– ටෙලිනාට්‍ය දෙක තුනක චරිත කළත් නළු හීනයක් තිබුණේ නෑ
– කලාව වෙනුවෙන් ඕනෙම කැප කිරීමක් කරන්න ලෑස්තියි
පූර්ණිම හසරංග කියන්නෙ ගායනයට රංගනයට දස්කම් දක්වන කලාවෙන් දිගු ගමනක් යන්න ආසාවෙන් ඉන්න නවක රංගන ශිල්පියෙක්. සුවිනීතා වීරසිංහ කුලුඳුලේ අධ්‍යක්ෂනය කරන ලද සාධි චිත්‍රපටයේ පූර්ණගේ චරිතෙට ජීවය දෙන්නෙත් පූර්ණිම හසරංග. මේ කෙටි කතාබහ පූර්ණිම හසරංග සමඟින්
පුර්ණිම මේ දවස්වල මොකද වෙන්නේ?
මේ කාලය ගතවෙන්නේ ලොකු බලාපොරොත්තු ටිකක් එක්ක. මොකද මගේ මුල්ම චිත්‍රපටය වන ‘සාධි‘ චිත්‍රපටය තිරගතවීමට නියමිත වෙලා තියෙනවා. ඒ බලාපොරොත්තු එක්ක තමයි කාලය ගත වෙන්නෙ.
ඔබ කලාවට යොමු වූ ආරම්භය මතක් කළොත්?
මම මුලින්ම නළුවෙක් විදිහට ක්ෂේත්‍රයට ආව කෙනෙක් නෙවෙයි. මම එන්නේ ගායකයෙක් විදිහට සහ පද රචකයෙක් විදිහට. මගේම කියලා ගීත දෙක තුනක් කරලා, පදරචනා කිහිපයක් කරමින් ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න අතරතුර බොහොම අහඹු විදිහට තමයි මට මේ අවස්ථාව ලැබෙන්නෙ. එතැනදි මම බොහොම ආදරෙන් සහ ගෞරවයෙන් මතක් කරන්න ඕනේ රෝහිණි ගුණවර්ධන. මම ආදරේට කියන්නෙ සුදු අක්කා කියලා. එයා තමයි මට කියන්නෙ මුලින්ම රඟපෑම ඉගෙන ගන්න කියලා. ඊට පස්සෙ මාව යොමු කරනවා රන්ජන් ප්‍රසන්න මහතා හරහා IAF එකේ රංගනය ගැන අවුරුද්දක පාඨමාලාවක් හදාරන්න. එතැනදි මට මුණගැහෙනවා සුවිනීතා වීරසිංහ මහත්මියව. එතුමිය හමුවීම මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙනවා. මට එතුමිය කියනවා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා, ඒකට සම්බන්ධ වෙන්න කියලා. ඒ හරහා තමයි මම රංගනයට පිවිසෙන්නේ. ඒ තමයි සාධි.
සාධි චිත්‍රපටයේ ඔබට ලැබුණු භූමිකාව මොකක්ද?
සාධි චිත්‍රපටය ඇතුළේ ප්‍රධාන චරිත හයක් තියෙනවා. ඒ චරිත හයෙන් එක චරිතයක් මට ලැබෙන්නෙ. මගෙ චරිතෙ නම වෙන්නෙ පූර්ණ.
කලාවෙන් ඉදිරියට යන්නම ද ආසාවක් ද තිබුණේ?
ගායන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ආසාවක් තිබ්බා. නළුවෙක් වීම ඇත්තටම අහම්බයක්. හැබැයි සමහර අවස්ථාවන්වලදී උසුළු විසුළුවට මගේ මිතුරන් “උඹ ඉතින් නළුවානේ“ කියපු අවස්ථාවන් තිබුණා. සමහර මගේ ළගම ඉන්න අය කිවුවා “උඹ නළුවා වෙන්න යන්න එපා“ වගේ දේවල්. මොනයම් හේතුවක් මත එයාලා මට ඒ වචනේ භාවිත කළා ද කියලා දන්නේ නෑ. ඒත් එහෙම කියද්දී හිත රිදුන තැන් තිබ්බා. හැබැයි මම හිතා ගත්තා මම කවදාහරි නළුවෙක් වෙනවා කියලා. එහෙම හිතන් ඉද්දි තමයි මට මේ අවස්ථාව ලැබුණේ. මින් පෙරත් මම ටෙලිනාට්‍ය දෙක තුනක චරිත කළත් නළු හීනය ඒ වෙද්දි නොතිබුණු නිසා දිගටම රගපෑමට යොමු වුණේ නැහැ.
සාධි නිර්මාණයෙන් පස්සෙ නිර්මාණවලට ඇරියුම් ලැබුණා ද?
