ප්‍රාථමික ප්‍රවාහන ක්‍රමයක් ලෙස සැලකෙන ජල මාර්ග භාවිත කිරීම මිනිසා ගංගා ආශ්‍රිතව ජනාවාස පිහිටුවාගත් යුගයේ සිට වර්තමානය දක්වාම සිදු කෙරෙමින් පවතියි. මෙරට ද පාලන බලය අල්ලාගත් පෘතුගීසින් මෙන්ම ලන්දේසීන්ද ගමනාගමනය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඇළ මාර්ග බහුලව භාවිත කර ඇත. ජලයේ ගමන් කළ හැකි යාත්‍රා ගමනාගමනයට භාවිත කිරීම ගොඩබිම් මාර්ගවලින් ගමන් කරනවාට වඩා ලාභදායී විය. මෝසම් කාලයට මුහුදු ගමන් අන්තරාදායක වූ නිසා ඇළ මාර්ග භාවිත කිරීම ආරක්ෂිත විය. ඕලන්ද යුගයේ පුත්තලම සිට කොළඹට භාණ්ඩ ප්‍රවාහනය කළ ප්‍රධාන මාර්ගය වූයේ (හැමිල්ටන්) ඕලන්ද ඇළයි. මෙය පැරණි පුත්තලම-කොළඹ මහාමාර්ගයට සමාන්තරව පිහිටා ඇත. මෙය ඕලන්ද පාලන යුගයේ කරන ලද්දක් ලෙස හැඳින්වුවත් පෘතුගීසින් පැමිණීමට පෙර සිටම තිබූ බව කියවේ. ක්විරෝස් පියතුමා සඳහන් කරන පරිදි කෝට්ටේ සිට මීගමුව දක්වා ඇළ කපා ඇත්තේ 8 වැනි වීරපරාක්‍රම රජ (1479-1483) සමයේය. කෙසේ නමුත් කෝට්ටේ සිට පුත්තලම දක්වා කි.මී. 128ක් දිග ඇළ මාර්ගය පෘතුගීසි යුගයේත් ලන්දේසි යුගයේත් විටින්විට වසර ගණනාවක් තිස්සේ කපන ලද බව පිළිගත හැකිය. පළමුව කුකුළේ ගඟ සිට මීගමුව දක්වා ද දෙවනුව මීගමුව සිට මාඔය, තෝප්පුව, මහවැව දක්වා ද ඉදිකර ඇත. ඉන්පසු මහවැව සිට කඩුපිටි ඔය හරහා හලාවතට ද පසුව මුන්දලම හරහා පුත්තලම දක්වා ද දීර්ඝ කර ඇත.
ඇළේ ගමන් කළ යාත්‍රා වූයේ පාරුය. පාරුවක් තැනීම සඳහා මාස තුන-හතරක් ගතවී ඇත. ඔරුවලට වඩා පාරුවල මිනිසුන් සහ බඩු වැඩි ප්‍රමාණයක් ගෙන යා හැකිය. ඔරුවලට වඩා අනතුරුවලින් බේරීමට පාරුවලට හැකියාව ඇත. අව්වෙන් සහ වැස්සෙන් බේරිමට වහලයක් ද තනා ඇත. මගීන් 40කට පමණ එකවර ගමන් කළ හැකිය. භාණ්ඩ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකිය. ලොරි තුනක පමණ භාණ්ඩ වරකට ප්‍රවාහනය කළ හැකි බව ද පැවසේ. ඕලන්ද ඇළේ කොළඹ සිට හලාවතට ගමන් කිරීමට දින පහක් ගතවේ. හලාවත සිට පුත්තලමට දින දෙකකි. පාරුව අඩුම වේගයෙන් ගමන් කරන ප්‍රවාහන මාධ්‍යයකි.
දින ගණනක් ගමන් කරන පාරුව සියලු පහසුකම් සහිත නිවෙසක් බඳුය. එය පාරුකරුවා දුටුවේ මෙසේය.
