විශ්ව භාෂාවක් වන සංගීතය අපූර්ව යුග ගණනාවක් පසු කරමින් වත්මන තෙක් පැවත එන්නේය. එසේ පැමිණි මෙන්ම ගමන් ගන්නා සංගීතයේ හමුවන “යානි” ගේ සංගීතය ශ්‍රවණය නොකළ සහ ශ්‍රවණය නොවූ පුද්ගලයකු නැති තරම්ය. බටහිර සංගීතය නව ආරකින් සැරසූ සංගීත ශිල්පියකු ලෙස “යානි ක්රිසොමලිස්” ඉතිහාසගත වේ. එමෙන්ම ග්‍රීක ජාතිකයන් දේවත්වයෙන් සලකයි.
ලංකාවේ මෙන්ම වෙනත් රටවලද රූපවාහිනී, ගුවන්විදුලි සහ ටෙලිනාට්‍යය වෙෙළඳ දැන්වීම් සඳහාද මොහුගේ සංගීත ඛණ්ඩ යොදා ගන්නා අවස්ථා තිබේ. යානිගේ යැයි නොදැන වුව ඔහුගේ සංගීතාංග ශ්‍රවණය කරන පිරිස් සිටිති. ඒ සඳහා උදාහරණයක් ලෙස ‘Nightingale’ යන ජනප්‍රිය සංගීත ඛණ්ඩය දැක්විය හැකිය.
1954 වසරේදී ග්‍රීසියේ කල්මටාහී උපත ලැබූවත් ඇමරිකා එක්සත් ජනපදයේදී නිර්මාණ බොහෝමයක් එළි දැක්වීම නිසා ඔහු ඇමරිකානු සංගීතවේදියෙක් ලෙසද ප්‍රචලිත විය. “යානි ලයිව්” නමින් ලොව වටා පවත්වන ප්‍රසංග මාලාව සඳහා ඔහු සංගීත කණ්ඩායමක් නිර්මාණය කළේය. ඇමරිකාව, වෙනිසියුලාව, ජර්මනිය, කියුබාව, තායිවානය, රුසියාව, ආර්මේනියාව, එංගලන්තය වැනි රටවල විවිධ ආගම් සහ ජාතීන් ගණනාවකට අයත් සංගීත ශිල්පීන් සහ ශිල්පිණියන් එම සංගීත කණ්ඩායමේ ගායනයෙහි සහ වාදනයෙහි නිරත වෙති. යානිගේ සංගීත කණ්ඩායම ලොව විශිෂ්ටතම සංගීත කණ්ඩායම් අතුරෙන් එකක් බව විචාරකයන්ගේ මතයයි.
ඔහුගේ සංගීත කණ්ඩායම පිළිබඳව කතා කිරීමේදී ලාංකිකයන් වන අපටද විශාල අභිමානයක් ගෙන දෙන හේතුවක් තිබේ. එනම් ලොව දක්ෂතම සංගීත ශිල්පීන් ඇතුළත් වන ඔහුගේ සංගීත කණ්ඩායමේ 2006 – 2007 වසරවලදී බේස් ගිටාරය වාදනය කළ “ජිෆ්රි හුසේන්” නම් ශිල්පියා ශ්‍රී ලාංකිකයෙකු වීමයි. යානිගේ මතය වන්නේ එක් එක් සංස්කෘතීන් නියෝජනය කරන වාදන ශිල්පීන් තම සංගීත කණ්ඩායමේ සිටීමෙන් තමන්ගේ සංගීත ඛණ්ඩවලට විශාල පරාසයක අලංකාරයක් එකතු වන බවයි.
මොහුගේ සංගීතයේ විවිධත්වය පෙන්නුම් කරන සංගීතාංග කිහිපයකට උදාහරණ ලෙස Prelude හෙවත් පූර්විකාව, Keys to imagination හෙවත් පරිකල්පනයට යතුර, The storm හෙවත් කුණාටුව, Rain Must Fall, Truth Of Touch සහ On Sacred Ground දැක්විය හැක.
‘Prelude හෙවත් පූර්විකාව’ යන සංගීතාංගය අර්මේනියානු බටනලාවක් වන Duduk සහ වයලීනය පදනම් කරගෙන නිර්මාණය කර ඇත. ‘Keys To Imagination හෙවත් පරිකල්පනයට යතුර’ සංගීතාංගය ඒප්රියල් කැප්ගේ Oboe වාදනයත් ආර්මන් මුවිසෙසියාන්ගේ වයලීන වාදනයත් එක්ව කොංගෝ සහ බොංගො වාදන එක් කිරීමෙන් අලංකාර කර ඇත. එමෙන්ම ෆියුශන් ලක්ෂණ පෙන්නුම් කරන මෙම නාද රටාව පරාජිත හැඟීම දුරලා ජවයක් මෙන්ම ශක්තිමත් හැඟීමක් හදවතට දැනෙන ලෙස නිර්මාණය කර තිබෙන සංගීත රටාවකි.
