Home » මහනුවර දින 8ට කසළ ටොන් 325ක්

මහනුවර දින 8ට කසළ ටොන් 325ක්

by Mahesh Lakehouse
April 26, 2025 12:31 am 0 comment
අසේල කුරුළුවංශ

දළදා වන්දනාව ආරම්භ වී 25 දින දක්වා ගෙවුණු දින 8 තුළ සැදැහැවතුන් රැඳී සිටි ප්‍රදේශවලින් කසළ ටොන් 325කට ආසන්න ප්‍රමාණයක් එකතු වී තිබේ. මිශ්‍ර කසළ ටොන් 220ක්ද පොලිතීන් ටොන් 65ක්ද ඉඳුල් ටොන් 40ක්ද ලෙස මේ කසළ එකතු වී තිබෙන බවද මිශ්‍ර කසළ වෙන් කිරීමට ගොහාගොඩ අංගණයේ පැය 24 පුරා කම්කරුවන් 10 දෙනකු සේවයේ යෙදවීමට සිදුව තිබෙන බවද, මහනුවර නගර සභාවේ ජල හා අපජල දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඉංජිනේරු නාමල් දිසානායක පවසයි. මේ සේවකයන් සඳහා නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මියගේ මැදිහත්වීම මත දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාවක් සලසා දී තිබේ.

දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගර සීමාවේ හා ඒ ආසන්නයේ පාසල් 50ක් වසා තිබෙන අතර, ඒවා සියල්ල 29 දින විවෘත කරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් පැවසීය. පොලිස් නිලධාරීන් 8,000කට ආසන්න පිරිසකට නවාතැන් දීම වෙනුවෙන් මේ පාසල් වසා තැබෙන අතර 28 දින සියලු පාසල් පිරිසුදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇතැයිද ඒ මහතා කීය.

දළදා වන්දනාවට පැමිණ සිටියදී රෝගි වූ කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනකු මියගිය බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු කීවාය. ඔවුන් සියලු දෙනා වයස අවුරුදු 69 ඉක්මවූ අය බවද ඇය පැවසුවාය. ගත වූ දින 8ක කාලයේ රෝහල්ගතව 450 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබාගත් බවද අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළාය. හදිසියේ රෝගි වන පුද්ගලයන්ට ප්‍රතිකාර සැලසීම සඳහා මහනුවර නගරය තුළ ප්‍රතිකාර මධ්‍යස්ථාන 9ක් ස්ථාපනය කර තිබෙන බවත්, එවායින් 7,000ක පමණ පිරිසක් ප්‍රතිකාර ගෙන තිබෙන බවත් මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල කීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division