සීරුව බිමට කණු නොම සිටුවා මහත
වාරුව ඇතුව දිය පිට තැනූ ගෙයක් ඇත
මාරුව තැනින් තැන බඩු ගෙන ගමන් යත
පාරුව වැනි ගෙයක් මේ මුළු ලොවේ නැත
ශ්‍රී ලංකාව මූලික වශයෙන් කෘෂි කාර්මික සමාජයකි. එනිසා බහුලව අපට හමුවන්නේ කෘෂිකර්මාන්තය හා බැඳුණු ගොයම් කවි, නෙලුම් කවි, පැල් කවි ආදියයි. එමෙන්ම කරත්ත කවි, පතල් කවි දක්නට තිබුණද පාරු කවි ඇත්තේ සංඛ්‍යාත්මකව අල්පයකි.
‘තණ්ඩලේ‘ පාරුවේ නායකයාය. සියල්ල සිදුවන්නේ ඔහුගේ අභිමතය පරිදිය. තණ්ඩලේලා හතර රියන් පුද්ගලයන් වූ අතර කාය ශක්තිය මෙන්ම මනා පෞරුෂයකින් හෙබි පුද්ගලයෙක් විය. පාරුවලට මංකොල්ලකරුවන් කඩා පනින නිසා ඔවුන් මෙල්ල කිරීමේ හැකියාවද තන්ඩලේට තිබිය යුතුය. කාර්ය මණ්ඩලය තවත් පස් හයදෙනෙකුගෙන් යුක්තය. මේ අතර අරක්කැමියෙක් මෙන්ම පාරුව පදවන ශ්‍රමිකයන් ද කිහිප දෙනෙකි. පාරු රස්සාවේ මුල් කාලය අමාරු කාලපරිච්ජේදයකි. අවුරුදු කිහිපයකින් තණ්ඩලේ කෙනෙකු වීමට හැකි වුවද පාරු රස්සාව සතුට ගෙන දෙන සැප රස්සාවක් නොවේ. ඒ බව ඔවුන් විසින්ම මෙසේ ප්‍රකාශ කර ඇත.
සීරුවෙ ගමන් ඇවිදින් පාරුවට
මාරුවේ හබල් අදිමින් විටින්විට
පූරුවෙ කරපු අකුසල් ගෙවෙන්නට
පාරුවේ ඇවිත් දුක් විඳිනවා දැනට
පාරුවල කම්කරුවෝ නිතරම සේවයේ යෙදී සිටිය යුතුය. ගංගා ඇති ප්‍රදේශවලදී එකක් රිටි මාර්ගයෙන් යාත්‍රා කරනු ලබයි. හුළං හමන දිසාවට පාරුව ගමන් කරන කල රුවල් දමන නිසා පාරුව වේගයෙන් ගමන් කරයි. ඒ වගේම සමහර තැන්වලදී පාරුවේ ලණුවක් බැඳගෙන ඉවුර අයින දිගේ හඳපානේ කවි කියමින් ඇදගෙන යාමට ද සිදු වේ. පාරුවේ ගමන් කරන කාලය දින ගණනාවක් වන නිසා කෑම උයා ගැනීම ද පාරුව තුළම කළ යුතුය. ඉතා සරල ආහාරයක් වූ පොල් සම්බෝලය සහ බත් නිතර ආහාරයට ගෙන ඇත. ඔවුන් ආහාර පිසින විට මිහිරි සුවඳක් හමන බවත් ඉතා රසවත් බවත්, ආහාර අනුභව කළ පාරු ඇළ අයිනේ විසූ වැඩිහිටියන් පවසා ඇත. සම්බෝලයට හොඳට උම්බලකඩ දමන අතර ගඟෙන් අල්ලා මසුන් ද ආහාර සඳහා පාවිච්චි කර ඇත. පාරුකරුවෝ තම වෙහෙස නිවා ගැනීමට ‘රා කට්ටක‘ මිහිර විඳ ගැනීමට ද අමතක කර නැත. ඔවුන්ගේ ප්‍රියතම රා තැබෑරුම් බවට පත් වී ඇත්තේ හැඳල සහ අඩප්පරගම රා තැබෑරුමයි. සවස් කාලයේ මහවැව, ලුණු ඔයට පිවිසෙන පාරුකරුවන් අඩප්පරගම රා තැබෑරුමට ගොඩවී ඉස්සෝ සහ වඩේ කමින් රා කට්ටක රස බලමින් වෙහෙස මඟ නිවාගෙන ඇත.