‘The Storm හෙවත් කුණාටුව’ Alexander Zhirof ගේ Cello වාදනයෙන් කුණාටුවක් ආරම්භයේ ඇති අඳුරු, අලස ගතිය හඟවමින් ආරම්භ වේ. එයට එක්වන සැමුවෙල්ගේ වයලීන වාදනයත් සමඟ ක්‍රමයෙන් වර්ෂාව ඇද වැටීම සහ වර්ෂාව වැඩි වීම ආදිය මනාවට නිරූපණය කෙරේ. ‘Rain Must Fall’ සංගීතාංගය වැස්ස පදනම් කර ගනිමින් නිර්මිතය. එහි ආරම්භය යානිගේ පියානෝ වාදනයෙන් අලංකාර වනවා මෙන්ම වැස්ස ආරම්භය, වැස්ස ක්‍රමයෙන් වැඩිවීම, අකුණු ගැසීම සහ වැස්ස නතරවීම වැනි කොටස් මනාවට පෙන්නුම් කරයි. එයට එක් වන බේස් ගිටාර් සහ වයලීන වාදනය එම කොටස මනාව නිරූපණයට අත්වැල් සපයයි. ‘Truth Of Touch’ යනු යානිගේ පියානෝ වාදනයෙන් ආරම්භ වී ක්‍රමයෙන් එක් එක් සංගීත භාණ්ඩ එක්වන භාවනාවක් මෙන් නිවුණු සංගීත කණ්ඩයකි. ‘On Sacred Ground’ කාන්තා කටහඬට මුල් තැන ලබාදෙන සංගීත කණ්ඩයකි. මන්ද්‍ර, මධ්‍ය ස්වරයෙන් ආරම්භ වන කටහඬ ක්‍රම ක්‍රමයෙන් උච්ච ස්වර දක්වා ගමන් කිරීම දැකිය හැකිය. ඔහුගේ මෙම නිර්මාණය අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට හැකියාව ඇත.
ප්‍රසංගයකදී යානි වාදනයේ නිරතවන්නේ පියානෝව එක් පසෙක තබා ගනිමින් සහ අනෙක් පසින් කීබෝඩ්ස් 6 ක් හෝ 8 ක් තබා ගනිමිනි. ඒවා අතර වාඩි වී හෝ සිට ගනිමින් දෑතින්ම දෙපස තිබෙන කීබෝඩ් වාදනයේ යෙදෙයි. වාදනය කිසිදු බැරෑරුම් බවක් නොපෙන්වා ප්‍රසන්න ජවයකින් යුතුව වාදනයේ නිරතවීමෙන් ප්‍රේක්ෂකයාගේ දෑස් ඔහු වෙත බැඳ තබා ගැනීමට සමත් වෙයි. ප්‍රසංගයක් ආරම්භයේ තිබෙන ජවය අවසානය තෙක්ම තබා ගනිමින් නරඹන්නාගේ සිරුරේ හිරිගඬු පිපී, ඇසට කඳුළක් උනන තරමේ හැඟීමක් ලබාදීමට ඔහු දක්ෂයෙකි. කණ්ඩායමේ වාදකයන් වාදනයේ නිරත වන අතර ප්‍රේක්ෂාගාරයට පිටුපස හරවා වාදකයන් දෙස බලා සිටීමෙන් යානි එම සංගීතය විඳින බව පවසයි. වාදකයන් පවසන්නේද යානි තමන් දෙස බලා සිටීමෙන් තමන්ටද ශක්තියක් ලැබෙන බවයි.
මොහු කෙරෙන් පිළිඹිබු වන ශෛලීන් අතර ක්‍රොස් ඕවර් (crossover), නවයුග (new age), සමකාලීන වාද්‍ය සංගීතය (contemporary instrumental) යනාදිය දැකිය හැකිය. එසේම යානිගේ ඇතැම් නිර්මාණ සඳහා සම්භාව්‍ය සංගීතවේදීන්ගේ ආභාසය ලැබී ඇත. උදාහරණ ලෙස “standing in motion” නමැති සංගීතාංගය දැක්විය හැක. එය “මොසාර්ට්” ගේ සංගීතාංගයකට සමානකම් දක්වන බව පෙනෙයි. සංගීතය හදාරන දරුවන්ගේ පාසල් විෂය නිර්දේශයටද මොහු ඇතුළත් කර තිබෙන්නේ ගීතයට මෙන්ම සංගීතයටද මුල් තැන ලබාදෙන “කේමදාස”ලා නිර්මාණය කරවීමේ වැදගත්කම ඒත්තු ගැන්වීමට බව සිතෙයි.