ඔව් මට ඇරියුම් ලැබුණා. සුවිනීතා මහත්මිය වගේම මතක් කරන්න ඕන චරිතයක් තමයි ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා. සාධි චිත්‍රපටයේත් එතුමා තමයි සහාය අධ්‍යක්ෂණය කළේ. එතුමාත් ප්‍රවීණ තිර රචකයෙක් සහ සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්. එතුමාගෙන් මට ආරාධනාවක් ලැබුණා එතුමාගේ අලුත් නිර්මාණයට. ඒ එක්කම මෙලනි අශෝකා මහත්මියගේ නිර්මාණයකටත් ඇරියුම් ලැබුණා. ඒ අවස්ථාවන් ඉදිරියේදී ප්‍රයෝජනයට ගන්න බලාපොරොත්තු වෙනවා.
රංගනයට වැඩි ඉඩක් දෙද්දි ගායනයට මොකද වෙන්නෙ?
මම ගායනය කවදාවත් නතර කරන්නෙ නැහැ. ගායනය කියන්නේ මගේ ප්‍රියතම දෙයක්. මගේම කියලා සංගීත කණ්ඩායමක් තියෙනවා රිවර් සෝන්ග් කියලා. ඒ සංගීත කණ්ඩායම එක්ක සංගීත කටයුතු කරනවා. ඒ එක්කම ගීත විචාරක වැඩසටහන්වලට යනවා.
කලාව පමණ ද ඔබේ වෘත්තිය?
මම රැකියාවන් කිහිපයක් කළා. අලෙවි ක්ෂේත්‍රයේ රැකියාවන් සහ මගේම ව්‍යාපාරයක් කළා.
කණ්ඩායම් සංගීතය එක්ක මම යොමුවෙලා හිටියා. ඒ දේවල් එක්ක අනෙකුත් රැකියාවන් කරන්න කාලය සොයා ගන්න බැරි වුණා. ඒකත් එක්ක මට තේරුම් ගියා මම ආසම දේ මගේ වෘත්තිය බවට පත් කර ගන්න ඕනේ කියලා. මොකද මනුස්සයෙක්ගේ වෘත්තිය වෙන්න ඕනේ තමන් කැමතිම දේ සහ තමන් ප්‍රියතම දේ. මිනිස්සු දකින්නෙ කලාකාරයන්ට කවදාවත් පොහොසතෙක් වෙන්න බැහැ කියලා. හැබැයි මට ඒක අදාළ නැහැ. මම කලාව කරන්නෙ මගේ මුළු හදවතින්ම මම ආදරේ කරන නිසා. මම ආදරේ කරන දේ වෘත්තිය කරගෙන ඉදිරියට ඒ දේ කරන්න තමයි මගේ කැමැත්ත.
පූර්ණිමගේ මේ ගමනට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
මගේ පවුලේ කිසිම කෙනෙක් මම කලාව කරනවට කැමැත්තක් නැහැ. මම මේ ගමන එන්නෙ මගේ තනි කැමැත්තට.
ඒ හැර මගේ පවුලේ කිසිම කෙනෙක්ගෙන් කලාවට සහයෝගයක් ලැබෙන්නෙ නැහැ. ඒක තමයි ඇත්තම කතාව. එහෙම කියලා මගේ ගමනට අකුල් හෙළන්නෙත් නැහැ. මගේ තනි කැමැත්තට මේ ගමන යනවා.
අනාගත බලාපොරොත්තු මොනවද?
කලාව පැත්තෙන් ගත්තම හොඳ නිර්මාණවලට දායක වෙලා යහපත් නිර්මාණ තුළින් කලාවට සේවයක් කරන්න. මම කලාව වෙනුවෙන් ඕනෙම කැප කිරීමක් කරන්න ලෑස්තියි. මොකද කලාව කියන්නෙ දැන් මගේ ජීවිතය සහ වෘත්තිය. ඒ හැර මගේ ජීවිතෙ ගත්තම ලොකු බලාපොරොත්තු ඇතිව ජීවත්වන චරිතයක් නෙවෙයි.
මගේ ජීවිතේ තියෙන්නෙ කෙටිකාලීන බලාපොරොත්තු. මගේ ජීවිත කතන්දරය ගත්තම ඉතා කෙටි කාලයක් තුළ බොහො දේවල් වෙනස් වුණු ජීවිතයක් මට තියෙන්නෙ. ඒකත් එක්ක ජීවිතේ ගැන ලොකු බලාපොරොත්තු නැහැ. මම විශ්වාස කරන දේ තමයි හරි දේ කරලා, යහපත් පැවැත්මක් ඇතුව ජීවත් වුණොත් කලාව වගේම මගේ ජීවිතෙත් සාර්ථක වෙයි කියලා.