පාරු පැදීම සහ ඇදීම ඉතා වෙහෙසකර රැකියාවකි. ඔවුන් තම වෙහෙස නිවා ගත් තවත් ක්‍රමයක් වූයේ ගීත, කවි ගායනා කිරීමෙනි. “පාරු කවි” යැයි ජන සාහිත්‍යයේ කවි විශේෂයක් ඇත්තේ පාරුවල සේවය කළ අය වෙහෙස නිවා ගන්නට ගායනා කළ කවිය. ඕලන්ද ඇළේ පාරු ගමනාගමනය නිසා “පාරු මාලය” නම් කාව්‍ය සංග්‍රහයක් ද 1910දී පමණ රචනා කර ඇත. පාරුකරුවන් තමාගේ රැකියාවේ කටුක බව කවියෙන් ප්‍රකාශ කළා සේම ඇළ දෙපස ඇස ගැටුණ සුන්දර දසුන් ගැන කවියෙන් කියන්නට ද අමතක කර නැත. විශේෂයෙන් ඇළ දෙපස ඇති ගම්වල රුවැති ළඳුන් ගැන වැඩි අවධානයක් යොමුකර ඇති බවක් පහත කවිවලින් පෙනේ.
පීනා රති ගඟේ නානා සළෙලු නුරා
නෝනාවරු සිටිති හැම කවුළු දොර ඇරා
ගානා වියෝලද රවිකිඤ්ඤ ඇත පුරා
පේනා ලෙස කියනු බැරි කොළඹ විස්තරා
ඕලන්ද ඇළ ආරම්භ වන්නේ කොළඹ තොටළඟිනි. පාරු ඇළ දෙපස ඇති නිවෙස්වල සිටින කාන්තාවන් ජනෙල්වලින් එබී බලමින් අවට සිරි නරඹන නෙත පිනවන දසුන් ගැන පාරු කවියා මනා ලෙස වර්ණනා කරයි. පාරුකරුවන් සොඳුරු ළඳුන් ගැන පමණක් නොව මඟ දෙපස දුටු සළෙලුන් ගැන ද මෙසේ සඳහන් කර ඇත.
දැක පිරියේ ගොස් නාකුළු ගං තොටින
දුක හැරියේ දැක සළෙලුන් මත මතින
වත පිරියේ දුටු පමණට සිය ඇසින
කල් එළියේ සිටි කත මුළු ලොව වටින
රුවැති ළඳුන් පමණක් නොව නොයෙකුත් ගෘහ කර්මාන්තවල යෙදී සිටින කාන්තාවන් ද පාරුකරුවන්ගේ කවි ඇසට අසුවී ඇත. මේ පල්ලන්සේන වළං කර්මාන්තයේ යෙදී ඇති කතුන් දුටු අයුරුයි.
සෙල්ලං කරන මෙන් අඟනෝ මැටි රැගෙන
අල්ලෙන් තළ තළ සමහරු ඉදි කරන
ලෙල්ලන් විඳිනවා ගම හැර අප ගොසින
පල්ලන් සේනයේ අඟනෝ මැටි තලන
පාරු රස්සාවේ මුල් කාලය ඉතා අසීරු එකකි. ඒ නිසාම පාරු රස්සාව කරුමයක් පල දීමට ලැබුණු රැකියාවක් ලෙස පාරුකරුවන් සඳහන් කරයි.
පූරුවේ කරපු අකුසල් ගෙවෙන්නට
පාරුවේ ඇවිත් දුක් විඳිනව දැනට
මාරුවේ අවල අදිමින් විටින් විට
සීරුවෙ බැසපි ගොස් තුම්මෝදරට
පාරු අයිතිකරුවන් සහ පාරු සේවක පිරිස් බොහෝ දෙනෙක් වස්කඩුව, බළපිටිය, මෝදර වැනි ඈත ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන්ය. එනිසා විශේෂයෙන් සිංහල අවුරුදුවලට දරුමල්ලන්ට තෑගී බෝග රැගෙන ගම්රටවල් බලා යා යුතුය. එහෙත් සියලු දෙනාටම අවුරුදුවලට නිවාඩු ලැබෙන්නේ නැත. එසේ අවුරුදුවලට ගමේ යාමට නොහැකි වූ පාරුකරුවන් පිරිසකගේ දුක, වේදනාව මේ පාරු කවියෙන් කියැවේ.