ඉන්දියාවේ ටජ් මහල් ප්‍රාසාදය ඉදිරිපිට සහ චීන මහා ප්‍රාකාරය මත ලොව දැවැන්තම සංගීත ප්‍රසංග පැවැත් වූ සංගීතවේදියා ලෙසද මොහු ඉතිහාසගත වෙයි. එමෙන්ම ග්‍රීසියේ ඓතිහාසික නගරවල, ජපානයේ මෝජි බෞද්ධ විහාරය සහ ලන්ඩනයේ රෝයල් ඇල්බට් ශාලාවද ප්‍රසංග පැවැත්වූ ස්ථාන අතරින් විශේෂිත වෙයි. ඊජිප්තුවේ පිරමිඩ් ඉදිරිපිට පැවැත්වූ ‘ඩීරම් කොන්සට්’ ප්රසංගයද විශේෂිතය. 1993 වසරේ සැප්තැම්බර් 23 වැනි දින ග්‍රීසියෙහි ඇක්රොපොලිස් ඓතිහාසික නගරයෙහි පැවති ‘යානි ලයිව් ඇට් ඇක්රොපොලිස්’ ප්‍රසංගය ඇමෙරිකානු රූපවාහිනී ජාලය හරහාද ලොව පුරා විකාශනය විය. එය ලොව වටා රටවල් 65 ක කෝටි පනහක රසික රසිකාවියන් පිරිසක් එකවර නැරඹූ බවට තොරතුරුද වාර්තා වෙයි. එමෙන්ම පසුකාලීනව සංයුක්ත තැටියක් ලෙස නිකුත් වූ මෙම ඇල්බමයේ පිටපත් මිලියන 4 ක් ලොවපුරා අලෙවි වූ බවත් ප්‍රසංගයේ වීඩියෝ තැටිය ලොව පුරා පිටපත් මිලියනයක් අලෙවි වී ඇති බවත් වාර්තා වේ.
එමෙන්ම ඔහුගේ ඉතිහාසගත අනෙකුත් ඇල්බම ලෙස 1997 වසරේ නිකුත් කළ ‘ට්‍රිබියුට්’ සහ 2009 දී නිකුත් කළ “යානි වෝකල්ස් ලයිව් ඉන් කොන්සර්ට්” හැඳින්විය හැකිය. ඒවා වැඩිම අලෙවි වාර්තා තැබූ සංගීත ඇල්බම වෙයි. ඉන් පසුව 2010 වසරේදී මැක්සිකන්සිමෝ, 2011 වසරේදී ටෘත් ඔෆ් ටච්, 2012 දී ලයිව් ඇට් එල් මොරෝ, 2014 වසරේදී ඉන්ස්පිරේටෝ, 2016 වසරේදී සෙන්සස් චිල්, ග්‍රීක් ලොන්ච් ඩිලුක්ස් සහ ද ඩ්‍රීම් කොන්සර්ට් ලයිව් ෆ්‍රොම් ද ග්‍රේට් පිරමිඩ්ස් ඔෆ් ඊජිප්ට්, 2018 වසරේදී එම්එම් ත්‍රී යන සංගීත තැටි ඔහු විසින් නිකුත් කළ අතර ඒ සඳහා විශේෂිත ප්‍රසංග මාලාවක්ද පැවැත්වීය.
යානිගේ සංගීතයට පෙරදිග සහ බටහිර යන සංගීත ද්විත්වයම පදනම් වී ඇත. ඔහුගේ සංගීතාංග ගැඹුරු ප්රකාශනයක් සහිතය. ඔහුගේ සංගීත ඛණඩ හෘදය සංවේදීය. ඔහුගේ ප්‍රසංගවල පසුබිම් තිරයක නිරූපණය කෙරෙන දෘෂ්‍ය රූපාවලියෙන් සංගීත වින්දනය පහසු කරයි. රූපයත් නාදයත් භාවාත්මක නිර්මාණයක් ලෙස සියලු රසිකයන්ට සමීප වේ.
විශාරද නෙත්මි පූජනී රත්නායක