹා තිබූ නිසයි. එහිදී සන්දනායක සර් මගේ ගායන ආර තේරුම්ගෙන ගීත 14ක් ලියලා දුන්නා. පද රචනය සංගීතය සියල්ලම ඔහු විසින්ම කරලා දුන්නා. ප්‍රසංගය පැවැත්වුණේ පසුගිය අප්‍රේල් පස්වෙනිදා පානදුර පුරහලේ.

ඔබ ගායනා කරලා තියෙන ගීත මොනවද?

මවුපිය උපහාර වෙනුවෙන් ගායනා කෙරුණු පතළ මිහිමත කියන ගීතය, මගේ මල්ලි වෙනුවෙන් නවතාවයෙන් කියන ගීතය, මගේ තාත්තාගේ අම්මා වෙනුවෙන් තාත්තම්මේ කියන ගීතය, තව සතුට දුක කියලා ගීතයක් කළා. ඒකෙ තියෙන්නෙ ගුවන්තොටුපළකදී පුද්ගලයෙකුගේ සිතෙහි ඇතිවන සිතිවිලි පිළිබඳව. ඊට අමතරව ආදර ගීත ලෙස දඟකාර නෙතු කැල්ම, ඉන්ද්‍රචාප වස්සානය, හන්තානය, තුරුණු විමානේ, පෙරදා පෙම් කළ, අවන්හලේ, කෝඩු නදී, නිදි යහනේ ආදි එකිනෙකට වෙනස් ගීත දාහතක් තමයි ප්‍රසංගයේදී ගැයුවේ.

ප්‍රසංගය සාර්ථක කරගන්න උදවු කරපු අයට ස්තූති කරන්න ඔබට මේක අවස්ථාවක් කර ගන්න පුළුවන්

ඇත්තටම ඔව්. සන්දනායක සර් තමයි මාව මේ සඳහා යොමු කරලා මාව උනන්දු කළේ. ඒ නිසා සර්ව මුලින්ම මතක් කරන්න ඕන. ඊට පස්සේ මගේ අම්මා තාත්තා මතක් කරන්න ඕන. ඒ දෙන්නා නැත්නම් මම අද මෙතන නෑ. මල්ලි ප්‍රසංගයට අවශ්‍ය කරන නර්තන අංග සියල්ලක්ම හදලා දීලා මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම තමයි මගෙ ගුරුවරු, නැදෑයොත් යාළුවොත් ගොඩක් උදවු කළා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division