සතට වඩා පව් පින් දෙක පලදීම
තොරව ඉඳා මේ සැටි ගත ඉසිලීම
දුකට යොදා කීවෙමි මේ පද සැවොම
අපට මෙදා නොයෙදුණි අවුරුදු කෑම
බැගෑපත් කමින් කියන මේ පද අහපල්ලා
සුවපත් සියලු දෙන දෙවියන් වැඳපල්ලා
යහපත් වරුසයකි බුද දින දැනගල්ලා
අපවත් මතක් කර අවුරුදු කාපල්ලා
ඕලන්ද ඇළේ පාරු රස්සාවේ යෙදුණු සේවකයෝ, පාරු අයිතිකරුවන් මෙන්ම තණ්ඩලේවරු විශාල වශයෙන් මුදල් උපයාගත් බව ප්‍රදේශවාසීහු පවසති. පාරු අයිතිකරුවන් මෙන්ම පාරු රස්සාවේ යෙදුණු බොහෝ දෙනෙක් පසු කාලයේ ඕලන්ද ඇළ දෙපස තුම්මෝදර, නාත්තන්ඩිය, මහවැව, ලුණුඔය, මාදම්පේ ප්‍රදේශවලින් විවාහ සිදු කරගෙන එම ප්‍රදේශවලම පදිංචි වී සිටියි.
ඔවුන් දැන් එම ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවෝය. ඕලන්ද ඇළ නිසා කොළඹ සිට පුත්තලම දක්වා සුළු නගර කිහිපයක් බිහි විය. නාත්තන්ඩිය, මාදම්පේ, හලාවත, මදුරන්කුලිය, පාලවිය යන ප්‍රදේශ මෙම ජල ප්‍රවාහන ක්‍රමය නිසා සුළු නගර බවට පත්විය. ශ්‍රී ලංකාවේ විශාල සති පොළක් ලෙස සැලකෙන “නාත්තන්ඩිය” නම බිහිවූයේත් පාරු ප්‍රවාහන ක්‍රමය සමඟ යැයි මතයක් ඇත. “නවතින හන්දිය” යන අර්ථය මත බිහි වූ බව පැවසේ. වර්තමානයේ මෙහි සශ්‍රික වෙළෙඳපොළකි. කඩ සාප්පුවලට අවශ්‍ය බඩුබාහිරාදිය කොළඹ සිට පාරු මඟින් ගෙනෙන ලදි. මාදම්පේ පොල් වතුවල කොප්පරා ආදිය පාරු මඟින් කොළඹ යැවීය. උඩරට ප්‍රදේශවලට අවශ්‍ය ලුණු පාලවියේ සිට පාරු මඟින් මාදම්පේට ගෙනැවිත් නුවරට ගොඩබිමින් ප්‍රවාහනය කර ඇත.
පාරු ඇළ, ඕලන්ද ආණ්ඩුව විසින් නිතර අලුත්වැඩියා කරන ලදි. නඩත්තුවට පාරු අයිතිකරුවන්ගෙන් බදු අය කරන ලදි. ඕලන්ද ඇළ, හැඳල ප්‍රදේශයේ සිට කොළඹ දෙසට වර්තමානයේත් ධීවර ජනතාව ප්‍රයෝජනයට ගනී. එහි ධීවර ජනයා තම ඔරු එහා-මෙහා කිරීම වැනි කාර්යයන් සඳහා වර්තමානයේ භාවිත කරති.
එහෙත් තෝප්පුතොට සිට පුත්තලම දක්වා ඇළ වල් බිහි වී ඇත. මෑතක් වනතුරු ඉතා ජනාකීර්ණ වූ කාර්යබහුල පාරු ඇළ මෙසේ නිසසලව මළගම් යෑම සිත් වේදනා ඇති කරවන්නක් බව ප්‍රදේශවාසීන් පවසන්නේ හදපිරි සංවේගයෙනි.

ඕලන්ද ඇළ අද ලුණුඔය ප්‍රදේශය ඔස්සේ ගලා බසින අයුරු